තුර්කියේ ගුවන් සමාගමකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙක් මරුට

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: අන්කරා ප්‍රහාරය සිදුවුණු ආකාරය
    • Author, වීකි වොන්ග්
    • Role, බීබීසී පුවත්

තුර්කි අගනුවර වන අන්කරා නගරය ආසන්නයේ පිහිටි ගුවන් සමාගමක මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීන් තහවුරු කර තිබේ.

ප්‍රහාරය එල්ල කළ කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් "තවදුරටත් තර්ජනයක් නොමැති බව" එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යෙර්ලිකායා පැවසුවේ ප්‍රහාරයට බොහෝ දුරට සම්බන්ධ වී ඇත්තේ කුර්දි කැරලිකාර කණ්ඩායමක් වන PKK බව පවසමිනි.

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

තුර්කි ආරක්ෂක අමාත්‍යංශය බදාදා අග භාගයේ නිවේදනය කළේ, උතුරු ඉරාකයේ සහ උතුරු සිරියාවේ කුර්දි කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ය.

අගනුවරට කිලෝමීටර් 40ක් (සැතපුම් 25ක්) පමණ දුරින් පිහිටි Turkish Aerospace Industries (TAI) සමාගමේ දොරටුව අසල පුද්ගලයන් දෙදෙනෙකු පමණ ගිනිඅවි අතැතිව වෙඩි තබන ආකාරය බදාදා නිකුත් වුණු විවිධ වීඩියෝවල සටහන් වී තිබිණි.

තුර්කි උපජනාධිපති චෙව්ඩෙට් ඉල්මාස් පැවසුවේ, මියගිය අයගෙන් හතර දෙනෙකු TAI සේවකයින් වන අතර පස්වැන්නා කුලී රථ රියැදුරෙකු බව ය.

ප්‍රහාරය එල්ල කිරීමට පෙර ප්‍රහාරකයන් කැබ් රථ රියැදුරු ඝාතනය කර ඔහුගේ මෝටර් රථය රැගෙන ගොස් ඇති බව එරට මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.

සේවකයින්ගේ වැඩ මුර වෙනස් වන වේලාවක අතරතුර පිපිරීම සිදුව ඇති අතර කාර්ය මණ්ඩලය ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට සිදු වූ බව ද එම වාර්තාවල සඳහන් විණි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 22 දෙනා අතර විශේෂ මෙහෙයුම් බළකා සාමාජිකයින් හත් දෙනෙකු ද සිටින බව යෙර්ලිකායා තහවුරු කළේ ය.

තුර්කිය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය PKK සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති අතර, එම සංවිධානය රටේ සැලකිය යුතු සුළුතර ජන කොට්ඨාසයක් වන කුර්දි ජාතිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් 1980 දශකයේ සිට තුර්කි රාජ්‍යයට එරෙහිව සටන් කරමින් සිටියි.

බ්‍රික්ස් සමුළුව සඳහා රුසියාවට ගොස් සිටින තුර්කි ජනාධිපති රිචෙප් තයිප් එර්දොවාන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග පැවති සාකච්ඡාවකදී මෙම ප්‍රහාරය "අධම ත්‍රස්ත ප්‍රහාරයක්" ලෙස සඳහන් කරමින් හෙළා දුටුවේ ය. එය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය විය.

පසුව ඔහු Xහි දීර්ඝ ප්‍රකාශයක් පළ කරමින් කියා සිටියේ, තර්ජනය සමනය කිරීමට ආරක්ෂක අංශ කඩිනමින් ක්‍රියා කළ බව ත්, "කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට හෝ අපගේ ආරක්ෂාවට තර්ජනයක් වන ඔවුන්ගේ හානිකර අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි වනු ඇති" බව ත් ය.

One of the suspects pictured on CCTV climbing over a turnstile holding a gun at the entrance of Turkish Aerospace Industries' headquarters

ඡායාරූප මූලාශ්‍රය, AP

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ප්‍රහාරයේ විස්තර සම්බන්ධයෙන් තුර්කි බලධාරීන් මාධ්‍ය වෙත සීමා පැනවීමක් කර ඇති අතර, රටේ බොහෝ ප්‍රදේශවල වෙසෙන පුද්ගලයින් යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ එක්ස් වැනි සමාජ මාධ්‍ය භාවිත කිරීමට නොහැකි බව වාර්තා කර ඇත.

තුර්කියේ ගුවන්විදුලි සහ රූපවාහිනී උත්තරීතර කවුන්සිලයේ සභාපති එබුබෙකී සාහින්, සිද්ධියට අදාළ සියලු ම ඡායාරූප සමාජ මාධ්‍යවලින් ඉවත් කළ යුතු බවට අනතුරු ඇඟවූ අතර, "ත්‍රස්තවාදී අරමුණු ඉෂ්ට කරන" එම ඡායාරූප බෙදා නොගන්නා ලෙස ද පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියේ ය.

TAI යනු, වාණිජ සහ මිලිටරි භාවිතය සඳහා විවිධ ගුවන් යානා සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ නිෂ්පාදනය කිරීම සිදු කරන තුර්කියේ ගුවන් සහ අභ්‍යවකාශ කර්මාන්තයේ ඉදිරි පෙළ සිටින සමාගමකි.

එය එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද F-16 ප්‍රහාරක ජෙට් යානා සඳහා බලපත්‍රලාභී නිෂ්පාදකයා ලෙස මෙම නේටෝ සාමාජික රට විසින් නම් කරන ලද සමාගමයි. තුර්කි හමුදාවේ භාවිතය සඳහා පැරණි ගුවන් යානා නවීකරණය කිරීමේදී ද TAI කාර්යභාරයක් ඉටු කරයි.

සමාගමේ ප්‍රධාන හිමිකරුවන් දෙදෙනා වන්නේ තුර්කි සන්නද්ධ බළකාය සහ එහි ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීම සහ මිලිටරි ප්‍රසම්පාදන කළමනාකරණය සම්බන්ධ තුර්කි රජයේ සිවිල් අංශයකි.

මෙම ප්‍රහාරය සිදු වූයේ, ඉස්තාන්බුල්හි මෙම සතියේ ආරක්ෂක සහ ගුවන් හා අභ්‍යවකාශ කර්මාන්තය සම්බන්ධ ප්‍රධාන පෙළේ වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතරතුර ය.