දකුණු ඉන්දීය සුපිරි නළු විජේගේ රැළියේ තෙරපීමෙන් 39 දෙනෙකු මරුට

- Author, බීබීසී සිංහල
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති දේශපාලන රැළියක ඇති වූ තෙරපීමකින් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රාන්ත නිලධාරීහු පවසති.
ජනප්‍රිය සිනමා නළුවෙකු හා දේශපාලනඥයෙකු වූ විජේ වෙනුවෙන් දකුණු ඉන්දීය කරූර් දිස්ත්‍රික්කයේ පැවති ප්‍රචාරක රැළියට සෙනසුරාදා දස දහස් ගණනක් ජනයා රැස්ව සිටියහ.
රැළිය පැය කිහිපයක් ප්‍රමාද වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. රූපවාහිනියේ විකාශය වූ දර්ශනවල දැක්වුණේ, දහස් සංඛ්‍යාත සෙනඟ අතරේ ඇතමුන් ක්ලාන්ත වී වැටෙන ආකාරයයි.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් කරූර් හිදී වාර්තාකරුවන්ට පැවසුවේ 39 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 51 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
මියගිය සංඛ්‍යාවට අවම වශයෙන් කාන්තාවන් 17 දෙනෙකු, පිරිමින් 13 දෙනෙකු සහ ළමුන් නව දෙනෙකු ඇතුළත් බව ඔහු පැවසීය.
මියගිය අයගේ පවුල්වලට රුපියල් මිලියනයක (ඩොලර් 11,300; පවුම් 8,400) වන්දි ලබා දෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් ස්ටාලින් වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට පවුලේ සාමාජිකයන් සහභාගී වූ එක් පුද්ගලයෙක් රෝහලකින් පිටත සිට ඉන්දීය ප්‍රවෘත්ති ඒජන්සියක් වන ANI වෙත අදහස් දක්වා සිටියේ ය.
"මගේ සහෝදරයාගේ දරුවන් දෙදෙනා එතන හිටියා. පිරිමි ළමයින් දෙදෙනෙක්. වැඩිමහල් දරුවා මිය ගියා, බාල සහෝදරයා අතුරුදහන්. මගේ නෑදෑයන්, මගේ නෑනා, දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා. මං මොකක් කරන්න ද දැන්" ඔහු පැවසීය.
අන්තර්ජාල වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් විජේ පැවසුවේ ඔහුගේ හදවත "බිඳී" ඇති බවත් ඔහු "දරාගත නොහැකි, විස්තර කළ නොහැකි වේදනාවකින් සහ ශෝකයකින්" පෙළෙන බවත්ය.
මියගිය අයගේ පවුල්වලට ඔහු සිය "දැඩි ශෝකය " පළ කළ අතර රෝහල්ගතව සිටින අයට "ඉක්මන් සුවය" ප්‍රාර්ථනා කළේය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි X හි සටහනක් තබමින් මෙම සිදුවීම "අවාසනාවන්ත" සහ "අතිශයින්ම කණගාටුදායක" බව පැවසීය.
ඉන්දියාවේ මාරාන්තික තෙරපීම් පිළිබඳ සිදුවීම් අසාමාන්‍ය දෙයක් නොවන අතර, මේ වසරේ පමණක් එවැනිම ඛේදජනක සිදුවීම් කිහිපයක් සිදුවී ඇති අතර, සුප්‍රසිද්ධ කුම්භ මේලා හින්දු උත්සවයේදී සහ ක්‍රිකට් ක්‍රීඩාංගණයකින් පිටතදී ද ඒ හා සමාන ඛේදජනක සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
'ආහාර හා ජල හිඟය'
රැළියට සහභාගී වූ වේලුචමිපුරම්හි පදිංචි දුර්ගා දේවි පැවසුවේ ඇය සෙනඟගෙන් යන්තමින් බේරුණු බවයි.
"උදෑසන සෙනඟ ලොකු පිරිසක් හිටියේ නෑ. විජේගේ පැමිණීම ප්‍රමාද වෙච්ච හින්දා ජනතාව තවත් වැඩිවුණා. ගමට පිටතින් විශාල වශයෙන් පිරිස් පැමිණියා. ඊයේ ප්‍රචාරක රැස්වීම නිසා සාප්පු සහ අවන්හල් වසා දාල තිබ්බේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගමට පිටතින් පැමිණි අයට ආහාර සහ වතුර තිබ්බේ නෑ. හවස් කාලයේ රැළිය ආරම්භ වීමටත් කලින් ගොඩ දෙනෙක් ක්ලාන්ත වෙලා වැටුණා," ඇය පැවසුවාය

එම ගමේම විශ්‍රාමික රජයේ සේවකයෙකු වන ආනන්ද් කුමාර් පවසන්නේ ගර්භනී කාන්තාවන් සහ දරුවන් උදෑසන සිටම රැළිය ආරම්භ වන තුරු බලා සිටි බවයි.
"කරූර්හි මෙතරම් සෙනඟක් මං කවදාවත් දැකලා නැහැ. විජේ හවස් වරුවේ පැමිණියත්, දහවල් ඉදලා සෙනඟ පිරිලා හිටියේ. ඔවුන් ගැබිනි කාන්තාවන් සහ දරුවන් ගෙන ආවේ කොහොමද කියලා මං දන්නේ නෑ," ඔහු පැවසීය.














