මන්ත්‍රී ආසනවලින් තුනෙන් එකක් කාන්තාවන් සඳහා වෙන්කිරීම දක්වා ඉන්දියාව ආ ගමන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ද, ප්‍රාන්ත සභාවල ද ආසනවලින් තුනෙන් එකක් කාන්තාවන් සඳහා තහවුරු කෙරෙන පනත් කෙටුම්පතක් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ තිබේ.
නමුත් ඉන්දියාවේ ව්‍යවස්ථාදායකයට කාන්තාවන් තේරී පත්වනු දැකීමට එරටට තවත් බොහෝ කලක් බලා සිටීමට සිදුවිය හැකි ය. මන්ද, එය ක්‍රියාවට නැංවෙනු ඇත්තේ ඉන්දියාවේ මීළඟ ජන සංගණනය සහ සභික ආසනවල සීමා නැවත නිර්ණය කිරීමේ ව්‍යායාමය අවසන්වීවෙන් පසු ය - මේ සංකීර්ණ ක්‍රියාවලීන් සඳහා වසර කිහිපයක් ගතවනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.
බදාදා (සැප් 20), ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන 'ලෝක් සභාව' ඒකමතිකත්වයට ආසන්න ඡන්ද ගණනකින් (456 දෙනෙකුගෙන් 454කගේ ඡන්දයෙන්) 'නාරි ශක්ති වන්දන් අධිනියම්' (කාන්තා ශක්තියට ගෞරව දැක්වීමේ පනත) සම්මත කළේ ය.
බ්‍රහස්පතින්දා (සැප් 21) ඉන්දීය පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය වන 'රාජ්‍ය සභාව' විවාදයකින් පසු එය ඒකමතිකව සම්මත කළේ ය.
දැන් ඊට අවශ්‍ය වන්නේ ඉන්දීය ජනාධිපතිගේ අත්සන පමණක් වන නමුදු එය හුදෙක් විධිමත් භාවයක් පමණක් වන අතර, පනත් කෙටුම්පත නීතියක්බවට පත්වීමට "ඉතා ආසන්න" බව විශ්ලේෂකයින් පවසයි.
පනත් කෙටුම්පත සම්මත කිරීම මඟින්, ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී පාලක භාරතීය ජනතා පක්ෂයේ වාසනාව ඉහළ නගිනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.
නමුත් මෙහි කාලරාමුව "අපැහැදිලි" ලෙස තබාගැනීම හරහා රජය "මිලියන සංඛ්‍යාත ඉන්දියානු කාන්තාවන්ගේ සහ දැරියන්ගේ බලාපොරොත්තු පාවාදුන්" බවට, ඇතැම් විපක්ෂ දේශපාලකයින් රජයට චෝදනාකර ඇත.
පනත වහා ක්‍රියාත්මක කරන්නැ යි ඉල්ලමින් කොංග්‍රස් පක්ෂයේ හිටපු සභාපතිනි සෝනියා ගාන්ධි මෙසේ ඇසුවා ය: "ඔවුන්ට [කාන්තාවන්ට] අවුරුදු කීයක් බලා ඉන්න සිද්ධ වේවි ද? දෙකක්? හතරක්? අටක්?"
පනතෙහි අඩංගු වන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වසර 25කට අධික කාලයක් සම්මත නොවී පැවතුණු මේ පනත දැන් සම්මතවීම, ඉන්දීය රජය විසින් "ඓතිහාසික" සිදුවීමක් ලෙස හඳුන්වා ඇත. අගමැති නරේන්ද්‍ර මෝදි, එය "කාන්තාවන් බලාත්මක කරනු සහ දේශපාලන ක්‍රියාවලිය තුළ ඔවුනට වැඩි සහභාගීත්වයකට ඉඩකඩ සලසනු" ඇතැ යි ප්‍රකාශ කළේ ය.
මෙම පනත මඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ (ලෝක් සභා) ද, ප්‍රාන්ත සභාවල ද, ෆෙඩරල් පාලන ප්‍රදේශයක් වන නමුත් ඡන්දයෙන් තේරී පත්වූ සභාවක් ඇති දිල්ලි අගනුවර ද ආසනවලින් තුනෙන් එකක් කාන්තාවන්ට වෙන්කෙරෙයි.
එසේම, 'උපලේඛිත කුල' සහ 'උපලේඛිත ගෝත්‍ර' ලෙස හඳුන්වන ඉන්දියාවේ අඩුම වරප්‍රසාද ලත් ප්‍රජාවන් සඳහා දැනටමත් වෙන්කර ඇති ආසන සඳහා ද මෙම නීතිය බලපැවැත්වෙනු ඇත. සාමාජිකයින් 545ක් සිටින ලෝක් සභාවෙන් ආසන 131ක් මෙම කණ්ඩායම් දෙක සඳහා වෙන්කර ඇති අතර, ප්‍රාන්ත සභාවලින් එසේ වෙන්කර ඇති ආසන සංඛ්‍යාවේ එකතුව දහස් ගණනකි.
හින්දු ආගමේ කුල ක්‍රමය අනුව, බ්‍රාහ්මණයන් එනම් පූජකයන්ට ඉහළම ස්ථානය ද, දාලිත්වරුන් (ස්පර්ශය පවා තහනම් වූ පිරිස) සහ ආදිවාසීන්ට (ගෝත්‍රිකයන්) පහළම ස්ථානය ද හිමි වෙයි.
ඒ දෙකුලයන් අතරේ පහළ සහ අතරමැදි කුල රාශියක් තිබෙන අතර, ඔවුහු ජනගහණයෙන් 52%ක් පමණයැ යි දළ වශයෙන් විශ්වාස කෙරෙයි. ඒවා 'අනෙකුත් අවවර්ධිත පන්තීන්' හෝ OBC ලෙස පිළිගැනෙයි. ඉන්දීය සංගණනවල දී සෑම විට ම දාලිත් සහ ආදිවාසී ජනගහනය ගණනයකර ඇත ත්, කිසි විටෙකත් අනෙකුත් අවවර්ධිත පන්තීන්ට අයත් ජනතාව ගණනය කර නොමැත.
මෙම වෙන්කිරීම ක්‍රියාත්මක කළ පසු වසර 15ක කාලයක් සඳහා බලපවතිනු ඇත. නමුත් එම කාලය දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවට හැකි ය.
කාන්තාවන් සඳහා වෙන් කෙරෙන්නේ කුමන ආසන ද යන්න පාර්ලිමේන්තුව විසින් සම්පාදිත නීතියකින් තීරණය වනු ඇත - සෑම වසර කිහිපයකටම වරක් එම ආසන මාරු කෙරෙනු ඇත.
කාන්තා දේශපාලකයින් සම්බන්ධයෙන් වන ඉන්දියාවේ ‘අසතුටුදායක’ අතීතය
ඉන්දියාව, අතීතයේ සහ වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයේ බලවත් කාන්තාවන් සිටින ඉතිහාසයක් ගැන ආඩම්බරයෙන් පසුවෙයි. 1966 තරම් ඈතක දී එරටට අගමැතිවරියක් සිටි අතර, ඇතැම් විශාලතම දේශපාලන පක්ෂයන්ට කාන්තාවෝ නායකත්වය දෙති.
මහ ඇමැතිවරියන් විසින් ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තයන් ඇතැමෙක් පාලනයවී ඇත. කාන්තාවන් විසින් ෆෙඩරල් සහ ප්‍රාන්ත මට්ටමින් බලගතු අමාත්‍යාංශ කිහිපයක් ද මෙහෙයවනු ලබයි. එරටට, වත්මන් ජනාධිපති ද්‍රෞපධී මුර්මු ඇතුළු රාජ්‍ය නායිකාවන් දෙදෙනෙකු ද හිඳ තිබේ.
පසුගිය වසරේ දී පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් සිදුකළ සමීක්ෂණයක් හරහා, බොහෝ ඉන්දියානුවන් "කාන්තාවන් ද පිරිමින් තරමටම හොඳ දේශපාලන නායකයින් වනු ඇතැ"යි සිතනබව පෙනී යයි. පසුගිය මහ මැතිවරණයේ දී කාන්තාවන් ද පුරුෂයින් තරමටම ඡන්දය දමා ඇතැ යි සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
නමුත් ඉන්දීය පාර්ලිමේන්තුව සහ එහි ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් තුළ කාන්තා නියෝජනය බොහෝවිට විස්තර කෙරෙන්නේ "අසතුටුදායක" ලෙස ය. එය දුර්වල මට්ටමක පවතිනබව දත්ත පෙන්නුම් කරයි.
1952 වසරේ පළමු ලෝක් සභාවට මන්ත්‍රීවරියන් 5%ක් සිටිබවත්, 2019 මැතිවරණයෙන් පසු එය 15% දක්වා ඉහළගිය නමුත් දිගින් දිගටම තරමක පහත අගයක පවතිනබවත්, ලාභ නොලබන PRS Legislative Research (ව්‍යවස්ථාදායක පර්යේෂණ) ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකු වන තුෂර් චක්‍රබර්තී පවසයි. ව්‍යවස්ථාදායක සභාවන්හි මෙය ඊටත් වඩා පහළ 9% අගයේ පවතිනබව PRS දත්ත පෙන්වා දෙයි.
"ඒවායේ සංඛ්‍යාවන් සාමාන්‍ය විධියට වර්ධනය වෙලා නෑ කියලා අපි දැක්කා. ව්‍යවස්ථාදායක සභාවල දී යම්කිසි කණ්ඩායමක් අවශ්‍ය පරිදි නියෝජනය වෙන්නේ නැත්නම්, ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑම් කරන්න ඔවුන්ට ඇති හැකියාව සීමිත යි කියලා විශේෂඥයො සඳහන් කරනවා," ඔහු පවසයි.
කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන්කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට ඉන්දියාව ද අත්සන් තබා ඇත. කාන්තාවන්ට සමාන දේශපාලන අයිතිවාසිකම් ලබාදීම ද ඊට ඇතුළත් අංගයකි. එනිසා, මෙම ස්ත්‍රීපුරුෂ විෂමතාවට විසඳුම් ලබාදීමට ඉන්දියාවට සිදුවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වසර 27ක් ගතවීමෙන් පසු
ඉන්දියාවේ දේශපාලන බලය සහිත තනතුරුවල කාන්තාවන් වැඩි පිරිසක් සිටීමේ අවශ්‍යතාව, දශක ගණනාවක් තිස්සේ දැඩි විවාදයට ලක්ව ඇත.
මීට හරියටම වසර 30කට පෙර, ගම් සභාවන්හි සහ නාගරික ප්‍රදේශවල මහ නගර සභාවන්හි ආසනවලින් 33%ක් කාන්තාවන් සඳහා වෙන්වන පරිදි පාර්ලිමේන්තුව විසින් ඉන්දීය ව්‍යවස්ථාව සංශෝධනය කෙරිණි.
ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත සභාවල ආසන වෙන් කිරීම සඳහා වන පනතක්, 1996 දී, එකල අගමැති එච්. ඩී. දේවේ ගොව්ඩාගේ නායකත්වයෙන් යුතු ෆෙඩරල් රජය විසින් ප්‍රථම වරට යෝජනා කෙරිණි. එය 1998, 1999 හා 2008 දී යළි යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
නමුත් ඒ සෑම විටම, භාරතීය ජනතා පක්ෂයේ (BJP) මන්ත්‍රීන් ද ඇතුළු බොහෝ දේශපාලන පක්ෂවල විරුද්ධත්වය මධ්‍යයේ එය සම්මත නොවීය.
මෝදිගේ ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නවතම පනත් කෙටුම්පත එහි පූර්වගාමියාගෙන් බොහෝ දෑ ලබාගෙන ඇති නිසා, මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සහ විපක්ෂ කොංග්‍රසය යන පක්ෂ දෙකම ඒ සඳහා අත්පත්කර ගැනීමට තැත් කරමින් සිටියි.
පාර්ලිමේන්තුවේ විවාදයක්
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කරවා ගැනීම සම්බන්ධයෙන් සභා දෙකේම කථානායකවරු භාණ්ඩාගාර ආසනවල සිට අගමැතිවරයාට ප්‍රශංසා කළහ.
"කාන්තාවන්ගේ ආරක්ෂාව, ගෞරවය, සමාන සහභාගීත්වය අගමැති මෝදිගේ ආණ්ඩුවේ ජීව බලයක් වුණා," ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පැවසුවේ ය.
මෙම පනත 'යහපත් ආරම්භයක්" බව ද, අවශ්‍ය නම් එය පසුව වැඩිදියුණු කළ හැකි බව ද, පනතට සහාය දෙන්නැ යි සියලු පාර්ශ්වවලින් ආයාචනා කරමින් ඔහු පැවසීය.
විරුද්ධ පක්ෂ, අනෙකුත් අවවර්ධික පන්තීන්හි (OBCs) කාන්තාවන් සහ මුස්ලිම් කාන්තාවන් සඳහා ආසන කිහිපයක් වෙන් කරන ලෙස ඉල්ලා සිටියහ. 'අනෙකුත් අවවර්ධික පන්තීන්' යනු උපලේඛිත කුලවල සහ උපලේඛිත ගෝත්‍රවලට අයත් නොවන වරප්‍රසාද නොලත් කුලසමූහයකි. ඊළඟ ජන සංගණනයේ දී කුල සමීක්ෂණයක් සිදුකරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.
පනත් කෙටුම්පතට විරුද්ධව ලෝක් සභාවේ දී ඡන්දය ප්‍රකාශ කළ දෙදෙනාගෙන් එක් අයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී අසදුදීන් ඔවේසි, වත්මන් පනතින් කුලයෙන් ඉහළ කාන්තාවන්ට පමණක් ප්‍රතිලාභ හිමි වන බව පැවසීය.
යෝජිත පනත් කෙටුම්පත මඟින් දැනටමත් දාලිත් සහ ගෝත්‍රික ජනතාව සඳහා වෙන් කර ඇති ආසනවලින් තුනෙන් එකක් කාන්තාවන් සඳහා වෙන් කෙරෙනු ඇත. නමුත් ඉන් අනෙකුත් අවවර්ධිත වර්ගයන්ට අයත් කාන්තාවන් සඳහා ඒ හා සමාන කෝටාවක් වෙන් නොකෙරෙයි.
රජය කුල සංගණනයක් - හෝ අනෙකුත් අවවර්ධිත වර්ගයන්ට අයත් ජනතාව ගණනය කිරීමක් - පැවැත්විය යුතු අතර, යෝජිත පනතේ ප්‍රතිලාභ එම කණ්ඩායම්වල කාන්තාවන්ට ද ලබා දිය යුතු බව බදාදා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ගාන්ධි කියා සිටියා ය.
විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම පියවර හැඳින්වූයේ ආණ්ඩු පක්ෂයේ රැවටිලිකාර ක්‍රියාවක් ලෙසිනි.

ඡායාරූප මූලාශ්‍රය, SANSAD TV
ඉඳින් අපට කාන්තා දේශපාලඥයින් රැසක් දක්නට ලැබෙනු ඇත්තේ කවදා ද?
ඉන්දීය පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත සභාවල ස්ත්‍රීපුරුෂ සංයුතිය නුදුරු අනාගතයේ දී වෙනස් නොවනු ඇත.
ලබන වසරේ මහ මැතිවරණයෙන් පසු ජන සංගණනය “ඉක්මනින්” සිදු කරනබවට ෂා පොරොන්දුවී තිබේ. සෑම වසර 10කට වරක් පවත්වනු ලබන ජන සංගණනය 2021 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් එය ප්‍රමාද විය. බිලියන 1.4ක ජනතාවක් ගණනය කිරීමේ දැවැන්ත කාර්යයට වසර කිහිපයක් ගතවිය හැකිබව විශේෂඥයින් පවසයි.
අනතුරුව රජය විසින් "සීමා නීර්ණය" ආරම්භ කෙරෙනු ඇත. සරලව කිවහොත් මෙම අභ්‍යාසයෙන් සිදු කෙරෙන්නේ, සෑම මැතිවරණ කොට්ඨාසයක්ම සමාන ඡන්දදායකයින් සංඛ්‍යාවක් නියෝජනය කරනබව සහතික කිරීම සඳහා සභික ආසනවල සීමා නැවත නිර්ණය කිරීම යි. රටේ විවිධ ප්‍රදේශවල ජනගහණ වර්ධනය සිදුවන්නේ අසමානව වීම හේතුවෙන් ඇතැම් ආසනවල අනෙක් ඒවාට වඩා වැඩි ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින අතර, සීමා නිර්ණය කිරීමේ අභ්‍යාසය මඟින් එය නිවැරදි කෙරෙනු ඇත.
නමුත් මෙය දීර්ඝකාලීන ක්‍රියාවලියක් වන අතර, මුළුමනින්ම අවසන් කිරීම සඳහා වසර කීපයක් ගතවිය හැකි ය - එක් විචාරකයෙකු ඉස්මතු කළ පරිදි, ඉන්දියාවේ අවසන් සීමා නිර්ණ මණ්ඩලයට එහි අවසන් වාර්තාව ලබාදීම සඳහා වසර පහක් ගතවිය.








