තරුණයෙකුට සවලකින් පහර දීම: පහර කෑ තරුණයාගේ මව පවසන්නේ කුමක් ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

තරුණයෙකුට තවත් තරුණයින් පිරිසක් විසින් සවලකින් පහර දෙනු ලබන වීඩියෝවක් ඉකුත් දා සමාජ මාධ්‍ය පුරා සංසරණය වීමෙන් පසුව ලද පැමිණිල්ලකට අනුව එම පහර දීමට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම පහර දීමට අදාළව ප්‍රසිද්ධ නිරූපණ හා රංගන ශිල්පිනියකගේ පුත්‍රයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවේ.

ඒ හේතුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩි පිරිසකගේ අවධානය යොමුව ඇති අතර, එහි පසුබිම පිළිබඳව සොයා බැලීමට බීබීසී සිංහල පහර කෑමට ලක්වූ තරුණයාගේ මව සම්බන්ධ කර ගත්තේ ය.

පහර කෑ තරුණයාගේ මව පවසන්නේ කුමක් ද?

මෙම සිදුවීම මීට මාස දෙකකට පමණ ඉහතදී සිදුවූවක් බව තරුණයාගේ මව ආර්.වී.එම්. රාජමන්ත්‍රී බීබීසී සිංහල වෙත කියා සිටියා ය.

"යාළුවෙක් එක්ක බයික් එකට කෑල්ලක් ගේන්න ගියේ. වැස්ස නිසා තමයි රාජගිරියේ, අඹගහ හන්දියේ ගැරජ් එකක් ගාව නතර වෙලා තියෙන්නේ. නතර වෙලා ඉද්දි තමයි ගැරජ් එක ඇතුළට ඇදගෙන ගිහිල්ලා ගහලා තියෙන්නේ."

මෙසේ පහර දීමට හේතු වී ඇත්තේ පහර කෑ තරුණයාගේ මිතුරන් පිරිසක් මීට ඉහතදී පහර දුන් තරුණයාගේ යතුරු පැදියකට කකුලකින් පහර දීමේ සිදුවීමක් බව ඇය පැවසුවා ය.

'මම ගිහිල්ලා සාමදාන කළා'

මෙම සිදුවීමෙන් අනතුරුව, පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මව සමාජ මාධ්‍ය ඔස්සේ දැක ඇති අතර පසුව ඒ පිළිබඳව තම පුත්‍රයාගෙන් විමසා දෙපාර්ශවය සාමදාන කළ බව ආර්.වී.එම්. රාජමන්ත්‍රී සඳහන් කළා ය.

කෙසේ වෙතත්, තමන් සමාජ මාධ්‍යවල දුටු වීඩියෝව තම පුත්‍රයාට "අමානුෂික ලෙස පහර දෙන" කොටස් නොතිබූ බව ඇය පැවසුවා ය.

"මාස දෙකකට කලින් වෙච්ච සිද්ධියක් නේ මේක. එතකොට මම ගිහිල්ලා සාමදාන කළා. එහෙම වෙන්න මම සිද්ධිය දැනගත්තේ ඒ ටික්ටොක් වීඩියෝ කෑල්ලෙන්. ඒක එදා ම අයින් කළා. මම ඒ ළමයි හොයලා ඒ අයට කතා කරලා ඒක අයින් කළා."

'නිරූපණ ශිල්පිණියගේ පුතා ෆේස්බුක්හි පළ කළ වීඩියෝව'

එම සිදුවීම එසේ අවසන් වී තිබිණි. එවැනි පසුබිමක තම පුත්‍රයාට "ආමනුෂික ලෙස" පහර දෙන වීඩියෝව සාමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත්තේ, ප්‍රශ්නගත නිරූපණ ශිල්පිනියගේ පුත්‍රයා යැයි පහර කෑමට ලක්වූ තරුණයාගේ මව බීබීසී සිංහල වෙත පැවසුවා ය.

"එයා මගේ ළමයාට කතා කරලා කිව්වා ලු උඹ දේවාල පාරේ නේද, උඹට හොඳ වැඩක් කරන්නම් කියලා. එහෙම කිව්වා ම අපේ ළමයා කිව්වා ලු උඹ කරලා බලපන් කියලා. ඊට පැය දෙකකට විතර පස්සේ තමයි ඔය වීඩියෝ එක දාලා තියෙන්නේ."

පහර දෙන අවස්ථාව රූගත කර ඇත්තේ ද පහර දුන් තරුණයාගේ පාර්ශවයෙන් බව ද ආර්.වී.එම්. රාජමන්ත්‍රී පැවසුවා ය.

'බලන්න බෑ මගේ දරුවාට ගහන ගැහිල්ල'

එම වීඩියෝව පහර කෑ තරුණයාගේ මවගේ මිතුරියක විසින් පෙන්වනු ලැබීමෙන් අනතුරුව ඇය ඒ පිළිබඳව නීත්‍යනුකූල පියවර ගෙන තිබේ.

"කොල්ලෝ කොලු කාලේ ගහගන්නවා, රණ්ඩු වෙනවා. මම එහෙම හිතුවේ. මේච්චර දෙයක් කියලා දන්නේ නැහැ. එහෙම දන්නවා නම් පපුව පැලිලා මැරෙනවා මුලින් ම දැනගත්ත වෙලාවේ."

"මම තමා වීඩියෝ එක දැක්කේ නෑ හරියට ගහන. මට තාම බලන්න බැහැ. බලන්න බෑ මගේ දරුවාට ගහන ගැහිල්ල. එච්චර හයියක් මගේ දරුවාට ගහන්න. ඒ ගුටි කාගෙන හිටපු එක, ජීවතුන් අතර ඉන්න එක.

"ඒ ගහන එක වීඩියෝ කරලා. ඒක හංගගෙන ඉඳලා, ඒක දාලා. ඇයි මෙහෙම කරන්නේ මේ දරුවෝ. මගේ දරුවාට පාරේ බැහැලා යන්න විදිහක් නැති කළා. මට රස්සාව කර ගන්න නැති කළා. ඇත්තට ම මට හරි ම දුකයි, මම කාටවත් කිව්වේ නැති වුණාට," ඇය සංවේදී වෙමින් බීබීසීය වෙත පැවසුවා ය.

'මගේ දරුවා මළා නම් පියුමි හංසමාලි ඔය දුක්ගැනවිලි දායි ද ෆේස්බුක් එකේ?'

"මම දන්නේ නැහැ මගේ දරුවා කොහොම දරාගෙන හිටියා ද කියලා ඔය ගුටි ටික. එක පාරක් ද දෙකක් ද, අර ත්‍රීවිල් එක වටේ දුවනවා, 'නෑ මම නෙමෙයි අයියේ මම නෙමෙයි' කියලා, ඒ කියද්දි අර සවලෙන් ගහන්නේ.

"අද මගේ දරුවා මළා නම් පියුමි හංසමාලි ඔය දුක්ගැනවිලි දායි ද ෆේස්බුක් එකේ. මම කාගෙත් එක්ක ද ෆයිට් කරන්නේ දෙයියනේ එහෙම වුණොත්. මගේ ළමයා ඔය ෂොට් එක පියුමි හංසමාලිගේ ළමයාට ගැහුවා නම් මගේ ළමයා ජීවතුන් අතර ඉඳී ද. මට කෝටියක් දුන්නත් වටිනවා ද දරුවා තරම්. මම දහදුක් විඳලා හදාගත්ත දරුවෝ මේ," යැයි ඇය තවදුරටත් පැවසුවා ය.

සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ, පුද්ගලයෙකුට සවලකින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 9 වන දා වැලිකඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙබරවාරි 11 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

බොරැල්ල, වත්තල හා කොලොන්නාව ප්‍රදේශවලින් පුද්ගලයන් 5 දෙනෙකු සහ අනතුරුව වැලිකඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එම නිවේදනයේ සඳහන් විය.

සැකකරුවන් අවුරුදු 15ත් 24ත් අතර පසුවන රාජගිරිය, බොරැල්ල, කොලොන්නාව හා වත්තල පදිංචිකරුවන් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

අදාළ සැකකරුවන් පෙබරවාරි 11 වන දා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 16 වන දා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමටත්, සැකකරුවන් දෙදෙනෙකු මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට සහ ඉතිරි සැකකරුවන් රක්ෂිත බන්ධනාගරගත කිරීමටත් මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය නියෝග කළේ ය.