ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාව: තමිල්නාඩු ප්‍රාන්ත සිනමා රසිකයන් කිරි සොරකම් කිරීමේ 'රහස'
අලෙවිය සඳහා තබා ඇති කිරි සොරකම් කිරීම් ගැන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කිරි ව්‍යාපාරිකයන් පොලිසියට පැමිණිලි කර තිබේ.
බොහෝ හින්දු ආගමික බැතිමත්හු විවිධ උත්සවවලදී තමන් අදහන දෙවියන්ගේ රූපය කිරෙන් නහවති. ඒ අනුව ම යමින්, එළිදැක්වීමට නියමිත චිත්‍රපට සඳහා මෙම පිළිවෙත අනුගමනය කිරීමෙන් එය ඉතා ජනප්‍රිය වේ යැයි සිතීමට ඉන්දියානු සිනමා රසිකයෝ පෙළඹී සිටිති.
මෙම ක්‍රියාව හේතුවෙන් සිය ව්‍යාපාරවලට බොහෝ පාඩු සිදු වී ඇති බව ව්‍යාපාරිකයෝ පවසති.
"මෙය දෙවියන් යැදීමේදී අනුගමනය කරන පිළිවෙතක් මිසක් සිනමා තරු අදහන්න කරන දෙයක් නොවෙයි," ප්‍රාන්ත කිරි ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති පැවසීය.
තත්ත්වය දිනෙන් දින උග්‍ර වීම හේතුවෙන් කිරි ව්‍යාපාරිකයන්ගේ සංගමය තමිල්නාඩු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෙම ක්‍රියාව තහනම් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ. "ඉක්මනින් මෙයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා" බව පොලිසිය ඔවුන්ට තහවුරු කර ඇත.
එළිදැක්වීමට නියමිත චිත්‍රපටවල ප්‍රධාන චරිත ඇතුළත් සුවිසල් ප්‍රචාරක පුවරු කිරෙන් නහවන මෙම පිළිවෙත "පාල්අභිෂේකම් (paalabhishekam)" (කිරි අභිෂේකය) ලෙස හඳුන්වයි.
විසි වසරකට අධික කාලයක සිට සිනමා රසිකයන් මෙම පිළිවෙත අනුගමනය කරන බව කිරි ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බීබීසී සේවයට පැවසීය.
"ප්‍රාන්තය පුරා සිටින සිනමා රසිකයන් මේ දේ සිදු කරනවා. ඒ අය හිතන්නේ සිනමා තරු උපදේවතාවන් කියලා," ඔහු පැවසුවේය.
හිමිදිරි උදෑසන කිරි ගොවිපළවලට අයත් රථ මගින් ගෙනෙන කිරි පැකට් වෙළෙඳ සල් ඉදිරියේ තබා යයි. දවසේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට පෙර පැය කීපයක් මෙසේ කිරි පැකට් වෙළෙඳ සල් පිටත ගොඩ ගසා තිබෙන අතර සිනමා රසිකයෝ අනාරක්ෂිතව තිබෙන එම භාණ්ඩ සොරකම් කරති.
මේ තොරතුරුද කියවන්න:
පසුගිය අඟහරුවාදා (ජනවාරි 22) තමිල්නාඩු රංගන ශිල්පියෙකු වන සිලම්බරසන් වීඩියෝවක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ, ඔහු රංගනයේ යෙදෙන නව චිත්‍රපටය එළිදැක්වීම වෙනුවෙන්, චෙන්නායි නගරය පුරා සිටුවා ඇති ප්‍රචාරක දැන්වීම් පුවරු "කිරි කළවලින්" නහවන ලෙසය.
අතිශය ජනප්‍රිය වූ මෙම වීඩියෝවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට තමිල්නාඩු කිරි ව්‍යාපාරිකයන්ගේ සංගමයට සිදු විය.
2015 වසරේ සිට මේ දක්වා මෙම පිළිවෙතට එරෙහිව සටන් කරන කිරි ව්‍යාපාරිකයන්ගේ සංගමය, කිරි සොරකම් කිරීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිනමා රසික කණ්ඩායම් දැනුවත් කරමින් සිටී.
මෙම ක්‍රියාව නතර කිරීම සඳහා ඔවුන් තමිල්නාඩුවේ ජනප්‍රිය තරු වන රැජිනිකාන්ත් සහ කමල් හසන්ගේ ද සහය පතා ඇත.
"නමුත් තවමත් මෙය සිදුවෙනවා" යැයි කිරි ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති පැවසීය.
ආසියාවේ වැඩි ම මුදලක් අය කරන රංගන ශිල්පියෙකු මෙන් ම ඔහු වෙනුවෙන් ම කැප වූ රසික පිරිසක් සිටින, රැජිනි කාන්ත්ගේ මාධ්‍ය ප්‍රකාශක බීබීසී වෙත පැවසුවේ, "නළුවාට රසික කණ්ඩායම් පාලනය කරන්න බැහැ," යනුවෙනි.
"මේ දේ කරන්න එපා කියලා අපි ඔවුන්ගෙන් ඉල්ලා තියෙනවා. නමුත් ඒ අය හිතන්නේ මෙය යම් උත්සව අවස්ථාවක් කියලා," ඔහු තවදුරටත් පැවසීය.