ඉපැරණි 'මැද මිදුල්' චීනයේ නිවාස සිසිල් කළ හැටි

Chinese skywell

ඡායාරූප මූලාශ්‍රය, Wuyuan Skywells Hotel

චීනයේ 'අහස් ළිංවල' (skywells) කාලය ගත කිරීමට රූ ලිං බෙහෙවින් ප්‍රිය කරන්නී ය. ඇයට අනුව, පැරණි චීන නිවාසවල තිබූ මෙම මැද මිදුල්, උණුසුම් සහ ආර්ද්‍රතාවයෙන් යුතු දවස් ගත කිරීමට සුදුසු ම ස්ථාන වේ.

"ඒවායේ වාතාශ්‍රය තියෙනවා, සිසිල් වගේ ම හොඳ හෙවනක් තියෙනවා," 40 හැවිරිදි රූ පවසයි.

2014 සිට 2021 දක්වා රූ වාසය කළේ, නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ ගුවාන්ලු ග්‍රාමයේ පිහිටි සියවසක් පමණ පැරණි දැව රාමුවලින් සැකසූ නිවසක ය. ඇය එම නිවසට සංක්‍රමණය වී තිබුණේ, වසර ගණනාවක් පුරා වායුසමනය කරන ලද ගොඩනැගිලිවල ජීවත් වීමෙන් සහ සේවය කිරීමෙන් පසු ජීවිතයට වෙනසක් අවශ්‍ය වූ හෙයිනි.

"ගිම්හාන කාලේ මගේ ගෙදරින් ලැබෙන ස්වාභාවික සිසිල් හැඟීම ගොඩක් නැවුම්, ඒ වගේ ම නූතන ලෝකයේ හොයාගන්න ගොඩක් අමාරු දෙයක්," ඇය පවසයි. "ඒක ගෙදරට හිත සන්සුන් කරවන, සාන්ත ස්වරූපයක් ලබා දෙනවා."

රූ පවසන පරිදි මේ සිසිල නිර්මාණය කිරීමට සහාය වන්නේ නිවසේ ඇති මැද මිදුල ය (skywell). උණුසුම් කාලගුණයක් යටතේ මැද මිදුලේ සිසිල අත්විඳිමින් එය අගය කරන්නේ ඇය පමණක් නොවේ. අධ්‍යයනවලින් අනාවරණය වී ඇත්තේ, දක්ෂිණ චීනයේ ඇතැම් මැද මිදුල්වල උෂ්ණත්වය පිටතට සාපේක්ෂව සෙල්සියස් 4.3ක් දක්වා, සැලකිය යුතු ලෙස අඩු බව ය.

අද ශීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින චීනයේ, මැද මිදුල් සහිත නිවෙස්වල ජීවත් වන පිරිස අඩුවෙමින් පවතියි. වායු සමනය කරන ලද බහු මහල් ගොඩනැගිලි සහ කුළුණු නිවාස (tower blocks) අද චීනයේ ප්‍රධාන නිවාස ආකෘතිය වේ.

එහෙත්, සාම්ප්‍රදායික චීන ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උනන්දුව යළි ඇතිවීම හේතුවෙන් මැද මිදුල් සහිත ‌ඓතිහාසික ‌ගොඩනැගිලි කිහිපයක් නවීන කාලය සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත ය. මේ අතරම, රජයේ මෙහෙයවීම නිසා ගොඩනැගිලි ක්ෂේත්‍රයේ කාබන් විමෝචනය අඩු කිරීම රටේ ප්‍රවණතාවක් බවට පත්වී ඇති හෙයින්, ඇතැම් ගෘහ නිර්මාණ ශිල්පීහු නවීන ගොඩනැගිලි සිසිල්ව තබා ගැනීම සඳහා මැද මිදුල් සහ අනෙකුත් සාම්ප්‍රදායික චීන වාස්තු විද්‍යාත්මක අංග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරති‍.

In a bid to help keep modern buildings cool, architects are drawing inspiration from skywells

ඡායාරූප මූලාශ්‍රය, Wuyuan Skywells Hotel

ඡායාරූප ශීර්ෂ වැකිය, නවීන ගොඩනැගිලි සිසිල්ව තබා ගැනීම සඳහා මැද මිදුල් සහ අනෙකුත් සාම්ප්‍රදායික චීන වාස්තු විද්‍යාත්මක අංග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි

ඉංග්‍රීසි බසින් 'Skywell' හෝ මැන්ඩරින් බසින් 'ටියැන් ජිං' (天井) යනුවෙන් හැඳින්වෙන මැද මිදුල, දකුණු හා නැගෙනහිර චීනයේ සාම්ප්‍රදායික නිවසක සාමාන්‍ය අංගයකි. උතුරු චීනයේ 'යුවන් ෂි' (院子) නමින් හැඳින්වෙන මිදුල්වලට වඩා වෙනස් මේවා ඊට වඩා කුඩා වන අතර, එළිමහන් පරිසරයට වඩාත් අඩුවෙන් නිරාවරණය වී තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

චීනයේ නැන්චැං විශ්වවිද්‍යාල ජර්නලය විසින් 2010 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවකට අනුව, මිං (1368-1644) සහ කිං (1644-1911) රාජ වංශ පාලන සමයන්ට අයත් නිවෙස්වල මැද මිදුල් වැඩි වශයෙන් දක්නට ලැබේ. එම නිවෙස්, විවිධ පරම්පරාවල ඥාතීන් බොහෝ දෙනෙකුට එක්ව විසීම සඳහා නිර්මාණය කර ඇත. මේවායේ මැද මිදුල් ඇතැම් විට කාමර හතරකින් වට වී ඇති අතර, ඇතැම් ගොඩනැගිලිවල මැද මිදුල් කාමර තුනක් සහ බිත්තියකින් වට වී තිබේ. ඇතැම් විශාල නිවාසවල මැද මිදුල් එකකට වඩා තිබේ.

සිචුවාන්, ජියැංසු, අන්හුයි සහ ජියැන්ග්සි වැනි දකුණු හා නැගෙනහිර චීනයේ විශාල ප්‍රදේශයක පිහිටි ඓතිහාසික වාසස්ථානවල ඒවා සාපේක්ෂ වශයෙන් බහුලව දක්නට ලැබේ. නූතන යුගයේ අන්හුයි සහ ජියැංසි අතර පැතිරී ඇති ඓතිහාසික කලාපයක් වන හුයිෂෝයුහි මෙවැනි නිවෙස් හොඳින් සංරක්ෂණය වී තිබෙනු දැක ගත හැකි ය.

ගොඩනැගිලි සිසිල් කර ගැනීම සඳහා මැද මිදුල් නිර්මාණය කෙරුණේ වායු සමීකරණ භාවිතයට පැමිණීමට පෙර යුගයේ දී ය. මැද මිදුලක් සහිත නිවසකට ඉහළින් සුළඟ හමද්දී, එහි විවර වී ඇති කොටසින් එම සුළං නිවස අභ්‍යන්තරයට ඇතුළු වෙයි. එළිමහන් වාතය බොහෝවිට ගෘහස්ත වාතයට වඩා සිසිල් බැවින්, හමා එන සුළඟ බිත්ති දිගේ පහළ තට්ටුවලට ගමන් කරමින් උණුසුම් ගෘහස්ත වාතය විවරය හරහා ඉහළට නැගී පිටතට හමා යන අතර, ඒ වෙනුවට සිසිල් වාතය ආදේශ වීමෙන් වායු ප්‍රවාහ ඇති කරයි.

පනස් පස් හැවිරිදි යූ යෞහොං, ජියැංෂි පළාතේ වුයුවාන් ප්‍රාන්තයේ පැරණි හුයිෂෝයු නගරයේ පිහිටි මැද මිදුල් නිවාස ප්‍රතිසංස්කරණය කරමින් වසර 30කට වැඩි කාලයක් ගත කර තිබේ. චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් පිළිගෙන ඇති ස්පර්ශ කළ නොහැකි සංස්කෘතික උරුමයේ උරුමක්කාරයෙකු ලෙස ඔහු මැද මිදුල් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබා ඇත.

ඔහු පවසන පරිදි මැද මිදුලක ප්‍රධාන අරමුණු වන්නේ ආලෝකයට ඉඩ දීම, වාතාශ්‍රය වැඩි කිරීම සහ වැසි ජලය එකතුකර ගැනීම ය. හුයිෂෝයුහි මැද මිදුල් කුඩා නමුත් උස් වන අතර, එය වටා ඇති කාමරවලට උණුසුම් දිනවල හිරු එළිය අවහිර කළ හැකි ය. එමඟින් මැද මිදුලේ පහත ප්‍රදේශයේ සිසිල්ව තැබීමට හැකිබව ඔහු පවසයි.

මේ අතර, නිවස තුළ ඇති උණුසුම් සුළඟ මැද මිදුලේ නිරාවරණය වී ඇති ස්ථානයෙන් 'චිමිනියක ආකාරයෙන්' ඉහළට ගොස් පිටතට හමා යයි.

"පැරණි හුයිෂෝයු නිවාසවල බිම් මහල්වල සාමාන්‍යයෙන් ඉතා උස් සිවිලිම් තියෙනවා, ඒවා සෘජුව ම අහස දෙසට මුහුණ ලා තිබෙනවා. ඒක වාතාශ්‍රය සඳහා හොඳ යි," යූ පවසයි. "සමහර ධනවත් පවුල්වලට අයිති නිවාසවල මැද මිදුල් දෙකක් හෝ තුනක් තිබෙනවා. ඒ නිසා වඩා හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා."

Hot air inside the house rises up and escapes through the skywell opening, which acts like a chimney

ඡායාරූප මූලාශ්‍රය, Ru Ling

ඡායාරූප ශීර්ෂ වැකිය, නිවස තුළ ඇති උණුසුම් සුළඟ මැද මිදුලේ නිරාවරණය වී ඇති ස්ථානයෙන් 'චිමිනියක ආකාරයෙන්' ඉහළට ගොස් පිටතට හමා යයි

වසර සිය ගණනක සිට චීනයේ මැද මිදුල් සහිත ගොඩනැගිලි පැවතුණ ද, මෑත කාලයේ නවීන පහසුකම්වලට වැඩි කැමැත්තක් දක්වන මිනිසුන්ට ඒවා බොහෝවිට අමතක වී තිබේ. කෙසේ වෙතත්, පසුගිය දශක දෙක තුළ සාම්ප්‍රදායික චීන සංස්කෘතියේ පුළුල් පුනර්ජීවනයේ කොටසක් ලෙස සාම්ප්‍රදායික චීන ගෘහ නිර්මාණ ශිල්පයේ ඇතිවූ පුනර්ජීවනය හේතුවෙන්, මැද මිදුල් සහිත ගොඩනැගිලි නැවත ඉදි වෙමින් පවතියි.

යූ විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මැද මිදුල් සහිත එක් නිවසක් වුයුවාන් ප්‍රාන්තයේ යාන් ගම්මානයේ පිහිටා තිබේ. වසර 300ක් පැරණි එම නිවස එක්සත් රාජධානියේ හිටපු අලෙවි අධ්‍යක්ෂවරයෙකු වන එඩ්වර්ඩ් ගොව්න් සහ ඔහුගේ චීන බිරිඳ වන ලියෝ මින්ෂින් විසින් 2015 වසරේ දී මිල දී ගන්නා ලදී. එම යුවළ විසින් මහල් තුනකින් සමන්විත එම නිවස යූගේ සහය ඇතිව කාමර 14කින් සමන්විත කුඩා හෝටලයක් බවට පරිවර්තනය කෙරිණි.

ගොව්න් සහ ලියෝ සියලු ම අමුත්තන්ගේ කාමරවල වායුසමීකරණ සවි කර තිබුණ ද, ඔවුන් මැද මිදුල් අවට ඇති පොදු අවකාශයන් ඒවායේ මුල් තත්ත්වයෙන්, එනම්, මුද්‍රා නොතැබූ සහ ස්වාභාවික වායු ගලනය සහිතව තබා තිබේ. ගොව්න් පවසන්නේ, වායු සමීකරණයක් නොමැතිව වුව ද ගිම්හානයේ දී මැද මිදුල් ආශ්‍රිත ප්‍රදේශ ඉතා සුවපහසු බව ය. "හැම කෙනෙක් ම නිවසට ඇතුළු වෙද්දී කෙතරම් ස්වභාවික සිසිලක් දැනෙනවා ද කියලා කියනවා."

නව ගොඩනැගිලි සඳහා පරිසර හිතකාමීත්වය වැදගත් අංගයක් වන බැවින් ද, මැද මිදුල්වල වාතාශ්‍රය සහ ආලෝක ක්‍රියාකාරිත්වය හේතුවෙන් ද, මැද මිදුල් වාස්තු විද්‍යාත්මක අංගයක් ලෙස තරුණ පරම්පරා අතර "වඩාත් ජනප්‍රිය" වනු ඇතැ යි ඔහු අපේක්ෂා කරන බව යූ පවසයි.

ස්වාභාවික සුළං නොමැති අවස්ථාවල පවා "චිමිනි ආචරණය" හේතුවෙන් මැද මිදුලක් සහිත නිවසක් තුළ වායු සංසරණය සිදු වේ. මැද මිදුල්වල ඉහළ සහ පහළ ස්ථරයන් අතර උෂ්ණත්වයේ වෙනස නිසා මැද මිදුලේ උණුසුම් වාතය ඉහළ දෙසට හමා යද්දී කාමරවල සිට මැද මිදුලේ පහළ ස්ථරයට සිසිල් වාතය ඇදගනියි.

නූතන චීන පළාත් වන ග්වංෂි, ග්වංඩොං සහ හයිනන් සහ වර්තමානයේ උතුරු හා මධ්‍යම වියට්නාමයේ පිහිටි ඓතිහාසික ප්‍රදේශයක් වන ලිංනන්හි දීර්ඝ කාලයක් පවතින උණුසුම් ගිම්හානය හේතුවෙන්, ඒවායේ නිවාසවල අනෙකුත් ප්‍රදේශවලට වඩාත් කුඩා හා ගැඹුරු මැද මිදුල් ඇත.

ගෘහස්ත ජීවිතය සහ එළිමහන් පරිසරය අතර සංක්‍රාන්තික අවකාශයක් ලෙස, පිටත උණුසුම් වාතයෙන් නිවැසියන් ආරක්ෂා කිරීම සඳහා මැද මිදුල් සාධනීය ඵලදායී තාප ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරයි. එහෙත්, මැද මිදුලේ සිසිල් ආචරණයේ විශාලතම කොටස සැබවින් ම පැමිණෙන්නේ මැද මිදුල අභ්‍යන්තරයේ ජල ස්ථරයන් ඇති විට දී ය.

වාෂ්පීකරණය වූ ජලය උණුසුම් වාතය සිසිල් කරයි. එය වාෂ්පීකරණ සිසිලනය ලෙස හැඳින්වෙන අතර හුයිෂෝයු මැද මිදුල්වලින් හොඳින් පිළිබිඹු වේ. අතීතයේ දී, හුයිෂෝයුහි පවුල් ඔවුන්ගේ මැද මිදුල්වල වැසි ජලය රැස් කළේ එවැනි ක්‍රියාවකින් ඔවුන්ගේ ධනය ආරක්ෂාවේයැ යි සහ වර්ධනය කළ හැකියැ යි ඔවුන් විශ්වාස කළ බැවිනි.

එබැවින් මෙහි ඇති මැද මිදුල වටා ඇති වහලයෙන් ගලා එන වැසි ජලය බැස යාමට ඒ වටා කාණු සකස්කර ඇත. යූ පවසන පරිදි, ඇතැම් ධනවත් පවුල්වලට අයත් නිවාසවල වැසි ජලය පොළොව යටින් ඉදිරිපස ශාලාව වටා ගලා ගොස් නිවසින් පිටවන බව සහතික කිරීම සඳහා මැද මිදුල යටින් කාණු පද්ධතියක් සකසා තිබිණි.

හුයිෂෝයු ප්‍රදේශයේ මැද මිදුල්වල දෛනික භාවිතාව සඳහා ජලය රඳවා ගැනීමට සහ ගිනි නිවීමට විශාල ශෛලමය බඳුනක් ද තබා ඇත. සාම්ප්‍රදායික හුයිෂෝයු ගම්මාන දෙකක මැද මිදුල් සහිත වාසස්ථාන පිළිබඳ 2021 වසරේ දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, මැද මිදුල්වල සාමාන්‍ය උෂ්ණත්වය සාමාන්‍ය බාහිර උෂ්ණත්වයට වඩා බෙහෙවින් අඩු අතර, එය සෙල්සියස් අංශක 2.6-4.3ක් දක්වා අඩු වීමට ප්‍රධාන හේතුව වාෂ්පීකරණ සිසිලනය විය හැකි බව ය.

Skywells act as a heat buffer, shielding residents from hot outside air

ඡායාරූප මූලාශ්‍රය, Zhou Jie

ඡායාරූප ශීර්ෂ වැකිය, පිටත ඇති උණුසුම් වාතයෙන් නිවැසියන් ආරක්ෂා කිරීමට මැද මිදුල් තාප ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරයි

වර්තමානයේ නවීන ගොඩනැගිලිවල නැවත මැද මිදුල් ඉදිකිරීම සඳහා රජයේ නියෝග ප්‍රධාන කාර්යය භාරයක් ඉටුකර තිබේ. 2013 වසරේ සිට චීන මධ්‍යම ආණ්ඩුව, ඒවායේ සමස්ත ජීවන චක්‍රය තුළ සම්පත් ඉතිරි කරන සහ පරිසර දූෂණය අවම කරන හරිත ගොඩනැගිලි ඉදිකිරීමට උනන්දු කරවයි. 2019 වසරේ ඉදිරිපත් කරන ලද රජයේ උපදෙස් අනුව, 2022 වසරේ දී නිම කරන ලද ගොඩනැගිලිවලින් 70%ක් එහි "හරිත" ප්‍රමිතිය සපුරාලිය යුතු අතර, ගොඩනැගිල්ලක ආරක්ෂාව කෙතරම් හොඳ මට්ටමක පවතියි ද සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කෙතරම් පරිසර හිතකාමී ද යන්න ඇතුළු විශේෂිත නිර්ණායක මාලාවක් හඳුන්වා දී තිබේ.

නව ගොඩනැගිලි සැලසුම් කිරීමේ දී බලශක්තිය ඉතිරි කිරීම සඳහා වත්මන් ගෘහ නිර්මාණ ශිල්පීහු මැද මිදුල්හි මූලධර්ම කෙරෙහි අවධානය යොමු කරති. එක් උදාහරණයක් වන්නේ, නැගෙනහිර චීනයේ පිහිටි ජිනාන් නගරයේ ජාතික බර වාහන ඉංජිනේරු තාක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ය. පසුගිය වසරේ නිම කරන ලද මහල් 18කින් යුත් වීදුරු බිත්ති සහිත කුළුණු ගොඩනැගිල්ල මධ්‍යයේ දැවැන්ත අභ්‍යන්තර මැද මිදුලක් ඇති අතර, එය පස්වන මහලේ සිට ඉහළ ම මහල දක්වා විහිදී තිබේ. විදුලි සෝපාන, වැසිකිළි සහ රැස්වීම් කාමර ආදී සියල්ල ම මෙම මැද මිදුල වටා පිහිටා ඇත. එමඟින් ගොඩනැගිල්ලේ ආලෝකය සහ වාතාශ්‍රය වැඩි වන අතර සමස්ත බලශක්ති පරිභෝජනය අඩු වන බව ෂැංහයිහි පිහිටි CCDI සමූහයට අයත් ගෘහ නිර්මාණ ශිල්පීහු පවසති.

ඓතිහාසික හුයිෂෝයුහි කොටසක් වන ෂුයංචෙංහි ජික්සි ප්‍රාන්තයේ ප්‍රාන්තයේ පැරණි නගර ශාලාව තිබූ ස්ථානය 2013 වසරේ දී කෞතුකාගාරයක් බවට ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ මැද මිදුල් කිහිපයක් නිමවමින් එය අවට ඇති හුයිෂෝයු ආකාරයේ ගෘහනිර්මාණ ශිල්පයට ගෞරවය පුදකර ඇත. ඉන් ‌ගොඩනැගිල්ල අභ්‍යන්තරයට වාතය ගලා යන අතර එම භූමියේ පිහිටි පැරණි ගස් කිහිපයක්ම ආරක්ෂා වෙයි.

සමහර උස් ගොඩනැගිලි, ප්‍රායෝගිකත්වය පිළිබඳව සලකා මිදුලක් තැනීමකින් තොරව, වායු ප්‍රවාහ වැඩි කිරීම සඳහා මැද මිදුල්වල වාතාශ්‍රය ලබා ගන්නා මූලධර්මය භාවිත කරයි. නිදසුනක් ලෙස, ග්වංඩොං පළාතේ මහල් 68කින් සමන්විත Dongguan TBA කුළුණ, මැද මිදුල්වලට සමාන ආකාරයකින් ක්‍රියා කරන අභ්‍යන්තර "සුළං නාලවලින්" සෑම තට්ටුවකට ම ස්වභාවික වායු ප්‍රවාහයන් රැගෙන එයි. කුළුණේ සාමාන්‍යාධිකාරීවරයා ප්‍රාදේශීය පුවත්පතකට පැවසුවේ, ස්වාභාවික වාතාශ්‍රය පමණක් භාවිත කරමින් වසන්ත හා සරත් සෘතුවේ දී ගොඩනැගිල්ලේ උෂ්ණත්වය සුවපහසු ලෙස තබා ගැනීම මෙහි අරමුණ බව ය.

The National Heavy Vehicle Engineering Technology Research Centre in the eastern Chinese city of Jinan features a giant skywell

ඡායාරූප මූලාශ්‍රය, CCDI Group

ඡායාරූප ශීර්ෂ වැකිය, නැගෙනහිර චීනයේ ජිනාන් නගරයේ පිහිටි ජාතික බර වාහන ඉන්ජිනේරු තාක්ෂණ පරියේෂණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ දැවැන්ත මැද මිදුලක් තිබේ

ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස පුහුණුව ලබා ඇති නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලයයේ ප්‍රදේශ අධ්‍යයන ආයතනයේ පාරිසරික මානව ශාස්ත්‍ර පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂක වැං ෂෙංෆෙං පවසන පරිදි, මැද මිදුල් වැනි පුරාණ "හරිත ඥානය" වර්තමානයේ දේශගුණ අනුවර්තන සැලසුම් සහ වක්‍රාකාර සිසිලනය පිළිබඳ නව්‍යකරණයන් සඳහා අඛණ්ඩව පෙ‌ළඹවීමක් ඇති කරයි. වක්‍රාකාර සිසිලනය යනු බලශක්තිය භාවිතයෙන් තොරව ගොඩනැගිල්ලක් සිසිල් කිරීම සඳහා සැලසුම් සහ තාක්ෂණය ඇතුළත් කරන ක්‍රමයකි.

කෙසේ වෙත ත්, නවීන සැලසුම් සඳහා මැද මිදුල් ගෙන ඒමේ දී මුහුණ දීමට සිදුවන අභියෝග කිහිපයක් පිළිබඳව වැං අවධානය යොමු කළා ය. ස්වාභාවික ආලෝකය, වාතාශ්‍රය සහ වැසි ජලය එකතු කිරීම සඳහා පහසුකම් සපයන අංගනවල යාන්ත්‍රණයන් හොඳින් දන්නා නමුත් මෙම මූලධර්ම ක්‍රියාත්මක කිරීම අදාළ ප්‍රදේශයට විශේෂිත විය යුතු බව ඇය පවසයි.

සාම්ප්‍රදායික මැද මිදුල් ස්වාභාවික වටපිටාව මත පදනම්ව විවිධ හැඩයෙන්, විශාලත්වයෙන් සහ ලක්ෂණවලින් සමන්විත විය. නිදසුනක් ලෙස, ප්‍රදේශයේ හිරු එළිය හෝ වර්ෂාපතනය කොපමණ ප්‍රමාණයක් පැවතුණේ ද යනාදිය මෙයට අදාළ විය. නවීන ගොඩනැගිලිවලට මැද මිදුල් එකතු කිරීම සඳහා සැලසුම්කරුවන්ට ඔවුන්ගේ ව්‍යාපෘතියේ සන්දර්භය සහ තත්ත්වය පිළිබඳව සංවේදී වීම අවශ්‍ය වී ඇති හෙයින් විශ්වීය විසඳුමක් ලෙස මැද මිදුල් යෙදීම දුෂ්කර කටයුත්තක් වී ඇතැ යි ඇය පැහැදිලි කරයි.

"කෘත්‍රිම ආලෝකකරණය, වායු සමීකරණ සහ ජල සම්පාදනය ඉතා පහසුවෙන් ලබා ගත හැකි තත්ත්වයක් පවතින නිසා, පාරිසරික පිරිවැය ගැන නොතකා අප ඒවා මත යැපෙනවා," ඇය වැඩිදුරටත් පවසයි. "අපේ වර්තමාන හැසිරීම් ගැන නොතකා අතීතයෙන් යම් යම් දේ ඉගෙනීමෙන් තිරසර තත්ත්වයකට ළඟා වීම පහසු දෙයක් නෙවෙයි."

නූතන චීන ජනතාව අතර මැද මිදුල් වැඩි අවධානයට ලක්ව ඇත්තේ මන්දැ යි විමසූ විට වැං පැවසුවේ, මැද මිදුල පවුල් හෝ ප්‍රජාවන් සඳහා රැස්වීම් අවකාශයක් ලෙස භාවිත කිරීමේ අරමුණින් ද නිර්මාණය කර ඇති අතර චාරිත්‍රානුකූල සංකල්ප ද ඊට සම්බන්ධ බව ය. "සමහරවිට කොන්ක්‍රීට් සහ වීදුරු වනාන්තරවල ජීවත් වන මිනිස්සු අතරේ ජීවන රටාවේ වෙනසක් ඇති කර ගන්න ඕන වුණා ම අතීතකාමය ඉස්මතු වීමක් සිදු වෙන්න පුළුවන්."