ICT ක්ෂේත්‍රයේ ගැහැණු ළමුන්ගේ දිනය: 'පරිපාලන සේවා විභාගෙ ලියන්නේවත් නැද්ද කියලා අහන නෑදෑයො ඉන්නවා'

ඡායාරූප මූලාශ්‍රය, Dinoja Navarathnarajah/Facebook
"තව ම මගේ රස්සාව ගැන අවබෝධයක් නැති නිසා, පරිපාලන සේවා විභාගය ලියලා බලන්නේවත් නැද්ද කියලා මගෙන් අහන නෑදෑයන් මට ඉන්නවා," යනුවෙන් තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් සමාජයට ඇති අනවබෝධය ගැන බීබීසී සිංහල සමග අදහස් හුවමාරු කරගත්තේ මෘදුකාංග නිර්මාණය කරන ජාත්‍යන්තර සමාගමක ව්‍යාපෘති කළමනාකාරිනියක් ලෙස සේවය කරන නයෝමි තලගහගේ ය.
ඇය පරිගණකයක් ඉදිරියේ සිට කරන රැකියාවක, ඇතැම්විට තවමත් අරුමයක් වූ සමාජයක අභියෝග ජයගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු තරුණියකි.
ලෝකයේ සීඝ්‍රයෙන් දියුණුවන සහ මේ වන විට වැඩි ම ආයෝජනයක් සිදුකරන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ තවමත් කාන්තාවන්ගේ යම් අඩුවක් නිරීක්ෂණය කළ හැකි ය.
එනිසා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයට ගැහැණු ළමයින් සහ කාන්තාවන්ගේ වැඩි හා තීරණාත්මක අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දිනයක් නම් කර තිබෙන අතර මේ වසරේ එම දිනය යෙදී ඇත්තේ අප්‍රේල් 27 වනදාට ය. මෙම දිනය 2011 වසරේ සිට සෑම වර්ෂයක ම අප්‍රේල් මාසයේ හතරවන බ්‍රහස්පතින්දා දිනයේ සැමරෙයි.
ලෝකයේ ඇතැම් රටවල, විශේෂයෙන් ම ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් මෙම ක්ෂේත්‍රයට යොමුවීමේ විශාල අඩුවක් නිරීක්ෂණය කළ හැකියි.
"ශ්‍රී ලංකාව තාක්‍ෂණයේ සහ නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතත්, තාක්‍ෂණය හදාරන සහ මෙම ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවන ගැහැණු ළමයින් සංඛ්‍යාව සාපේක්ෂව අඩුයැ,"යි යුනෙස්කෝ වෙබ් අඩවියේ දැක්වේ. විශේෂයෙන් ම ලෝකය පුරා ම විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, සහ ගණිතය ආශ්‍රිත ක්ෂේත්‍රවල (STEM) කාන්තාවන් නියෝජනය කරන්නේ අවස්ථා දහයකින් දෙකක් පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරීක්ෂණය කර තිබේ.
එනිසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට කාන්තාවන් යොමුවීමට පෙළඹවීමක් සිදුකිරීමට "තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නියැලී සිටින ගැහැණු ළමුන්ගේ දිනය" නම්කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Nayomi Thalagahage/Facebook
නයෝමි තලගහගේ අඩු පහසුකම් සහිත අනුරාධපුරයේ ගමක සිට අධ්‍යාපන ලබා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වී සිටින්නියකි. නමුත් ඇයගේ පාසල් කාලයේ මෙවැනි රැකියාවක් පිළිබඳ ව අදහසක් නොතිබූ බව ඇය පවසයි.
"උසස්පෙළ මම ජීව විද්‍යා අංශයෙන් කළේ. අපි ඒ කාලෙ දැනගෙන හිටියෙ විද්‍යා විෂයන් කරනවා නම් වෙන්න පුළුවන් දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් විතරයි කියලා," යි ඇය සමාජයේ බොහෝ තැන්වල ඇති පොදු ආකල්පයක් ඇගේ ජීවිතය ඇසුරින් පැවසුවා ය.
"ඇත්තට ම කාන්තාවකට මේක ගොඩක් හොඳ ක්ෂේත්‍රයක්. සමාජයේ කාන්තාවන්ගේ වැඩ කියලා නම් කරලා ගෙදර වැඩ, දරුවන්ගෙ වැඩ ගොඩක් වෙලාවට කාන්තාවන්ට පවරලා තියෙනවා. මේ වැඩ අතරෙ වුණත් ගෙදර ඉඳන් තමන්ගෙ ලැප්ටොප් එකෙන් වැඩ කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි මේ," නයෝමි පැහැදිලි කළා ය.
කෙසේ වෙතත් තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ වැඩකරන අයගේ රැකියා සම්බන්ධයෙන් තවමත් සමාජයේ හොඳ අවබෝධයක් නැති බව ඇය පැහැදිලි කළා ය.
"මගේ නෑදෑවෙන සමහර අයට මගේ ජොබ් එක ගැන කිවුවාට තේරෙන්නෙ නෑ. ඒ නිසා එයාලා සමහර වෙලාවට මට කියනවා පරිපාලන සේවා විභාගය කරලා පරිපාලන සේවයේ ජොබ් එකකට යන්න කියලා."

ඡායාරූප මූලාශ්‍රය, Nayomi Thalagahage/Facebook
කාන්තාවන් තුළ ස්වභාවයෙන් ම ඇති ප්‍රශ්නවලට විවිධ විසඳුම් සෙවීමේ ගුණය මෙම ක්ෂේත්‍රයට වඩා වැදගත් බව නයෝමි පවසයි.
"අපි සොෆ්ට්වෙයා එකක් ප්ලෑන් කරනකොට ටීම් එකේ ඉන්න කාන්තාවන්ට ඒක ගැන ගොඩක් අදහස් තියෙනවා. එක ම දෙයක් ආකාර කීපයකට කරන්න පුළුවන් විදිහ ගැන එයාලට හිතන්න පුළුවන්," ඇය පවසයි. "සමහර වෙලාවට කසාද බැඳලා වගකීම් වැඩිවුණා ම කාන්තාවකට එක දිගට ලැප්ටොප් එකක් ඉස්සරහට වෙලා ඉන්න බැරිවෙන්න පුළුවන්. ඒ වගේ ම ඒ කාන්තාව තමන්ගෙ උපරිමය දෙන්න ලෑස්තිවෙලා හිටියත්, සමහර වෙලාවට ආයතනය උපකල්පනය කරනවා ඇයට දැන් මේ වැඩේ හොඳ කැපවීමකින් කරන්න බැරිවෙයි කියලා. කාන්තාවන්ට මේ ක්ෂේත්‍රයේ ඉහළට යන්න මේ හේතුවත් බාධාවක් වෙලා තියෙනවා," ක්ෂේත්‍රයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ ඇය පැහැදිලි කළා ය.
'ක්ෂේත්‍රය ගැන මනා අවබෝධයක් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ නැහැ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය එම යුද්ධයට මැදි වූ දරුවන්ගේ අධ්‍යාපනයට වැට බැන්ඳේ ය.
බොහෝ දරුවන්ට පාසල් යාමට නොහැකි වූ අතර තරුණ පිරිස්වලට උසස් අධ්‍යාපන අවස්ථා පවා අහිමිවිය.
ඩිනෝජා නවරත්නරාජා එලෙස යුද්ධයට මැදි ව වරක් අධ්‍යාපනය කඩකප්පල්වුව ද, බලාපොරොත්තු අත් නොහැර අධ්‍යාපනයේ ඵල නෙළාගෙන වර්තමානයේ තොරතුරු තාක්ෂණවේදය පිළිබඳ ගුරුවරියක් ලෙස කටයුතු කරන තරුණියකි.
"මම හත වසරෙ පළවෙනි වාරයෙ ඉස්කෝලෙ ගියාට පස්සෙ අපට වෙන තැනකට යන්න වුණා. වන්නියෙ අපි ජීවත් වුණ ගමේ ඉඳලා අපට තැන් තැන්වලට යන්න වුණා. ඒ නිසා මට එදා ඉඳන් ඉස්කෝලෙ යන්න බැරිවුණා," ආරක්ෂාව පතා තැනින් තැනට ගොස් ජීවත් වීමට සිදු වූ කාලය ඩිනෝජා සිහිකරයි.
ඔවුන්ට එලෙස විවිධ ස්ථානවලට මාරුවෙන්නට සිදුව ඇති අතර, "සමහර තැන්වල අපි හිටියෙ දවස් දෙකක් වගේ,"යි ඇය පැවසුවා ය.
ශෙල් වෙඩි ප්‍රහාරයක් නිසා ඇගේ පියා ඇගේ ඇස් ඉදිරිපිට ම ජීවිතයෙන් සමුගන්නේ 2009 වසරේ මාර්තු මාසයේ එක් අඳුරු දිනක යි.
"අපි හිටියෙ වෙල්ලමුල්ලි වයික්කාල්වල හමුදාවෙන් අපට ඉන්න සේෆ් කියලා කියපු තැනක. අප්පා බෝම්බවලින් බේරෙන්න බංකරයක් හදන ගමන් හිටියේ. ඒ අතරෙ ෂෙල් වෙඩි සද්දයක් ඇහුණා. මාව විසි වෙලා ගියා. ආපහු නැගිටලා අප්පාව හොයනකොට අප්පා හිටියෙ නෑ. අප්පාගෙ බෙල්ල පිච්චිලා, තුවාල වෙලා. හරියට බෙහෙත් කරන්න විදිහක් තිබුණෙ නැති නිසා අප්පා අපි ව දාලා ගියා," ඇය ඒ දුක්බර මතකය අවදි කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Dinoja Navarathnarajah/Facebook
යුද්ධය අවසන්වීමෙන් පසුව ඇය ඇතුළු පවුලේ සාමාජිකයන් මාස ගණනක් අනාථ කඳවුරුවල ජීවිතය ගතකර ඇති අතර ඇය නැවත පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්නේ අධ්‍යාපනය අඩාල වී වසරකටත් වඩා වැඩි කාලයක් ගත වූ පසු 2009 ඔක්තෝබර් මාසයේ දී යි.
ඇගේ මිතුරියන් තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීම නිසා ඇය ද මෙම විෂයට පළමු ව යොමු ව ඇතත් බොහෝ කලක් යනතෙක් ඔවුන්ට එම විෂයට ගුරුවරියක් හෝ සිට නොමැත.
නමුත් කෙසේ හෝ විද්‍යාපීඨ අධ්‍යාපනයට මංපෙත් විවර කරගත් ඇය මේ වන විට තොරතුරු තාක්ෂණ විෂය උගන්වන පාසල් ගුරුවරියකි.
ඊට අමතර ව ඇය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, අයිරෙක්ස් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක ම ඩිජිටල් අවකාශයේ ආරක්ෂාව, වෛරී ප්‍රකාශන පිටුදැකීම සම්බන්ධයෙන් පුහුණුකාරිනියක් ලෙස ව්‍යාපෘති ගණනාවකට දායක වී ඇත.
මෙම ක්ෂේත්‍රයේ අඩු කාන්තා සහභාගීත්වයට එක් හේතුවක් ලෙස ඇය පෙන්වා දෙන්නේ ක්ෂේත්‍රය ගැන මනා අවබෝධයක් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ නොමැතිවීම බව ඩිනෝජා පැහැදිලි කළා ය.
"මම උගන්වන ළමයින්ගෙන් මේවා ගැන ඇහුවොත් එයාලා ගොඩක් මොබයිල් ඇප්වලින් විනෝද වෙන දේවල් ගැන දන්නවා. ඒත් රස්සාවක් විදිහට මේ ෆීල්ඩ් එක තෝරගන එක ගැන එයාලට තේරෙන්නෙ නෑ."
'ඉලක්ක හඹායාමට තමා තුළ ඇති කැපවීම ඉතා වැදගත්'
කෙසේ වෙතත් තමාට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තුළ හොඳ අවස්තාවන් හිමිවූ බව මේ වන විට කැනඩාවේ වාසය කරන, මයික්‍රොසොෆ්ට් කැනඩා ආයතනයේ, ඉගෙනුම් හා කුසලතා අංශයේ වැඩසටහන් කළමනාකාරිණියක් ලෙස සේවය කරන ටානියා සෙම්බුලිංගම් පවසයි.
ඇය ශ්‍රී ලංකාවේ දී ජාත්‍යන්තර පාසලකින් පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර එහි දී කුඩාකල සිට ම පරිගණක දැනුම ලබාගැනීමට අවස්ථාව හිමි වූ බව ඇය පැවසුවා ය. ව්‍යාපාර විෂයන්ගෙන් උපාධියක් හිමිකරගන්නා ඇය රැකියා කිහිපයක නිරත වීමෙන් පසු ව, 2015 දී පළමුවරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වී තිබේ. ඒ 'මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා'හි ය.

ඡායාරූප මූලාශ්‍රය, Taniya Sembulingam
පසුව ඇය 'ආසියා පැසිෆික් මයික්‍රොසොෆ්ට්' ආයතනයේ සේවය කර ඇති අතර වර්තමානයේ 'මයික්‍රොසොෆ්ට් කැනඩා' ආයතනයේ සේවය කරයි. මෙම ක්ෂේත්‍රය තුළ ඇගේ අත්දැකීම ඉතා ම හොඳ අත්දැකීමක් බව ඇය පවසයි. පවුල තුළ සිය රැකියාව පිළිබඳ ඇති අවබෝධය මෙන් ම, ආයතනය තුළ සම ව සැලකීම ඇය අගය කරයි.
"අද මම හොඳ තැනක ඉන්නෙ මාව මේ ක්ෂේත්‍රයට හොඳට නිරාවරණය වුණු නිසයි. ඒ නිසා පාසල් කාලයේ සිට ම දරුවන්ට ඒ තාක්ෂණයට නිරාවරණය වීමේ අවස්ථාව හදලා දෙන්න ඕනෑ," ටානියා පැවසුවා ය.
ඇය පැවසුවේ කොපමණ බාධා තිබුණත් තමා කැමති ක්ෂේත්‍රයේ ඉලක්ක හඹායාමට තමා තුළ ඇති කැපවීම ඉතා වැදගත් බවයි.
"මම හිතනවා හැමදේකට ම වඩා කෙනෙක්ට මේ ක්ෂේත්‍රය ගැන තියෙන උනන්දුව වැදගත් කියලා. ඒ නිසා මම කාන්තාවන්ට කියන්න කැමතියි, ඔයා ගැන විශ්වාස කරන්න. සම්ප්‍රදාය හෝ සංස්කෘතියට මොකුත් කරන්න දෙයක් නෑ. ඔයාට ඔයා ගැන විශ්වාස නම් ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන්."












