ආරුගම්බේදී ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනෙකු කළ පහරදීම: පහර කෑමට ලක්වූවන් කියන්නේ මොනවා ද?

නැගෙනහිර පළාතේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශය සම්බන්ධයෙන් මෙරට මෙන්ම විදේශ රටවලට වැඩි අවධානයක් යොමු වුයේ එම ප්‍රදේශයට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙස විදේශීය තානාපති කාර්යාල විසින් පසුගිය වසරේ සිදුකළ දැනුම්දීමත් සමග ය.

ඡායාරූප මූලාශ්‍රය, Instagram

    • Author, බීබීසී සිංහල

සර්ෆිං ක්‍රීඩාවට ප්‍රසිද්ධියක් උසලන නැගෙනහිර පළාතේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශය සම්බන්ධයෙන් මෑතකදී මෙරට මෙන් ම විදේශ රටවල ද වැඩි අවධානයක් යොමු වූයේ, එම ප්‍රදේශයට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙස ඇතැම් විදේශීය තානාපති කාර්යාල පසුගිය වසරේ සිදුකළ දැනුම්දීමත් සමග ය.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය සඳහා වැඩි වශයෙන් පැමිණෙන්නේ ඊශ්‍රායල් සහ යුරෝපීය සංචාරකයින් බව එහි ප්‍රදේශවාසීන් පසුගිය වසරේදී බීබීසී සිංහල කණ්ඩායම කළ ක්ෂේත්‍ර චාරිකාවකදී පැවසූහ.

නැවතත් ආරුගම්බේ ප්‍රදේශය අවධානය ලක්වීමට හේතු වූයේ, පසුගිය අගෝස්තු 29 වන සිකුරාදා ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනෙකු ශ්‍රී ලාංකීක සර්ෆින් ක්‍රීඩකයෙකු සහ ඔහුගේ පෙම්වතියට සිදුකළ පහරදීමේ සිද්ධියකි.

අගෝස්තු 29 වන දා සිදු වූයේ කුමක් ද?

ඉකුත් සිකුරාදා (අගෝස්තු 29) ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනෙකු ආරුගම්බේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට සහ ඔහුගේ පෙම්වතියට පහර දී තිබූ අතර පසුව පහර දීම කළ සැකකාර ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මෙම පහර දීමට සම්බන්ධ වූ ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව ය.

''මේ පහර දීම සිදු වෙලා තියෙන්නේ ගිය සිකුරාදා. පුද්ගලයෙක් එයාගේ පෙම්වතිය එක්ක වාහනේ යනකොට ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනෙක් පාරේ යද්දී යම් අනතුරක් වෙලා තියෙනවා. එතැනදී බහින්බස් වීමක් සිදුවෙලා පස්සේ මේ ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනා ඔවුන්ට පහර දීලා තියෙනවා.''

''මේ සිද්ධියට අදාළ ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනාව පොලිසිය අත්අඩංගුවට අරන් අධිකරණය හමුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ වන කොට ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඊලඟ නඩු දිනය සැප්තැම්බර් මාසයේ 03 වැනිදා කැඳවන්න නියමිත යි," පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියෙකු බීබීසී සිංහල සේවය වෙත එලෙස අදාළ සිදුවීම පිළිබඳ පැහැදිළි කළේ එසේ ය.

''මේ පහරදීම සිදුවෙලා තියෙන්නේ ගිය සිකුරාදා. පුද්ගලයෙක් එයාගේ පෙම්වතිය එක්ක වාහනේ යන කොට ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනෙක් පාරේ යද්දී යම් අනතුරක් වෙලා තියෙනවා. එතැනදී බහින්බස් වීමක් සිදුවෙලා පස්සේ මේ ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනා ඔවුන්ට පහර දීලා තියෙනවා.''

ඡායාරූප මූලාශ්‍රය, Instagram

'මට එක පාරට හිතා ගන්න බැරි වුණා මොක ද වුණේ කියලා'

මේ අතර ඊශ්‍රායල් ජාතිකයින්ගේ පහර දීමට ලක්වූ ආරුගම්බේ ප්‍රදේශයේ සර්ෆින් ක්‍රීඩකයෙකු වන රුවන් (අන්වර්ථ නාමයක්) තමන්ට මුහුණ දීමට සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට මෙලෙස අදහස් දැක්වීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔහු කියා සිටියේ මාර්ගයේ ගමන් කරමින් සිටි ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනා තමන්ට සහ තමාගේ පෙම්වතියට පහර දුන්නේ කිසිදු හේතුවක් නොමැතිව බවය.

''මමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් සර්ෆින් කරන්න ගියා. සර්ෆින් ගිහින් එන්න එද්දී බිච් රෝඩ් එකේ දී අපේ ජීප් එක ඉස්සරහින් මේ ඊශ්‍රායල් ජාතිකයින් දෙන්න පයින් ඇවිදන් ගියේ. ඒ වෙලාවේ පාරේ ටිකක් ට්‍රැෆික් එකක් තිබුණ නිසා අපි හෙමිට ගියේ. පාරේ අයිනේ බයික් එකක් නතර කරලා තිබුනා. ඒ නිසා එයාලට එතන පහුකරන් යන්න අමාරු නිසා පාර පැත්තට එද්දී මගේ වාහනේ ඒ ලඟින්ම තිබුනේ. මේ වෙලාවේ මම හෝන් එක ගැහුවා මොකද මෙයාලා පාරට පනිවි කියලා හිතුන නිසා. ඒ වෙලාවේදී මේ දෙන්නා පාරේ අයිනේ නතර කරලා තිබ්බ බයික් එකේ කකුල පැටවිලා වැටුනා.''

''මම එතැන පහු කරනවත් එක්කම වගේ මේ දෙන්නා එයාලගේ අතේ තිබ්බ බියර් කෑන් එකකිනුයි, වතුර බෝතලයකිනුයි වාහනේට ගැහුවම ඒක ඇවිල්ලා වැදුනේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට. පස්සේ මම වාහනේ නතර කරලා පිටි පස්සට ගිහින් ඇහුවා ඇයි එහෙම ගහන්නේ කියලා. ඒ එක්කම මගේ ඔලුව පිටිපස්සට ලොකු පාරක් වැදුනා. මම වැටෙන්න ගිහින් එතන තිබ්බ කණුවක් අල්ලන් නතර වුනේ. මට එක පාරට හිතා ගන්න බැරි වුනා ඒ වැදුන පාරත් එක්ක මොකද වුනේ කියලා. ඒ වෙලාවේ එතැන ට්‍රැෆික් එකේ රාජකාරී කරන පොලිස් නිලධාරියෙක් හිටියා. පස්සේ මම ඒ සර්ට කිව්වා මෙහෙම දෙයක් වුනා කියලා.''

''පස්සේ මේ අය පයින්ම යන්න ගියාම සෙනඟ අස්සෙන් මමත් වාහනේ ඒ අයගේ පස්සෙන්ම ගියා. අර පොලිසියේ කෙනාත් පයින් ආවා. එහෙම ඇවිල්ලා බුදු පිළිමය ළඟදී මම එතන හිටිය පොලිසියේ සහ STF එකේ අයට කිව්වා අර දෙන්නා මට ගහලා යනවා කියලා. පස්සේ එතැනදීත් එයාලා මගේ කොන්ඩෙන් ඇදලා ගහන්න හැදුවා. ඒ වගේම ඒ ඊශ්‍රායල් ජාතිකයෝ දෙන්නා එයාලගේ භාෂාවෙන් අපිට බැන්නා. පස්සේ ගමේ අයත් එතනට ආවා. සංචාරක පොලිසියෙන් ඇවිල්ලා එතන හිටිය STF එකේ අයයි ඒ දෙන්නව අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කළා.''

''මගේ ඔළුවට වැදුණු පාරත් එක්ක දවසක් ඉස්පිරිතාලේ නතර වෙලා ඉන්න වුනා. මමත් සර්ෆින් වගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. මේ වගේ දේවල් වෙන කොට අපිට හිතෙනවා ඇයි ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් මහන්සි වෙන අපිට එයාලා මෙහෙම සලකන්නේ කියලා.'' අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔහු එලෙස අදහස් දැක්වීය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

'විමර්ශනය කරලා රටින් පිටුවහල් කරනවා'

මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේදී සිදුවූ පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඊට අදාළ ඊශ්‍රායල් ජාතිකයින් රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ය.

අමාත්‍යවරයා කියා සිටියේ, වීසා කාලය ඉක්මවා රැඳී සිටින විදේශිකයින් සම්බන්ධයෙන් කරුණු සොයා බලන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව ය.

''පහරදීමේ සිද්ධියක් ආරුගම්බේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ දෙන්නා ඇරස්ට් කළා. ඒක විමර්ශනය කරලා බලලා එහෙම වැරදි කරන්න බැහැ, ඒ අයව පිටුවහල් කරන්න කටයුතු කරනවා ආගමන විගමන නීතිවලට අනුව. මේක ඇක්සිඩන්ට් එකකට අදාළ ආරවුලකදී සිදුවූ පහර දීමක්.''

''ආරුගම්බේ වගේ ම වැලිගම ප්‍රදේශයේ ඊශ්‍රායල් ජාතිකයින් රැඳී ඉන්නවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවට අපි දැනුම් දීලා තියෙනවා වීසා කාලය ඉක්මවලා ඉන්න අය ගැන එහෙම හොයලා බලන්න කියලා,'' අමාත්‍යවරයා පැවසුවේ ය.

පහරදීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අදහස්

මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේදී සර්ෆිං ක්‍රීඩකයෙකුට සහ ඔහුගේ පෙම්වතියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබිණි.

සමාජ ක්‍රියාකාරීණියක වන මෙලනි ගුණතිලක ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් විමසා සිටියේ 'විදේශිකයෙක් ලංකාවේ නීතිවිරෝධී වැඩක් කළා ම දඬුවම රටින් පිටුවහල් කිරීම ද?' යන්න ය.

සමාජ ක්‍රියාකාරීණියක් වන මෙලනි ගුණතිලක ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් විමසා සිටියේ 'විදේශිකයෙක් ලංකාවේ නීතිවිරෝධී වැඩක් කලාම දඬුවම රටින් පිටුවහල් කිරීමද?' යන්න ය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඇතැම් පරිශීලකයින් චෝදනා කර තිබුණේ, ඊශ්‍රායල් ජාතිකයින් මෙරට ඉඩම් මිල දී ගන්නා බව සහ ඔවුන් දකුණු පළාතේ පිහිටි ඇතැම් හෝටල් ද මිලට ගන්නා බව ය. එමෙන් ම ඊශ්‍රායලයට එරෙහිව සමාජ මාධ්‍ය සටහනක් තැබූ 21ක් හැවිරිදි තරුණයෙකු මාස 09කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බව ද මෙහිදී සිහිපත් කර තිබිණි.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ජීප් රථ හිමියන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් මහරුෆ් බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය සඳහා පසුගිය වසර කිහිපයට සාපේක්ෂව මේ වසරේ පැමිණි ඊශ්‍රායල් ජාතිකයින්ගේ සංඛ්‍යාවේ අඩුවක් දකින්නට ලැබෙන බව ය.

''ගිය අවුරුදුවලට සාපේක්ෂව මේ අවුරුද්දේ ඊශ්‍රායල් ජාතිකයෝ ආරුගම්බේ ප්‍රදේශයට ආපු එක සීයයට 60කින් වගේ අඩු වෙලා තියෙනවා. ඒ වගේමයි අපිත් එක්ක සංචාරය කරන විදේශිකයෝ ගොඩක් අය කැමති නැහැ ඊශ්‍රායල් අයත් එක්ක යන්න. හොඳ ම උදාහරණය මීට දවස් 03කට කලින් මාත් එක්ක ආවා නවසීලන්ත, පෝලන්ත සංචාරකයෝ වගයක් ටුවර් එකක් යන්න. අපිත් එක්ක ඊශ්‍රායල් තුන්දෙනෙක් යන්න හිටියා. ඒත් නවසීලන්ත, පෝලන්ත ටුවරිස්ට්ලා කැමති වුණේ නැහැ ඊශ්‍රායල අයත් එක්ක යන්න. මේ නිසා මට සිද්ධ වුණා ඒ ඊශ්‍රායල කට්ටියව දාලා යන්න,'' මොහොමඩ් මහරුෆ් පැවසුවේ ය.