ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ත්‍රිකුණාමලය මුහුදෙන් හමුවූ ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශනයක්
ත්‍රිකුණාමලය නගරයේ ධීවරයින් පිරිසකට (දෙසැම්බර් 26 වැනිදා) මුහුදේ තිබී හමුවූ ඩ්‍රෝන යානය පිළිබඳ විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ බීබීසී සිංහල සේවයට පැවසුවේය.
ත්‍රිකුණාමලය, සමුද්‍රාගම ධීවර ගම්මානයේ සිට මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගිය ධීවරයින් පිරිසකට මුහුදේ පාවෙමින් තිබු මෙම ඩ්‍රෝන යානය හමුව ඇති අතර පසුව ඔවුන් එය ගොඩබිම වෙත රැගෙන විත් තිබිණි.
ගොඩබිමට රැගෙන ආ ඩ්‍රෝන යානය පිලිබඳව පොලිසිය දැනුවත් කර තිබු අතර පසුව වැඩිදුර විමර්ශන සඳහා එය ගුවන් හමුදාවට භාර දී තිබිණි.
'කිලෝමීටර් 36ක් දුර දී මේක හම්බ වුණේ'
ඩ්‍රෝන යානය හමුවූ ධීවර යාත්‍රාවේ සිටි ධීවර කාර්මිකයා පැවසුවේ ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිට කිලෝමීටර් 36ක් දුරින් මුහුදේ තිබියදී මෙම ඩ්‍රෝන යානය දුටු බවයි.
"අපි උදේ ත්‍රිකුණාමලය මාළු මාර්කට් එක පිටි පස්සේ තියෙන තොටුපොළෙන් මාළු අල්ලන්න පිටත්ව ගියා."
"ගොඩබිම ඉදලා කිලෝමීටර් 36ක් වගේ දුරක් මුහුදේ ගිහින් තියෙද්දී තමයි මුලින්ම මේක අපි දැක්කේ."
"මේක වටේ මාළු හිටියා.. අපි මාළු ඇල්ලුවා හවස් වෙනකම්. ඊට පස්සේ හවස ගොඩට එන්න ලෑස්ති වෙලා මේක බෝට්ටුවට උස්සලා දාගත්තා."
"ගොඩබිමට ආවට පස්සේ පොලිසිය දැනුවත් කළා මෙහෙම දෙයක් මුහුදේ තිබිලා ගොඩට ගෙනාවා කියලා."
"පස්සේ පොලිසියෙන් කිව්වා මුකුත් අල්ලන්න යන්නෙපා. නේවි එකටයි, එයාර් ෆෝස් එකයි දැනුවත් කරනවා. එයාලා ඇවිල්ලා බලයි කියලා."
"ඊට පස්සේ ඒ අය මේක බලලා අරන් ගියා." ඔහු කියා පැවසුවේය.
'මේක ටාර්ගට් ඩ්‍රෝන් එකක්'
මුහුදේ පාවෙමින් තිබීයදී හමුවූ මෙම ඩ්‍රෝන යානය පිළිබඳ බීබීසී සිංහල, ගුවන් හමුදාවෙන් විමසීමක් කළේය.
එහිදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ කියා සිටියේ මෙය ඉන්දියාවට අයත් එකක් බවට සැක කෙරෙන බවයි.
"මේක සාමාන්‍යයන් ටාර්ගට් ඩ්‍රෝන් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එක පියාසර කරද්දී ඒක ටාර්ගට් කරනවා පුහුණුවීම් වලදී."
"මේක ලංකාවේ යූස් කරන්නේ නැහැ. මේක ඉන්දියාවේ එකක් වෙන්න ඕන. මීට කලිනුත් 2020 දී වගේ ධීවරයින්ට මුහුදේ තිබිලා මෙහෙම ඩ්‍රෝන් එකක් හම්බ වෙලා තිබුණා. පස්සේ හොයා බලද්දී ඒක ඉන්දියන් ගුවන් හමුදාවේ එකක් කියලා තහවුරු වුණා."
"කොහොම වුනත් මේක ගැන හොයන්න අපේ ගුවන් හමුදාවේ කණ්ඩායමක් දැන් එහෙට යන ගමන් ඉන්නේ."
"ධීවරයෙක් මේක ගොඩබිමට ගෙනාවට පස්සේ පොලිසියෙන් තමයි අපිට මේ ගැන දැනුවත් කරලා තිබ්බේ."
"ෆොටෝස් දැක්කම අපිට තේරුම් ගියේ මේක ටාර්ගට් ඩ්‍රෝන් එකක් කියලා. කලබල වෙන්න ඕන දෙයක් නෙමේ. මේකේ පුපුරණ ද්‍රව්‍ය මුකුත් තියෙනවා කියලා හිතන්න බැහැ.' ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.