T20 ලෝක කුසලානය 2024 : ශ්‍රී ලංකාවට වැරදුනේ ඇයි ? වැරදුනේ කොහේද?

බලාපොරොත්තු සුන් වූ ලෝක කුසලාන තරගාවලියක අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට 2024 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බලාපොරොත්තු සුන් වූ ලෝක කුසලාන තරගාවලියක අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට 2024 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු විය.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ D කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම තමන් මුහුණ දුන් තරග තුනෙන් දෙකක් පරාජයට පත්වූ අතර එක් තරගයක් වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු විය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වය ගැන ක්‍රීඩා ලෝලීන් පවා සමාජ මාධ්‍ය ඔස්සේ තම නොසතුටට පළකර සිටියේ ක්‍රීඩකයින් පවා හාස්‍යට ලක් කරමින්ය.

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂ බෝග්ලේ ද සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ පවතින තණ තීරුවල ස්වභාවය අනුව ශ්‍රි ලංකා කණ්ඩායම සිය පිතිකරණ අනුපිලිවෙල ගැන අවධානය යොමු කළ යුතු බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂ බෝග්ලේ ද සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ තණ තීරුවල ස්වභාවය අනුව ශ්‍රි ලංකා කණ්ඩායම සිය පිතිකරණ අනුපිලිවෙල ගැන අවධානය යොමු කළ යුතුව තිබූ බවය

අසාර්ථක වූ පිතිකරණ බල ඇණිය

පළමු වටයේ නෙදර්ලන්තය සමග පැවති අවසන් තරගයේ දී ලකුණු 201ක් රැස් කිරීම හැර සෙසු තරග දෙකේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථක වන ආකාරය දක්නට නොහැකිවීම කණගාටුවට කරුණක් විය.

දකුණු අප්‍රිකාව සමග පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 77 කට සීමා වූ අතර දෙවැනි තරගයේදී බංගලාදේශ කණ්ඩායම හමුවේ රැස් කළේ ලකුණු 124ක් පමණි.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට අර්ධ ශතකයක් හෝ රැස් කිරීමට නොහැකි වීම කැපී පෙනෙන සිදුවීමක් වීමක් වුණි.

ලකුණු ලබා ගැනීමේදී මෙවර තරගාවලිය තුළ කුසල් මෙන්ඩිස් ලකුණු 75ක් , චරිත් අසලංක ලකුණු 71ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 62ක් , ධනංජය ද සිල්වා ලකුණු 55ක් සහ පැතුම් නිස්සංක ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂ බෝග්ලේ ද සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ පවතින තණ තීරුවල ස්වභාවය අනුව ශ්‍රි ලංකා කණ්ඩායම සිය පිතිකරණ අනුපිලිවෙල ගැන අවධානය යොමු කළ යුතු බවය.

‘ශ්‍රී ලංකාව ඔවුන්ගේ පිතිකරණ අනුපිළිවෙලට අනුකූල වීමට අවශ්‍ය බව මම සිතනවා. නමුත් මෙම තත්ත්වයන් යටතේ ඇන්ජලෝ මැතිව්ස්ට අංක 3 පිතිකරුවා ලෙස ක්‍රීඩා කළ යුතුයි.’ ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වය ගැන ක්‍රීඩා ලෝලීන් පවා සමාජ මාධ්‍ය ඔස්සේ තම නොසතුටට පළකර සිටියේ ක්‍රීඩකයින් පවා හාස්‍යට ලක් කරමින්ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක කුසලාන තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වය ගැන ක්‍රීඩා ලෝලීන් පවා සමාජ මාධ්‍ය ඔස්සේ තම නොසතුටට පළකර සිටියේ ක්‍රීඩකයින් පවා හාස්‍යට ලක් කරමිනි

පන්දු යැවීමේදී දැක්වූ දක්ෂතාවය

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය පිතිකරුවන් විසින් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා නොගත් දකුණු අප්‍රිකානු සහ බංගලාදේශ තරග දෙකේදී සිය උපරිමය ලබා දෙන අයුරු දක්නට හැකි විය.

විශේෂයෙන් ලකුණු 78ක ඉලක්කයක් හඹා ගිය ප්‍රබල දකුණු අප්‍රිකානු පිතිකරණ බල ඇණියට එම තරගය ජය ගැනීම සඳහා පන්දු වාර 16.2ක් වැය කිරීමට සිදුවූ අතර ඔවුන්ගේ කඩුලු 4ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

එමෙන්ම දෙවැනි තරගයේ දී ලකුණු 125 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායමේ කඩුලු 8ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය.

නෙදර්ලන්තය සමග පැවති තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය සුපුරුදු ආක්‍රමණශීලි පන්දු යැවීම තුළින් ඔවුන්ගේ ඉනිම ලකුණු 118 කට සීමා කළේ ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයග්‍රහණයක් අත්කර දෙමින්ය.

මෙවර තරගාවලියේදී නුවන් තුෂාර කඩුලු 08ක්, වනිදු හසරංග කඩුලු 06ක්, මතීෂ පතිරණ කඩුලු 03ක් දවා ගන්නා ලදී.

මෙවර තරගාවලියේදී නුවන් තුෂාර කඩුලු 08ක්, වනිදු හසරංග කඩුලු 06ක්, මතීෂ පතිරණ කඩුලු 03ක් දවා ගන්නා ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවර තරගාවලියේදී නුවන් තුෂාර විසින් කඩුලු 8ක් දවා ගන්නා ලදී

‘අපිට සතුටු වෙන්න පුළුවන් තැනක නැහැ’

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දී පළමු වටයෙන්ම ඉවතට විසිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැන ප්‍රවීණ ක්‍රිකට් තරග විස්තර විචාරකයෙක් වන රොෂාන් අබේසිංහ ගෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු කියා සිටියේ පිතිකරණ අංශය ගැන සතුටු විය නොහැකි බවය.

'ශ්‍රී ලංකා කණ්ඩායම සමස්තයක් හැටියට ක්‍රීඩා කරපු විදිහ ගැන අපිට සතුටු වෙන්න බැහැ.ඒක තමයි මගේ අවසාන නිගමනය.'

'ශ්‍රී ලංකා කණ්ඩායම කිව්වම විශේෂයෙන් පිතිකරුවන්. පන්දු යවන්නන් නෙමෙයි. මොකද පන්දු යවන්නන්ට කාර්ය කරන්න පිතිකරුවන්ගෙන් සහයෝගය ලැබුනේ නැහැ. ඒක තමයි ඇත්ත.'

'නමුත් අවසාන තරගය දිහා බැලුවොත් අප දන්න ශ්‍රී ලංකා කණ්ඩායම තමයි පිතිකරණයට එළඹුණේ. ඒකට හේතුව තණ තීරුව හොදයි. ඒ නිසා අපේ පිතිකරුවන් ලකුණු අතරට ආවා.'

'ඇමෙරිකාවේ තණ තීරුවල යම් ආකාරයක ලොකු අභියෝගයක් තියෙනවා පිතිකරුවන්ට.'

'පැරණි ක්‍රීඩකයින් වගේම විශේෂඥයින් කියන දෙයක් තමයි විස්සයි 20 තරග වලදී තණ තීරුවල තත්ත්වයට අනුව පිතිකරුවන් තමාගේ ක්‍රීඩා කිරීම වෙනස් කළ යුතු වෙන්න ඕන කියලා. ඒත් අපි එහෙම දෙයක් ලංකාවේ පිතිකරුවන් ගෙන් දැක්කේ නැහැ. ඒක නිසා තමයි අපි අර පළමු තරග දෙක පරාජය වුණේ.' ඔහු කියා සිටියි.

‘අපිට වැරදුණේ කොතැනද කියලා සොයන්න ඕන’

ශ්‍රී ලංකා කණ්ඩායමට T20 ලෝක කුසලාන තරගාවලියේදී වැරදුනේ කොතනදැයි යන්න ගැන ගැඹුරින් සොයා බැලිය යුතු බව රොෂාන් අබේසිංහ කියා සිටියේය.

‘අපි උත්සාහ කරන්න ඕන අපිට කොතැනද වැරදුණේ කියලා සාධාරණව සහ අවංකව විශ්ලේෂණයක් කරන්න.’

‘මොකද අනිවාර්යෙන්ම අපිට වැරදුණා. ඒකනේ ඇත්ත. මේ තරගය දින්නා කියලා වැරදිච්ච එක වහන්න බැහැනේ අපිට. එහෙම ගියොත් අපි අපිවම රවට්ටා ගැනීමක් වෙන්නේ.’

"අපි අමාරු ප්‍රශ්න අහන්න ඕන. ඇයි වැරදුනේ ? කොහේද වැරදුනේ ? මොකක්ද අපි කළ යුත්තේ කියලා." ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට T20 ලෝක කුසලාන තරගාවලියේදී වැරදුනේ කොතනදැයි යන්න ගැන ගැඹුරින් සොයා බැලිය යුතු බව රොෂාන් අබේසිංහ කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩායමට T20 ලෝක කුසලාන තරගාවලියේදී වැරදුනේ කොතනදැයි යන්න ගැන ගැඹුරින් සොයා බැලිය යුතු බව රොෂාන් අබේසිංහ කියා සිටියේය

කොහොමද අපි T20 ක්‍රීඩකයින් හඳුන ගන්නේ ?

ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා විස්සයි 20 ක්‍රීඩකයින් සොයා ගන්න වැඩපිළිවලක් අවශ්‍ය බවත් එය පාසැල් මට්ටමින් ආරම්භ කළ යුතු බවත් රොෂාන් අබේසිංහ පැවසුවේය.

‘විස්සයි 20 ක්‍රීඩකයින් කොහොමද හඳුනා ගන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕන.’

‘අපි ක්‍රීඩා සමාජ තරගාවලියක් පවත්වනවා. ඒ තරගාවලියෙත් මම හිතන්නේ නැහැ අපි විස්සයි 20 ක්‍රීඩකයින් හරියට හඳුනා ගන්නවා කියලා.’

‘පාසැල් ක්‍රිකට් වලට අපි දවස් 03 ක්‍රිකට් හඳුන්වලා දෙන්න යනවා. දවස් තුනේ ක්‍රිකට් හඳුන්වලා දෙන්නේ පිතිකරුවගේ සහ පන්දු යවන්නන් ගේ තාක්ෂණය දියුණු කරන්න රතු පන්දුවෙන් ක්‍රීඩා කරන තරග සඳහා.’

‘නමුත් අපි පාසැල් තුළම අවුරුදු 19 හෝ 20න් පහළ T20 තරගාවලියක් ආරම්භ කරන්න ඕන කියන එකයි මගේ අදහස.’

‘මේක පටන් ගත්තම මේ T20 ෆොර්මැට් එකට අවශ්‍ය විදිහට ක්‍රීඩකයෝ බිහිවෙන්න පටන් ගන්නවා. එතකොට පාසැල් උත්සහ කරනවා තරග ජයග්‍රහණය කරන්න. විස්සයි 20 තරගවලට ඔබින පුහුණුකරුවන් පාසැලට එනවා.’

‘එතකොට පාසැල් මට්ටමින්ම රතු බෝලෙට සෙල්ලම් කරන එක ටීම් එකක් ගහනවා , T20 කියලා වෙනම ටීම් එකක් ගහනවා. එතකොට අපිට පැහැදිලිවම අඳුන ගන්න පුළුවන් හොද විස්සයි 20 ක්‍රීඩකයෝ කවුද කියලා.’

‘ඒ අය ක්‍රීඩා සමාජයකට ආවම එතනත් හැදිලා තියෙනවා T20 ටිම් එකක්.’

‘අපිට මෙහෙම කරලා ඉක්මන් ප්‍රතිඵල නොලැබුණත්, අවුරුදු 3-4ක් වගේ යද්දී මට හිතෙනවා අපි හොඳ ක්‍රීඩකයෝ සංඛ්‍යාවක් බිහිකරයි කියලා.

‘අද ලෝකය ටෙස්ට් ක්‍රිකට් වලට කැමති නැහැ. ICC එක උත්සාහ කරනවා ටෙස්ට් ක්‍රිකට් ආරක්ෂා කරන්න.’

‘ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වගේ කණ්ඩායම් හැම අවුරුද්දෙකම වැඩි ටෙස්ට් තරග ගණනක් ක්‍රීඩා කරනවා.’

‘ලංකාව, දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය වගේ කණ්ඩායම් අවුරුද්දකට ක්‍රීඩා කරන්නේ සීමිත ටෙස්ට් තරග සංඛ්‍යාවක්.’

‘බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්ථානය, සිම්බාබ්වේ සහ අයර්ලන්තය වගේ රටවල් ටෙස්ට් තරග වලට ක්‍රීඩා කරන්නෙම නැති ගානක් තියෙන්නේ.’

‘අද ICC එක උත්සහ කරනවා මේ සුදු පන්දුවෙන් කරන ක්‍රිකට් ක්‍රීඩාව විනෝදාස්වාදය වෙනුවෙන් කරන ක්‍රීඩාවක් විදිහට ප්‍රචලිත කරන්න. ඒ නිසා අපි ඒ ගැන වැඩි අවධානය යොමු කරන්න ඕන.’ ඔහු පැවසීය.

මේ අතර වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු සිය ධූරයෙන් සමුගැනීමට නියමිතව ඇති බවට සමාජ මාධ්‍යයේ විවිධ සටහන් පලකර තිබේ.

එම සටහන් සම්බන්ධයෙන් බිබීසී සිංහල කළ විමසීමට පිළිතුරු දෙමින් රොෂාන් අබේසිංහ පැවසුවේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් එහි තණ තීරු ගැන දැනීමක් තිබෙන ක්‍රිස් සිල්වර්වුඩ් වැනි පුහුණුකරුවෙක් අවශ්‍ය වන බවය.

 ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්

‘බොහෝ දුරට ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්ත සංචාරයේ අවසානය දක්වා ඉදිවී කියලා අපි හිතමු. එංගලන්තයේ තණ තීරු ගැන දැනුමක් තියෙන පුහුණුකරුවෙක් අවශ්‍යයි අපේ කණ්ඩායමට.’

‘අපි දන්නේ නැහැ ඔහුගේ ගිවිසුම ගැන. නමුත් මම හිතනවා ඒක එංගලන්ත සංචාරය දක්වා දීර්ඝ වෙයි කියලා.’ ඔහු කියා සිටියේය.

T20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත් කළ සතුටු විය හැකි එකම කාරණාව පන්දු යැවීමේ අංශය පමණක් බව ද රොෂාන් අබේසිංහ සඳහන් කර සිටියේය.

‘නෙදර්ලන්තය එක්ක තරගයේදී වුනත් ඒ පිතිකරුවන්ට කිසිම අදහසක් තිබුනේ නැහැ තුෂාර සහ මතිෂ ගේ පන්දු වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා.’

‘ඔවුන් ඒ තරම් හොදින් පන්දු යැව්වා. පිතිකරුවන්ගේ පීඩනය වැඩි වෙද්දී ඔවුන් ඉක්මන් ලකුණු ගන්න ගිහිල්ලා දැවි ගියා.’

‘මේ තරගාවලියේ සිටින කණ්ඩායම් වලින් හොඳම පන්දු යැවීමේ අංශය සහිත කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා කියන්න පුළුවන්.’

‘ඒ වගේම අමතක කරන්න හොද නැහැ දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක කියන අපේ ප්‍රධාන පන්දු යවන්නන් දෙන්නත් කණ්ඩායමේ හිටියා කියලා.’ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසීය.