පුත්‍රජයා: ඔබ කිසිදා අසා නැති ආසියාතික අගනගරය

ක්වාලා ලුම්පූර් නුවර සෙවනැල්ල වැටෙන මානයේ පිහිටන, මැලේසියාවේ "අනිත්" අග නගරය ලොව ඉතාම හරිතවත් නගරයන්ගෙන් එකක්.

මැලේසියාවේ පුත්‍රජයා නගරයට ඉහළින් පාවෙන උණුසුම් වායු බැලූනයක සිට එබී බලද්දී, අපට පහළින් කුරුළු රෑනක් පාවී යනු අප දුටුවා. උන් නගරයේ අහස සූරන ගොඩනැගිලි පසු කරමින්, සිය අළුවන් පියාපත් ලාලිතවත් ලෙස සලමින් ඉගිල යන්නේ ඒ ආසන්නයේ පිහිටි සිය නිවහන වන 'පුත්‍රජයා තෙත්බිම් උද්‍යානය' වෙතට යි. එය මැලේසියාව සතු, මිනිසා විසින් තැනුණු විශාලතම මිරිදිය තෙත්බිම යි.

හෙක්ටයාර 200ක් පුරා පැතිරුණු වගුරුබිම්, පොකුණු, සහ වනවදුලුවලින් සමන්විත මේ ක්ෂේම භූමියේ පක්ෂීන් විශේෂ 100ක් පමණ වාසය කරනවා. එසේම එය කෘමීන් විශේෂ 1800කට, උභයජීවීන් විශේෂ 16කට, උරග විශේෂ 22කට, සහ ක්ෂීරපායි විශේෂ 16කට අගනා වාසස්ථානයක් සපයනවා.

මැලේසියාවේ අගමැතිවරයාගේ සුවිසල් කාර්යාලයය වන 'පර්ධාන පුත්‍ර' ගොඩනැගිල්ල සරසන මින්ට්-කොළ පැහැති ශිඛර ගෝලාර්ධයේ සිට කිලෝමීටර 2ක් පමණක් උතුරින්, මකාක් වඳුරන්, ෆ්ලැමින්ගෝ පක්ෂීන්, දියබල්ලන්, වල් ඌරන්, සහ උරුලෑවන්ට නිවස්නය වන මේ ශාන්ත අභය භූමිය පිහිටනබව විශ්වාස කිරීමටත් අපහසු යි.

විසල් පෙදෙසක් පුරා පැතිර යන මේ ජෛව-කෙම්බිම ප්‍රධාන පුත්‍රයේ බොහෝ කලක් විසූ මහතීර් මොහොමඩ්ගේ එඩිතර දැක්මෙහි ප්‍රතිඵලයක්.

වෙනත් කිසිම දේශපාලඥයෙකු මහතීර් තරමට මැලේසියාවට බලපෑමක් කිරීමට සමත්වූයේ නැහැ. මැලේසියාව වසර 64ක් තිස්සේ නිදහස් දේශයක් ලෙස පවතින අතර, මහතීර් සිය දෙවන ධුරකාලය 2020 දී අවසන් වන තෙක්, වසර 24ක් පුරාවට එහි අගමැති වුණා.

ඔහුගේ නිල කාලය මතභේදයන්ට ද තුඩුදුන් නමුත්, 1990 ගණන්වල දී ආසියාවේ වේගයෙන්ම වැඩෙන ආර්ථිකයක් මැලේසියාව තුළ ගොඩනැගීමට ඔහුගේ ආක්‍රමණශීලී සංවර්ධන ක්‍රමෝපායන් උපකාරී වුණා.

ක්වාලා ලුම්පූර්හි විශාලතම ස්මාරකයන්ගෙන් කීපයක් මහතීර් මොහොමඩ්ගේ උන්නතිකාමයට සාක්කි දරනවා. දැවැන්ත ක්වාලා ලුම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, සහ මීටර 452ක් උස් පෙට්‍රොනාස් කුළුණු ද්විත්වය ඉන් ප්‍රධාන යි. නමුත් ඔහුගේ එඩිතරම ව්‍යාපෘතිය වූයේ මැලේසියාවේ "අනිත්' අගනුවර වන පුත්‍රජයාව යි.

1998 වසරේ දී ජාත්‍යන්තර ගුවන්තොට නිසා ගුවන්යානා මැලේසියාවේ අහස සිසාරා ගියා. ද්විත්ව කුළුණු ද එවසරේම අහස දෙසට නැගුනා. 1999 වන විට, පුත්‍රජයාව මැලේසියානු ෆෙඩරල් රජයේ නව ව්‍යාපෘතිය බවට පත්ව ක්වාලා ලුම්පූර්හි අධික ජනගහණ ප්‍රශ්නය විසඳීමට උපකාරී වුණා.

සැලසුම් සහගතව ඉදිකෙරුණු නවීන නගරය පැන නැගුනේ රබර් සහ පාම් වගාවන් සිදුකෙරුණු අපිරිසිදු බිම්කඩකිනි. දේශයේ අගනුවර වන ක්වාලා ලුම්පූර් නගරයට කිලෝමීටර 25ක් දකුණින් පිහිටන පුත්‍රජයාව එරට පරිපාලන සහ අධිකරණ අගනුවර වන අතර, රජයේ කාර්යාලයයන් බොහොමයක් ද පිහිටන්නේ එහි යි.

ඇස් ඉදිරිපිටම සැඟවී ඇති මැලේසියාවේ "අනිත්" අගනුවර

ලොව වැඩිම සංචාරක පිරිසක් පැමිණෙන ක්වාලා ලුම්පූර් නගරයටත්, මැලේසියාවේ ඓතිහාසික නගරය වන මලක්කාවටත් මැදිව පිහිටියත්, මැලේසියාවේ "අනිත්" අගනුවර ඇස් ඉදිරිපිටම සැඟවී ඇති විලාසයකි පෙනෙන්නට ඇත. නමුත් පුත්‍රජයාව නැරඹීමට පැමිණෙන සීමිත සංචාරකයින්ට ලැබෙන්නේ ඉතා අගනා අත්දැකීම් රැසක්.

නගරයේ කාර්යයබහුලම කොටසෙහි, සාම්ප්‍රදායික ඉස්ලාමික මෝස්‌තරයන් හා මුසු වූ අද්‍යතන ගෘහ නිර්මාණ ශිල්ප ලක්ෂණ කැපී පෙනෙනවා. දිස්න දෙන උස් ගොඩනැගිලි, ජ්‍යාමිතික හැඩතල සහ කුසුම් මෝස්තරයන්ගෙන් සැදි ඇරබෙස්ක් පන්නයේ රටාවන්ගෙන් අලංකාරකොට තිබෙනවා.

නමුත් නගරයේ යකඩ මස්ජිදය යමෙකුට සිහිගන්වන්නේ, ඔබ තෝකියෝවේ දී හෝ බෙයිජිංහි දී පමණක් දක්නට ලැබෙතැ යි බලාපොරොත්තු වන අන්දමේ ඉතා නවීන වානේ සහ වීදුරුවලින් සැදුම්ලත් ගෘහ නිර්මාණ ශිල්පය යි.

එවැනිම නවීන, අපූර්ව ගොඩනැගිල්ලක් වන පුත්‍රජයා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය නිමැවුණේ මැලේ සුල්තාන්වරුන්ගේ රාජකීය වස්ත්‍රයේ කොටසක් වන 'පෙන්ඩින් පෙරක්' නම් රිදී බඳපටි ගාංචුවේ ආභාෂය ලැබීමෙන්.

ලොව දුර්ලභ රෝස පැහැ මුස්ලිම් දේවස්ථානයන්ගෙන් එකක් වන 'මස්ජිද් පුත්‍ර' දේවස්ථානයට ද පුත්‍රජයා නගරය භූමිය වෙනවා. එසේම එය සිත්ගන්නාසුළු කෞතුකාගාර සහ විශාල සුපිරි වෙළඳ සංකීර්ණයක් ද පිහිටි ආසියාවේ පිරිසිදුම, හරිතවත්ම නගරයන්ගෙන් ද එකක්.

එහි භූමි ප්‍රමාණයෙන් 37%ක් වෙන්කර තිබෙන්නේ උද්‍යානයන් සහ විවෘත පොදු ස්ථානයන්වලට යි. පුත්‍රජයාව බිංදුවේ සිටම ගොඩනැගි නගරයක් නිසාවෙන්, එය නිර්මාණාත්මකව ගොඩනගන්නට ද ඕනෑ තරමින් අවස්ථාවන් හිමිවුණා.

මහතීර්ගේ අරමුණ වූයේ පුත්‍රජයාව මැලේසියාවේ ඉතාම පරිසර හිතකාමී, නවීන නගරය බවට පත්කිරීම යි.

මුල දී සැලසුම්කර තිබුණේ, පුත්‍රජයාව 350 000ක් දෙනා වාසය කරන, තවත් 500 000ක් දෙනා දිනපතා යන එන නගරයක් ලෙස සංවර්ධනයකර මැලේසියාවේ උරුමය සහ අනන්‍යතාව පෙන්නුම් කරන පරිසර හිතකාමී ප්‍රදර්ශන නගරයක් ලෙස ද යොදාගැනීම යි.

නමුත් පුත්‍රජයාව තදාසන්නයේ පිහිටන ක්වාලා ලුම්පූර් නගරය සෙනග ඒ වෙතට අද්දවා ගන්නා නිසා පුත්‍රජයාවේ ජනගහණය වර්ධනය සිදුවන්නේ බලාපොරොත්තු වූවාට වඩා සෙමෙන්. මේ නිසා එහි ප්‍රදේශවාසීන්ගේත් ක්වාලා ලුම්පූර් නගරයේ කලබලකාරී කඩිමුඩියෙන් කෙටි නිවාඩුවක් ගැනීමට කැමති අමුත්තන්ගේත් මහත් ප්‍රීතියට හේතුවන පරිද්දෙන්, පුත්‍රජයාව අදටත් 120 000ක ජනගහණයකින් යුතු, ඉඩකඩ සහිත නිදිබර මහනගරයක් ලෙස පැවතෙනවා.

මා ආසියාව හරහා සිදුකළ දුසිම් ගණනක් වූ සංචාරයන් අතරතුරේ දී, තදබදයක් නැති පොදු උද්‍යානයන් ඇති පදමින් හමුවූ එකම රට සිංගප්පූරුව යි - නමුත් එම අත්දැකීම එලෙසින්ම පැවතියේ මා පුත්‍රජයාවේ සංචාරයක යෙදෙන තෙක් පමණ යි.

පුත්‍රජයාවේ නගර කේන්ද්‍රය පිහිටන්නේ පුත්‍රජයා විල මැද පිහිටි කිලෝමීටර හතරක් දිග, කිලෝමීටර 2ක් පළල ඇති දූපතක යි.

මේ විලට කිලෝමීටර 38ක් දිගු ජලතීරයක් ඇති අතර, එයින් වැඩි කොටසක් සැරසෙන්නේ උද්‍යාන, ඇවිදින මංතීරු, සහ පාපැදි මංතීරුවලින්. 700ක් පමණ වන නිවර්තන ශාකයන් ප්‍රදර්ශනය කරන පුත්‍රජයා උද්භිද උද්‍යානය ට්‍රෑම් රථ සංචාරයක් මඟින්, කුලියට ගන්නා පාපැදි මඟින් හෝ මඟපෙන්වන්නෙකුගේ උපකාරයෙන් නරඹන්නට පුළුවන්.

විනෝද පාගමන්වලට උචිත අතිවිශිෂ්ට පියමං ද, කඳවුරු බිම් ද කැපී පෙනෙන ලක්ෂණය වන 'රිම්බ අලාම් උද්‍යානය', ඒ ආසන්නයේ පිහිටි වැසි වනාන්තරවලින් ගෙන ආ ශාකයන්ගෙන් පිරි තිරසර, නාගරික, නිවර්තන වනාන්තර පරිසර පද්ධතියක් ඇත. සෝජනා හිජෝ උද්‍යානයේ පිහිටි යුරෝපීය ක්‍රමයට නිමවා ඇති මණ්ඩපය පුත්‍රජයා නගරයේ අංශක 360ක මනහර දසුනක් ඔබ වෙත තිළිණ කරනවා.

පුත්‍රජයාවේ කෘෂිකාර්මික උරුම උද්‍යානය සාම්ප්‍රදායික මැලේ ගොවිතැන සංරක්ෂණය සඳහා වෙන්කර තිබෙන අතර, සංචාරකයින්ට එහිදී පැල සිටුවීමේ මූලික ක්‍රම හා රබර්, කොකෝවා, සහ පාම් වැනි බෝග නඩත්තු කරන ආකාරය ද, අස්වනු නෙළන ආකාරය ද උගත හැකියි.

නගරය සතු ඊර්ෂ්‍යා කිරීමට සෑහෙන අන්දමේ පරිසරය අවලක්ෂණ නොවනබවට වගබලා ගැනීම සඳහා හඳුන්වා දෙනු ලැබූ බොහෝ පරිසර හිතකාමී ප්‍රතිපත්ති පුත්‍රජයාව සතු යි.

නගරවාසීන්ට එළවළු සහ පළතුරු වවාගැනීමට ඉඩකඩ සලසන ප්‍රජා උද්‍යාන 10ක් සහ ප්‍රජා මීමැසි ඒකකයක් එහි පිහිටනවා.

නගරය සතු ඉතා සූක්ෂම අපද්‍රව්‍ය අල්පීකරණ උපායමාර්ගය නිසා, 2019 වසරට සාපේක්ෂව ගිය වසරේ එම නගරය ප්‍රතිචක්‍රීකරණය කළ අපද්‍රව්‍ය ටොන් ගණන 15%කින් ඉහළගොස් තිබෙනවා.

මා පුත්‍රජයා වෙත අවසන් වරට ගිය අවස්ථාවේ දී නගරයේ දිවෙන නිශ්ශබ්ද පොදු විදුලි බසයක නැගීගොස් විදුලි පාපැදියක් (නගරය පුරා පිහිටි e-chargingපොළ බොහොමයක මේ පාපැදි නැවත ආරෝපණය කිරීමේ පහසුකම තිබේ) කුලියට ගත්තේ, පුත්‍ර පාලම හරහා ගමන් කරමින් ඊට යාබදව පිහිටි 'තමන් වවසන්' උද්‍යානයේ තද කොළ පැහැ දර්ශනය රස විඳින්නට යි.

එය නගරයේ ප්‍රධාන උද්‍යානයන් 12න් එකක්. පොදු ගොඩනැගිලිවල වැසි ජලය එකතු කිරීමේ පහසුකම් ද, සූර්ය විදුලිය පරිභෝජනය කරන පිළිකා පර්යේෂණ ආයතනයකින් ද සමන්විත පුත්‍රජයාවේ හරිත ප්‍රතිපත්ති, ආසියාන් සංවිධානයෙන් 'පිරිසිදු සංචාරක නගර' සඳහා පිරිනමන ත්‍යාගය කීප විටෙකම ජයග්‍රහණයකර තිබෙනවා.

කොරෝනාවෛරස වසංගතය පසුබැස ගිය පසු පුත්‍රජයාව වෙතට තව තවත් සංචාරකයින් ආකර්ෂණයකර ගැනීමට එහි උද්‍යානයන් සහ පිරිසිදුකම සමත්වනු ඇතැ යි මැලේසියානු රජය අපේක්ෂා කරනවා.

එහි නගරවාසීන් පවසන අන්දමට, පුත්‍රජයාව ප්‍රධාන පාරිසරික සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට අරමුණු කරනවා පමණක් නොව, මෑතක දී එය මැලේසියාවේ 'නගරබද පක්ෂි නිරීක්ෂණ අගනුවරයැ'යි ද සන්නාමකරණය කර තිබෙනවා.

කොට්ටෝරුවන්, රත් පැහැ පැණි කුරුල්ලන්, සහ කණකොකුන් ඇතුළු පක්ෂී විශේෂ 200කට අධික ප්‍රමාණයක් ගැන ආඩම්බර වන පුත්‍රජයාව සිය වාර්ෂික 'Bird Race Putrajaya' තරගය තවත් පුළුල් කරන්නට ද සැලසුම් කරමින් සිටිනවා.

මේ තරගයේ දී, තරගකරුවන් යම් නිශ්චිත කාලයක් තුළ නගරයේ උද්‍යානවල දී දැකගත හැකි පක්ෂීන් හැකිතාක් ප්‍රමාණයක් නිරීක්ෂණය කර වාර්තා කළ යුතු යි. සංචාරකයින්ට ද පුත්‍රජයාවේ තෙත්බිම් උද්‍යානයේ දී, උද්භිද උද්‍යානයේ දී, සහ ස්වභාවික වන උයනේ දී පක්ෂීන් නිරීක්ෂණය කිරීමට පිහිටුවා ඇති පෙත්මං ත්‍රිත්වයක් ඔස්සේ ගමන් කළ හැකියි.

ක්වාලා ලුම්පූර්හි වෙසෙන රාමක්‍රිෂ්ණා පවසන්නේ, මැලේසියාවේ අති ප්‍රසිද්ධ අගනුවරට සාපේක්ෂව පුත්‍රජයාව බොහෝ සාරවත්, ඉඩකඩ සහිත, කාර්යක්ෂ්ම නගරයක්බව යි.

"පුත්‍රජයාවල වාතය හරිම පිරිසිදු යි. මිනිස්සුන්ට විවේක ගන්න පුළුවන් විදියේ, ගස් වවපු ලොකු උද්‍යාන ගොඩක් තියෙනවා. ඒ වගේම හිත් ඇදගන්නා විදියේ ගොඩනැගිලි ගොඩ යි," ඇය පැවසීය.

"ඒක පරිපූර්ණ නගරයක් නෙවෙයි. ඒකට තව තවත් දියුණු වෙන්න පුළුවන්. ඒත්, කිසිම දෙයක් නැතුව, පරණ කටුපොල් වත්තකින් මේ වගේ නගරයක් ගොඩනංවපු විදිය නම් හරිම අපූරු යි. මම විශ්වාස කරනවා, තව තවත් සංචාරකයෝ ඇවිත් බලන්න ඕනේ මැලේසියාව මේ ඉටුකර ගෙන තියෙන්නේ මොකද්ද කියන එක. මේක හරිම විශේෂ යි."

(රෝනන් ඕ කැනෙල් බීබීසී ට්ට්‍රැවල් වෙත සැකසු ලිපියක් ඇසුරිණි)