ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තලපති විජේගේ ඉලක්කය තමිල්නාඩු මහ ඇමති පුටුව ද?
දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු වන විජේ හෙවත් තලපති විජේ ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය දෙමළ නළුවෙකි.
ඔහු රංගනයට සමු දී දේශපාලනයට පැමිණෙන බව නිවේදනය කළේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීයී.
2026 වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගෙන සිය නව පක්ෂයේ දේශපාලන කටයුතු කරගෙන යන බවට ඔහු ඔක්තෝබර් 27 පැවති ඔහුගේ නව පක්ෂයේ පළමු සමුළුවේ දී ප්‍රකාශ කර තිබේ.
'2026 මැතිවරණයෙන් බහුතර බලයක් අපේක්ෂා කරනවා'
'තමිළාහ වෙට්රි කළහම්' පක්ෂයේ පළමු සමුළුවට එක් වෙමින් ඔක්තෝබර් 27 තලපති විජේ ප්‍රකාශ කර තිබෙන්නේ 2026 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ දී සිය පක්ෂයට බහුතර බලයක් ලැබෙණු ඇතැයි අපේක්ෂා කරන බවයි.
නළුවෙකු වන ඔහුට දේශපාලනය කළ හැකිදැයි විවේචන ගෙන එන පිරිස් වෙත ද ඔහු පක්ෂ සමුළුව අමතා කළ කතාවේ පිළිතුරු දී තිබේ.
"සිනමාව කියන්නේ සිංදුවක් හෝ නර්තනයක් හෝ රසවිඳීමක් පමණක් නොවෙයි. ඒකට තමිල්නාඩුවේ කලාව, සාහිත්‍ය, ජීවිතය සහ සංස්කෘතිය ඇතුළත් වෙනවා. ද්‍රවිඩ මතවාදය ජනතාව අතරට ගෙන ඒමත් සිනමාවෙන් සිදුවුණා," ඔහු පවසා තිබේ.
ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති තුළ තමිල්නාඩුවේ ප්‍රධාත ම දේශපාලන මතවාද දෙක වන දෙමළ මතවාදය සහ දෙමළ ජාතිකවාදය යන දෙකෙහි ම බෙදීමක් නොමැති බව ඔහු පවසා තිබේ.
දෙමළ මතවාදය දෙමළ, තෙළිඟු, කණ්නඩ, මලයාලම් සහ තුලු යන භාෂා කතා කරන පුද්ගලයන් සියල්ල ඇතුළත් තාර්කිකවාදය, සමාජ සාධාරණත්වය පදනම් කරගත් මතවාදයක් වන අතර, දෙමළ ජාතිකවාදය යන්නෙන් අදහස් වන්නේ තමිල්නාඩුව දෙමළ භාෂාව කතා කරන්නන් සඳහා පමණක් යන්න ය.
විජේ ඔහුගේ කතාවේදී පවසා තිබෙන්නේ "මෙම මතවාදයන් දෙක ම අපගේ ඇස් දෙක වැනි," ලෙස ය.
තලපති විජේගේ දේශපාලන ගමන් මඟ
දෙමළ සිනමාව තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි තලපති විජේ තමා සිනමාවෙන් විශ්‍රාම ගන්නා බවට නිවේදනය කළේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීයි.
එම මාසයේදීම ඔහු ඔහුගේ නව දේශපාලන පක්ෂය වන 'තමිළාහ වෙට්රි කළහම්' පක්ෂය ආරම්භ කළේ ය.
අගෝස්තු මාසයේ දී පක්ෂයේ නිල ධජය සහ නිල ගීතන නිකුත් කරන ලදි.
ඔක්තෝබර් 27 වැනිදා පක්ෂයේ පළමු සමුළුව පැවැත්වූයේ එම පක්ෂය ආරම්භ කර මාස අටකට පසුව ය.
සිනමාවෙන් සමුගෙන දේශපාලනයට එක්වන තලපති විජේ කවුද?
දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන එස්. ඒ. චන්ද්‍රසේකර් සහ ගායිකාවක් වන ශෝබාගේ දරුවෙකු ලෙස එස්. ඒ. ජෝසප් විජේ චෙන්නායිහි දී උපත ලබන්නේ 1974 වසරේ ජුනි 22 වැනිදායි.
ඔහු පළමුව සිනමාවට පිවිසින්නේ සිය පියා 1992 දී අධ්‍යක්ෂණය කළ "නාලයියා තෙරප්පු" නම් චිත්‍රපටයෙනි.
ඉන්පසු ඔහු දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර, චිත්‍රපට ගීත 29ක් ද ගායනා කර තිබේ.
ඇතැම් චිත්‍රපට සඳහා ඔහුගේ පෙනුම නිසා ඔහුව තෝරා නොගත් බව ඔහු ඇතැම් අවස්ථාවල මතු කර තිබේ.
මේ වන විට ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට 68ක් නිකුත් වී ඇති අතර, අවසන් චිත්‍රපටය GOAT වන අතර එම චිත්‍රපටයේ ඇතැම් දර්ශන ශ්‍රී ලංකාවේ ද රූගත කර තිබේ.
ඔහු මෙම වසරේ පෙබරවාරි මාසයේ දී නිවේදනය කළේ සිය දේශපාලන ආගමනය හේතුවෙන් සිනමාවෙන් තාවකාලිකව විශ්‍රාම ගන්නා බවයි.
ඔහුගේ අතිශය ජනප්‍රියත්වය නිසා ම ඔහුට "තලපති විජේ" ලෙස ඔහුගේ රසිකයෝ ආමන්ත්‍රණය කරති. තලපති යන්නෙහි අරුත නායකයා, ප්‍රධානියා වැනි අදහසකි.
සිනමා තරු මහ ඇමති පුටුවට යන තමිල්නාඩුව
කලින් කලට පුවත් මවන තමිල්නාඩු මහ ඇමති ධූර මෙතෙක් දරා ඇති අයගෙන් බොහෝ දෙනෙකු දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ අයයි.
අවස්ථා හතරක දී තමිල්නාඩුවේ මහ ඇමති ධූරයට පත් එම්. කරුණානිධි දකුණු ඉන්දීය සිනමාවේ තිර පිටපත් රචකයෙකු ලෙස කටයුතු කර ජනප්‍රියත්වයට පත් වූ අයෙකි.
වර්තමානයේ තමිල්නාඩුවේ මහ ඇමති ධූරය දරන එම්. කේ. ස්ටාර්ලින් ඔහුගේ පුත්‍රයා ය.
පස් වතාවක් මහ ඇමති ලෙස කටයුතු කළ ජයලලිතා ජයරාම් ද දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ නිළියකි.
ඔවුන්ට අමතර ව එම්. ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර්. සහ ඔහුගේ මරණයෙන් හිස් වූ මහ ඇමති ධූරයට පත් වූ ඔහුගේ බිරිඳ වූ ජානකී රාමචන්ද්‍රන් ද සිනමාවේ ලැබූ ජනප්‍රියත්වයත් සමඟ දේශපාලනයට පිවිසි අයයි.