බ්‍රිතාන්‍යයේ වඩා ත් සුන්දර ම ජාතික උද්‍යාන 5

    • Author, ග්‍රැහැම් ග්‍රීන්
    • Role, බීබීසී

භූමි ප්‍රමාණයෙන් කුඩා වුවත්, එක්සත් රාජධානියට විවිධත්වයෙන් සහ සුන්දරත්වයෙන් අඩුවක් නොමැත.

එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය පුරා දක්නට ලැබෙන ජාතික වනෝද්‍යාන 15ක් පිළිබඳව සලකා බැලීමේදී ඔබට මෙය වැටහෙනු ඇත. (උතුරු අයර්ලන්තයේ දැනට ජාතික වනෝද්‍යාන නොමැත) මේ වනෝද්‍යාන කෙයන්ගෝම්ස්වල දැවැන්ත කඳු මුදුන්වල සිට බ්‍රෝඩ්ස්හි විසල් ජල මාර්ග දක්වාත්, සවුත් ඩවුන්ස්හි පටු වෙරළ තීරයේ සිට පෙම්බ්‍රෝක්ෂයර්හි පුළුල් වෙරළ තීර දක්වාත් ඇති මහත් විවිධත්ව පරාසයක විහිදී තිබේ.

1951 පීක් ඩිස්ට්‍රික්ට් වෙතින් ඇරඹි, එක්සත් රාජධානියේ ජාතික වනෝද්‍යාන නිර්මාණය කිරීමට හේතු වූ 1949 ජාතික වනෝද්‍යාන පනතේ 75 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. මෙම පනත මගින් ගම්බද ප්‍රදේශ සුරක්ෂිත කරන ලද අතර, වනජීවීන් සහ ස්වභාවික සුන්දරත්වයක් ඇති ස්ථාන ආරක්ෂා කිරීමට ද සුවිසල් කාර්යභාරයක් ඉටු කෙරිණි.

1872 දී යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය, ලොව පළමු ජාතික වනෝද්‍යානය ලෙස නම් කළ එක්සත් ජනපදයේ සංකල්පයකට අනුව හඳුන්වා දුන් මෙම පනත, දශක ගණනාවක් තිස්සේ කල දේශපාලන සටනක කූටප්‍රාප්තිය බව කේරි ඩේවිස් පවසයි. "කාර්මික විප්ලවය නිසා බ්‍රිතාන්‍යය ලෝකයේ නාගරික ජනගහනය ප්‍රධාන වශයෙන් ජීවත්වන ප්‍රථම රට බවට පත්වුණා. මිනිසුන්ට හුස්ම ගැනීමේ ඉඩක් තිබීම සහ මහ පොළොව සමඟ සබඳතා තිබීම අත්‍යවශ්‍ය වුවත්, සොබාදහම රස විඳීම සඳහා නගරය අතහැර ගම්බද පෙදෙස්වලට යාම මිනිසුන්ට අවශ්‍ය වූයේ එක්සත් රාජධානිය දෙවන ලෝක යුද්ධයේ බිහිසුණු බැවින් හෙම්බත් වූ පසුව ය. බ්‍රිතාන්‍යය අතිශය ජනාකීර්ණ යැයි කෙනෙකුට අපේ නගර දෙස බලා කිව හැකි නමුත්, අපේ ජාතික වනෝද්‍යාන අතිශය සන්සුන් සහ නිස්කලංක ය."

එක්සත් රාජධානියේ ජාතික වනෝද්‍යාන අද වනවිට, කඳු නගින්නන්, පාපැදි සහ ඔරු පදින්නන් සහ නිස්කලංකව විවේකී සුවය අත් විඳීමට යන්නන් අතර ජනප්‍රිය ය. "මෙම වනෝද්‍යාන දුර්ලභ වනජීවීන්, ශාක සහ සුවිශේෂී ජෛව පරිසර ගොනු සඳහා රැකවරණය සපයන අතර, ජෛව විවිධත්වය නැතිවීම, දේශගුණික විපර්යාස සහ යහපැවැත්ම ආදී අපේ රට මුහුණ දෙන දැවැන්ත අභියෝග විසඳීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා." ඩේවිස් පවසයි. "වෙන කවරදාටත් වඩා දැන් අපිට අපේ ජාතික වනෝද්‍යාන අවශ්‍යයි."

ඩේවිස්ට අනුව, වික්‍රමාන්විත ක්‍රියා සඳහා අනගි මෙන් ම, සන්සුන් නිස්කලංක බවින් යුතු, වනජීවීන්ගෙන් පිරුණු එක්සත් රාජධානියේ ලස්සනම ජාතික වනෝද්‍යාන පහක් මේ.

1. ලේක් දිස්ත්‍රික්ක ජාතික වනෝද්‍යානය, එංගලන්තය

සෑම වසරකම උතුරු එංගලන්තයේ ලේක් දිස්ත්‍රික්කයට මිලියන සංඛ්‍යාත ජනතාවක් ඇද ගන්නේ එහි ඇති "මනරම් භූමි දර්ශනය සහ සන්සුන් සුවපහසු බව" හේතුවෙන් යැයි ඩේවිස් පවසයි. සුවිසල් කඳු, පැතිරී ගිය විල් සහ මිනිසුන් විසින් නිර්මාණය කළ වියළි ගල් බිත්ති සහිත කෙත්වතු මෙන්ම බැටළු ගොවිපලවල් ද සහිත, එක්සත් රාජධානියේ වඩාත්ම සංචාරය කරන ලද උද්‍යානය වන ලේක් දිස්ත්‍රික්කය 2017 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ.

"බැටළු ගොවිපළවල් සහ කෙත්වතු මෙම වනෝද්‍යානයේ උරුමයේ සහ ඉතිහාසයේ කොටසකි" යි ඩේවිස් පවසයි. "එය වයිකින්වරුන්ගේ කාලයේ සිට පැවත එන්නකි." එමෙන්ම උද්‍යානය තුළ අධික ලෙස ගොවිතැන් කිරීම සොබාදහමට අහිතකර වී ඇති බවට පරිසරවේදීන් කරන විවේචන ද ඔහු පිළිගනී.

ලේක් දිස්ත්‍රික්කය, විලියම් වර්ඩ්ස්වර්ත්ගේ සිට බියට්‍රික්ස් පොටර් දක්වා ලේඛකයින්ගේ සාහිත්‍ය නිර්මාණවලට පසුබිම් සපයා තිබේ. "අපි කඳු දකින්නේ අහස සිඹින සුවිසල් මන්දිර වැනි වටිනාකම් සහිත භුමි ලෙස විනා ඵල රහිත මුඩු බිම් ලෙස නොවේ. එය සාහිත්‍ය විසින් ඇති කළ රෝමාන්තික බවේ බලපෑමකි."ඩේවිස් පවසයි. "බියට්‍රික්ස් පොටර් වාසය කළ නිවාස නැරඹීමට ලොව පුරා නන් දෙසින් මිනිසුන් පැමිණේ. එය ඇගේ කෘති කෙතරම් සදාකාලිකද යන්න පිළිබඳ සාක්ෂියකි."

වින්ඩර්මියර්, ඩර්වෙන්ට්වෝටර් සහ උල්ස්වෝටර් වැනි විල්වල මෘදු බෝට්ටු සංචාර ජනප්‍රිය ය. නමුත් වේගවත් පිහිනුම් සහ පැඩල්බෝඩිං වැනි ක්‍රියාකාරකම් වඩාත් වික්‍රමාන්විත ය. ලේක් දිස්ත්‍රික්කය ගිම්හාන කාලයේදී ජනාකීර්ණ විය හැකි වුවත්, එහි ඈතින් ඈතට විහිදෙන විශාල ප්‍රමාණයේ කඳු මුදුන් ඔබේ නිර්මාණාත්මක කටයුතු සඳහා අවැසි හුදකලාව සපයනු ඇත.

2. එරිරි (ස්නෝඩෝනියා) ජාතික වනෝද්‍යානය, වේල්සය

2022 දී ස්නෝඩෝනියා ජාතික වනෝද්‍යාන අධිකාරියේ කමිටුව, වේල්සයේ උසම කන්ද සහ ජාතික වනෝද්‍යානය හැඳින්වීමට, ඉංග්‍රීසි නම් වෙනුවට, Yr Wyddfa (ස්නෝඩන් සඳහා) සහ 'එරිරි' (ස්නෝඩෝනියාව) සඳහා වශයෙන් වේල්ස් නම් භාවිතා කිරීමට තීරණය කලහ. වඩාත් මෑතකදී, බ්රෙකොන් බීකන්ස් ද මීට සමාන වෙනසක් සිදු කරමින් එහි වේල්ස් නාමය වන 'බැනවු බ්රයිචිනියෝග්' භාවිතා කිරීම ආරම්භ කරන ලදී.

වයඹ දිග වේල්සයේ මෙම කලාපය එහි කඳුකර භූ දර්ශන සඳහා ප්‍රකට ය. කඳු නැගීම සහ වික්‍රමාන්විත ගමන් වැනි ත්‍රාසජනක ක්‍රියා සඳහා එය අගනා ප්‍රදේශයකි. එහි කැපී පෙනෙන Yr Wyddfa (ස්නෝඩන්), ග්ලයිඩෙරෝ සහ කැඩර් ඉද්රිස් වැනි ස්ථාන ඇතුළු රළු භූමි ප්‍රදේශය, කෝණික ව්‍යුහයන් සහිත නිසා ලේක් දිස්ත්‍රික්ක වනෝද්‍යානයට වඩා වෙනස්කම් පෙන්වයි. කැස්ටෙල් වයි ග්වින්ට් වැනි අද්විතීය භූ විද්‍යාත්මක ව්‍යුහයන් ප්‍රදේශයේ ස්වාභාවික සුන්දරත්වය ඉස්මතු කර තිබේ.

නමුත් එරිරි යනු පාෂාණ පමණක් නොවේ. කෙල්ටික් වැසි වනාන්තර ලෙස හැඳින්වෙන සෞම්‍ය වැසි වනාන්තර සහ ඇල්පයින් තණබිම්වල වැවෙන ආක්ටික් ඇල්පයින් ශාක වැනි ශාක ද ඇත.

"ස්නෝඩෝනියාවේ වෙරළ ආසන්නයේ කඳුකරයේ හාර්ලෙච් මාලිගය වැනි, ඉතිහාසගත ස්ථාන ද ප්‍රදේශයේ සුන්දරත්වයට තුඩු දී තිබේ."

"ලේඛකයින් මෙම පරිසරයෙන් ආභාසය ලබාගෙන තිබේ. මධ්‍යකාලීන වේල්ස් කථා 11 ක එකතුවක් වන මැබිනොජියන්න හි බොහෝ කතාවල එරිරිවල ඇති මෙම ස්ථාන පිළිබඳව ලියැවී තිබේ. ප්‍රදේශයට පැමිණෙන නරඹන්නන්ට, මෙම කතන්දර කියවීමෙන් පසු ප්‍රදේශය ගවේෂණය කළ හැකිය." ඩේවිස් පවසයි.

ඔහු කේදර් ඉද්රිස්ගේ පිළිබඳ ප්‍රකට කියමනක් ද සඳහන් කරයි:ඔබ එහි නිදාගතහොත් යළි අවදිවන්නේ එක්කෝ කවියෙකු ලෙසට ය. නැතහොත් උන්මත්තකයෙකු ලෙසට ය. මිත්‍යා කතා සහ සාහිත්‍ය මෙම ජාතික වනෝද්‍යාන හා බැඳී පවතී.

3. කෙයාර්න්ගෝර්ම්ස් ජාතික වනෝද්‍යානය, ස්කොට්ලන්තය

ස්කොට්ලන්තයේ ඊසාන දෙසින් පිහිටි කෙයාර්න්ගෝර්ම්ස් යනු එක්සත් රාජධානියේ විශාලතම ජාතික වනෝද්‍යානයයි. වර්ග කිලෝමීටර 4,528 ක් වන එය, දෙවන විශාලතම වනෝද්‍යානය වන ලේක් දිස්ත්‍රික්කය මෙන් දෙගුණයක් පමණ විශාලය. මෙම සුවිසල් බිම්කඩ, කඳු නගින්නන්, පාපැදිකරුවන් සහ වෙනත් වික්‍රමයන්ට පෙම් බඳින පිරිසගේ පාරාදීසයක් වී තිබේ.

එය එක්සත් රාජධානියේ වික්‍රමාන්විත සහ හිම සහිත ජාතික වනෝද්‍යානය වන අතර, එය ඉතාම ආකර්ෂණීය ස්ථානයකි. "කෙයාර්න්ගෝර්ම්ස් සතුව විශාල ග්රැනයිට් කඳු ඇති අතර, එය කිලෝමීටරයක් පමණ උස සානුවක් සාදයි. මෙය එක්සත් රාජධානියේ වඩාත්ම කැළඹිලි සහගත භූමිවලින් එකක් වන අතර පැයට සැතපුම් 170 දක්වා වේගයකින් එයට සුළං හැමිය හැකිය." ඩේවිස් පවසයි. "නමුත් එහි ස්නෝ බන්ටිං කුරුල්ලන්, පැටර්මිගන් සහ කඳුකර හාවන් ඇතුළු වනජීවීන් සිටිති."

කලකට පෙර ස්කොට්ලන්තයේ පැතිර තිබුණු, නමුත් මිනිසුන් විසින් විනාශ කරන ලද කැලිඩෝනියානු වනාන්තරයේ අවශේෂ ද මෙහි ඇත. "කෙයාර්න්ගෝර්ම්ස් හිදී, ඔබට වනාන්තරය හරහා පැය ගණනක් ගමන් කළ හැකි." ඩේවිස් පවසයි. "නැතහොත් ලොච් අයිලින් වෙරළේ සිටගෙන උප ආක්ටික් කඳු සහිත පයින් වනාන්තරය දෙස බලා සිටිය හැක. එහිදී ඔබට ස්කැන්ඩිනේවියා, උතුරු ඇමරිකා සහ සයිබීරියා භූ දර්ශන අත්විඳීමට හැකි වනු ඇත."

කෙයාර්න්ගෝර්ම්ස් හි "නැවතත් වන ගහණය ඇති කිරීම" සඳහා දැන් කටයුතු සිදු වෙමින් පවතී. මෙම ජාතික වනෝද්‍යානය දැනටමත් පයින් මාටෙන්ස්, වයිල්ඩ්කැට්ස්, රන් රාජාලීන් සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කැපර්කයිලීස් ඇතුළු වනජීවීන්ගේ නිවහන වන අතර, පරිසර තුලනය ඇති කිරීම සඳහා ලින්ක්ස් සහ වෘකයන් ඇතුළු ස්වදේශික විශේෂ නැවත ගෙන ඒම පිළිබඳ අඛණ්ඩ විවාද සිදුවෙමින් තිබේ.

4. පෙම්බ්රෝක්ෂයර් වෙරළ ජාතික වනෝද්‍යානය, වේල්සය

පෙම්බ්රොක්ෂයර් යනු වෙරළ තීරයක් සහිත එක්සත් රාජධානියේ එකම ජාතික වනෝද්‍යානය නොවේ, නමුත් එහි කැපී පෙනෙන භූ විෂමතා හේතුවෙන් මෙම වෙරළ තීරය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර තිබේ. "එය හුණුගල් පාෂාණ සහ ප්‍රපාත සහිත අලංකාර භූමියක්" ඩේවිස් පවසයි. "භූ දර්ශනය මෙලෙස හැඩගැසීමට හේතු වූ ටෙක්ටොනික් බලවේගවල සටහන් ද මෙහිදී ඔබට දැක ගත හැකිය. ග්‍රීසියේ හෝ කැරිබියානු වෙරළ තිරයේ දැකිය හැකි ආකාරයේ, මුහුදු නිල් වර්ණයෙන් බබලන ජලයේ ගලා යන 'බිත්තර කටු වැලි' ද මෙහිදී ඔබට දැකිය හැක."

වේල්සයේ දකුණු වෙරළ තීරයේ මෙම කොටසේ, යුග ගණනක් තිස්සේ මෙහි ජීවත් වූ පුද්ගලයින් පිළිබඳ සාක්ෂි තිබේ.

"පිරමීඩ හා ස්ටෝන්හෙන්ජ්වලට වඩා පැරණි, වසර 5000 ක් පමණ කාලයකට දිව යන පෙන්ට්රේ ඉෆාන් සහ කැරෙග් සැම්සන් වැනි දැවැන්ත මෙගාලිතික් ගල් ස්මාරක, වෙරළබඩ යුරෝපය පුරා දක්නට ලැබෙන ස්මාරක වලට සමානයි." ඩේවිස් පවසයි. අනෙකුත් කැපී පෙනෙන ඉදිකිරීම් අතර බ්‍රිතාන්‍යයේ කුඩාම නගරය වන ශාන්ත ඩේවිඩ්හි, ශාන්ත ඩේවිඩ් ආසන දෙව්මැදුර සහ 1908 දී ඉදිකරන ලද ස්ට්රම්බල් හෙඩ් ප්‍රදීපාගාරය (ඉහත පින්තූරය) වෙරළ තීරයේ විශිෂ්ට දර්ශනවලට ඇතුළත් ය.

පෙම්බ්රෝක්ෂයර් යනු ප්‍රධාන වශයෙන් ම කුරුල්ලන්ගේ නිවහනකි. විශේෂයෙන් ස්කොමර්, ග්රාස්හෝල්ම් සහ රැම්සි දූපත් මෙන්ම මැන්ක්ස් ෂියර්වෝටර්ස්, පෆින්, ගිලෙමොට්, රාසෝර්බිල් සහ ගැන්නෙට් හි අලංකාර කෙල්ප් වනාන්තර සහ සමුද්‍ර ජීවීන් පිරුණු දිය යට ගුහා දකින්නට ලැබේ.

වේල්ස් වෙරළ තීරයේ කොටසක් වන සැතපුම් 186 ක පෙම්බ්රෝක්ෂයර් වෙරළ තීරය සමුද්‍රාසන්න සුන්දරත්වය විඳීමට කදිම ස්ථානයකි.

එමෙන්ම ඔබ පැදගෙන යන කුඩා කයාක් බෝට්ටු මගින් හෝ බෝට්ටු සංචාර මගින්, කුරුල්ලන්ගෙන් පොහොසත් දූපත් ගවේෂණය කළ හැක.

5. බ්‍රෝඩ් ජාතික වනෝද්‍යානය, එංගලන්තය

නොර්ෆොක් සහ සෆොල්ක් බ්‍රෝඩ් ගැන සලකා බැලීමේදී, බ්‍රෝඩ්ස් ජාතික වනෝද්‍යානය බ්‍රිතාන්‍යයේ විශාලතම ආරක්ෂිත තෙත්බිම් ප්‍රදේශයයි. "බ්‍රෝඩ්ස් ස්වාභාවික සුන්දරත්වයෙන් අනූන ය." ඩේවිස් පවසයි. "එය බ්‍ර්තාන්‍ය භූමි ප්‍රමාණයෙන් 0.1% ක් වන නමුත් අපගේ දුර්ලභම වනජීවී විශේෂවලින් හතරෙන් එකක් වාසය කරන්නේ එහි ය. සාමාන්‍ය කොකුන්ගේ අභිජනන කලාපයක් වනවා මෙන් ම වින්ටරින්ග් වළි කුකුළන්ගේ විශාල ජනගහනයක් ද එයට ඇතුළත් ය.එමෙන්ම ගංගාවලට ඉහළින් පියාඹන නෝෆෝක් හෝකර් බත්කූරන් සහ තණබිම්වල සිටින ස්වලෝටේල් සමනලුන් ද දැකීමට පුළුවන්."

එංගලන්තයේ ගිණිකොන දිග කෙළවරේ පිහිටා ඇති බ්‍රෝඩ්ස්වල දැවැන්ත කඳු මුදුන් දකින්නට නැති නමුත් විල්, ගංගා සහ වගුරු බිම් සහ අර්ධ වශයෙන් ජලයෙන් යට වූ වනාන්තරවල මෙම කලාපයටම විශේෂ ආකාරයක සුන්දරත්වයක් තිබේ. "මෙම ජලජ වංකගිරියේ ඇතැම් ස්ථානවල දී ඉතා හුදෙකලා බවක් දැනෙයි..." ඩේවිස් පවසයි. "ඔබට නිශ්ශබ්ද වගුරු බිම් හරහා කුඩා කයාක් බෝට්ටු පැදගෙන යමින් බිටර්න් කුරුළු නාදය සහ ඔටර් සත්ත්වයන්ගේ හඬ ශ්‍රවණය කළ හැකිය.

සැතපුම් 125 ක නාවික ජල මාර්ග දිගේ බෝට්ටු පැද යාම, දිවා සංචාර සඳහා ජනප්‍රිය ක්‍රියාකාරකමකි. "බ්‍රෝඩ්ස්වල ඉතා සන්සුන් අලංකාර ස්ථාන තිබේ" යි ඩේවිස් පවසයි. බ්‍රෝඩ්ස් හි පැරණි සුළං මෝල් 60 කට වඩා ඇත. තූර්න් සුළං මෝල වැනි සමහරක්, වසර 200 කට වඩා පැරණි වන අතර එය අහස දෙසට විහි දී තිබේ.

සී පැලින් සිට වින්ටර්ටන්-ඔන්-සී දක්වා නිහඬ වෙරළ තීරයේ සුන්දර කොටසක් ද උද්‍යානයේ මායිම් තුළට අයත් ය. හෝසරි හි දකින්නට ලැබෙන ආකාරයේ අළු සීල් සත්ත්වයන් රාශියක් ද මෙහි සිටිති.