ජනපති සමාව යටතේ නිදහස ලැබූ අතුල තිලකරත්නට වෙනත් නඩුවකට බරපතළ වැඩ සහිත සිර දඬුවම්

    • Author, බීබීසී සිංහල

ඉකුත් වෙසක් පුර පසළොස්වක පොහොය දින අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ ලිපියක් පදනම් කරගෙන නීතියට පටහැනි අයුරින් ජනපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වී මහත් ආන්දෝලනයකට මැදි වූ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට අද (ජූලි 24) අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 40ක දඩ මුදලක් නියම කෙරිණි.

ඒ, මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකාරු ලෙස සේවය කරමින් අදාළ මූල්‍ය ආයතනය තුළ වෛද්‍ය එස්.ඩබ්ලිව්.ඒ. ගාමිණී විමලානන්ද නමැත්තා තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 35ක පමණ මුදලක් බැංකුවකින් මුදල් ආපසු ලබා ගැනීමට භාවිතා කරන ලේඛනයක් කූට ලෙස සකසමින් ලබාගෙන සාදව්‍ය පරිහරණය කිරීමේ චෝදනා දෙකකට අදාළව ය.

ඒ අනුව, බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිත කරන ලේඛනයක් කූට ලෙස සකස් කර මුදල් ලබා ගැනීමේ චෝදනාවට විත්තිකාර ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට වසර පහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම්, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත අනිවාර්ය සිර දඬුවමක් නියම කළේ ය.

ඊට අමතරව, මෙම නඩුවේ පැමිණිලිකාර වෛද්‍ය එස්.ඩබ්.ඒ. ගාමිණී විමලානන්දට මුදලින් රුපියල් ලක්ෂ හතළිහක (40) වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් මාස දහයක සිර දඬුවමක් ද නියම කෙරිණි.

මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කළේ, විත්තිකාර අතුල තිලකරත්නට එරෙහිව පැවති මෙම නඩුවේ විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අදාළ නීති කෘත්‍යය අනුරාධපුර මහාධිකරණය හමුවේ අද යළි කැඳවූ අවස්ථාවේදී ය.

මූල්‍ය වංචා සිද්ධිවලට අදාළව තවත් නඩු 28ක්

මෙලෙස බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට එරෙහිව මූල්‍ය වංචා සිද්ධිවලට අදාළව අනුරාධපුර මහාධිකරණයේ පමණක් තවත් නඩු 6ක් පවතින අතර මූල්‍ය වංචා සිද්ධිවලට අදාළව ම අනුරාධපුර මහේස්ත්‍රත් අධිකරණය හමුවේ ද තවත් නඩු 22ක් පවතී.

මූල්‍ය වංචාවන්ට අදාළව විත්තිකාර අතුල තිලකරත්නට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවලට සබැඳි නඩු අංක මෙසේ ය.

බී 1069/2014, බී 1078/2014, බී 1073 /2014, බී 1532/2014, බී 2237/2014, බී 2236/2014, බී 1403/2014, බී 1245/2014, බී 1813/2014, බී 1244/2014, බී 2626/2014, බී 1530/2014, බී 1070/2014, බී 949/2014, බී 970/2014, බී 1243/2014, බී 3500/2014, බී 1401/2014, බී 2628/2014, බී 1402/2014, බී 1531/2014, බී 1400/2014.

මෙම නඩුවලට අදාළව විත්තිකාර අතුල තිලකරත්න වංචා කර ඇති බව කියන මුදල දළ වශයෙන් රුපියල් කෝටි පනහකට (50)කට අධික බව අධිකරණයේදී කියැවිණි.

මෙම නඩුවල පැමිණිලිකරුවන් අතර ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, පොලිසියේ උසස් නිලධාරීන්, රජයේ පරිපාලන නිලධාරීන් සහ විවිධ ප්‍රභූ පුද්ගලයින් රැසක් සිටිති.

විත්කිකාර ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න මෙතරම් විශාල මුදලක් වංචා කර ඇත්තේ, මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක කළමනාකරු ලෙස සේවය කරමින් ය.

වැඩි පොළී ලබා දෙන බව පවසා ඔහු මෙම මූල්‍ය වංචාවන් සිදු කර ඇති බව ද අධිකරණ නඩු විභාගවලදී හෙළි විය.

විත්තිකාර අතුල තිලකරන්න සේවය කළ මූල්‍ය ආයතනයේ මෙලෙස ම කෝටි ගණනක මුදල් තැන්පත් කර එම මුදල් සහ ප්‍රතිලාභ අහිමි වූ තවත් ප්‍රභූ පුද්ගලයින් රැසක් සිටින බවත් 'ලජ්ජාව' හේතුවෙන් ඔවුන් නීතිමය ක්‍රියා මාර්ගවලට පිවිස නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වකීය විමර්ශනවලදී අනාවරණ කර ගෙන තිබිණි.

ජනපති පොදු සමාව යටතේ නිදහස

පසුගිය වෙසෙක් පොහොය දා විත්තිකාර අතුල තිලකරත්න ජනපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බව දන්වමින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර මහාධිකරණයට යොමු කළ ලිපියක් සලකා බලා විත්තිකාර අතුල තිලකරත්න මහාධිකරණයෙන් නිදහස්ව ගිය පසුව ඔහු විදේශගතව ඇති බව පසුගිය දිනක නීතිපති දෙපාර්තමේන්තුව කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ්‍යට දැනුම් දී තිබිණි.

එහෙත්, විත්තිකාර අතුල තිලකරත්නට නිදහස්ව යාමට ප්‍රශ්නගත ලිපියක් අනුරාධපුර මහාධිකරණයට යොමු කළ එවකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාව සිටි මොහාන් කරුණාරත්නට එරෙහිව පැවති නඩුව එදින ම අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකණය හමුවේ කැඳවූ අවස්ථාවේදී තමන් විවෘත අධිකරණයේ සිටින බව අතක් ඔසවමින් විත්තිකාර අතුල තිලකරත්න අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරියට නිල වශයෙන් දැනුම් දුන්නේ ය.

විත්තිකාර ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වීමට අදාළ මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති අතර නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ ගිම්හානි හිරුණිකා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි පෙනී සිටියේ ය.

තලවතුගොඩ, හෝකන්දර පදිංචි වෛද්‍ය එස්.ඩබ්ලිව්.ඒ. ගාමිණි විමලානන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා විත්තිකාර අතුල තිලකරත්න මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදා හැර සිටියේ ය.

සිර දඬුවම් නියම වූ විත්තිකාර ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න හොරොව්පොතාන, කල්පේ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකු වන අතර අනුරාධපුරයේ තාවකාලිකව පදිංචි වී සිටි අයෙකි.

විත්තිකාර අතුල තිලකරත්න වෙසෙක් පොහොය දා ජනපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බව පවසමින් නීතියට පටහැනි බව කියන ප්‍රශ්නගත ලිපියක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ බවට චෝදනා එල්ල වූ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනගාරගත කෙරිණි.

දැනට ඔහු සිටින්නේ අධිකරණය මගින් නියම කළ දැඩි ඇප කොන්දේසි මත ය.

මොහාන් කරුණාරත්න මේ වන විට අනුරාධපුර බන්ධනාගාර අධිකාරී තනතුරින් අනිවාර්ය නිවාඩු යවා සිටී.