තිලිණි ප්‍රියමාලි යළිත් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන මෙතෙක් දන්නා කරුණු

    • Author, බීබීසී සිංහල

මූල්‍ය වංචා සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට ඉහතදී අතිශය කතාබහට ලක්වූ තිලිණි ප්‍රියමාලි නමැත්තිය සම්බන්ධයෙන් යළිත් කතාබහක් ඇති වී තිබේ.

ඒ, ඇය හෝමාගම පොලිස් ස්ථානයේ පෙනී සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම හේතුවෙනි.

හෝමාගම අධිකරණයේදී පිස්කල් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලි සඳුදා (ජූලි 28) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය ඇප මත මුදා හැරිණි.

වෙනත් නඩු කටයුත්තකට තිලිණි ප්‍රියමාලි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අවස්ථාවක පිස්කල් නිලධාරියෙකු නොතීසියක් භාර දීමට පැමිණි අවස්ථාවේ ඔහුගේ රාජකාරියට බාධා කළ බව පවසමින් ඇයව අත්අඩංගුවට ගෙන තිබිණි.

තිලිණි ප්‍රියමාලිගේ නීතිඥවරයා කී කතාව

කෙසේ වෙතත්, තිලිණි ප්‍රියමාලිගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන නීතිඥ උදුල් ප්‍රේමරත්න බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, සිය සේවාදායිකාව අදාළ පිස්කල් නිලධාරියාගේ රාජකාරියට කිසිදු බාධාවක් නොකළ බව ය.

"ඇය ඉතා සුහදශීලීව පවසා තිබුණා නීතිඥවරයා නැතිව ඒ නොතීසිය භාර ගන්න බැහැ කියලා. ඒ ගැන ලිපියකුත් දීලා තිබුණා. ඒ අවස්ථාවේ රූගත කළ වීඩියෝ දර්ශනත් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ඒකෙන් පේනවා ඇය ඉතා සුහදශීලීව කටයුතු කරන ආකාරය," නීතිඥ උදුල් ප්‍රේමරත්න ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, සිය සේවාදායිකාවට "ඇප ලබා ගැනීමේදී බලපෑමක් සිදුකිරීම සඳහා මහජන කැළඹීමක් කෘත්‍රිමව නිර්මාණය කිරීමේ අරමුණින්" ඒ පිළිබඳව අසත්‍ය ප්‍රකාශ නිකුත් කර ඇති බව ය.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට ද ලිඛිතව පැමිණිලි කළ බව ඔහු ප්‍රකාශ කළේ ය.

'වැඩ තහනමට ලක්වූවෙක්'

මේ අතර, සමස්ත ලංකා සිතාසි ඇස්කිසි ක්‍රියාත්මක කිරීමේ සංගමයේ හිටපු සභාපති බව කියමින් ආර්. සුගත් පාලිත නමැත්තෙකු මාධ්‍ය හමුවක් පවත්වා සිය සේවාදායිකාවට එරෙහිව නැගූ චෝදනාවලට එරෙහිව නඩු පවරන බව ද නීතිඥවරයා සඳහන් කළේ ය.

මේ පිළිබඳව සමස්ත ලංකා සිතාසි ඇස්කිසි ක්‍රියාත්මක කිරීමේ සංගමයේ වත්මන් සභාපති සරත් ජයකොඩිගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, හිටපු සභාපතිවරයා පැවැත්වූ මාධ්‍ය හමුව පිළිබඳව තමන්ට හෝ තම සංගමයට කිසිදු වගකීමක් නොමැති බව ය.

හිටපු සභාපතිවරයා වැඩ තහනමකට ලක්ව සිටින පුද්ගලයෙකු බව ද නව සභාපතිවරයා පැවසීය.

තිලිණි ප්‍රියමාලිට එරෙහි මූල්‍ය චෝදනා මොනවා ද?

ව්‍යාපාරික කටයුතු සඳහා ආයෝජනය කර වැඩි මුදලක් ලබා දෙන බව පවසා, ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් හා හිමිවරුන් ඇතුලු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා ගෙන වංචා කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට සහ ඔහුගේ ව්‍යාපාරික හවුල්කරු යැයි කියන ඉසුරු බණ්ඩාරට චෝදනා එල්ල වී තිබේ.

සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, මුදල් වංචා කිරීම, මුදල් සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ වෙන් වෙන්ව නඩු තුනක් ගොනුකර තිබිණි.

ආධාර අනුබල දීම යටතේ සැකකාර ඉසුරු බණ්ඩාරට එරෙහිව කොටුව පොලිසිය විසින් එක් නඩුවක් ගොනු කරනු ලැබ තිබිණි.

රුපියල් මිලියන 22කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත තිලිණි ප්‍රියමාලි 2022 ඔක්තෝබර් 5 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඇය විසින් සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් 2022 වසරේ ඔක්තෝබර් මාසය වන විට පැමිණිලි රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබිණි.

2022 ඔක්තෝබර් 19 වන දා පැවති නඩු දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, සැකකාරියගේ නමින් පැවති ගිණුමක 2022 ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ රුපියල් මිලියන 300ක පමණ මුදලක් තැන්පත් කර පසුව එවා ලබාගෙන ඇති බව ය.

තිලිණි ප්‍රියමාලිට එරෙහිව මහාධිකරණය හා මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ, මූල්‍ය වංචා සම්බන්ධයෙන් වෙනත් නඩු 7ක් ඇතැයි අධිකරණයේදී අනාවරණය වී තිබිණි.

ඇය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාල පවත්වා ගෙන ගොස් ඇති අතර ඒවා නඩත්තු කටයුතු වෙනුවෙන් මසකට වැයකර ඇති මුදල් රුපියල් ලක්ෂ 41ක් බව අධිකරණයට දැනුම් දී තිබිණි.

අධිකරණය හමුවේ ඇය පවසා තිබුණේ, අදාළ චෝදනාවලට තමන් නිවැරිදිකාරිය වන බව ය.