ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මහ ඇමතිවරයා විසින් මුස්ලිම් වෛද්‍යවරියකගේ හිජාබය ගැලවීම නිසා වෛරල් වූ වීඩියෝව: සිදුවීම ගැන අප දන්නේ මොනවා ද?

බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර් විසින් පසුගිය දෙසැම්බර් 15 වන දින අලුතින් පත්වූ ආයුෂ් වෛද්‍යවරුන්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේදී පත්වීම් ලැබූ වෛද්‍යවරියකගේ හිජාබය ගලවා දැමීම හේතුවෙන් මතභේදයක් ඇතිවී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Screenshot

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මහ ඇමති නිතිෂ් කුමාර් විසින් පසුගිය දෙසැම්බර් 15 වන දින අලුතින් පත්වූ ආයුර්වේද වෛද්‍යවරුන්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේදී පත්වීම් ලැබූ වෛද්‍යවරියකගේ හිජාබය ගලවා දැමීම හේතුවෙන් මතභේදයක් ඇතිවී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂ දේශපාලන පක්ෂ නිතිෂ් කුමාර් ඉලක්ක කරගනිමින් ඔහු 'මානසිකව අස්ථාවර' බව පවසති.

සමාජ මාධ්‍යයේ වෛරල් වූ වීඩියෝවක දැක්වෙන්නේ අලුතින් පත්වීම් ලැබූ මුස්ලිම් වෛද්‍යවරියකට පත්වීමේ ලිපිය ලබා දෙන අතරතුර නිතිෂ් කුමාර් විසින් ඇයගේ හිජාබය පහළට ඇද ගලවන ආකාරයයි.

නිතිෂ් කුමාර් මහ ඇමතිවරයාගේ පිටුපසින් සිටගෙන සිටින බිහාර් නියෝජ්‍ය මහ ඇමති සමරත් චෞද්රි මහ ඇමතිවරයා එසේ කිරීම වැළැක්වීමට උත්සාහ කරන ආකාරය වීඩියෝවේ දැක්වේ. කෙසේ වෙතත්, බිහාර් සෞඛ්‍ය ඇමති මංගල් පාණ්ඩේ සහ මහ ඇමතිවරයාගේ ප්‍රධාන ලේකම් දීපක් කුමාර් සිනාසෙන අයුරු දැකගත හැකි ය.

හිජාබයක් පැළඳ සිටි අලුතින් පත් කරන ලද වෛද්‍යවරිය ඇගේ පත්වීම් ලිපිය ලබා ගැනීමට පැමිණි විට, 75 හැවිරිදි මහ ඇමති "මේ මොකක්ද ?" යනුවෙන් විමසමින් වේදිකාව මත සිටගෙන සිටියදී, නිතිෂ් කුමාර් තරමක් නැමී ඇගේ හිජාබය පහත් කළේ ය.

ආයුෂ් වෛද්‍යවරුන්ට පත්වීම් ලිපි බෙදා දීමේ උත්සවයේ ඡායාරූප නිතිෂ් කුමාර්ගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණි. මෙම ඡායාරූප සමග නිතිෂ් කුමාර් මෙසේ ලියා තිබිණි. "අද, මම ප්‍රධාන අමාත්‍ය ලේකම් කාර්යාලයේ පිහිටි 'සම්වාඩ්' හි ආයුර්වේද වෛද්‍යවරුන් 1,283 දෙනෙකුට (ආයුර්වේද, හෝමියෝපති සහ යුනානි) පත්වීම් ලිපි බෙදා දීමේ උත්සවයට සහභාගී වුණා."


පත්වීමේ ලිපි ලැබූ නව වෛද්‍යවරුන්

ඡායාරූප මූලාශ්‍රය, @NitishKumar

විපක්ෂයේ විරෝධය

මෙම සිදුවීමේ වීඩියෝපටය බෙදා ගනිමින් විපක්ෂ පක්ෂ වන කොංග්‍රස් පක්ෂය සහ රාෂ්ට්‍රීය ජනතා දාල් පක්ෂය නිතිෂ් කුමාර් ඉලක්ක කර ගෙන තිබේ.

"මේ බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර්. බලන්න එයාගේ ලැජ්ජා නැතිකම. වෛද්‍යවරියක් එයාගේ පත්වීම් ලිපිය ගන්න ආව ම, නිතිෂ් කුමාර් එයාගේ හිජාබ් එක ගැලෙව්වා,"යනුවෙන් කොංග්‍රස් පක්ෂය ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ පල කර තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"බිහාර්හි ඉහළම තනතුර දරන පුද්ගලයා එවැනි හැසිරීම් වල විවෘතව නිරත වෙමින් ඉන්නවා. ප්‍රාන්තයේ කාන්තාවන් කෙතරම් ආරක්ෂිත වේදැයි සිතා බලන්න. මෙම නින්දිත ක්‍රියාව සඳහා නිතිෂ් කුමාර් වහා ම ඉල්ලා අස්විය යුතුයි. මෙම අශිෂ්ටත්වයට සමාව දෙන්න බෑ," යනුවෙන් කොංග්‍රස් පක්ෂය සටහන් කර තිබේ.

"නිතිෂ් ජීට මොකද වුණේ? ඔහුගේ මානසික තත්ත්වය කණගාටුදායක තත්ත්වයකට පැමිණ තිබෙනවා...," යැයි බිහාර්හි ප්‍රධාන විපක්ෂ පක්ෂය වන රාෂ්ට්‍රීය ජනතා දාල් පක්ෂය ඒ සම්බන්ධයෙන් සටහන් කර තිබේ.

එක්සත් ජනතා දාල් පක්ෂයේ ප්‍රකාශක නීරාජ් කුමාර්, ඉන්දියන් එක්ස්ප්‍රස් ඉංග්‍රීසි පුවත්පතට අදහස් දක්වමින් මහ ඇමතිවරයා ආරක්ෂා කරමින් කියා සිටියේ, විරුද්ධ පක්ෂ විසින් කිසිදු විශේෂිත වීඩියෝ පටයක් අනවශ්‍ය ලෙස උද්දීපනය නොකළ යුතු බව ය.

"බිහාර්හි කාන්තාවන් සහ සුළු ජාතීන්ගේ සුභසාධනය සඳහා නිතිෂ් කුමාර් බොහෝ දේ කරලා තියෙනවා," නීරාජ් කුමාර් පැවසීය.

මේ කාරණය සම්බන්ධයෙන් දයෝබන්ඩි පූජක (සුන්නි ආගමික සංවිධානයක්) ක්වාරි ඉෂාක් ගෝරා PTI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ, "මෙය මා පමණක් නොව මුළු රටම කෝපයට පත් කරන්න ඇති. නිතිෂ් කුමාර් උත්සවයකදී කාන්තා ඇඳුමක් ගලවා දමනවා දකින්න පුළුවන්. එක් අතකින්, ඔබ කාන්තා ගෞරවය ගැන කතා කරනවා, අනෙක් පැත්තෙන්, ඔබ කාන්තාවකට අපහාස කරන බවක් පේනවා. මේ කාරණය සම්බන්ධයෙන් නිතිෂ් කුමාර් මුළු රටේ ම කාන්තාවන්ගෙන් සමාව ගත යුතුයි."

නිතිෂ් කුමාර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පාකිස්ථානයේ සමාජ මාධ්‍ය ප්‍රතිචාර

පාකිස්ථානයේ ජනතාව ද සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් සිටිති. පාකිස්ථාන දේශපාලන විශ්ලේෂක අම්මාර් මසූඩ්, නිතිෂ් කුමාර්ගේ වීඩියෝ පටය බෙදා ගනිමින් මෙසේ ලිවී ය. "මෙය ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට සිදුවන අයුතු සැලකිලි පිළිබඳ කණගාටුදායක උදාහරණයක්. බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර් මුස්ලිම් වෛද්‍යවරියකට පත්වීමේ ලිපියක් ලබා දෙන අතරතුර බලහත්කාරයෙන් ඇයගේ ඇඳුම ගලවා දැමුවා."

පාකිස්ථාන මාධ්‍යවේදී මොයිද් පිර්සාඩා X සමාජ මාධ්‍යයේ මෙසේ ලියා තිබේ. "මෙය ඉතා විශේෂ වීඩියෝවක්. එය බොහෝ මට්ටම්වලින් පීතෘ මූලිකත්වය සහ නූතනත්වය අතර සංස්කෘතික ගැටුම පෙන්නුම් කරනවා. කාන්තාවගේ හිජාබය ඉවත් කරන මහ ඇමතිවරයාට ඔහුගේ පීතෘ මූලික මානසිකත්වය තුළ ආරක්ෂිත බවක් දැනෙනවා. ඇයගේ මුහුණ පෙන්වීමට සහ ඇගේ සාර්ථකත්වය ලෝකය සමඟ බෙදා ගැනීමට ඇයව දිරිමත් කරන බව ඔහුට හැඟෙනවා! සියල්ලට පස්සේ, කාන්තාවක් සම්මානයක් ලබන විට සහ ඇගේ සාර්ථකත්වය සමරනු ලබන විට ඇගේ අනන්‍යතාවය සඟවන්නේ ඇයි?"

"වැඩිහිටි කාන්තාවකගේ පෞද්ගලිකත්වය බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන්, ඇගේ අනන්‍යතාවය හෙළි කිරීමෙන් සහ ඇයට දරුවෙකුට මෙන් සැලකීමෙන් ඔහු නූතන සදාචාරාත්මක වටිනාකම් අපහාසාත්මක ආකාරයෙන් උල්ලංඝණය කරනවා. කෙසේ වෙතත්, ගැටලුව සරල දෙයක් නෙවෙයි. නූතන සමාජයේ, කාන්තාවන් බොහෝ විට තම මුහුණු ආවරණය නොකරන්න අපේක්ෂා කරනවා. හිජාබ් හෝ නිකාබ් පැළඳ සිටින කාන්තාවන් සමහර විට පීතෘ මූලික පාලනයේ අසරණ ගොදුරු ලෙස සලකනු ලබනවා," යනුවෙන් මොයිඩ් පීර්සාඩා ලියයි.

මහ ඇමතිවරයාගේ මෑත කාලීන හැසිරීම්

මෑත වසරවලදී, මහජන රැස්වීම් සහ ව්‍යවස්ථාදායක සභාව තුළ නිතිෂ් කුමාර්ගේ හැසිරීම බොහෝ ප්‍රශ්න මතු කර තිබේ. මේ වසරේ අගෝස්තු 21 වන දින, මද්‍රසා උත්සවයකදී හිස් ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කරන නිතිෂ් කුමාර්ගේ වීඩියෝවක් වෛරල් විය.

කෙසේ වෙතත්, 2013 දී, නිතිෂ් කුමාර් NDA වෙතින් වෙන් වූ විට, ඔහු භාරතීය ජනතා පක්ෂයට විරෝධය දක්වමින් කියා සිටියේ තමා තිලකය සහ හිස් වැසුම යන දෙක ම පැළඳ සිටින බව ය. ඉන්පසු නිතිෂ් කුමාර් ඉෆ්තාර් සාදවලදී හිස් ආවරණය පැළඳ සිටියේ ය.

මීට මාස කිහිපයකට පෙර, නිතිෂ් කුමාර් උත්සවයකදී ඉන්දියානු පරිපාලන සේවා නිලධාරියෙකුගේ (IAS) හිස මත කුඩා මල් පෝච්චියක් තැබී ය. මේ වසරේ ජනවාරි මාසයේදී, මහත්මා ගාන්ධිගේ 77 වන අනුස්මරණ සංවත්සරයේදී ඔහුට උපහාර දැක්වීමෙන් පසු, නිතිෂ් කුමාර් හදිසියේම අත්පුඩි ගැසීමට පටන් ගත්තේ ය.

මාර්තු මාසයේදී ඔහු ජාතික ගීය ගායනා කරන අතරතුර ඔහුගේ ප්‍රධාන ලේකම්වරයා සමග කතා කරමින් සිනාසෙමින් සිටිනු දක්නට ලැබිණි. පසුගිය වසරේ දර්බන්ගාහිදී නිතිෂ් කුමාර් අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාද ස්පර්ශ කිරීමට උත්සාහ කළේ ය.