රිචර්ඩ් ද සොයිසා: 'ඔහු ප්‍රේමණීය පුද්ගලයෙක්. ඔහු තමන්ගේ ම ලෝකයක ජීවත් වුණේ'

Richard de Zoysa

ඡායාරූප මූලාශ්‍රය, Family of Richard de Zoysa

    • Author, හරිනි දිසානායක
    • Role, බීබීසී සිංහල

"මං එදත් මාධ්‍යවේදියෙක්. අදත් මාධ්‍යවේදියෙක්," රිචර්ඩ් ද සොයිසාගෙන් අද ඔහු කවුද කියා කෙනෙක් ඇසුවොත් ඔහු මෙසේ කියාවි, එකල රිචර්ඩ් ද සොයිසාගේ සමකාලීන මාධ්‍යවේදියෙකු වූ අරුන් ඩයස් බණ්ඩාරනායක හැඟුම්බර මුහුණකින් යුතුව බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

මීට වසර 35කට පෙර එනම්, 1990 වසරේ පෙබරවාරි මස 18 වන දා රාජගිරිය, වැලිකඩවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහු වාසය කළ නිවසේදී රිචර්ඩ් ද සොයිසා නම් මාධ්‍යවේදියා නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන විට ඔහු 31 හැවිරිදි වියේ පසුවිය.

1990 වසරේ පෙබරවාරි මස 19 වන දා ධීවරයින් පිරිසකට රිචර්ඩ් ද සොයිසාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හමුවූයේ, මොරටුව කොලරවැල්ල ආසන්න වෙරළ තිරයේදී ය.

රිචර්ඩ් ද සොයිසාගේ ඝාතනය කෙරෙහි මෙරට තුළ මෙන්ම ම ලෝකයේ ද අවධානය යොමු වී තිබුණු අතර ඔහුගේ ඝාතනය ගැන සෙවීමට විමර්ශන කමිටුවක් ද පත් කෙරිණි.

ඔහු පැහැර ගැනීම සහ ඝාතනය පිළිබඳ සමාජ මාධ්‍යවල සහ ඉන්ටර්නෙට්හි නොයෙකුත් මත සහ ලිපි පළවී ඇතත්, සිද්ධිය පිළිබඳ යළි ආවර්ජනයකට වඩා මෙම ලිපියෙන් අපේක්ෂා කෙරෙන්නේ, රිචර්ඩ් ද සොයිසා නමැති මාධ්‍යවේදියා පිළිබඳ මතකාවර්ජනයක් සිදු කිරීම ය.

රිචර්ඩ් ද සොයිසා යනු කවුද?

1958 මාර්තු 18 වන දා රිචර්ඩ් මානික් ද සොයිසා, ලූෂන් එඩ්වර්ඩ් ද සොයිසා සහ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු යන යුවළට දාව උපත ලැබී ය.

පිය උරුමයෙන් කලාවට ලැදිවූ රිචර්ඩ් ද සොයිසා, ලේඛකයෙකු, කවියෙකු, නළුවෙකු මෙන් ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස ද බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ ය.

පියා, මවගෙන් වෙන්වීමත් සමග රිචර්ඩ් සිය මව සමග ලයිබීරියාවේ පදිංචියට ගියේ ය. ඒ සමග ඔහු යම් කාලයකට ශ්‍රී ලාංකික සමීපතමයින්ගෙන් ඈත්ව සිටියේ ය.

පසුව රිචර්ඩ් ද සොයිසා ලංකාවට නැවත පැමිණියේ වඩාත් පරිණත පුද්ගලයෙකු ලෙස බව ඔහුගේ සමීපතමයින්ගේ අදහස යි. ඉන්පසු ඔහු වේදිකා නාට්‍යවලට ද දායක විය.

අඳුරු මතකයක් වූ පෙබරවාරි 18

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1990 පෙබරවාරි 18 වන දින, ඔහුගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු සමග නිවසේ රැඳී සිටියදී, රිචර්ඩ් ද සොයිසා පැහැරගෙන යනු ලැබිණි.

සන්නද්ධ පුද්ගලයින් පිරිසක් ඔහුගේ නිවසට කඩා වැදී ඔහු බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබිණි.

ඔහුගේ මව ඒ පිළිබඳව වහා ම වැලිකඩ පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් කර තිබිණි. පසුව, පෙබරවාරි 19 වන දා එනම් ඊට පසු දා ධීවරයින් දෙදෙනෙකුගෙන් ලද තොරතුරකට අනුව, මොරටුව කොලරවැල්ල අවට වෙරළ තීරයකට ගොඩ ගසා තිබියදී ඔහුගේ මළ සිරුර සොයා ගැනිණි.

මාධ්‍ය ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී, ඔහු රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරය දැරූ පාලනය කාලයේදී සිදු කරන ලද බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ මර්දනකාරී ක්‍රියා පිළිබඳ දැඩි විවේචකයෙකු ලෙස බොහෝ දෙනා හැඳිනගෙන සිටියහ.

සොයිසාගේ ඝාතනය 1980 දශකයේ ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ මානව හිමිකම් කතිකාවන්හි තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස පෙන්වාදිය හැක. ප්‍රභූ සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත, කොළඹ ප්‍රමුඛ පෙළේ පවුල් දෙකක දරුවෙකු වූ රිචර්ඩ්ගේ ඝාතනය, එකල සිදුවූ ඝාතන සහ අතුරුදන් වීම් අතරින් රටේ අවධානය වැඩි වශයෙන් යොමු වූ සිද්ධියක් විය.

The places Richard got kidnapped and his body found.

මනෝරාණි සහ රිචර්ඩ්

රිචර්ඩ් ද සොයිසා වෙනුවෙන් මනෝරාණි කළ අරගලය ඔවුන් අතර පැවති බැඳීම මනාව පැහැදිලි කරයි. ඔවුන්ගේ බැඳීම පිළිබඳව අරුන් ඩයස් බණ්ඩාරනායක මතකය ආවර්ජනය කළේ මෙලෙස යි.

"මං ඇයට කතා කළේ, "ආන්ටි බබියා" කියලා. සොයිසා තමයි ඇගේ ජීවිතයේ අංක එක. ඔහු කරපු දේවල්වලින් ආන්ටි ගොඩක් සතුටු වුණා. ඒ බැඳීම මව සහ පුතාට වඩා සමීප බැඳීමක්. එයාලා හොඳ ම යාළුවෝ වගේ. ඇය සොයිසාගේ වැඩවලට කිසි බාධාවක් කරපු කෙනෙක් නෙවෙයි. ඇය නිතර ම ඔහුට "පුතා, පරිස්සම් වෙන්න" කියනවා. ඒකට සොයිසා දුන්න පිළිතුර වුණේ, "කරදර වෙන්න එපා, මං කරන දේ මං දන්නවා" කියන එක. ඒ නිසා ඇය ආයේ ආයේ ඒ ගැන කතා කළේ නැහැ."

එසේ ම, රිචර්ඩ් ද සොයිසාට යුක්තිය ඉටු කිරීමට මනෝරාණි ගෙන ගිය අරගලයේ අවසානය පිළිබඳ ඔහුගේ ඥාති සොයුරෙකු වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පළ කළේ, මෙවන් අදහසකි.

"සොයිසාගේ සිද්ධියේදී, ඇයට යම් විදියකින් යුක්තියක් ඉටු වුණු බවක් ඇයට දැනුණා. මොක ද කියනව නම්, හිටපු ජනාධිපති ප්‍රේමදාස, රොනී ගුණසිංහ, රන්ජන් විජේරත්න කියන අයගේ මරණත් එක්ක, ප්‍රධාන අපරාධකරුවන්ට දිව්‍යමය යුක්තියක් ලැබුණා වගේ හැඟීමක් ඇයට තිබුණා."

රිචර්ඩ්ගේ කලා කටයුතු

රිචර්ඩ් ද සොයිසා සම්බන්ධ වූ කලා කටයුතු ගැන සඳහන් කරන විට, ශ්‍රී ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයේ මුල් පුරෝගාමියෙකු ලෙස හැඳින්වෙන නීඩ්‍රා විට්ටච්චිගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වූ 'Smart Ass' වේදිකා නාට්‍යයට, 1978දී දායක විය.

1984දී තිරගත වූ, ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමෙරිකානු ක්‍රියාදාම-ත්‍රාසජනක චිත්‍රපටයක් වන ''Indiana Jones and the Temple of Doom'' හි, ස්වදේශික තරුණයෙකුගේ චරිතයකට ඔහු රංගනයෙන් දායක විය.

ඔහු රංගන ශිල්පියෙකු ලෙස ශ්‍රී ලාංකිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ, 1985දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, 'යුගාන්තය' චිත්‍රපටයේ මාලින්ගේ චරිතය තුළිනි.

තව ද, 1985දී ඔහු සෝමවීර සේනානායකයන්ගේ නවකතාවක් ආශ්‍රයෙන් පරාක්‍රම නිරිඇල්ල විසින් නිර්මාණය කරන ලද 'යශෝරාවය' ටෙලිනාට්‍යයට ද රංගනයෙන් දායක විය.

1987දී මාර්ටින් වික්‍රමසිංහගේ නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කළ ''විරාගය'' චිත්‍රපටයේ ද ඔහු භූමිකාවක් රඟ දැක්වීය.

මීට අමතරව, ලක්ෂ්මන් පෙරේරාගේ නිෂ්පාදනයෙන්, රිචර්ඩ් ද සොයිසා විසින් රචනා කරන ලද "මේ කවුද? මොනව ද කරන්නේ?" නමින් සිංහල වේදිකා නාට්‍යයක් නිර්මාණය කරමින් සිටි බව වාර්තා වුවත්, එය මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ බවට සනාථ කර ගත හැකි තොරතුරු හමුවූයේ නැත.

"දෙහිවල ප්‍රදේශයේ එහෙම අපිට ඒ නාට්‍යයේ ප්‍රචාරක පෝස්ටර් එහෙම දකින්න ලැබුණා. ඒත් සොයිසා ඒකට කොච්චර සම්බන්ධ ද කියලා කව්රුත් හරියට දැනගෙන හිටියේ නැහැ.''

''මටත් ඒ ගැන අහන්න ලැබුණේ හිටපු අමාත්‍ය සී.වී. ගුණරත්නගෙන්. "That's a chap, who is keeping the faith", එහෙම තමයි ඔහු සොයිසා ගැන කිව්වේ.''

''මිනිස්සු තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පැකිළෙන කාලයක, රිචර්ඩ් තමන්ගේ කලා හැකියාව ඒ වෙනුවෙන් භාවිත කළා," ජ්‍යෙෂ්ඨ නිවේදක වන අරුන් ඩයස් බණ්ඩාරනායක බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර, රිචර්ඩ් ද සොයිසාගේ ජීවිතය සම්බන්ධයෙන් බීබීසී රේඩියෝහි 'The Last Time I Saw Richard' නමින් විල් රිචර්ඩ්ස්ගේ අධ්‍යක්ෂණයෙන් වාර්තාමය නාට්‍යයක් ද නිර්මාණය කෙරිණි.

'මං ඇත්තට ම පුදුම වුණා'

Arun Dias comments on Richard.

සිය මිතුරෙකු වන රිචර්ඩ් ද සොයිසාගේ රංග කුසලතා මෙන් ම ලිවීමේ හැකියාව ගැන ප්‍රවීණ නිවේදක අරුන් ඩයස් බණ්ඩාරනායක සිය මතකය අවදි කළේ මේ අයුරිනි.

"ඔහුව මට මුලින් ම මුණගැහුණේ පාසල් කාලයේ. අපි ඉගෙනුම ලැබුවේ එක ම පාසලේ. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ. ඔහු මට වඩා පන්ති කීපයක් පහළින් හිටියේ. රිචර්ඩ්ගේ පියා ගැන දැනගෙන හිටිය නිසා රිචර්ඩ් කවුද කියලා මං දැනගෙන හිටියා.''

''එයාගේ තාත්තා ලූෂන් ද සොයිසා, ප්‍රසිද්ධ ක්‍රීඩා විචාරකයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේ ම නාට්‍යකරුවෙක්. මං මුලින් ම රිචර්ඩ්ව දැක්කේ පාසලේ ළමා නාට්‍යයක සිංහයෙකුගේ චරිතයක් රඟපෑවා. 1970දී, අපේ පාසලෙන් මහජන ප්‍රදර්ශනයට වේදිකා නාට්‍යයක් කිරීමට වැඩ පටන්ගත්තා.''

''අපේ පාසලෙන් ඒ වගේ මහජන ප්‍රදර්ශනයට නාට්‍යයක් කරපු පළවෙනි අවස්ථාව ඒක. ඒ නිසා හැමෝම ඒ ගැන හරි උනන්දුවෙන් හිටියේ. රිචර්ඩ් ඒ නාට්‍යයේ චරිතයක් කළා.''

''ඒ වෙද්දී මට මතක හැටියට ඔහුට වයස 14ක් හෝ 15ක් වගේ ඇති. ඔහු ඒ චරිතය නිරූපණය කරපු විදියට, එයට සූදානම් වෙලා තිබ්බ විදියට මං ඇත්තට ම පුදුම වුණා වගේ ම ඔහු ගැන සෑහෙන පැහැදීමක් ඇති වුණා.''

''එතනදි මට තේරුණා, ඔහුගේ වයසට වඩා ඔහුට බොහෝ දේවල් ගැන අදහසක් තියෙනවා කියලා. ඒ වගේ ම, ඔහු පාසල් සඟරාවටත් ලිව්වා. ඔහු ඒ ලියපු ලිපි හරි ම පරිණත යි වගේ ම ඒ හිතන විදිය හරි ම අලුත්. 'එකෝමත් එක රටක' කියලා ලියනවා වගේ නෙවෙයි. හරි ම අලුත්.''

'කලින් කිව්ව විදිහට ම ඔහුගේ පියා ගැනත් මං දැනන් හිටපු නිසා, රිචර්ඩ්ගේ මේ හැකියාවන් ගැන පුදුම වෙන්න දෙයක් නැහැ කියලා මට තේරුණා. රිචර්ඩ්ගේ අම්මා, මනෝරාණිවත් දැන ගන්න සහ අඳුරගන්න හම්බ වුණෙත් ඒ කාලේ. ඒක තමයි ඔහු ගැන මට තියෙන මුල් ම මතකය.''

''රූපවාහිනියේ ඉන්න කාලේ දවසක් අපි කතා කළා මට මතක යි. මම ඔහුගෙන් ඇහුවා, 'ඔයා ඇත්තට ම කවුද? කවුරු හරි ඔයාගෙන් ඔයාගේ රස්සාව මොකක් ද කියලා ඇහුවොත්, ඔයා නාට්‍ය රචකයෙක් ද නැත්නම් වෙන කවුරු හරි ද?" කියලා. එයා කිව්වා "ඔයාට මං මාධ්‍යවේදියෙක් කියලා හඳුන්වන්න පුළුවන්," කියලා.

''ඊට පස්සේ මට තේරුණා ඔහු ඒ කොටස ඔහුගේ වෘත්තිය විදිහට අරගෙන කියලා. ඒ සියල්ල කරමින් සිටියදී පවා, ඔහු නාට්‍යවල රඟපෑම් කටයුතු කළා. ඔහු පෙරහුරු සඳහා කාලය සොයා ගත්තේ කොහොම ද කියලා මට හිතා ගන්න අමාරු යි.''

''ඔහු විවිධ හැකියාවන් තිබුණ කෙනෙක්. පුදුමෙ කියන්නේ, ඔහුට තිබුණා එක වර වැඩ කිහිපයක නිරත වීමේ හැකියාවක්. බැරෑරුම් ප්‍රවෘත්තියකට සම්බන්ධ වුණ ගමන් ඔහුට ඊට හාත්පසින් වෙනස් රංගන පුහුණුවක නිරත වෙන්නත් පුළුවන්කම තිබුණා.''

''මට දැනුණු විදිහට ඔහුගේ ජීවිත දර්ශනය වුණේ, 'ජීවිතය ඉතා කෙටි යි, දැන් මට කළ හැකි සියල්ල කළ යුතු යි' කියන දේ. ඔහු ඉතා කඩිසර මිනිහෙක්.''

''ඔහු යමක් භාර ගන්නවා නම් ඒක ඔහුට කළ හැකි උපරිමයෙන් කළා. 'සමාවෙන්න මට ඒක කරන්න බැරි වුණා' කියලා ඔහු කියනවා මට ඇහිලා නෑ කවදාවත්. ඒක පුදුම විනයක්," ඔහු පැවසුවේ ය.

'ඔහු දක්ෂයෙක්'

Rajeev Wijesinghe comments on Richard.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු, ලේඛකයෙකු මෙන් ම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය රජීව් විජේසිංහ බීබීසී සිංහල සේවය සමග රිචර්ඩ්ගේ මතකය අවදි කරමින් පැවසුවේ, 1980 වසරේ සිට රිචර්ඩ් ද සොයිසා තමන් සමග කලා කටයුතුවල නියැළුණු බව ය.

''රිචර්ඩ් සහ මම ඉගෙන ගත්තේ එක ම ඉස්කෝලේ. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ. රිචර්ඩ් මට වඩා බාල යි. මම ඉස්කෝලෙන් අයින් වෙලා රට ගියාට පස්සේ එයා මගේ සමකාලීන පාසල් යාළුවෝ එක්ක එකතු වෙලා තිබුණා.''

''පස්සේ මම ලංකාවට ආවට පස්සේ රිචර්ඩ් හමුවුණා. අපි බ්‍රිටිෂ් කවුන්සිල් එකේ නාට්‍ය ගැන එහෙම වැඩ කළා. එයාට ලොකු දක්ෂතාවක් තිබුණා. මම එයාට නාට්‍ය පිටපත් පවා ලියලා දුන්නා. අපි කරපු සමහර වේදිකා නාට්‍ය එහෙම ගොඩක් ජනප්‍රිය වුණා.''

''ඔහුට මොන ඇඳුම ඇන්දත් ලස්සන යි. ඔහු කඩවසම් කෙනෙක්. ඔහුට කවි ලියන්න හැකියාවක් තිබුණා.''

''ඒ වගේ ම යි ඔහුට තිබුණේ සුන්දර හදවතක්. මිනිස්සු ගැන හිතන කෙනෙක් රිචර්ඩ් කියන්නේ," ආචාර්ය රජීව් විජේසිංහ සිය මිතුරාගේ මතකය අවදි කළේ එලෙසිනි.

'ප්‍රේමණීය පුද්ගලයෙක්'

Paikiasothy Saravanamuttu comments on Richard.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකවරයා මෙන් ම රිචර්ඩ් ද සොයිසාගේ ඥාති සොහොයුරෙකු වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු බීබීසී සිංහල සේවය වෙත පවසා සිටියේ, රිචර්ඩ් සංවේදී මෙන් ම ප්‍රේමණීය පුද්ගලයෙකු බවයි.

"ඔහු මූලික වශයෙන් ප්‍රේමණීය පුද්ගලයෙක්. සමහර අවස්ථාවලදී ඔහු තමන්ගේ ම ලෝකයක ජීවත් වුණේ.''

''මට මතක විදියට 1973-1974 වගේ කාලයේ, අපි නිතර කොළඹ විදීවල ඇවිදින ගමන් කතා කරන්න පුරුදු වෙලා හිටියා. ඒකෙන් තමයි අපි ගොඩක් ම සමීප වුණේ.''

''අපි පවුල ගැන, යාළුවෝ ගැන, දේශපාලනය ගැන කතා කෙරුවා. ඒ වගේ ම ඔහු හරි ම සුන්දර පුද්ගලයෙක්. ඔහුගේ හරි ම සංවේදී පැත්තකුත් තිබුණා," ඔහු පැවසුවේය.

රිචර්ඩ් ද සොයිසා අද හිටියා නම්

රිචර්ඩ් ද සොයිසා අද වන විට ජීවතුන් අතර සිටියා නම් ඔහු කුමන ආකාරයේ පුද්ගලයෙකු ලෙස අපට දකින්නට හැකි වේවි දැයි ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීමක් කළේ ය.

ප්‍රවීණ නිවේදක අරුන් ඩයස් බණ්ඩාරණායක පැවසුවේ, රිචර්ඩ් ද සොයිසා ජීවතුන් අතර සිටියා නම් ඔහු මේ වන විට පොත් කිහිපයක ම කතුවරයෙකු වන්නට ඉඩ තිබූ බව ය.

"අද ඔහු සිටියා නම් වයස අවුරුදු 60ක් විතර වේවි. එහෙම නම් ඔහු මේ වෙද්දී පොත් කිහිපයක ම කතුවරයා වෙන්න පුළුවන්. මොක ද ඔහු දක්ෂයෙක්. කොච්චර කල් ගියත්, ඔහු ලියන එක නතර කරාවි කියලා හිතන්න බෑ. සමහර විට මේ වෙද්දී චිත්‍රපටත් නිපදවලා තියෙන්න පුළුවන්. ඒවා වාර්තා චිත්‍රපට වෙන්නත් පුළුවන්. වෘත්තාන්ත චිත්‍රපට වෙන්න පුළුවන්. හැබැයි ඒවායෙන් අපි ගෙවපු කාලය, ඒ වුණ සිදුවීම් ගැන කතා කරාවි."

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ප්‍රකාශ කළේ, මෙවන් අදහසකි.

"රිචර්ඩ් ද සොයිසා මාධ්‍යවේදියෙකු නොවී වෙනත් අංශයකින්, එහෙම නැතිනම් කලාවෙන් ම ඉදිරියට ගියා නම්, අදටත් ඔහු අප අතර ඉන්න ඉඩ තිබුණා කියන අදහස ඇතැමෙකුට ඇති වෙන්න පුළුවන්. නමුත්, තමන් නිවැරදි යි කියලා විශ්වාස කරන දේ වෙනුවෙන් සටන් කළ යුතු යි කියන දේ පවුලක් විදිහට අපි විශ්වාස කරනවා. එහෙම කළා ම අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. අපිට සමහර වෙලාවට ඒ අවදානම් අවම කර ගන්න උත්සහ කරන්නත් පුළුවන්. නමුත් ඔබට ඒ වෙනුවෙන් ගෙවන්න වෙන වන්දිය ඒක යි," ඔහු පැවසුවේය.

"එයා හරි විශිෂ්ට යි. එයා රඟපාන්න දක්ෂ යි, හොඳ ලේඛයෙක් වගේ ම ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක්. එයා නිකම් අපි වගේ වයසට යන්නේ නෑ," ආචාර්ය රජීව් විජේසිංහ සිය මිතුරා ගැන වැඩිදුරටත් අදහස් දැක්වීය.