දත් මදිද්දී බෙල්ලේ නහරයක් පුපුරා යාමෙන් හෙළි වූ විරල රෝගී තත්ත්වය

රාහුල් කුමාර් ජන්ග්ඩේ

ඡායාරූප මූලාශ්‍රය, Lakshmi Jangde

    • Author, විෂ්ණුකාන්ත් තිවාරි
    • Role, බීබීසී වාර්තාකරු

''මං උදේ මගේ දත් මදිමින් ඉන්නකොට මට ඉක්කාවක් ආවා. ඊට පස්සේ මගේ උගුරේ දකුණු පැත්තෙ ඇතුලේ බැලුමක් වේගයෙන් පිම්බෙනවා වගේ දැනුනා. මිනිත්තු කිහිපයක් ඇතුළත මගේ උගුර සම්පූර්ණයෙන්ම ඉදිමීලා මගේ ඉදිරිපිට හැමදේම අඳුරුවෙලා යන තරමට වේදනාවක් දැනෙන්න පටන් ගත්තා."

චටිස්ගර් ප්‍රාන්තයේ අගනුවර වන රායිපූර්හි වෙසෙන රාහුල් කුමාර් ජන්ග්ට මතකයේ ඇත්තේ දෙසැම්බර් 1 වන දින හදිසියේම දරාගත නොහැකි වේදනාවක් දැනුණු විට, ඔහු තම බිරිඳට මෙලෙස පැවසූ බව පමණි: "මට ටිකක් හරි නැහැ වගේ, අපි ඉස්පිරිතාලේට යන්න ඕනේ."

ඉන් අනතුරුව පියවි සිහියට පැමිණෙන විට ඔහු රායිපූර් හි වෛද්‍ය භීම්රාඕ අම්බෙඩ්කාර් රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සිටියේය.

වෛද්‍යවරුන් පැවසුවේ එය කිසිදු තුවාලයක් හෝ අසනීප තත්ත්වයක් නිසා ඇති වූවක් නොවන නමුත් දුර්ලභ සිදුවීමක් බවයි. ගෙල ප්‍රදේශයේ පිහිටි මොළයට රුධිරය සපයන ධමනියක් ඉබේ පුපුරා යාමෙන් එය සිදුවී තිබිණි.

මෙය කැරොටයිඩ් ධමනි කැඩී යාම ලෙස හඳුන්වන අතර එය චටිස්ගර් ප්‍රාන්තයෙන් වාර්තා වූ පළමු සිදුවීමයි.

භීම්රාඕ අම්බෙඩ්කාර් රෝහලේ හෘද, ලය සහ රුධිර වාහිනී ශල්‍යකර්ම ඒකකයේ වෛද්‍යවරු පැය 6 ක පමණ සංකීර්ණ සැත්කමකින් පසු රාහුල්ගේ ජීවිතය බේරා ගැනීමට සමත් වූහ.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වෛද්‍ය ක්‍රිෂ්ණකාන්ත් සාහු බීබීසී හින්දි සේවය වෙත පැවසුවේ, "බෙල්ලේ නහරයක් පුපුරාටාහ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන් අවස්ථාවක්. ප්‍රතිකාර නොකළහොත් මිනිත්තු කිහිපයක් ඇතුළත මැරෙන්න වුනත් පුළුවන්. නමුත් මෙය බොහෝ විට සිදුවන්නේ බරපතල අනතුරු හෝ උගුරේ පිළිකා වගේ රෝගවලදී තමයි. සාමාන්‍ය පුද්ගලයකු තුළ බෙල්ලේ නහර ඉබේම පුපුරා යාම ඉතා දුර්ලභ සිදුවීමක්''

"වෛද්‍ය සඟරාවලට අනුව මේ දක්වා ලොව පුරා එවැනි අවස්ථා 10 ක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ. ඒක ඒතරමට දුර්වල සිදුවීමක්" ඔහු තවදුරටත් පැවසීය.

(pseudoaneurysm)

ඡායාරූප මූලාශ්‍රය, Doctor Krishnakant Sahu

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වයස අවුරුදු 40ක් වන රාහුල්, චත්තිස්ගාර් ප්‍රාන්තයේ අගනගරය වන රායිපූර් අසල පිහිටි භාන්පුරි ප්‍රදේශයේ වාසය කරයි. ඔහු කාන්තාවන්ගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන කුඩා වෙළඳසැලක් පවත්වාගෙන යයි. ඔහුගේ පවුල , බිරිඳ සහ දරුවන් තිදෙනා ඇතුළුව පුද්ගලයින් පස්දෙනෙකුගෙන් සමන්විත වේ.

රාහුල් බීබීසී හින්දි සේවය වෙත කියා සිටියේ, මෙවැනි ගැටලුවක් තමන් මින් පෙර කිසිදිනෙක අත්විඳ නොමැති බවයි. නමුත් දෙසැම්බර් මාසයේ උදෑසනකදී සිදුවූ එම සිදුවීම රාහුල්ට පමණක් නොව වෛද්‍යවරුන්ටත් අතිශය අසාමාන්‍ය සිදුවීමක් විය.

වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළි වූයේ රාහුල්ගේ දකුණු කැරොටයිඩ් ධමනිය පුපුරා ගොස් ඇති බවයි.

ඇත්ත වශයෙන්ම, බෙල්ලේ ඇති දකුණු සහ වම් කැරොටයිඩ් ධමනි මගින් මිනිස් හදවතේ සිට මොළයට ඔක්සිජන් සහිත රුධිරය රැගෙන යයි.

හෘදයෙන් ශරීරයේ අනෙකුත් කොටස් වෙත රුධිරය රැගෙන යන රුධිර නාලිකා ධමනි ලෙස හඳුන්වයි. මෙම රුධිර නාලිකා ජාලය මනුෂ්‍ය ශරීරය පුරා ඉතාමත් ආරක්ෂිතව සහ ශක්තිමත්ව පැතිරී ඇත.

වෛද්‍යවරුන්ගේ අදහස අනුව, බොහෝ අවස්ථාවල ශරීරයේ කොතැනක හෝ ඇතිවන කැපීමක් හෝ පිළිස්සීමක් මරණාන්තික වන්නේ හෘදයෙන් රුධිරය සැපයෙන රුධිර නාලිකාවකට හානි වී එයින් රුධිරය වහනය වන විට පමණි. එයට හේතුව වන්නේ, හෘදයෙන් ශරීරයේ අනෙකුත් කොටස් වෙත රුධිරය ගෙන යන මෙම රුධිර නාලිකා තුළ ඉතා වැඩි පීඩනයක් යටතේ රුධිරය ගලා යාම නිසා, ඉතා කෙටි වේලාවක් තුළ විශාල රුධිර ප්‍රමාණයක් වහනය විය හැකි වීමයි.

මෙම සැත්කම මෙහෙයවනු ලැබුවේ වෛද්‍ය ක්‍රිෂ්ණකාන්ත් සාහු විසිනි.

"කිසිදු තුවාලයක්, ආසාදනයක්, පිළිකාවක් හෝ පෙර සිට පැවති රෝගයකින් තොරව ඉබේම කැරොටයිඩ් ධමනි කැඩීයාම දුර්ලභ අවස්ථාවක්"

රාහුල්ගේ බෙල්ලේ දකුණු කැරොටයිඩ් ධමනිය කැඩී යාම නිසා, බෙල්ල වේගයෙන් රුධිරයෙන් පිරී ගිය අතර, ධමනිය වටා රුධිරය පිරීම නිසා, බැලූනයක් වැනි ව්‍යුහයක් ඇති වූ අතර, එය වෛද්‍ය විද්‍යාවේදී (pseudoaneurysm) ලෙස හැඳින්වේ.

"වෛද්‍ය ඉතිහාසය තුළ ලොව පුරා එවැනි අවස්ථා තිබෙන්නේ අතේ ඇඟිලි ගණනට වගේ. මගේ මුළු වෘත්තීය ජීවිතය තුළම, මම එවැනි අවස්ථාවක් දැකලා හෝ අහලා නැහැ.''

එවැනි අවස්ථාවකදී ජීවිතයක් බේරා ගැනීම කොතරම් දුෂ්කරද?

රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය

ඡායාරූප මූලාශ්‍රය, Doctor Krishnakant Sahu

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ඔහුට සැලකූ ආකාරය ඔහුට ධෛර්යයක් ගෙන දුන් බව රාහුල් පවසයි

"සරලවම කියනවා නම් කැරොටයිඩ් ධමනි අවහිර වීමක් නිසා ආඝාතයක් ඇති වෙන්න පුළුවන්. නමුත් රාහුල්ගේ සිද්ධියේදී, ගැටලුව ඊටත් වඩා භයානක වුණා. ධමනියම කැඩී ගොස් තිබුනා. එතන තිබ්බ කුඩා රුධිර කැටියක් පවා මොළයට ගිහිල්ලා තිබ්බ නම්, අංශභාගය ඇතිවීමේ සම්භාවිතාව ඉතා ඉහළ තත්වයක තිබ්බෙ." වෛද්‍ය සාහු පැහැදිලි කළේය.

විශාල ලේ කැටිත්තක් හෝ ලේ කැටිති බහුල ප්‍රමාණයක් මොළයට ළඟා වූවා නම්, සම්පූර්ණ මොළයට හානි විය හැකි අතර රෝගියා මොළය මියගිය තත්ත්වයට පත්වීමට පවා ඉඩ තිබිණි.

ශල්‍යකර්මයට පෙර සහ ශල්‍ය කර්මය අතරතුර යන අවස්ථා දෙකෙහිම, ධමනිය නැවත කැඩී යාමේ අවදානමක් ඇති බව ද ඔහු පැහැදිලි කළේය. මෙය සිදුවුවහොත්, පාලනය කළ නොහැකි රුධිර වහනය හේතුවෙන් රෝගියා මිනිත්තු කිහිපයක් ඇතුළත මිය යා හැකිය.

වෛද්‍යවරුන්ට අනුව, රාහුල් රෝහලට ගෙන එන විට අස්ථාවර තත්ත්වයේ පසුවිය. ඔහුගේ ගෙලෙහි රුධිරය විශාල ප්‍රමාණයක් එකතු වී තිබූ අතර සැත්කම අතරතුර ධමනිය හඳුනා ගැනීම අතිශයින් දුෂ්කර විය.

"බෙල්ලේ මෙම කොටස තුළ කතා කිරීමට, අත්පා චලනය සහ හෘදස්පන්දනය පාලනය කරන ඉතා වැදගත් ස්නායු බොහෝමයක් තිබෙනවා. අපි කුඩා වැරැද්දක් හෝ කළා නම්, රෝගියා ජීවිත කාලය පුරාම අබාධයකට ලක් වීමට හෝ මරණයට පවා පත්වීමට ඉඩ තිබ්බා." වෛද්‍ය සාහු පැහැදිළි කළේය.

වෛද්‍යවරුන්ට අනුව, ධමනිය සොයා ගැනීමට සහ එය පාලනය කිරීමට ඔවුන්ට පැය එකහමාරක පමණ කාලයක් ගත වුණි.

සම්පූර්ණ සැත්කම පැය පහක හෝ හයක කාලයක් තුළ සිදු කෙරිණි. කැඩුණු ධමනිය අලුත්වැඩියා කිරීම සඳහා bovine pericardium patch හෙවත් එළදෙනෙකුගේ හදවතේ පටලයක් භාවිතා කර ඇත.

වෛද්‍යවරුන් පැවසුවේ සැත්කමෙන් අනතුරුව රාහුල් පැය 12 ක් වෙන්ටිලේටරයකට (කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට) සම්බන්ධ කර තිබූ බවයි.

"රාහුල් පියවි සිහියට පැමිණීමෙන් අනතුරුව අපි මුලින්ම ඔහුත් එක්ක කතා කරලා ඔහුගේ කටහඬ පරීක්ෂා කළා. ඉන්පසු අත්පා චලනයන් පරීක්ෂා කළා. ඒකට පස්සේ ඔහුගේ මුහුණේ චලනයන් පරීක්ෂා කළේ, මොළයට රුධිර කැටියක් ගොස් නැතිද, ශල්‍යකර්මයේදී කිසිදු වැදගත් ස්නායුවකට හානි වී නැතිද කියා තහවුරු කරගැනීමටයි.

රාහුල්ගේ බිරිඳ ලක්ෂ්මි ජන්ග්ඩේ බීබීසී හින්දි සේවයට දුරකථනයෙන් පැවසුවේ මුල් දින ඇයට ඉතා බියජනක වූ බවයි. වෛද්‍යවරු තත්ත්වය ඉතාමත් බරපතළ බව පැහැදිලිවම සඳහන් කර තිබිණි.

"දැන් ඔහු සුවය ලබන ආකාරය මං දකිද්දී, ඔහුගේ ගෙලේ ධමනිය පිපිරී තිබුණා කියලා විශ්වාස කරන්නත් බැහැ." ඇය පවසයි.

රාහුල්ම කියන්නේ, චටිස්ගර්වලින් මේ වගේ සිද්ධියක් වාර්තා වුන පළමු අවස්ථාව බව වෛද්‍යවරු කියූ විට ඔහු ඉතා බියට පත් වූ බවයි. එහෙත් රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ඔහු සමග කටයුතු කළ ආකාරය ඔහුට ධෛර්යය ලබා දුන්නා.

දැන් ඔහු නැවත නිවසට පැමිණීමටත් තම දරුවන් සමඟ නැවත එකතු වීමටත් සූදානම් වෙමින් සිටිනවා. විශේෂයෙන්ම මාසයකට වැඩි කාලයක් නොදුටු තම දියණිය හමුවීමට ඔහු දැඩි උනන්දුවකින් පසුවේ.