260 දෙනෙකුට මරු කැඳවූ Air India ගුවන් අනතුරට පෙර 'ඉන්ධන ස්විච ක්‍රියා විරහිත වෙලා': පරීක්ෂණයේ මූලික වාර්තාව කියයි

Air India Crash

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී පුවත්

පසුගිය මාසයේ සිදු වූ Air India ගුවන් අනතුර පිළිබඳ නිකුත් කරන ලද මූලික වාර්තාවකින් හෙළි වූයේ යානය අනතුරට පත්වීමට මොහොතකට පෙර ගුවන් යානයේ එන්ජින් දෙක ම ක්‍රියාවිරහිත කරවන තත්ත්වයකට හේතුවෙමින් ඉන්ධන පාලන ස්විච දෙක ම නැවතී ඇති බව ය.

ගුවන් යානයේ නියමු කුටියේ හඬ පටවලින් නියමුවන් දෙදෙනා අතර යම් ව්‍යාකූලත්වයක් තිබූ බවට පෙන්නුම් කරයි. එක් ගුවන් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් "[ඉන්ධන පාලන ස්විච] නැවැත්තුවේ ඇයි?" යනුවෙන් විමසන අතර, අනෙක් ගුවන් නියමුවා තමන් එසේ නොකළ බව පවසයි. අදාළ ප්‍රකාශය කරන්නේ කුමන ගුවන් නියමුවා ද යන්න පැහැදිලි නැත.

ඉන්පසු ස්විචයන් ඒවායේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට පැමිණ ඇති අතර, එමගින් එන්ජින් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව ආරම්භ විය හැකිව තිබුණි.

කෙසේ නමුත් එක් එන්ජිමක් නැවත සක්‍රීය වී ඇති අතර, අනෙක අක්‍රීය වී තිබේ.

ගුවන්තොටුපළේ CCTV දර්ශනවල "සැලකිය හැකි ආකාරයේ කුරුල්ලන්ගේ දර්ශන" දක්නට නොලැබිණි.

වාර්තාව කිසිදු නිගමනයකට එළඹි නැති අතර, විමර්ශන අඛණ්ඩව සිදුවන බව පෙන්වා දෙයි.

Air India ප්‍රකාශකයෙකු පවසන්නේ ඔවුහු බලධාරීන් සමග "පූර්ණ සහයෝගයෙන්" කටයුතු කරන බව ය.

Air India crash Map

Air India ගුවන් යානා අනතුර පිළිබඳ මූලික වාර්තාවෙන් ප්‍රධාන කරුණු දෙකක් නිරීක්ෂණය කළ හැකි බව විමර්ශකයෝ පවසති.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පළමුව, ගුවන්ගත වී තත්පර කිහිපයක් ඇතුළත එන්ජින් දෙකට ඉන්ධන ලබා දෙන ස්විච දෙක ම ධාවන තත්ත්වයේ සිට ක්‍රියා විරහිත තත්ත්වයට මාරු වී ඇති අතර, යානය වාතය හරහා ඉදිරියට යාමට යොදන තෙරපුම් බලය පැයට නාවික සැතපුම් 180ක වේගයෙන් ගමන් කරමින් සිටියදී නැවති ඇති බවයි.

එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් එන්ජින් ක්‍රියා විරහිත කළේ මන්දැයි විමසූ නමුත් අනෙක් නියමුවා එය ප්‍රතික්ෂේප කළේ ය. මෙය සාමාන්‍ය හෝ අහම්බෙන් සිදු වූ ක්‍රියාවක් නොවන බවට සැකය වැඩි කිරීමට එය හේතු වී තිබේ. විශේෂයෙන් ඉංජිනේරුවන් පවසන පරිදි එම ස්විචවලට විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් ඇති අතර එන්ජින් ගිනි ගැනීම් වැනි බරපතල හදිසි අවස්ථා වලදී පමණක් සිතා මතා ඒවා ක්‍රියා විරහිත කිරීම් සිදු කරයි.

දෙවනුව, ඉන්ධන ස්විච් ලිහිල් වීමට හෝ අසාර්ථක වීමට ඉඩ ඇති බවට 2018 FAA [ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් නිකුත් කළ වාර්තාවක්] අනතුරු ඇඟවීමක් පිළිබඳ මූලික වාර්තාවේදී උපුටා දක්වා තිබේ.

කෙසේ වෙතත්, මෙම යාන්ත්‍රික ගැටලුව නිසා ස්විච දෙක ම එකවර ම නැවතීම සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ නිරවුල් පැහැදිලි කිරීමක් එහි නැත.

මෙය මිනිස් දෝෂයක් ද නැතහොත් දුර්ලභ යාන්ත්‍රික දෝෂයක් ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන තුරු, අනතුරට හේතුව තවමත් නොවිසඳී පවතී.

අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 260 දෙනෙකු මිය ගිය අතර, දිවි ගලවා ගත් එකම බ්‍රිතාන්‍ය ජාතික විශ්වෂ්කුමාර් රමේෂ් ගුවන් යානයේ බඳෙහි සිදුරක් හරහා දිවි ගලවා ගත්තේ ය.

AIR INDIA FLIGHT
යානය කඩා වැටීමට මොහොතකට පෙර ඉන්ධන පාලන ස්විචයන් ක්‍රියා විරහිත වන තත්ත්වයකට පත්ව ඇති බව වාර්තාවෙන් සොයාගෙන තිබේ

මෙතෙක් සිදු වූයේ කුමක් ද?

  • 2025 ජූනි 12: AI171 Air India ගුවන් යානය ගුවන්ගත වී සුළු මොහොතකට පසු කඩා වැටුණු අතර, එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 242 දෙනාගෙන් 241 දෙනෙකු සහ යානය කඩා වැටුණු ස්ථානයේ සිටි පිරිස ද ඇතුළුව පුද්ගලයින් 260 දෙනෙකු මිය ගියහ.
  • 2025 ජූනි 13: එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපද විමර්ශකයින් අනතුරට ලක්වූ ස්ථානයට පැමිණීමත් සමග අනතුරට හේතුව පිළිබඳව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ විමර්ශනය ආරම්භ වූ අතර එදින ම ගුවන් යානයේ පළමු කළු පෙට්ටිය ද සොයා ගන්නා ලදී.
  • 2025 ජූනි 16: අනතුරට ලක්වූ ස්ථානයේ සුන්බුන් අතරින් දෙවන කළු පෙට්ටිය හමු වූ නමුත් නිශ්චිත ස්ථානයක් සඳහන් කර නොමැත.
  • 2025 ජූනි 24: විශේෂඥයින් ගුවන් ගමන් දත්ත උපුටා ගැනීම ආරම්භ කිරීමත් සමග කළු පෙට්ටි දෙක ම ඉන්දීය ගුවන් හමුදාව විසින් දිල්ලියට ගෙන යන ලදී.
  • 2025 ජූනි 25: මෙමරි මොඩියුලය සහ කළු පෙට්ටිවලින් දත්ත සාර්ථකව බාගත කරන ලද අතර, ගුවන්යානයේ පාලනය බිඳවැටීමට තුඩු දුන් සිදුවීම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා විශ්ලේෂණ.
  • 2025 ජූලි 12: අනතුරෙන් දින තිහකට පසු සහ දින 16ක කළු පෙට්ටි විශ්ලේෂණයකින් පසුව, ජාත්‍යන්තර ගුවන් සේවා රෙගුලාසිවලට අනුකූලව මූලික වාර්තාව නිකුත් කරන ලදී. යානය කඩා වැටීමට මොහොතකට පෙර ඉන්ධන පාලන ස්විචයන් ක්‍රියා විරහිත වන තත්ත්වයකට පත්ව ඇති බව වාර්තාවෙන් සොයාගෙන තිබේ.