ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වතු කම්කරු වැටුප: ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී.
ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බව ද තීන්දුවේ සඳහන් විය.
වැඩිදුර පෙත්සම් විභාගය අගෝස්තු මස 28 වැනිදා කැඳවීමට ද නියම කෙරිණි.
වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා නිකුත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ආගර පතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම රිට් පෙත්සමක් ගොනුකර තිබුණි.
මීට පෙර ඒ පිළිබඳව විභාගයක් සිදුකළ අභියාචනාදීකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙමින් වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කළ නමුත් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළේ නැත.
අභියාචනාදීකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් කම්කරු අමාත්‍යවරයා විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අදාළ වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
'ආණ්ඩුවෙන් සල්ලි දුන්නොත් අපිටත් ගෙවන්න පුළුවන්.'
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක දක්වා වැඩි කිරීම, ඉදිරියේ දී ලැබෙන අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු මත කටයුතු කරන බව වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රජතුරෙයි BBC සිංහල සේවයට මීට පෙර පැවසුවේය.
නිෂ්පාදන වියදම සහ අනෙකුත් තත්ත්වයන් සැලකීමේ දී දැනට 1700 ගෙවීමට හැකියාවක් නොමැති අතර වැටුප් වැඩි කිරීම සඳහා පදනම් කර ගතයුත්තේ පැමිණීම නොව ඵලදායිතාව බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් රජයට අයත් වැවිලි සමාගම් 1700 ලබාදෙන බවත් අනෙක් සමාගම්වලට ගෙවිය නොහැකි නම් ඊට හේතු සොයා බැලීමට සහ සාකච්ඡා කිරීමට සුදානම් බව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය (ජුනි 12) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.