ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ICC Women's World Cup: පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 59ක ජයක්
- Author, බීබීසී සිංහල
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති පළමු තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට (DLS) අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 59කින් ජය ගත්තේය.
තරගය පැවත්වුණේ, ඉන්දියාවේ ගුවාතිහිදී ය.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළාය.
තරගය ආරම්භයට පෙර දෙරටේ ජාතික ගීය ගැයූ අවස්ථාව ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත්තේය.
ගායන ශිල්පිනී නුවන්ධිකා සේනාරත්න ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කළ අතර, ශ්‍රියා ඝෝෂාල් ඉන්දීය ජාතික ගීය ගායනා කළාය.
අවස්ථා දෙකකදී වර්ෂාවෙන් බාධා
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ඉනිම අතරතුර අවස්ථා දෙකකදී වර්ෂාවෙන් බාධා එල්ල විය.
එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා වූයේ ඉන් අනතුරුවයි.
ඉන්දීය කණ්ඩායමේ මුල් පෙල කඩුලු 6 ලකුණු 124කදී දවා ගැනීමට ඉනෝකා රණවීර ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ප්‍රාතිකා රාවල් ලකුණු 37ක් රැස් කළ අතර හර්ලීන් ඩියෝල් ලකුණු 48ක් රැස් කළාය.
දීප්ති ශර්මා සමග එක් වූ අමන්ජෝට් කෞර් ඉන්දීය 7 වැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් ගොඩනැගූහ.
අමන්ජෝට් කෞර් ලකුණු 57 ක් රැස් කළ අතර ඊට 4 පහර 5ක් සහ 6 පහරක් ඇතුළත් විය.
දීප්ති ශර්මා ලකුණු 53ක් රැස් කළාය.
ඉනෝකා රණවීර ලකුණු 46ට කඩුලු 4ක් සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 2ක් දවා ගත්හ.
ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 47 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 269ක් රැස් කළේය.
ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 47කදී හිමි වූ ඉලක්කය ලකුණු 271කි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස හසිනි පෙරේරා ලකුණු 30කට දැවී ගියාය.
නායක චමරි අතපත්තු 4 පහර 4ක් සහ 6 පහර 3ක් සමගින් ලකුණු 43ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29ක් රැස් කළාය.
විශ්මි ගුණරත්න ලකුණු 11කට දැවී ගියාය.
ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 4 ලකුණු 105කදී බිද වැටුණි.
නිලක්ෂිකා ද සිල්වා ලකුණු 35ක් රැස් කළාය.
ඒ 4 පහර 4ක් සහ 6 පහරක්ද සමගිනි.
දීප්ති ශර්මා ලකුණු 54ට කඩුලු 3ක් දවා ගත්තාය.
ස්නේ රානා සහ ශ්‍රී චරනි කඩුලු 2 බැගින් දවා ගත්හ.
පන්දුවාර 45යි පන්දු 4කදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 211ක් පමණි.
තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය (ඔක්තෝබර් 4 වැනිදා) ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.