Air India යානය අනතුරට පත්වුණු අවස්ථාව ලෝකයට ම පෙන්වූ දර්ශන රූගත කළ පාසල් සිසුවා

A collage of stills of a video which shows a plane crashing into a residential colony and bursting into flames in India's Ahmedabad city
ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන්ගත වී තත්පර කිහිපයකින් කඩා වැටෙන ගුවන් යානයේ දර්ශන ආර්යන් අසාරි විසින් රූගත කරන ලදී.
    • Author, සෝයා මටීන්
    • Role, බීබීසී, දිල්ලි

ආර්යන් අසාරි ගුවන් යානයක ශබ්දය ඇසෙන සෑම අවස්ථාවක ම, එය නැරඹීමට නිවසින් පිටතට දිව යයි.

ඔහුගේ පියා වන මාගන්බායි අසාරි පැවසුවේ, ගුවන් යානා නැරඹීම ඔහුගේ විනෝදාංශයක් වූ බව ය. ගුවන් යානාවල එන්ජිමෙන් නැගෙන ශබ්දයට ආර්යන් ප්‍රිය කළ අතර, පසුව ගුවන් යානය ඔහුට ඉහළින් පියාසර කරන විට අහසේ ඉතිරි වන දුමාරය දෙස ඔහු බලා සිටියි.

එහෙත් දැන්, ඒ ගැන සිතීම පවා ඔහුට මානසික පීඩනයක් ඇති කොට තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා, 17 හැවිරිදි ඔහු අහමදාබාද් නගරයේ පිහිටි සිය නවාතැනේ ටෙරසය මත ගුවන් යානා වීඩියෝ කරමින් සිටියදී, Air India Dreamliner 787-8 යානය ඔහුගේ ඇස් ඉදිරිපිට ම කඩා වැටී ගිනිගෙන පුපුරා යාමෙන් යානයේ සිටි 241 දෙනෙකු මිය ගියේ ය. යානය ගැටුණු ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ද මිය ගියහ.

ඒ මොහොත ආර්යන් ඔහුගේ දුරකතනයෙන් ග්‍රහණය කර ගැනීමට සමත් විය.

"මම ගුවන් යානය දැක්කා. ඒක පහළට යමින් තිබුණා. ඊට පස්සේ ඒක ගැස්සිලා මගේ ඇස් ඉස්සරහ ම කඩා වැටුණා," ඔහු බීබීසී ගුජරාටි සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

අනතුරට හේතුව සොයා ගැනීමට උත්සහ කරන විමර්ශකයින්ට තීරණාත්මක ඉඟියක් බවට පත්ව ඇති මෙම වීඩියෝව, මාධ්‍ය හරහා විශාල ලෙස සංසරණය වී ඇති අතර, පාසල් සිසුවෙකු වන ආර්යන් රටේ ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුරුවලින් එකක කේන්ද්‍රස්ථානයේ රැඳී සිටී.

"සම්මුඛ සාකච්ඡාවලට ඉල්ලීම් ගලාගෙන එනවා. වාර්තාකරුවන් දිවා රෑ නොබලා මගේ ගෙදර වටේ ඉඳගෙන එයා එක්ක කතා කරන්න අවස්ථාව ඉල්ලනවා," අසාරි බීබීසීයට පැවසීය.

මෙම සිදුවීම සහ ඉන්පසුව සිදුවූ දේ - ආර්යන් කෙරෙහි "අයහපත් බලපෑමක්" ඇති කර ඇති අතර, ඔහු දුටු දෙයින් කම්පනයට පත්ව සිටී. "මගේ පුතා ගොඩක් බය වෙලා ඉන්නේ. එයා ෆෝන් එක පාවිච්චි කරන එකත් නතර කළා," ඔහුගේ පියා පැවසීය.

Officials inspect the remains of the Air India passenger plane at the crash site near Sardar Vallabhbhai Patel International Airport in Ahmedabad, Gujarat state, western India, 14 June 2025.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් යානය අනතුරට පත්වීමට බලපෑ හේතුව කුමක් ද? යන්න සොයා ගැනීම සඳහා විමර්ශකයෝ තවමත් උත්සහ කරමින් සිටිති
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විශ්‍රාමික හමුදා සෙබළෙකු වන, දැන් අහමදාබාද් නගරයේ මෙට්‍රෝ දුම්රිය සේවයේ සේවය කරන අසාරි, ගුවන්තොටුපළට ආසන්න අසල්වැසි ප්‍රදේශයක වසර තුනක් තිස්සේ පදිංචිව සිටී. ඔහු මෑතකදී තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි කුඩා කාමරයකට මාරු වූ අතර, එහි සිට නගරය ඉහළින් ඇති අහස පැහැදිලිව දැකගත හැකි ය.

ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා - ආර්යන් සහ ඔහුගේ වැඩිමහල් සහෝදරිය - ගුජරාට් සහ රාජස්ථාන් ප්‍රාන්ත අතර මායිම අසල ඔවුන්ගේ පාරම්පරික ගම් ප්‍රදේශයේ ජීවත් වෙති.

"ආර්යන් අහමදාබාද්වලට ආපු පළවෙනි වතාව මේක. ඇත්තට ම එයා ජීවිතේ ගමෙන් පිටට ගිය පළවෙනි වතාව ඒක," අසාරි පැවසීය.

"මම කෝල් කරන හැම වෙලාවෙ ම ආර්යන් අහනවා අපේ ටෙරස් එකෙන් ගුවන් යානා පේනව ද කියලා. මම කියනවා අහසේ ප්ලේන් සිය ගණනක් පේනවා කියලා."

ආර්යන් ගුවන් යානා ගැන උනන්දුවක් දක්වන අයෙකු බවත්, ඒවා ගමට ඉහළින් අහසේ පියාසර කරන ආකාරය නැරඹීමට කැමැත්තක් දක්වන බවත් ඔහු පැහැදිලි කළේ ය. තම පියාගේ නව නිවසේ ටෙරසයේ සිට ඒවා වඩාත් සමීපව දැකගත හැකි බව දැන ගැනීම ඔහුට ඉතා ආකර්ෂණීය විය.

පොලිස් නිලධාරිනියක වීමට කැමැත්තෙන් සිටින අසාරිගේ දියණියට, එහි ප්‍රවේශ විභාගය ලිවීම සඳහා අහමදාබාද් වෙත පැමිණීමට පසුගිය සතියේ අවස්ථාවක් උදා විය.

ආර්යන් සිය සොහොයුරිය සමග අහමදාබාද් වෙත යාමට තීරණය කළේ ය. "එයා මට කිව්වා එයාට අලුත් සටහන් පොත් සහ ඇඳුම් ගන්න ඕන කියලා," අසාරි පැවසීය.

බ්‍රහස්පතින්දා දහවල් වන විට ඔවුන් දෙදෙනා සිය පියාගේ නවාතැන වෙත පැමිණියේ, ගුවන් අනතුර සිදුවීමට ආසන්න වශයෙන් පැය එක හමාරකට පෙර ය.

පවුලේ අය එක්ව දිවා ආහාරය ගත් අතර, පසුව දරුවන් නිවසේ තබා අසාරි රැකියාවට ගියේ ය.

ආර්යන් ටෙරසය මතට ගොස් නිවස වීඩියෝ කළේ, ඔහුගේ මිතුරන්ට පෙන්වීමට ය. එසේ රූගත කරමින් සිටින අතරතුර ගුවන් යානය දුටු ඔහු එය වීඩියෝ කිරීමට පටන් ගත් බව ඔහු බීබීසී ගුජරාටි සේවයට පැවසීය.

ගුවන් යානයේ යම් වරදක් සිදුවෙමින් තිබුණු බව ආර්යන්ට ඉක්මනින් ම වැටහී තිබිණි: "එය ගැස්සෙන ගමන්, වමට යි සහ දකුණට යි හැරෙන්න ගත්තා," ඔහු පැවසීය.

යානය පහළට සර්පිලාකාරව ගමන් කරන විට, සිදුවීමට යන දේ ග්‍රහණය කර ගැනීමට නොහැකිව ඔහු එය රූගත කරමින් සිටියේ ය.

එහෙත්, ඝන දුමාරයෙන් වායුගෝලය පිරී ගිය විට සහ ගොඩනැගිලිවලින් ගින්නක් පිටවන විට, අවසානයේ ඔහුට සිදුවූ දේ වටහාගත හැකි විය.

ඔහු එම වීඩියෝව සිය පියාට යැවූ අතර, දුරකතනයෙන් ඒ බව දැනුම් දුන්නේ ය.

View of Meghaninagar residential area from a rooftop
ඡායාරූප ශීර්ෂ වැකිය, යානය මේඝනීනගර්හි නේවාසික ප්‍රදේශයකට කඩා වැටිණි

"එයා හොඳට ම බය වෙලා හිටිය බව තේරුණා - 'මම ඒක දැක්කා තාත්තේ, මම ඒක කඩා වැටෙනවා දැක්කා' කියලා එයා මට කිව්වා, එයාට මොකක් වෙයි ද කියලා නිතර ම ඇහුවා. මම එයාට කිව්වා කලබල නොවී ඉන්න කියලා," අසාරි පැවසීය. "ඒත් එයා හිටියේ ගොඩක් බය වෙලා."

වීඩියෝව තවදුරටත් බෙදා නොගන්නා ලෙස අසරි තම පුත්‍රයාගෙන් ද ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත්, අතිශයින් බියට හා කම්පනයට පත්වූ ආර්යන් එය ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුට ද යවා තිබේ. "වීඩියෝ ක්ලිප් එක හැම තැනක ම තිබුණ බව අපි පස්සෙ දැන ගත්තා."

ඉන් පසු දින කිහිපය ඔවුන්ගේ පවුලට බියකරු සිහිනයක් මෙන් විය.

අසල්වැසියන්, වාර්තාකරුවන් සහ කැමරා ශිල්පීන් දිවා රෑ නොබලා අසාරිගේ කුඩා නිවසට එන්නට පටන් ගත් අතර, ඔවුහු ආර්යන් සමග කතා කිරීමට ඉල්ලා සිටියහ. "අපට ඔවුන්ව නවත්වන්න බැරි වුණා," ඔහු පැවසීය.

පොලිස් නිලධාරීන් ද පවුලේ සාමාජිකයින් බැලීමට පැමිණි අතර, ඔවුහු ආර්යන් රැගෙන ගොස් ඔහුගේ ප්‍රකාශයක් ද සටහන් කර ගත්හ.

ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබූ ආකාරයට, ආර්යන් පොලිසියේ රඳවා තබා නොගත් බවත්, ඔහු දුටු දේ පිළිබඳව පොලිසිය පැය කිහිපයක් ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් අසරි පැහැදිලි කළේ ය.

"ඒ වෙලාවෙ මගේ පුතා ගොඩක් කලබල වෙලා හිටියෙ, අපි එයාව ආපහු ගමට යවන්න තීරණය කළා."

නිවසට පැමිණි පසු, ආර්යන් නැවත පාසල් යාමට පටන්ගෙන තිබේ. එහෙත්, ඔහු "තවමත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා නෑ. එයාගෙ අම්මා කියනවා, ෆෝන් එක රිං වෙන හැම වෙලාවක ම එයා බය වෙනවා කියලා", අසාරි පැවසීය.

"කාලයත් එක්ක එයා සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි කියල මං හිතනවා. ඒත් මගේ පුතා ආයෙත් අහසේ යන ප්ලේන් බලන්න උත්සහ කරයි කියලා මම හිතන්නේ නැහැ," ඔහු තවදුරටත් පැවසීය.

අතිරේක වාර්තාකරණය: රොක්සි ගජේකාර්, බීබීසී ගුජරාටි, අහමදාබාද්.