තේ රස රහස හෙළිවෙයි; තේ බොන අතර කියැවීමක්

තේ (tea) ලෝකයේ රටවල් කීපයක් යැපෙන අපනයන ආර්ථික භාණ්ඩයකි.

එමෙන්ම තේ පානය මගින් නිර්මාණය වූ 'තේ සමාජ' මත බිහිවූ සුවිශේෂී ලෝක සංස්කෘතියක් ද වෙයි.

සමස්ත ලෝකයම මෙන් තේ රස විඳින නමුත් දිව පිනවන ගතට එක්තරා උත්තේජනයක් ලබාදෙන තේ ගසේ ජාන සංයුතිය ලොවට තවමත් රහසක් වී තිබුණි .

එම ජාන රහස හෙළිදරව් කර ගැනීමේ පර්යේෂණයක නිරත වූ චීන ජාතික උද්භිද විද්‍යාඥයන් කණ්ඩායමක් තේ ගසේ ජාන සංයුතිය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයක තොරතුරු 'Molecular Plant' විද්‍යාත්මක සඟරාවේ පළ කරනු ලැබ ඇත.

කළු තේ (black tea) හරිත තේ(green tea) හෝ 'ඌලොන්ග් තේ' (oolong tea) යනුවෙන් නම් කරනු ලැබ ඇති චීනයේ සාම්ප්‍රධායික තේ ඇතුළු අද ලෝකයේ පානය කෙරෙන කවර වූ හෝ තේ විශේෂයක් හඳුන්වනු ලබන්නේ 'Camellia sinensis' නම් උද්භිද නාමයෙනි.

'Camellia sinensis' කුලයට අයත් තේ ගස්වලින් නෙලා ගනු ලබන තේ දල්ලෙන් සුදු-කහ-හරිත-ඌලොන්ග්-කළු සහ මුහුන් ආදී වශයෙන් තේ වර්ග හයක් නිෂ්පාදනය කෙරෙති.

එසේම එම එක් එක් තේ වර්ගයට ආවේණික පෙනුමක්, සුවඳක් සහ රසයක් ද වෙයි.

එකිනෙක තේ වලට ආවේණික සුවිශේෂී රස උත්පාදනය කෙරෙන්නේ විවිධ තේ වර්ගවල අන්තර්ගත විවිධ රසායනික සංයුතීන් හේතුවෙනි.

චීන විද්‍යාඥයන් විසින් සිදු කරනු ලැබ තිබෙන්නේ 'තේ කොලයේ' සැඟවුන රසායන සංයුතිය හඳුනා ගැනීමට තැත් කිරීමයි.

'තේ කොලවල විවිධාකාර රස ගොඩක් සැඟවී තිබෙනවා. නමුත් මෙතන තියෙන රහස එම රසවල ජාන පදනම කුමක්ද? කියන එකයි' චීනයේ 'කුන්මින්' උද්භිද විද්‍යායතනයේ පැලෑටි ජාන විශේෂඥ මහාචාර්ය ලිෂි ගාඕ(Lizhi Gao) ඒ පිළිබඳව සිය අවධානය යොමු කරයි.

තේ කොලයේ රසායන සංයුතිය සොයා ගැනීමේ පර්යේෂණයට නායකත්වය දෙන ලද්දේ ලිෂි ගාඕ විසිනි.

ජාන සිතියමක් නිර්මාණය කරනු ලැබීම සහ ඒවා බද්ධ කිරීම පිළිබඳ නව තාක්ෂණය ඇතුළත් ඒකාබද්ධ වැඩපිළිවෙලක් අනුව යමින් නව තේ ප්‍රවේණියක් නිපදවීම සඳහා අපි කටයුතු කරමිනුයි ඉන්නේ. එමගින් තේ රසය පිළිබඳව අපි විභාග කරනවා' මහාචාර්ය ලිෂි ගාඕ පවසයි.

'Camellia'යන උද්භිද නාමයෙන් හැඳින්වෙන ශාක ඝනයට ගෙවතු අලංකාර කරන තුරුලතා ද ඇතුළුව සියයකට අධික තේ කුලයේ පැළෑටි වර්ග ඇතුළත් වෙයි.

එහෙත් ඒවා අතරින් වාණිජ මට්ටමින් තේ නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන්නේ 'Camellia sinensis' පමණි.

තේ රස රහස සොයා යාමේ දී තේ ගසට ආවේණික ප්‍රබල රසායන වර්ග සොයා ගැනීමට හැකි වූ බව පවසන අදාළ පර්යේෂණය සිදු කළ විද්‍යාඥයෝ රස රසායන වර්ග සහ 'කැෆේන්' තේ ගසේ අන්තර්ගත වෙන බව සඳහන් කර ඇත.

එහෙත් තේ ගස හැරුනවිට 'Camellia' කුලයට අයත් වෙනත් ශාකවල එම රසායන වර්ග අඩු මට්ටමක පවතින බවත් එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.

බ්‍රිතාන්‍යයේ 'කිව් ගාර්ඩන්' රාජකීය උද්භිද උද්‍යානයේ විද්‍යා අංශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය මොනික් සිමොන්ඩ්ස් (Dr Monique Simmonds) චීන විද්‍යාඥයන් විසින් සිදු කර ඇති පර්යේෂණය මගින් තේ ගසේ ජාන පද්ධතිය සම්බන්ධයෙන් වැදගත් අවබෝධයක් ලබාදෙන බව සඳහන් කළාය.

'සිදු කර ඇති පර්යේෂණයේ දී සොයාගනු ලැබ ඇති සමස්ත කරුණු තේ නිපදවීමට හවුල් වෙන පුද්ගලයන්ට විශාල බලපෑමක් ඇති කරාවි. ඒ වගේම, වෛද්‍ය විද්‍යාත්මක අරමුණු අනුව කටයුතු කරන්නන් සහ සුවඳ විලවුන්-අංගරාග කර්මාන්තයේ නිරතවූවන්ටත් එමගින් බලපෑමක් ඇති කෙරනවා' ආචාර්ය මොනික් සිමොන්ඩ්ස් බීබීසියට අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

'අංගරාග පැත්ත ගත්තොත්, තේවල ඇතුළත් රසායන සංකීර්ණය වෛද්‍ය විද්‍යාවේ දී ,එහෙමත් නැත්නම් සුවඳ විලවුන් වැනි රූ වඩවන කාර්යයන් සඳහා පාවිච්චි කරන උද්භිදමය සම්පත් සමඟ නිතරම එකට යොදාගනු ලබනව' ආචාර්ය මොනික් සිමොන්ඩ්ස් පවසන්නීය.

තේ ගසේ රස රහස සහිත ජානය සොයා ගැනීමේ ඉහත කී පර්යේෂණයට වසර පහක් ගත වී ඇත.

DNA අණු කෝටි තුන්සීයක් සලකා බලන විට තේ ගසේ ජානය කෝපි ගසේ ජානයට වඩා ප්‍රමාණය අතින් සිව් ගුණයකින් විශාල වන අතර එය දැනට බද්ධ කෙරුණ බොහෝ පැළෑටිවල ජානවලට වඩා බෙහෙවින් විශාල වූවක් බව එම පර්යේෂණය මගින් හෙළි වී ඇත.

'අපි අපේ විද්‍යාගාරය තුළ විස්සකට අධික පැළෑටි ජාන බද්ධ කරමින් ඒවා එකට ගොණු කළා' මහාචාර්ය ලිෂි ගාඕ පවසයි.

එම ප්‍රයත්නයේ දී මහාචාර්යවරයාට ඇමෙරිකානු සහ දකුණු කොරියානු විද්‍යාඥයන්ගේ සහයෝගය ලැබී ඇත.

'තේ ගසේ ජානය හරිම ශක්තිමත්'මහාචාර්යවරයා පවසයි.

ජාන දැනුම අනුව තෝරාගත් තේ පැළෑටිවල ජාන බද්ධ කරනු ලැබීම තේවල ගුණය සහ මිළ ඉහල යාමට හේතු වනු ඇතැයි සැලකෙයි.

ඉහත කී පර්යේෂණය මගින් පැළෑටි අභිජනනය කරන්නන්ට 'බල සම්පන්න අලුත් ආයුධයක්' ලැබී ඇතැයි එක්සත් රාජධානියේ රාජකීය උද්‍යාන සංගමයේ(RHS) ප්‍රධානී ගයි බාටර් (Guy Barter) පවසයි.

තේ ජාන පිලිබඳ දැනුම තේ ගසේ පරිණාමය තේරුම් ගැනීමට ද උදව් වෙන බව 'කිව් ගාර්ඩන්' බ්‍රිතාන්‍ය රාජකීය උද්භිද උද්‍යානයේ විද්‍යා අංශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය මොනික් සිමොන්ඩ්ස් පවසයි.

පළමු තේ ජානමය බද්ධ කිරීම සිදු කෙරුණේ මෙයින් අවුරුදු පහළොවකට අධික කාලයකට පෙරයි.

ඉන් අනතුරුව, පනහකට අධික පැළෑටිවල ජානමය බද්ධ කිරීම් සිදුකරනු ලැබ ඇත.

කෙසෙල් අර්තාපල් සහ තක්කාලි වැනි ආහාර බෝග ඒ අතර වෙයි.