නාලන්දා:ලෝකය වෙනස් කළ විශ්වවිද්‍යාලය

සුගතෝ මුඛර්ජි

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය බිහි වීමට වසර 500කටත් අධික කාලයක සිට ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය පොත් මිලියන නවයකට නිවහන වූ අතර ලොව පුරා සිසුන් 10,000ක් ආකර්ෂණය කර ගත්තේ ය.

ඒ සීත සෘතු උදෑසන ඝන මීදුමෙන් වැසී ගොස් තිබිණි. අපගේ මෝටර් රථය නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල තවමත් ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වන අශ්ව කරත්ත, මුතු-සුදු මීදුමෙහි අපැහැදිලි අවතාර මෙන් පෙනෙන වේගයෙන් දිව යන අශ්වයන් සහ තලප්පා පැළඳ සිටි කරත්තකරුවන් පසුකර ගියේ ය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බව පැවසෙන පුරාණ ජනාවාසයක් වූ බුද්ධගයා නගරයේ රාත්‍රියක් ගත කිරීමෙන් පසු, උදෑසන ම මම නටබුන් ලෙස රතු ගඩොල් පමණක් ඉතිරි වී ඇති පුරාණ ලෝකයේ විශිෂ්ටතම ඉගෙනුම් මධ්‍යස්ථානයක් වූ නාලන්දාව වෙත පිටත් වීමි.

නැගෙනහිර සහ මධ්‍යම ආසියාව පුරා සිසුන් 10,000ක් ආකර්ශනය කර ගත් පොත් මිලියන නවයකින් සමන්විත මධ්‍යකාලීන 'අයිවි ලීග්' (Ivy League) ආයතනයක් [ලොව වඩාත් ම කීර්තිමත් සහ ඉහළ ඉල්ලුමක් ඇති විශ්වවිද්‍යාල] වන ක්‍රිස්තු වර්ෂ 427දී ස්ථාපනය ලද නාලන්දාව ලොව ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. ඔවුන් [සිසුන්] මෙහි රැස්වූයේ එවකට ගෞරවාදරයට පාත්‍ර වී සිටි විද්වතුන්ගෙන් වෛද්‍ය විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, ගණිතය සහ ඒ සියල්ලට ත් වඩා බෞද්ධ මූලධර්ම ඉගෙන ගැනීමට ය. දලයි ලාමා වරක් ප්‍රකාශ කළ පරිදි: "අප සතු [බෞද්ධ] දැනුම් සම්භාරයේ උල්පත නාලන්දාවයි."

නාලන්දාව යෙහෙන් වැජඹුණු සියවස් හතකට වඩා වැඩි කාලය තුළ, ලෝකයේ වෙනත් එවැනි විශ්වවිද්‍යාලයක් නොතිබුණු තරම් ය. එම භික්ෂු විශ්වවිද්‍යාලය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ යුරෝපයේ පැරණිතම විශ්වවිද්‍යාලය වන බොලොග්නා විශ්වවිද්‍යාලය බිහි වීමට වසර 500කටත් අධික කාලය සිට පැවත එන්නකි. එපමණක්ද නොව, විශ්ව විද්‍යාලය නතර වී බොහෝ කලකට පසුවත් ආසියාවේ සංස්කෘතිය හැඩගැස්වීමට නාලන්දාවේ දර්ශනය සහ ආගම පිළිබඳ ප්‍රබුද්ධ ප්‍රවේශය උපකාරී විය.

මෙම බෞද්ධ භික්ෂු විශ්වවිද්‍යාලය ආරම්භ කළ ගුප්ත අධිරාජ්‍යයේ රජවරුන් හින්දු භක්තිකයන් වූ නමුත් සානුකම්පිතව සහ බුද්ධ ධර්මය හා එම කාලයේ වර්ධනය වුණු බෞද්ධාගමික දැනුම පිළිබඳ වූ උද්යෝගය සහ දාර්ශනික ලේඛන පිළිගැනීම සිත්ගන්නාසුළු කරුණකි. ඔවුන්ගේ පාලන සමයේදී විකාශනය වූ ලිබරල් සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායන් නාලන්දාවේ බහුවිධ ශාස්ත්‍රීය විෂය මාලාවේ හරය ගොඩනැගූ අතර එය ධර්මය සහ ප්‍රඥාව ඉහළ දැනුමක් සමග විවිධ ක්ෂේත්‍රවලට එක් කළේ ය.

ස්වභාවධර්මය මත පදනම් වූ සුව කිරීමේ ක්‍රමවලින් පැවත එන පුරාණ භාරතීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නාලන්දාවේ බහුල ලෙස ඉගැන්වූ අතර පසුව එය ආදි විද්‍යාර්ථීන් හරහා ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය විය. අනෙකුත් බෞද්ධ ආයතන එම විශ්වවිද්‍යාලයේ භාවනා ශාලා සහ දේශන කාමරවලින් වට වී තිබුණු විවෘත අංගන නිර්මාණය කර ඇති ආකාරයෙන් ආභාෂය ලැබුවේ ය. තව ද මෙහි නිෂ්පාදනය කරන ලද ප්‍රතිමා තායිලන්තයේ කිතුණු බිතු සිතුවම් කලාවට බලපෑ අතර ලෝහ කලාව මෙතැන් සිට ටිබෙටයට සහ මලයානු අර්ධද්වීපයට සංක්‍රමණය විය.

නමුත් ඇතැම් විට නාලන්දාවේ වඩාත් ම ගැඹුරු සහ නොනැසී පවතින උරුමය වන්නේ, එය ලැබූ ගණිතය සහ තාරකා විද්‍යාවේ ජයග්‍රහණයි.

ඉන්දියානු ගණිතයේ පියා ලෙස සැලකෙන ආර්යභාත, ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී විශ්වවිද්‍යාල ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට අනුමාන කෙරේ. "ගණිතමය ගණනය කිරීම් සරල කළ සහ වීජ ගණිතය හා කලනය වගේ වඩා ත් සංකීර්ණ ගණිත ක්‍රම දියුණු කරන්න උපකාරී වුණු විප්ලවීය සංකල්පයක් වන අංකයක් ලෙස ශුන්‍යය යොදා ගැනීම ප්‍රථමයෙන් කළේ ආර්යභාත කියලා අපි විශ්වාස කරනවා," යැයි කොල්කටාවේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙකු වන අනුරාධා මිත්‍ර පැවසුවා ය. "ශුන්‍යය නොතිබුණා නම් අපට පරිගණක නොතිබෙන්න තිබුණා," ඇය තවදුරට ත් පැවසුවා ය. "ඔහු වර්ග මූලය හා ඝන මූලය ආශ්‍රිත ගණනය කිරීම් සහ ගෝලාකාර ජ්‍යාමිතිය සඳහා ත්‍රිකෝණමිතික ශ්‍රිත භාවිතවල පුරෝගාමියෙකු ලෙස ද කටයුතු සිදු කළා. සඳෙහි දීප්තිය ඇති වන්නේ පරාවර්තනය වී එන සූර්යාලෝකයෙන් හේතුවෙන් යැයි පැවසූ පළමු පුද්ගලයා ත් ඔහු යි."

මෙම කාර්යය දකුණු ඉන්දියාවේ සහ අරාබි අර්ධද්වීපයේ ගණිතය හා තාරකා විද්‍යාවේ දියුණුවට ප්‍රබල ලෙස බලපාන්නට ඇත.

බෞද්ධ ඉගැන්වීම් සහ දර්ශනය ප්‍රචාරය කිරීම සඳහා මෙම විශ්වවිද්‍යාලය එහි හොඳ ම විද්‍යාර්ථීන් සහ මහාචාර්යවරුන් කිහිප දෙනෙකු චීනය, කොරියාව, ජපානය, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල්වලට නිතිපතා යවන ලදී. මෙම පැරණි සංස්කෘතික හුවමාරු වැඩසටහන ආසියාව පුරා බුදු දහම ව්‍යාප්ත කිරීමට සහ හැඩගැස්වීමට උපකාරී විය.

නාලන්දාවේ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ දැන් යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. 1190 ගණන්වලදී, උතුරු හා නැගෙනහිර ඉන්දියාව යටත් කර ගැනීමේදී බෞද්ධ දැනුම් මධ්‍යස්ථානය ඉවත් කිරීමට ගත් උත්සහයක් ලෙස තුර්කි-ඇෆ්ගන් හමුදා ජෙනරල් බක්තියාර් ඛිල්ජි නායකත්වය දුන් ආක්‍රමණිකයින් කණ්ඩායමක සිටි කොල්ලකාරී භට පිරිසක් විසින් විශ්වවිද්‍යාලය විනාශ කරන ලදී.

විශ්වවිද්‍යාලය කොතරම් විශාල ද යත් ප්‍රහාරකයින් විසින් ඇති කරන ලද ගින්න මාස තුනක් පුරා ඇවිලී ගිය බව පැවසේ.

අද, හෙක්ටයාර 23ක ප්‍රදේශයක් පුරා පැතිර ඇති කැණීම් කරන ලද මෙම භූමිය මුල් විශ්වවිද්‍යාලයේ හුදු කොටසක් පමණක් විය හැකි නමුත්, එහි ඇති ආරාම සහ පන්සල් සමූහය හරහා ගමන් කිරීම මෙම පෞරාණික ස්ථානයේ ඉගෙන ගැනීම මොනවාගේ ද යැයි යන හැඟීමක් ඇති කරයි.

මම ආරාමවල ආලින්දවල හා පෝටිකෝවල සහ පන්සල්වල පූජා කුටිවල සැරිසැරුවෙමි.

උස්, රතු ගඩොල් බිත්ති සහිත කොරිඩෝව හරහා ඇවිද ගිය පසු, මම ආරාමයක් ඇතුළත ඇති අංගනයකට පැමිණියෙමි. විශාල හා ගැඹුරු සෘජුකෝණාස්‍රාකාර අවකාශයේ ආධිපත්‍යය ගෙන තිබුණේ ඉහළට නැගුණු උස් ගල් වේදිකාවක් ය. "මේක ඉස්සර සිසුන් 300කට අසුන් ගන්න පුළුවන් දේශන ශාලාවක්. ගල් වේදිකාව ගුරුවරයාගේ කථිකාසනය," යැයි නටබුන් වටා මා රැගෙන ගිය මගේ දේශීය මාර්ගෝපදේශක කම්ලා සිං පැවසීය. ඇෆ්ගනිස්ථානය වැනි දුර බැහැර රටවල්වල සිසුන් ජීවත් වූ අංගනයේ සීමාව දිගේ ඇති කුඩා කාමරවලින් එකකට මම ගියෙමි.

එකිනෙක මුහුණට මුහුණ ලා ඇති කුටීර දෙකක් තෙල් සහිත පහන් තැබීමට සහ පෞද්ගලික බඩු බාහිරාදිය තබා ගැනීමට වූ අතර, කාමරයේ දොරටුව අසල ඇති කුඩා, හතරැස් හැඩැති කුහරය සෑම සිසුවෙකුගේ ම පෞද්ගලික ලිපි පෙට්ටිය ලෙස භාවිත කළ බව සිං පැහැදිලි කළේ ය.

වර්තමානයේ ඇති ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල මෙන්, ඇතුළත් වීම දුෂ්කර විය. ඇතුළත් වීමට අපේක්ෂා කරන සිසුන්ට නාලන්දාවේ උසස් මහාචාර්යවරුන් සමග බැරෑරුම් වාචික සම්මුඛ පරීක්ෂණවල නිරත වීමට සිදුවිය. සුදුසුකම් ලැබූවන්ට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විද්වත් මහාචාර්යවරුන් කණ්ඩායමක් විසින් උගන්වන ලද අතර ඒවා ධර්මපාල සහ සීලභද්‍ර වැනි එකල සිටි අතිගෞවරණීය බෞද්ධ පඬිවරුන් යටතේ සාමූහිකව ක්‍රියාත්මක විය.

පුස්තකාලයේ ඇති අතින් ලියන ලද පුස්කොළ අත්පිටපත් මිලියන නවය ලොව බෞද්ධ ප්‍රඥාවේ පොහොසත් ම කෝෂ්ඨාගාරය වූ අතර එහි පුස්තකාල ගොඩනැගිලි තුනෙන් එකක් ටිබෙට් බෞද්ධ විද්වතෙකු වන තාරානාථ විසින් විස්තර කරන ලද්දේ "අහස උසට නැගි" මහල් නවයක ගොඩනැගිල්ලක් ලෙසිනි.

පළා ගිය භික්ෂූන් විසින් රැගෙන යන ලද එම පුස්කොළ පොත්වලින් සහ තීන්ත ආලේප කරන ලද පත්තිරුවලින් අතළොස්සක් පමණක් ගින්නෙන් ආරක්ෂා විය. ඒවා දැන් එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ සහ ටිබෙටයේ යාර්ලුං කෞතුකාගාරයේ දැක ගත හැකි ය.

ගෞරවාදරයට පාත්‍ර චීන දේශාටන භික්ෂුවක වන ෂුඇන්සැං නාලන්දාවේ අධ්‍යාපනය ලැබූ අතර එහි ඉගැන්වීම් කටයුතුවල ද නිරත විය.

ක්‍රිස්තු වර්ෂ 645 වසරේදී උන්වහන්සේ චීනයට ආපසු ගිය අවස්ථාවේ කරත්තයක දමාගෙන යා හැකි තරම් ගණනක් වූ බෞද්ධ ග්‍රන්ථ 657ක් නාලන්දාවෙන් රැගෙන ගියේ ය.

මුළු ලෝකය ම යනු මනසේ නියෝජනයක් පමණක් යැයි අදහස් දරන ෂුඇන්සැං ලෝකයේ වඩාත් ම බලගතු බෞද්ධ විද්වතුන්ගෙන් කෙනෙකු බවට පත් වන අතර උන්වහන්සේ මෙම වෙළුම්වලින් කොටසක් චීන භාෂාවට පරිවර්තනය කරන්නේ, සිය ජීවන ග්‍රන්ථය නිර්මාණය කිරීමට ය.

උන්වහන්සේ ජපන් ශිෂ්‍යයෙකු වන දෝෂෝ පසුව මෙම භාෂිතය ජපානයට හඳුන්වා දෙන අතර එතැන් සිට ප්‍රධාන ආගමක් ලෙස පවතින එය චීන-ජපන් ලෝකයට තවදුරට ත් ව්‍යාප්ත වන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ෂුඇන්සැං "බුදු දහම නැගෙනහිරට ගෙන ආ භික්ෂුව" ලෙස ගෞරවයට පාත්‍ර වී ඇත.

ෂුඇන්සැංගේ නාලන්දාව පිළිබඳ විස්තරයේ, බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයෙකු සිහිපත් කිරීම සඳහා ඉදිකරන ලද විශාල ස්මාරකයක් වන මහා ස්ථූපය ගැන සඳහන් කර ඇත. අෂ්ඨාස්‍රාකාර පිරමීඩයක් හැඩැති, විසල් ස්ථූපයේ නටබුන් ඉදිරිපිට මම සිටගෙන සිටියෙමි. ගඩොලින් නිර්මාණය කර ඇති පඩිපෙළ, මහා ස්මාරකය ලෙසින් ද හැඳින්වෙන ප්‍රාසාදයේ මුදුනට ගමන් කරයි. බාහිර බිත්තිවල ඇති අවකාශවල අලංකාර ප්‍රතිමා තබා සරසන ලද මීටර් 30ක් උසැති ස්ථූපය වටා දිවෙන පේසාවේ කුඩා පූජාසන සහ පරිවාර ස්තූප රාශියක් දක්නට ලැබේ.

"මහා ස්ථූපය ඇත්ත වශයෙන් ම විශ්වවිද්‍යාලයට පෙර සිට තිබුණු අතර එය 3 වන සියවසේදී අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද්දක්. මෙම ස්ථූපය සියවස් අටක් පුරා කිහිප වතාවක් නැවත ගොඩනගා නැවත සකස් කරලා තිබෙනවා," මට එම ස්ථානයේදී හමු වූ මුම්බායිහි ඉතිහාස ගුරුවරියක වන අංජලී නායර් පැවසුවා ය. "සිය මුළු ජීවිතය ම විශ්වවිද්‍යාලයට කැප කරමින් මෙහි වැඩසිටි හා අපවත් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ භෂ්මාවශේෂ එම පරිවාර ස්ථූපවල අඩංගු බව" ඇය වැඩිදුරටත් පැවසුවා ය.

නාලන්දාවේ ඉගැන්වීම් ඉස්ලාම් ධර්මය සමග තරග කරන බවට හැඟුණු බැවින් ඛිල්ජි සහ ඔහුගේ හමුදා එය විනාශ කළ බවට පැතිර යන න්‍යාය පිළිබඳව එහි අභාවයෙන් ශතවර්ෂ අටකට වැඩි කාලයකට පසුව ද ඇතැම් විද්වත්හු තර්ක කරති. බුදු දහම මුලිනුපුටා දැමීම ප්‍රහාරය පිටුපස තිබුණු ගාමක බලවේගයක් විය හැකි අතර ඉන්දියාවේ පුරෝගාමී පුරාවිද්‍යාඥයෙකු වන එච්.ඩී. සාංකලියා, 1934 වසරේදී සිය නාලන්දා විශ්වවිද්‍යාලයේ නමැති ග්‍රන්ථයේ ලියුවේ, විශ්වවිද්‍යාලයේ තිබුණු බලකොටුවක් වැනි පෙනුම සහ එහි ධනය පිළිබඳ වූ කටකතා ආක්‍රමණිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට විශ්වවිද්‍යාලය වාසිදායක ස්ථානයක් ලෙස සැලකීමට ප්‍රමාණවත් හේතු වූ බව ය.

"ඔව්, ආක්‍රමණයට නිශ්චිත හේතුවක් සඳහන් කිරීම අපහසුයි," නාලන්දා කැණීම්වලදී සොයා ගත් ප්‍රතිමා, ලෝකඩ බුදු පිළිම සහ ඇත්දළ හා අස්ථි කොටස් වැනි 13,000කට අධික පුරාවස්තු අතරින් කෞතුක වස්තු 350ක් ප්‍රදර්ශනය කරන එම ස්ථානයේ ඇති කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ශංකර් ෂර්මා පැවසීය.

"ඒක නාලන්දාවට එල්ල වූ පළමු ප්‍රහාරය නොවෙයි," අපි නටබුන් මැදින් ඇවිද යද්දී ෂර්මා පැවසීය. "පස්වන සියවසේදී මිහිර්කුල යටතේ හුන්වරුන්ගේ ප්‍රහාරයට ලක් වූ අතර, 8 වන සියවසේදී බෙංගාලයේ ගෞඩ රජුගේ ආක්‍රමණයකින් නැවතත් දැඩි හානි සිදු වුණා.

"හුන්වරුන් කොල්ලකෑමට පැමිණි අතර, බෙංගාලයේ රජුගේ දෙවන ප්‍රහාරය ඔවුන්ගේ ශෛවවාදී හින්දු නිකාය සහ එකල බෞද්ධයන් අතර වැඩුණු ප්‍රතිවිරෝධයේ ප්‍රතිඵලයක් දැයි නිගමනය කිරීම දුෂ්කර ය. ප්‍රහාරයෙන් පසු පාලකයන්ගේ අධිරාජ්‍ය අනුග්‍රහය ඇතිව අවස්ථා දෙකේදී ම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන ලද අතර පහසුකම් පුළුල් කරන ලදී.

"ඛිල්ජි විසින් මෙම පූජනීය ඉගෙනුම් මධ්‍යස්ථානය ආක්‍රමණය කරනු ලබන විට, බුදු දහම ඉන්දියාව තුළ පරිහානියට පත්වෙමින් පැවතුණා," ෂර්මා පැවසීය. "එහි අභ්‍යන්තර පරිහානියත් එක්ක, ක්‍රි.ව. 8 වන සියවසේ සිට විශ්වවිද්‍යාලයට අනුග්‍රහය දැක්වූ බෞද්ධ පාල රාජවංශයේ පරිහානියත් සමග එල්ල වුණු තුන්වන ආක්‍රමණය අවසන් මරු පහරයි."

ඉදිරි සියවස් හය තුළ, නාලන්දාව ක්‍රමයෙන් අමතක වී ගොස් වැළලී යාමට පෙර 1812 වසරේදී ස්කොට්ලන්ත ජාතික මිනින්දෝරු ෆ්‍රැන්සිස් බුකානන්-හැමිල්ටන් විසින් එය සොයා ගනු ලැබූ අතර පසුව 1861 වසරේදී ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් එය පැරණි නාලන්දා විශ්වවිද්‍යාලය ලෙස හඳුනා ගනු ලැබීය.

රතු පැහැති සිවුරුවලින් සැරසුණු තරුණ හාමුදුරුවරුන් පිරිසක් පුරාණ පන්සලක විශාල කයිරු බැම්ම මත නැගීමට නතර වීමට පෙර උන්වහන්සේලා එම භූමියේ සංචාරය කරන ආකාරය කුඩා ස්ථූපයක් අසල සිට ගෙන මම බලා සිටියෙමි.

තරුණ භික්ෂුන්වහන්සේලා සිය දෑස් මහා ස්මාරකය දෙසට යොමු කර භාවනානුයෝගීව කෙළින් හිඳ ගැනීම දිස්වූයේ - කීර්තිමත් අතීතයකට නිහඬ උපහාරයක් ලෙසය.

‘ලෝකය වෙනස් කළ ස්ථාන’ යනු යම් ගමනාන්තයක් සමස්ත ලෝකයට සැලකිය යුතු බලපෑමක් ඇති කළේ කෙසේදැයි සොයා බලන බීබීසී සංචාරක වාර්තා මාලාවකි.-