විභාග කල්යෑම: 'මගේ ළමයා උසස් පෙළ ලියන්න බැහැයි කියනවා'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'උගත මනා ශිල්පයමයි මතු රැකෙනා' යනු, වදන් කවි පොතේ සඳහන් ඉගෙනීමේ අගය පැවසෙන වටිනා ආප්තෝපදේශයකි. එහි පැවසෙන පරිදි කිසිවෙකුටත් විනාශ නොකළ හැකිවූ ද පැහැරගත නොහැකිවූ ද වටිනාම සම්පත වන්නේ ශිල්ප ශාස්ත්‍රය යි.
මිනිස් සමාජයේ යහපත් පැවැත්ම සඳහා මූලික අඩිතාලම සකසනු වස් ලොව සියලු දරුවන්ට අනිවාර්යය අධ්‍යාපනය ලබාදීම නුතන ලෝකයේ මුලික මිනිස් අයිතිවාසිකමක් යටතට ගැනෙන්නකි.
එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන රටාව සහ විභාග පැවැත්වීමේ ක්‍රමවේදයන් මෙන්ම දිගින් දිගටම විභාග පැවැත්වීම කල්යාම හේතුවෙන් ළමුන් දැඩි පීඩාවට පත්ව සිටින බවට මේ වන විට මවිපියෝ චෝදනා නගති.
"මගේ ළමයා උසස් පෙළ ලියන්න බැහැයි කියනවා"
මේ වන විට 10 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන තම බාල දියණිය උසස් පෙළ විභාගයට පෙනී සිටීම දැන් සිටම ප්‍රතික්ෂේප කරමින් සිටින බව දෙදරු මවක් වන නෙලුෂා සිල්වා පැවසුවාය.
"මගේ බාල දුව දැනට ඉගෙනුම ලබන්නේ 10 වසරේ. එයා දැන් ඉදලම කියනවා ඒ ලෙවල් විභාගය කරන්න බැහැ යි කියලා. හේතුව විදිහට කියන්නේ විභාගය කරාම ගොඩක් කල් ප්‍රථිපල එනකම් බලන් ඉන්න වෙනවා කියලා. ඒ වගේම ඕලෙවල් විභාගයට පෙනී ඉදලා එයාට ලන්ඩන් ඒ ලෙවල් කරන්න ඕන කියලයි කියන්නේ. ඊට පස්සේ ප්‍රයිවට් කැම්පස් එකකට ගිහින් වයස අවුරුදු 22-23 වෙනකොට උපාධියක් අරගන්න පුළුවන් කියලයි කියන්නේ. එක අතකින් බලද්දී ළමයින්ගේ ඉගෙනුම ගැන එයාලා හිතන් ඉන්න විදිහ හරි. නමුත් අනිත් පැත්තෙන් ගත්තම දෙමව්පියන් විදිහට අපි ඒ දේවල් කරන්න ආර්ථික අතින් ශක්තිමත් වෙන්න ඕන. ඒක අභියෝගයක්.
"මේ මගේ ප්‍රශ්නය විතරයි. නමුත් විභාග කල් ගියපු එක ගැන මගේ යාලුවෙක් ගිය සතියේ කතා කළා. එයා කිව්වේ එයාගේ පුතාට ඕලෙවල් විභාගය කල් ගියපු එක නිසා දැන් ගෙදර ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේක ළමයාගේ මානසිකත්වයට ලොකු බලපෑමක් කියලයි මගේ යාලුවා කියන්නේ. ඒත් මගේ යාළුවයි, මහත්තයයි දෙන්නම රැකියාවන්ට යන්න ඕන නිසා ළමයා තනියම ගෙදර දාලා යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේක හරිම ප්‍රශ්නයක් ඒ දෙමව්පියන්ට. මේ වගේ ප්‍රශ්න තියෙන පවුල් කොච්චරක් අද රටේ ඉන්නවද කියලා හිතලා බලන්න," නෙලුෂා සිල්වා බීබීසී සිංහල සේවයට පැවසුවා ය.
"අධ්‍යාපන ක්‍රමවේදය වෙනසක් කරන්න කාලය හරි"
රටේ පවතින අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් සිදුකිරීමට කාලය එළඹ ඇති බවත්, ඒ සම්බන්ධයෙන් යෝජනාවලියක් පවා 2021 වර්ෂයේ දී එවකට පැවති රජයට ඉදිරිපත් කරනු ලැබුව ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිසි පිළිතුරක් නොලැබුණු බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ පැවසුවේය.
"විභාග කල්යාමේ ගැටලුව ගැන අපි කතා කරන්නේ කොවිඩ් වසංගත සමයේදී සිදුවූවක් විදිහට. නමුත් මේ ගැටලුව බොහෝ කාලයක් තිස්සේ තියෙන දෙයක්. අපි අමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය වගේ රටවල අධ්‍යාපන ක්‍රමය ගැන ගැඹුරින් හදාරලා බැලුවා. එතැනදී අපි දැක්ක දෙයක් තමයි ඒ රටවල ළමයින් අවුරුදු 17 වෙද්දී ඒ ලෙවල් විභාගය කියන දේ අවසන් කරලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුල් වෙනවා කියන එක. නමුත් ලංකාවේ ළමයෙක් සාමාන්‍ය පෙළ විභාගය ලියන්නේ වයස අවුරුදු 16 දී, ඒ ළමයා උසස් පෙළ විහාගය ලියන්නේ වයස අවුරුදු 19 දී. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුල් වෙලා උපාධියක් අරන් එනකොට ළමයට වයස අවුරුදු 26ක් 27ක් වගේ වෙනවා සමහර අවස්ථාවන්වල දී. මේක තමයි තියෙන ගැටලුව.
"අනිත් එක පාසැල් පෙළ පොත්වල ඇතුළත් කරලා විෂය නිර්දේශයන් නිසා ළමයින්ට අනවශ්‍ය බරක් පැටවෙනවා. මේක ගැන අපි දිගින් දිගටම කරුණු දැක්වීම සිදුකරලා තියෙනවා රජයට, අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කරන්න ඕන කියන එක වගේම විභාගයන් පවත්වන කාලසීමාවන් වෙනස් කරන්න ඕන කියලා. ඒකෙන් අපිට පුළුවන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වයට විසඳුමක් ගෙන එන්න. ඒකට නිසි බලධාරීන් පියවර ගන්න ඕන,' විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ එලෙස බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.
"ගොඩක් ළමයි දැන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයට පෙනී ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතය ගොඩ නගන්න කුමක් හෝ රැකියාවක් කරන්න නැත්නම් විදෙස් ගතවන මානසිකත්වයක සිටින්නේ"
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වර්තමානයේ රටේ පවතින අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් අනාගතයේ දී රටේ ආර්ථිකයට මෙන්ම සමාජීයය ප්‍රශ්න රැසකට ද මාවත විවරවීමට හේතු සාධකයක් වනු ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ආර්ථික සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ බොහෝ ළමුන් පාසල් යාමෙන් වැලකී සිටීමට මේ වන විටත් කටයුතු කර ඇතිබව යි.
"රටේ ඇතිවුණු ආර්ථික ප්‍රශ්නය නිසා ග්‍රාමීය ජන සමාජයේ දෙමව්පියන්ට තම දරුවන්ව පාසැල් යැවීමට නොහැකි තත්ත්වයක් මතුවූ බව පසුගිය කාලයේදී අපිට පෙනී ගියපු කරුණක් වුණා. පාසැල් පොත්, ඇඳුම් පැළඳුම්, සපත්තු ඇතුළු අත්‍යාවශ්‍ය පාසැල් උපකරණවල මිල වැඩිවීම නිසා ළමුන්ට පාසැල්වලට යොමුවීම මඟ හැරුණු අවස්ථා එමට යි. නමුත් අද වෙනකොට මේ තත්ත්වය හේතු කරගෙන ළමුන් පාසැල් නොයන තැනට පත්වෙලා තියෙනවා.
"විශේෂයෙන් තීන්දු තීරණ ගන්නා බලධාරීන් අවධානය යොමු කළේ රටේ නාගරික ජනසමාජය දිහා පමණයි. ඔවුන් ධීවර, වතු ප්‍රජාව, ග්‍රාමීය මට්ටමේ ජන සමාජය වගේම නාගරික ජන සමාජය තුළ සිටින දිළිඳු කුටුම්භයන්හි පාසැල් යන දරුවන් ගැන ලොකු අවධානයක් යොමු කලේ නැහැ. මේ ගැටලුව නිසා ඉදිරි අනාගතයේ දී රටට ඇතිවන්න පුළුවන් ගැටලුසහගත ක්‍රමයක් ගැන අප දැන් තියාම අවධානය යොමු කරන්න අවශ්‍යයි.
"දුර්වල ආර්ථිකයක් පවතින රටේ, අනාගතය භාර ගන්න සිටින සම්පත තමයි දරුවන් කියන්නේ. ඔවුන්ගේ අනාගතය නිසි පරිදි හැඩ ගැස්සවීමකට ලක් කළේ නැත්නම් අපිට ඉතුරු වෙන්නේ ශ්‍රම බලකාය පිරිහුණු සමාජයක්. ගොඩක් ළමයි දැන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයට පෙනී ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතය ගොඩ නගන්න කුමක් හෝ රැකියාවක් කරන්න නැත්නම් විදෙස් ගතවන මානසිකත්වයක සිටින්නේ. මේකෙන් වෙන්නේ අනාගතයේ රජයේ වගකිවයුතු ආයතන වලට අවශ්‍ය බුද්ධිමත් ශ්‍රම බලකාය අඩුවෙන එක."
"අනෙක් අතින් ගත්තම ළමයින් ඉගෙනීම පැත්තෙන් අයින් වෙලා වෙන වෙන දේවල්වලට යොමු වෙන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතය, ජංගම දුරකථන සහ පරිගණක ක්‍රීඩා වගේ දේවල්. මේවායින් ළමයින්ගේ මානසිකත්වයට එල්ල වන්නේ දැඩි බලපෑමක්. රටේ වගකිවයුතු බලධාරීන් ඇතුළු සියලුම දෙනා මේ ගැන අවධානය නිසි විදිහට යොමු නොකලොත් අපේ අනාගතය විනාශ කරන පාර අපිම කපා ගත්තා වගේ දෙයක් වෙන්න යන්නේ,' මහාචාර්ය අතුකෝරල පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
"විභාගය කල් යන එකෙන් සිද්ධ වෙන්නේ අපේ ටාර්ගට්වලට යන එකට ලොකු ප්‍රශ්නයක් එනවා"
විභාගය කල්යාමෙන් වාසියක් මෙන්ම අවාසියක් ද ඇති බව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියක් බීබීසී සිංහල වෙත කියා සිටියා ය.
"මගේ වයස දැන් අවුරුදු 17ක්. සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගය ලියන්න තියෙන්නේ අවුරුදු 16 දී, උසස් පෙළ විභාගය ලියන්න තියෙන්න අවුරුදු 19 දී. විභාගය කල් යන එකෙන් සිද්ධ වෙන්නේ අපේ ටාර්ගට්වලට යන එකට ලොකු ප්‍රශ්නයක් එනවා. විශේෂයෙන්ම ජොබ් එකක් කරන්න යනකොට වයස බලපානවා. මේක තමයි තියෙන ලොකුම ගැටලුව. අනිත් අතින් ගත්තම විභාගය කල් ගියපු එකෙන් පාඩම් කරන්න තව කාලයක් එකතු වෙලා තියෙනවා. ඒක අමතර වාසියක්, හොද ප්‍රතිඵලයක් ගන්න පුළුවන් තව ටිකක් පාඩම් කරලා," මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසුවියක් වන ආර්. ටී. සුපුනි මධුෂානි බීබීසී සිංහල සේවයට පැවසුවා ය.
මේ අතර උසස් පෙළ විභාගයට පෙනී සිට මෙතෙක් ප්‍රතිඵල නොලැබූ සිසුවෙකු වන සංහිදු පවසා සිටියේ සිදුව ඇති ප්‍රමාදය නිසා අනාගතයේ තමන් කුමක් කළ යුතු ද යන තීරණයට එළඹීමට නොහැකිව සිටින බවයි.
"මම උසස් පෙළ විභාගයට පෙනී සිටින්න තිබ්බේ 2022 වසරේ දී. නමුත් විභාගය ප්‍රමාද වුණා. විභාගයට පෙනී සිටියේ 2023 අවුරුද්දේ ජනවාරි. නමුත් තවම ප්‍රතිඵල ලැබිලා නැහැ. මේකෙන් වෙන්නේ ඉස්සරහට අපි මොකක්ද කරන්න ඕන කියලා හරි තීරණයක් ගන්න විදිහක් නැතිව ඉන්නේ. මම උසස් පෙළ විෂයන් හැටියට කළේ ටෙක්නොලජි. දැන් කම්පියුටර් හාඩ්වෙයාර් කෝස් එකක් කරනවා ටෙක් එකේ."
"හැම ළමයෙක්ගේම ප්‍රශස්තම කාලය තමයි අපි මේ වැඩිහිටියන් විදිහට නාස්ති කරන්නේ"
පවතින විභාග ක්‍රමය තුළ ළමුන්ට විශාල අවාසියක් සිදුවන බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ උප සභාපතිනි පද්මිණි රණවීර පවසා සිටියා ය.
"අපේ රටේ විභාග ක්‍රමය අනුව, ළමුන්ට ඔප්පු කරන්න විදිහක් නැහැ තමන් ඉගෙන ගත්තා කියලා විභාගයට පෙනී ඉදලා ඒකෙන් සමත්වන තුරු. ළමයින් අවුරුදු ගාණක් එකතු කරගත්ත දේවල් දන්නවා කියන්නනේ මේ විභාගය ලියන්න යන්නේ. ඒක හරියට කරගන්න බැරිවීම ළමුන්ගේ පැත්තෙන් ගත්තම ලොකු පාඩුවක්. අපි බලන්නේ ළමයින්ව ෆේල් කරලා හරි පාස් කරලා හරි සහතිකය දෙන්න. ළමයින්ගේ පැත්තෙන් ගත්තම අවුරුදු 5ක් 6ක් ඉගෙන ගත්ත දේ තමන් දන්නවා කියල පෙන්වන්නයි ඔවුන් විභාගයට පෙනී ඉන්නේ.
"නමුත් මේ විභාගයම නැතුව ඔවුන් ලබපු අධ්‍යාපනය ගැන වරින් වරවත් සොයා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක තමයි සාර්ථකම විදිහ. මොකද අවසානයේ දී විභාගයක් තියෙනවට වඩා ළමයෙක් තමන් ඉගෙන ගත්ත දේ හරියට ඔහු නිවැරදිව අයුරින් ලබලා තියෙනව ද කියල සොයා බලන එක වැදගත්. එහෙම කළොත් විභාගයක් තියෙනකම් බලන් ඉන්න ඕන නැහැ."
"වර්තමාන තත්ත්වය දිහා බැලුවොත් මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මේකෙන් ළමයින්ගේ කාලය විශාල වශයෙන් අපතේ යාමක් සිද්ධ වෙනවා. කාලය කියන එකේ වටිනාකම මෙච්චරයි කියලා අපිට කියන්න බැහැ. හැම ළමයෙක්ගේම ප්‍රශස්තම කාලය තමයි අපි මේ වැඩිහිටියන් විදිහට නාස්ති කරන්නේ. ඒ ගැන ඉතාම කණගාටුදායක යි. ළමයින්ට ඉස්සරහට යන්න අපි පාර අවහිර කරගෙන ඉන්නවා.
"මේ අවසාන විභාගය මත පදනම් කරගෙන ළමයාගේ අනාගතය තීරණය කිරීම ඉතාම අසාර්ථක ක්‍රමයක්. මේ වෙනුවට නව ක්‍රමවේදයක් සකස් කරන්න දැඩි අවශ්‍යතාවයක් දැන් දැන් මතුවෙමින් තියෙනවා,' ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ උප සභාපතිනිය වැඩි දුරටත් පැවසුවා ය.












