ජාත්‍යන්තර කාන්තා දිනය: රෝස පාට ෂර්ට් සහ තොප්පිවලින් මුදල් ඉපයීමට තිබෙන දිනයක් ද?

Women wearing a green headscarf and a blue scarf covering her mouth, surrounded by other women at a protest in Lima, Peru

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2026 ජාත්‍යන්තර කාන්තා දින තේමාව 'අයිතිවාසිකම්. සියලු ම කාන්තාවන් සහ ගැහැනු ළමයින් සඳහා යුක්තිය. ක්‍රියාමාර්ග.' යන්න ය
    • Author, ඩොලි කාටර් සහ සාරා බෙල්
    • Role, බීබීසී ගෝලීය කාන්තවෝ
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටිමින් කාන්තා ජයග්‍රහණ ඉස්මතු කිරීමට සෑම වසරක ම මාර්තු 8 වන දින ලොව පුරා ජනතාවෝ ජාත්‍යන්තර කාන්තා දිනය සමරති.

සියවසකට වැඩි කාලයක් පුරාවට නිල වශයෙන් සමරන මෙම දිනයේදි, පෙළපාලි, සාකච්ඡා, ප්‍රසංග, ප්‍රදර්ශන සහ විවාද ඇතුළුව ලොව පුරා සැමරුම් දහස් ගණනක් පවත්වති.

නමුත් බොහෝ වාණිජ සන්නාම ජාත්‍යන්තර කාන්තා දිනය තේමා කරගත් ප්‍රවර්ධන කටයුතු දියත් කිරීමට හිමිවන අවස්ථාවක් ලෙස ද එය භාවිතා කරන අතර සමාජ මාධ්‍ය බලගැන්වීමේ හෑෂ් ටැග් වලින් පිරී ඉතිරී යයි.

මෙමගින් අදහස් කෙරෙන්නේ දේශපාලන ව්‍යාපාරයක් අලෙවිකරණ මොහොතකට සීමා වෙමින් පැවතීම දැයි විචාරකයින් විසින් ප්‍රශ්න කරමින් තිබෙයි.

Jamie Klingler wearing a red and blue dress and black jacket. She is being interviewed outside The Royal Courts of Justice by a news reporter holding a microphone and wearing a light blue jacket.

ඡායාරූප මූලාශ්‍රය, Callum Baker

ඡායාරූප ශීර්ෂ වැකිය, ජේමි ක්ලින්ග්ලර් (දකුණේ), කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් වන අතර ඇය Reclaim These Streetsහි සම-ආරම්භකවරියකි.

"ජාත්‍යන්තර කාන්තා දිනය කියලා කියන්නේ පිරිමින් සහ කාන්තාවන් අතර සමානාත්මතාවය වෙනුවෙන් කරන අරගලයේ ප්‍රගතිය සහ දායකත්වය සැමරීමට වෙන්වූ දිනයක් වෙන්න ඕනේ," යනුවෙන් කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක වන ජෙමී ක්ලින්ගර් පැහැදිලි කරයි.

"නමුත් ගැටලුවේ කොටසක් වන්නේ වාණිජකරණය, රෝස පාට තොප්පි දාගෙන, වෙනස් වෙනස් ටී ෂර්ට්වලින් සැරසිලා ඒවාට ගැලපෙන කරාබු මිලදී මිලදී ගන්න එක."

ඇමරිකානු ජාතික ක්ලින්ගර් පළමුව ඇගේ ෆිලඩෙල්ෆියා උසස් පාසලේදී ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් සංවිධානය කළා ය. අනතුරුව 2021 වසරේදී ලන්ඩනයේ පොලිස් නිලධාරියෙකු විසින් සාරා එවරඩ් ඝාතනය කිරීමෙන් අනතුරුව පිරිමින් විසින් සිදු කරන ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් කාන්තාවන්ට උපකාර කිරීම සඳහා ඇය සම-ආරම්භකයෙකු වශයෙන් Reclaim These Streets ව්‍යාපාරය ආරම්භ කළා ය.

සැබෑ ලෝකයේ වෙනසක් සිදු කිරීමට කිසිදු දායකත්වයක් දැක්වීමෙන් තොරව ජාත්‍යන්තර කාන්තා දිනය සමග අත්වැල් බැඳගන්නා සමාගම්වල අභිප්‍රායන් පිළිබඳව ජනතාව ප්‍රශ්න කළ යුතු බව ඇය පවසයි.

"ගොඩාක් සමාගම් උත්සාහ කරමින් ඉන්නේ මෙවැනි දේවල් හරහා මුදල් හම්බකරගන්න තමයි," ඇය පවසයි.

'අපට දැන් වෙන කවරදාටත් වඩා වැඩියෙන් ජාත්‍යන්තර කාන්තා දින‍යක් අවශ්‍යයි'

A woman with long, wavy, light brown hair and a fringe smiles at the camera. She is standing in front of a white wall, with shelves to her left

ඡායාරූප මූලාශ්‍රය, Lauren McCarthy

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාගම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය බැරෑරුම් ලෙස ගත යුතු අතර අර්ථවත් ආකාරයකින් එයට සම්බන්ධ විය යුතු බව ආචාර්ය ලෝරන් මැකාති පවසයි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජාත්‍යන්තර කාන්තා දිනය න්‍යාය පත්‍රයේ තීරණාත්මක කොටසක් ලෙස පවතින බව විශ්වාස කරන අතර, සමාගම් එය අලෙවිකරණ අවස්ථාවක් ලෙස දැකීමෙන් එහි අර්ථය දුර්වල වී ඇති බවට ආචාර්ය ලෝරන් මැකාති කනස්සල්ලට පත්ව සිටියි.

"ඒක හැමවෙලාවෙම විප්ලවය, බලය සහ ආපසු ලබා ගැනීම වෙනුවෙන් සටන කිරීම ගැන දෙයක් සහ අපි අන් කවරදාටත් වඩා ඒක තදින් අල්ල ගන්න ඕනේ වෙලා තියෙනව්. අපි අපේ රැඩිකල් මූලයන් නැවත වැළඳ ගන්න ඕනේ," ඇය පවසයි.

ව්‍යාපාර, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සමග අර්ථවත් සම්බන්ධතාවයක් පවත්වන බවට සහතික විය යුතු බව ජාත්‍යන්තර කාන්තා දිනයේ ඉතිහාසය සහ ආයතනික ලෝකය විසින් එය සම්මත කර ගැනීම පරීක්ෂා කිරීමට සිදු කරන අධ්‍යයනයක කතුවරුන්ගෙන් කෙනෙකු වන ආචාර්ය මැකාති පවසයි.

"අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ එය හොඳින් සැමරීම කොහොම වෙයි ද කියන එක ගැන හිතලා බලන්න කියලයි, ඒක අව්‍යාජ වෙන්න ඕනේ. ඒ කියන්නේ කප්කේක් දෙන එක දවසක් පමණක් නෙමෙයි සංවිධානවලට කළ හැකි පද්ධතිමය වෙනස්කම් සහිත එකක් වෙන්න ඕනේ," ඇය පවසයි.

නිදසුනක් වශයෙන්, ව්‍යාපාර ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය වාර්තා කිරීම සම්බන්ධයෙන් අවම වශයෙන් කටයුතු කරන්නේ ද, එසේ නොවන්නේ නම් ඒ පිළිබඳව ගැඹුරින් සොයා බලා වෙනස්කම් සිදු කිරීමට කැපවන්නේද යන්න විමසා බැලිය යුතු ය.

ගෝලීය වශයෙන් විවිධ අත්දැකීම් ඇති කාන්තාවන් බිලියන පහක් සිටින බව පිළිගැනීම ද ඉතා වැදගත් බව ආචාර්ය මැකාති තවදුරටත් පවසයි.

"බහුවිධතාවය ඉතාමත් වැදගත්, සාර්ථක වීම සඳහා විවිධ දේවල් අපේක්ෂා කරන විවිධ වර්ගයේ කාන්තාවන් අතර පවතින වෙනස්කම් තේරුම් ගැනීමට ව්‍යාපාර වලට කාලය වැය වෙයි," ඇය පැහැදිලි කරයි.

මල් සහ ත්‍යාග

මෙම දිනයේ වාණිජමය ලක්ෂණ සම්පූර්ණයෙන් ම වර්තමානයට පමණක් අදාළ සංසිද්ධියක් නොවේ. ලෝකයේ ඇතැම් ප්‍රදේශවල විශේෂයෙන්ම මල් සහ අනෙකුත් තෑගි මිලදී ගැනීම සංස්කෘතික සම්ප්‍රදායේ වැදගත් කොටසක් වන අතර එයට සංකේතාත්මක අර්ථයක් පවතී.

ඉතාලියේ වෙසෙන පිරිමි පුද්ගලයෝ සාමාන්‍යයෙන් සිය ජීවිත කාලයේදී කාන්තාවන්ට කහ පැහැති මිමෝසා මල් පිරිනමති. මාර්තු මාසයේ පිපෙන මිමෝසා මල්, La Festa della Donna ලෙස හඳුන්වන අතර එය අන්තර්ජාතික කාන්තා දිනයේ සංකේතයක් ලෙස සැලකේ.

නැගෙනහිර යුරෝපය සහ මධ්‍යම ආසියාව ඇතුළු අනෙකුත් කලාපවල මාර්තු 8 දිනය සංකේතවත් කරන්නේ මල් වර්ග තෑගි කිරීමෙන් ය. එය නිල වශයෙන් පිළිගත් රජයේ නිවාඩු දිනයක් ද වේ.

චීනය තුළ එරට රාජ්‍ය කවුන්සිලයේ උපදෙස් පරිදි බොහෝ කාන්තාවන්ට එදින වැඩ මුරයෙන් වරුවක කාලයක් නිවාඩුවක් ලෙස ලබා දෙයි.

ජාත්‍යන්තර කාන්තා දිනය ආරම්භ වූයේ කෙසේ ද?

A black and white photograph featuring Clara Zetkin, looking toward the camera.

ඡායාරූප මූලාශ්‍රය, Corbis / Hulton Deutsch

ජාත්‍යන්තර කාන්තා දිනය කම්කරු ව්‍යාපාර තුළින් ආරම්භ විය. 1908 වසරේදී එහි මූලික පදනම සකස් වූ අතර, එහිදී කාන්තාවෝ 15,000ක් කෙටි සේවා කාලයක්, වඩා හොඳ වැටුප් සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඉල්ලා නිව්යෝර්ක් නගරය හරහා පෙළපාලි පැවැත්වූහ.

වසරකින් අනතුරුව අමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලදී.

ජර්මානු ජාතික කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්ලාරා සෙට්කින් ජාත්‍යන්තරව පිළිගත් කාන්තා දිනයක් හඳුන්වා දීමේ අදහස ඉදිරිපත් කළා ය.

1910 වසරේ කෝපන්හේගන්හිදී පැවැති ජාත්‍යන්තර වැඩ කරන කාන්තාවන්ගේ සමුළුවකදී ඇය සිය යෝජනාව ඉදිරිපත් කළ අතර එම අවස්ථාව සඳහා රටවල් 17කින් පැමිණ සිටි කාන්තාවන් 100 දෙනෙක් යෝජනාවට ඒකමතිකව සහය ලබා දුනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1975 වසරේදී මෙම දිනය සැමරීම ආරම්භ කළ අතර, එහි පළමු තේමාව 1996 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද අතර එහි දැක්වුණේ "අතීතය සැමරීම, අනාගතය සඳහා සැලසුම් කිරීම" යනුවෙනි.

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 8 වන දින පවත්වන්නේ ඇයි?

ජාත්‍යන්තර සැමරුමක් සඳහා සෙට්කින් ඉදිරිපත් කළ යෝජනාව විශේෂ දිනයකට බැඳී නොතිබිණි.

1917 යුද සමයේදී රුසියානු කාන්තාවන් "පාන් සහ සාමය" වෙනුවෙන් දියත් කළ වැඩ වර්ජනයකින් අනතුරුව මාර්තු 8 වන දිනය ඒ සඳහා තෝරා ගැනිණි.

වැඩ වර්ජනය ආරම්භ වී දින හතරකට පසුව සාර් රජුට සිහසුන අතහැරීමට සිදු වූ අතර තාවකාලිකව පත්වූ රජය කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන්නේ ය.

එවකදී රුසියාව තුළ භාවිතයට ගැනුණු ජූලියන් දින දර්ශනයට අනුව, කාන්තාවන්ගේ වැඩ වර්ජනය ආරම්භ වූයේ පෙබරවාරි 23 වැනිදා ය.

ලෝකයේ සෙසු බොහෝමයක් රටවල භාවිතා වන ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව, එම දිනය මාර්තු 8 වේ.

2026 ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව කුමක්ද?

මෙම වසර සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දී ඇති තේමාව වන්නේ "සියලු ම කාන්තාවන් සහ ගැහැනු ළමයින් සඳහා: අයිතිවාසිකම්, යුක්තිය, ක්‍රියාකාරිත්වය" යන්න යි.

පිරිමින්ට ඇති නීතිමය අයිතිවාසිකම්වලින් කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට ඇත්තේ 64%ක් පමණක් බව එය අනතුරු අඟවයි. ඔවුන් කිසි විටෙකත් සමානාත්මතාවයට සමීප වී නැති අතර එය අහිමි වීමටද කිසි විටෙකත් සමීප වී නැති බව එහි සඳහන් වේ.

එහි තේමාවෙන් අපේක්ෂා කෙරෙන්නේ "වෙනස් කොට සැලකීමේ නීති, දුර්වල නීතිමය ආරක්ෂාවන් සහ හානිකර භාවිතයන් සහ සමාජ සම්මතයන්" ඇතුළුව සමාන යුක්තියට ඇති සියලු බාධක ඉවත් කිරීම යි.

විවිධ තේමාවන් යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රවර්ධනය කරන වෙනත් සංවිධාන ද පවතී.

ජාත්‍යන්තර පිරිමින්ගේ දිනයක් තිබෙනවා ද?

1990 දශකයේ සිට ජාත්‍යන්තර පිරිමින්ගේ දිනය නොවැම්බර් 19 වන දිනට යෙදී ඇත.

මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් පිළිගෙන නොමැති නමුත්, එක්සත් රාජධානිය ඇතුළුව ලොව පුරා රටවල් 80කට වැඩි ගණනක එය සමරයි.

සංවිධානයකයින් පවසන පරිදි මෙම දිනයේදී "පිරිමි ලෝකයට, ඔවුන්ගේ පවුල්වලට සහ ප්‍රජාවන්ට ගෙන එන ධනාත්මක වටිනාකම" කෙරෙහි අවධානය යොමු කෙරේ.

එහි අරමුණ වන්නේ ධනාත්මක ආදර්ශමත් චරිත ඉස්මතු කිරීම, පිරිමින්ගේ යහපැවැත්ම පිළිබඳ දැනුවත්භාවය වැඩිකිරීම සහ ස්ත්‍රී පුරුෂ සබඳතා වැඩිදියුණු කිරීමයි.