තලපති විජෙයිගේ 'ජන නායගන්' චිත්‍රපටය එළිදැක්වීම කල් යයි - ඊට හේතුව කුමක් ද?

    • Author, විජයානන්ද් ආරුමුගම්
    • Role, බීබීසී දෙමළ

එච්. විනෝත් අධ්‍යක්ෂණය කළ සහ රංගන ශිල්පී විජෙයි රංගනයෙන් දායක වන, තිරගත වීමට නියමිතව තිබූ 'ජන නායගන්' චිත්‍රපටය ප්‍රදර්ශන කිරීම කල් දැමූ බව නිෂ්පාදන සමාගම නිවේදනය කරයි.

මෙම චිත්‍රපටය ජනවාරි 9 වන දා එළිදැක්වීමට නියමිත බව මීට පෙර ප්‍රකාශ කර තිබියදී චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම වන KVN ප්‍රඩක්ෂන් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වූයේ, "ජනවාරි 9 වනදාට සැලසුම් කර තිබූ ජන නායගන් චිත්‍රපටය නිකුත් කිරීම අපගේ පාලනයෙන් ඔබ්බට නොවැළැක්විය හැකි හේතු මත කල් දමා ඇති බව කනගාටුවෙන් යුතුව අපගේ පාර්ශ්වකරුවන්ට සහ ප්‍රේක්ෂකයින්ට දන්වා සිටිමු."

"මෙම චිත්‍රපටය ගැන ඇති උද්යෝගය සහ බලාපොරොත්තුසහගතභාවය අපට ඉතා ම හොඳින් වැටහෙනවා. මේක පහසු තීරණයක් නෙමෙයි. චිත්‍රපටය නිකුත් කිරීමේ නව දිනය ඉක්මනින් ප්‍රකාශයට පත් කරනවා."

"එතෙක්, අපි ඔබට ඉවසීමෙන් පසුවන ලෙස සහ අඛණ්ඩ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. එය අපට සහ සමස්ත ජන නායගන් කණ්ඩායමට විශාල ශක්තියක්."

චිත්‍රපටයට අදාළ වාරණ සහතිකය නොලැබීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ තීන්දුව හෙට එනම් ජනවාරි 9 වන දා අධිකරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

'ජන නායගන්' චිත්‍රපටය මුහුණ පා ඇති ගැටලු මොනවා ද?

"හැම දේ ම අමුතුයි. චිත්‍රපටයට U/A සහතිකයක් දෙන්න තීරණය කරලා ඇයි චිත්‍රපටිය සමාලෝචනයට යැව්වේ? විචාරයට යැවීම ගැන නිෂ්පාදන සමාගමට දැනුම් දුන්නේ නැත්තේ ඇයි?" යනුවෙන් විනිසුරු පී.ඩී.ආශා මතු කළ ප්‍රශ්න විය.

කෙසේ වෙතත්, චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය (CBFC) වෙනුවෙන් පෙනී සිටි මධ්‍යම රජයේ නීතීඥවරයා කියා සිටියේ, සියල්ල සිදුවන්නේ නීතියට අනුව බව ය. දෙපාර්ශවයේ ම තර්ක අවසන් වීමත් සමග නඩුවේ තීන්දුව ජනවාරි 9 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

මෙම තත්ත්වය මත 'ජන නායගන්' චිත්‍රපටය තිරගත කිරීම කල්දමන බව නිෂ්පාදන සමාගම ප්‍රකාශ කර ඇත්තේ, මෙවන් පසුබිමක ය. කෙසේ වෙතත්, චිත්‍රපටය නිකුත් කිරීම ප්‍රමාද වීමට හේතුවක් සමාගම සඳහන් කර නොමැත. KVN Productions විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ, "පාලනය කළ නොහැකි නොවැළැක්විය හැකි හේතුවක්" බව ය.

අධිකරණයේ නඩු විභාගය

එච්. විනෝත් විසින් අධ්‍යක්ෂණය කරන ලද, විජෙයි රංගනයෙන් දායක වූ ජන නායගන් චිත්‍රපටය 09 වන දා ලොව පුරා තිරගත වීමට නියමිතව තිබූ බව චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම පැවසීය.

කෙසේ වෙතත්, KVN ප්‍රඩක්ෂන්ස් සමාගම විසින් මදුරාසි මහාධිකරණයට හදිසි අභියාචනයක් ගොනු කරමින්, චිත්‍රපටය සඳහා වාරණ සහතිකයක් ලැබී නොමැති බවත්, එය නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

විනිසුරු පී.ඩී. ආශා විසින් ජනවාරි 6 වන දා මෙම නඩුව විභාගයට ගන්නා ලදී.

"චිත්‍රපටයේ ඇතැම් දර්ශන ඉවත් කළහොත් U/A සහතිකයක් නිකුත් කරන බව චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය (CBFC) පැවසුවා. චිත්‍රපට කණ්ඩායම එම දර්ශන ඉවත් කළා. ඉන් පසුවත් සහතිකය නිකුත් කළේ නැහැ," නඩුව විභාගයට ගත් අවස්ථාවේදී චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ ය.

මණ්ඩලය දන්වා ඇති සියලු ම ක්‍රියා පටිපාටි අනුගමනය කළ ද, යමෙකු විසින් පැමිණිල්ලක් ගොනු කරනු ලැබූ බව පවසමින් වාරණ සහතිකය නිකුත් නොකළ බවට ද ඔහු තර්ක කළේ ය.

චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි මධ්‍යම රජයේ නීතීඥවරයා කියා සිටියේ, ආගමික හැඟීම්වලට හානි වන ආකාරයේ දර්ශන චිත්‍රපටයේ අඩංගු බැවින් එය සමාලෝචනය සඳහා යොමු කිරීමට තීරණය කළ බව ය.

එම අවස්ථාවේදී චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ, මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 500ක වියදමින් නිර්මාණය කර ඇති බව ය.

"චිත්‍රපටය නිෂ්පාදනයට රුපියල් කෝටියක් වියදම් වුණත්, රුපියල් කෝටි 500ක් ගියත්, නිශ්චිත කාලයක් ඇතුළත සහතිකයක් නිකුත් කරන්න කියලා අපිට බල කරන්න බැහැ," මධ්‍යම රජයේ නීතීඥවරයා තර්ක කළේ ය.

දෙපාර්ශ්වයේ ම තර්කවලට සවන් දුන් විනිසුරුවරිය, චිත්‍රපටයට එරෙහි පැමිණිලි ඇත්නම් ජනවාරි 7 වන දා ගොනු කරන ලෙස නියෝග කළා ය.

"චිත්‍රපටය තිරගත කිරීම කල් දමන්න බැරි ඇයි? ජනවාරි 15 වන දා දෙමළ අලුත් අවුරුද්ද පැමිණියා ම නව අවස්ථාවක් උදාවෙනවා නේ ද?" ඔහු විමසුවේ ය.

එයට චිත්‍රපට නිෂ්පාදන සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ, " චිත්‍රපටය නිකුත් කරන දිනය දැනටමත් අප නිවේදනය කර තිබෙනවා," යනුවෙනි.

චිත්‍රපටය නැවත සමාලෝචනය කිරීමට හේතුව කුමක් ද?

බදාදා නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මධ්‍යම රජයේ නීතිඥවරයා කියා සිටියේ, 'ජන නායගන්' චිත්‍රපටයට එරෙහිව විද්‍යුත් තැපෑලෙන් ලැබුණු පැමිණිල්ලේ පිටපතක් ඇතුළු සියලු ම ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කර ඇති' බව ය.

"ඒ පැමිණිල්ල විතර ද නැවත චිත්‍රපටිය විභාග කිරීමට හේතුව?" එවිට විනිසුරු පී.ඩී. ආශා විමසුවා ය.

සමාලෝචන මණ්ඩලය පැවසුවේ කුමක් ද?

"චිත්‍රපටය සමාලෝචනය කළ කමිටු සාමාජිකයා ගොනු කළ පැමිණිල්ල පිළිගන්න පුළුවන් ද? ඒ සියල්ල අමුතු යි, U/A සහතිකයක් ලබා දීමට තීරණය කළාට පස්සේ චිත්‍රපටය සමාලෝචනයට යැව්වේ ඇයි? සමාලෝචනය ගැන නිෂ්පාදන සමාගමට දැනුම් නොදුන්නේ ඇයි?" විනිසුරුවරිය විමසීය.

"මණ්ඩලයේ නිර්දේශ ගැන සෑහීමකට පත්වන්නේ නැත්නම්, චිත්‍රපටය නැවත සමාලෝචන කමිටුවට යැවීමට සභාපතිවරයාට බලය තියෙනවා." යැයි මධ්‍යම රජයේ නීතීඥවරයා පැවසුවේ ය.

'ජන නායගන්' චිත්‍රපටයේ ආරක්‍ෂක හමුදාවන්ගේ සංකේත කිහිපයක් යොදාගෙන ඇති නිසා විශේෂඥයින්ගෙන් උපදෙස් ලබාගත යුතු බව ද ඔහු පැවසීය.

''සියල්ල නීතියට අනුව සිදු කර තිබෙනවා. මේ පිළිබඳව ජනවාරි 5 වන දා නිෂ්පාදන සමාගමට දැනුම් දුන්නා," චිත්‍රපටයට සහතිකයක් නිකුත් කිරීමට පෙර සහ ප්‍රතික්ෂේප කිරීමට පෙර පෙත්සම්කරුට අධිකරණය හමුවට පැමිණිය නොහැකි බව ද රජයේ නීතීඥවරයා මෙහිදී පැවසුවේ ය.

"මණ්ඩලයේ බලයට අභියෝග කරන්න බැහැ. මෙතන සැඟවුණු න්‍යාය පත්‍රයක් නැහැ" යනුවෙන් ද ඔහු තර්ක කළේ ය.

"චිත්‍රපටය සමාලෝචනය කිරීමට යවන එක මධ්‍යම රජයේ තීරණයක් නෙමෙයි, ඒ සඳහා බලය තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයාට පමණ යි" යනුවෙන් ඔහු පැවසීය.

"සමාලෝචනය පිළිබඳව චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට කලින් දැනුම් දී තිබුණේ නැති" අතර, ඊට හේතුව කුමක්දැයි විනිසුරුවරිය සමාලෝචන මණ්ඩලයෙන් විමසා සිටියා ය.

'හැම දෙයක් ම රහසක්' - චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ඉදිරිපත් කරන තර්කය කුමක් ද?

"චිත්‍රපටය බලපු සාමාජිකයාට පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්න විතර යි. පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න බැහැ. මෙතන මොක ද වෙන්නේ කියලා ඔහු දන්නේ නැහැ," චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ මොහාන් පරාසරන් පැවසුවේ ය.

"කමිටු සාමාජිකයෙකු දැන් පැමිණිලිකරුවෙකු වී තිබෙනවා. ඒක කොහොම ද වුණේ කියලා මම දන්නේ නැහැ. මණ්ඩලයට තමන්ගේ ම තීරණය සමාලෝචනය කරන්න බැහැ, මණ්ඩලයේ වැඩි සාමාජිකයින් පිරිසක් චිත්‍රපටයට සහතිකයක් ලබා දෙන්න නිර්දේශ කරලා තියෙනවා," ඔහු පැවසීය.

මොහාන් පරාසරන් ​​කියා සිටියේ, එම කමිටුවේ එක් සාමාජිකයෙකු මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව තමා දැනුවත් වූයේ අද දිනයේදී බව ය. "සාමාජිකයින් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකු ම චිත්‍රපටිය සඳහා සහතිකය ලබා දෙන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. බහුතර තීරණයට එක් සාමාජිකයෙකු විතරක් විරුද්ධ වෙලා ඇත්නම්, චිත්‍රපටය සමාලෝචනයට යවන්නේ කොහොම ද?" ඔහු ප්‍රශ්න කළේ ය.

බහුතර සාමාජිකයින්ගේ තීරණය තනි සාමාජිකයෙකු බලරහිත කරන්නේ කෙසේ දැයි චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම ප්‍රශ්න මතු කළේ ය. කිසිවෙකු නොදැන මුළු ක්‍රියාවලිය ම රහසිගතව සිදු කළ බවට ඔවුහු තර්ක කළහ.

විනිසුරු පී.ඩී. ආශා දෙපාර්ශවයේ කරුණු විමසා බැලීමෙන් පසු තීන්දුව ලබාදීම කල් දමන බවත්, ජනවාරි 9 වන දා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසුවා ය.

මේ හේතුවෙන් තිරගත වීම කල් දමන බව චිත්‍රපට කණ්ඩායම ප්‍රකාශ කළේ ය.