ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත: ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීන්දුව කතානායකට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවටත් තීන්දුකරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 31 ක් ගොනුකර තිබූ අතර ඒවා පුරා දින 6ක් තිස්සේ විභාගයට ගැනුණි.
අද (පෙබරවාරි 02 වැනිදා) දහවල් එහි විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව තම රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ඒ.එච්.එම්.ඞී නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණි.
නඩු විභාගයේදී පෙත්සම්කාර පාර්ශව සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු මොනවාද?
‘ත්‍රස්තවාදය අර්ථකථනය කිරීමේ බලය පොලිසියට පැවරීම භයානකයි’
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනුකර තිබූ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා මාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, "මෙම පනත යටතට අදාළ වන වැරදි නිර්වචනය කිරීම සිදු කරන්නේ අධිකරණය නොවේ. එය සිදුකරනු ලබන්නේ පොලීසිය විසින්. මෙය අනුමත කළ නොහැකි දෙයක්. මේ හරහා සාමාන්‍ය පුද්ගලයන්ට දැඩි අසාධාරණයක් සිදුවෙනවා. 'ත්‍රස්තවාදය' යන්නට ජාත්‍යන්තර වශයෙන් පවා තවමත් විධිමත් අර්ථදැක්වීමක් සිදුකර නෑ. ඊට අදාළව යම් යම් මාර්ගෝපදේශ පමණයි දකින්නට තිබෙන්නේ."
ඔහු පෙන්වා දුන්නේ "එසේ තිබියදී යෝජිත පනත් කෙටුම්පත හරහා 'ත්‍රස්තවාදය' යන්න අර්ථකථනය කිරීමේ බලය අධිකරණයෙන් ඉවත් කොට පොලිසිය වෙත ලබාදීම අතිශය භයානකයි.ඒ නිසා ත්‍රස්තවාදයට එරෙහි පනතක් සම්පාදනය කරන්නේ නම් එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්නායකයන්ට අනුකූලව සිදු කිරීමට රජය වගබලා ගත යුතුයි" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න යෝජිත පනත් කෙටුම්පතේ වගන්ති තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
'රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරීමේ නිදහසට සීමා පනවලා'
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් "මෙරට ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කෙරුණේ මැතිවරණයකින් නොවේ. මහජනයා මහමගට බැස කළ උද්ඝෝෂන හරහා තමයි ඔවුන් තනතුරු වලින් ඉවත් කෙරුණේ. මේ පනත් කෙටුම්පත යටතේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථකථනය කිරීමට සිදුවෙනවා. එපමණක් නොවෙයි ශ්‍රී ලංකා රජයට එරෙහිව පමණක් නොව විදේශීය රාජ්‍ය, සංවිධානවලට එරෙහිව සිදුකරනු ලබන ක්‍රියා පවා මෙම පනත් කෙටුම්පත තුළින් වැරදි වශයෙන් අර්ථකථනය කිරීමට බලය පවරා දී තිබෙනවා. නිදසුනක් ලෙස ඊශ්‍රායලය විසින් ගාසා තීරයට බෝම්බ හෙළීම හෙලා දකිමින් යම් පිරිසක් කොළඹ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහොත් එම ක්‍රියාව 'ත්‍රස්ත ක්‍රියාවක්' වශයෙන් මෙම පනත් කෙටුම්පත යටතේ අර්ථකථනය කිරීමට අවකාශ සැලසෙනවා.”
“එපමණක් නොව කොවිඩ් වසංගතය පවතින අවස්ථාවක "මුඛ ආවරණයක්' නොමැතිව ගමන් කිරීම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථකථනය කිරීමේ බලය පොලිසියට හිමි වෙනවා. එය ප්‍රායෝගික තත්වයක් නොවේ. රාජ්‍ය ප්‍රතිපත්තිය විවේචනය කිරීම මූලික අයිතිවාසිකමක් ලෙස අධිකරණය දැනටමත් පිළිගෙන තිබෙනවා. ඒ නිසා රජය විවේචනය කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථකථනය කරන්න බැහැ." යනුවෙන් ජනාධිපති නීතිඥ සුමන්තිරන් අවධාරණය කළේය.
'සාමකාමී උද්ඝෝෂණවලට සීමා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාව බහු වාර්ගික රාජ්‍යයක් වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ රාජ්‍යයක් බවත් සඳහන් කළා.
"ස්වාමීනි..... සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙනවා. එහෙත් යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත තුළින් රජයට එරෙහිව සිදු කරනු ලබන සාමකාමී විරෝධතා ත්‍රස්ත ක්‍රියා ලෙස අර්ථකථනය කර තිබෙනවා. පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කර තිබෙනවා. සාධාරණ විවේචන සිදු කිරීමට ජනතාවට තිබෙන අයිතිය අවහිර කර තිබෙනවා. මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකොට වසරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මෙම පනත් කෙටුම්පත තුළින් ආරක්ෂක අංශ වලට හා වෙරළාරක්ෂක බලකායට අවකාශ සලසා දී තිබෙනවා. ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් කප්පාදු කිරීමක් මෙන්ම ජනතා පරිමාධිපත්‍යය වෙත බරපතල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. " යනුවෙන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
'රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයාට දීම භයානකයි'
තවත් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයා වෙත පවරාදීම අතිශය භයානක බවද සඳහන් කර සිටියේය.
"මේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයා වෙත පවරා තිබෙනවා. ඒ අනුව ආරක්ෂක ලේකම්වරයාට හැකියාවක් තිබෙනවා අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් නොකොට දින හැටක කාලයක් රඳවා ගැනීම සඳහා නියෝග නිකුත් කිරීමට. මේක අතිශය භයානකයි. ආරක්ෂක ලේකම්වරයා කියන්නේ ස්වාධීන පුද්ගලයකු නොවෙයි. ඔහු නිතරම කටයුතු කරන්නේ ම විෂය භාර අමාත්‍යවරයාගේ නියෝග වලට යටත්වයි. එවැනි රජයේ නිලධාරියෙකුගෙන් ස්වාධීන තීරණයක් අපේක්ෂා කරන්න බැහැ. මේ හරහා විධායකයට හැකියාවක් තිබෙනවා අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු අත්තනෝමතික ලෙස රැඳවුම් භාරයේ තැබීමට. මේ තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවෙනවා. පුද්ගලයින් රඳවා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයාට ලබාදී තිබෙන බලය ඇයි අධිකරණයට ලබා නොදෙන්නේ කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. අධිකරණයට එම බලය ලබාදීම තුළින් රැඳවුම් නියෝග අවභාවිතා වීම වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය අධිකරණයට ලබාදිය යුතුයි." යනුවෙන් ජනාධිපති නීතිඥ සාලය පිරිස් අවධාරණය කළේය.
‘වැඩ වර්ජනය කිරීමේ අයිතිය ත්‍රස්ත ක්‍රියා ලෙස අර්ථකථනය කරලා’
අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් "යෝජිත පනත් කෙටුම්පත තුළින් වැඩ වර්ජන ද ත්‍රස්ත ක්‍රියාවන් ලෙස අර්ථකථනය කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් උද්ඝෝෂණ හෝ විරෝධතා වලින් මං මාවත් වලට සිදුවන හානි පවා ත්‍රස්ත ක්‍රියා ලෙස අර්ථකථනය කල හැකියි."
"වැඩ වර්ජන පවා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථකථනය කර තිබෙනවා. මේ චෝදනා අර්ථකථනය කිරීමේ බලය ලබාදී තිබෙන්නේ අධිකරණය නොවේ. එය අර්ථකථනය කරන්නේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන පොලීසිය වැනි ආයතන විසින්. මේ හරහා යෝජිත පනත් කෙටුම්පත තුළින් විධායකය වෙත අත්තනෝමතික බලයක් ලබාදී තිබෙනවා. එසේම යෝජිත පනත් කෙටුම්පත හරහා අත් අඩංගුවට ගනු ලබන සැකකරුවන්ට ඇප ලබාදීමේ අභිමතය ලබා දී තිබෙන්නේ පොලීසියට මිස අධිකරණයට නොවේ. මේ තුළින් අධිකරණය සතු බලය විධායකය විසින් පැහැරගෙන තිබෙනවා."යනුවෙන් නීතිඥවරයා සඳහන් කර සිටියේය.
'ආගමික නිදහසට බාධා'
අදාළ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "යෝජිත පනත් කෙටුම්පත හරහා අධිකරණය වෙත පැවරී තිබෙන බලතල කප්පාදු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ද සිය කනස්සල්ල පළ කර තිබෙනවා. ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්ම හා සිද්ධාන්ත පසෙකලා තමයි රජය මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙන්නේ. යෝජිත පනත් කෙටුම්පත තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීමේ නිදහසට සීමා පනවා තිබෙනවා. විශේෂයෙන්ම කිතුනු දේවස්ථානවල සිදු කරන දේශන සහ දේව මෙහෙයන් සඳහාත් මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් ප්‍රතිපාදන අහිතකර ලෙස බල පානවා. යෝජිත පනත් කෙටුම්පත හරහා "සාමකාමී විරෝධතා" ද ත්‍රස්ත ක්‍රියාවක් ලෙස අර්ථකථනය කර තිබෙන්නේ. නිදසුනක් වශයෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිමිත්තෙන් පසුගිය දිනවල සාමකාමී විරෝධතා පැවැත්වුණා. මේ පනත් කෙටුම්පත යටතේ එය නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස අර්ථකථනය කිරීමට හැකියාව තිබෙනවා. ඒක අයුක්ති සහගතයි.” ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
“පනත් කෙටුම්පතේ 92 වගන්තිය යටතේ සැකකරුවන් පුනරුත්ථාපන ක්‍රියාවලිය අධිකරණයේ අධීක්ෂණයට ලක්වීමක් සිදු වන්නේ නෑ." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතීඥ ශමිල් පිරිරා යෝජිත පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය විම සිදුවන හෙයින් එය සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිපතිවරයාගේ ස්ථාවරය
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්‍යය , මහජන ආරක්‍ෂාව සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.
මෙහිදී විනිසුරු නවාස් ප්‍රශ්නයක් යොමු කරමින් මෙම පනත් කෙටුම්පත තුළින් ජනතා පරිමාධිපත්‍යය හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පෙත්සම්කරුවන් චෝදනා නගා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, "ස්වාමීනි..... පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන චෝදනා පිලිගන්න බෑ. වර්තමානයේ පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා ලිහිල් පනත් කෙටුම්පතක් ලෙස මෙම පනත් කෙටුම්පත හඳුන්වන්න පුළුවන්. ජනතා පරමාධිපත්‍යය සුරැකීම විධායකයේ වගකීමක් බව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් දුන් තීන්දුවේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම විධායකයේ වගකීමක්. ජනතාවගේ ජීවත් වීමේ මූලික අයිතිය ආරක්ෂා කිරීම මෙන්ම ජනතා පරමාධිපත්‍යය සුරැකීම සඳහායි රජය මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ.ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති මූලධර්ම , සම්මුති, නිර්නායක සහ ප්‍රඥප්තීවලට අනුකූලව මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා." යනුවෙන් සඳහන් කර සිටියේය.
‘වැඩ වර්ජනය වලට බාධා නෑ’
යෝජිත පනත් කෙටුම්පත තුළින් වැඩ වර්ජන සිදු කිරීමේ නිදහස කප්පාදු කර ඇතැයි පෙත්සම්කරුවෝ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
"මේ පනත් කෙටුම්පත යටතේ වැඩ වර්ජනවලට කිසිදු බලපෑමක් සිදු වන්නේ නෑ. වැඩ වර්ජන සිදුකළ හැක්කේ නීතිමය සීමාවන්ට යටත්වයි. නීතියේ රාමුව තුළ සිදුකරනු ලබන වැඩ වර්ජන සඳහා මේ පනත් කෙටුම්පත තුළින් කිසිදු බාධාවක් හෝ සීමාවක් සිදු වන්නේ නෑ. නමුත් රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයට අනර්ථයක් සිදු කරනු ලබන ආකාරයේ කඩාකප්පල්කාරී වැඩ වර්ජන පමණයි මේ පනත් කෙටුම්පත යටතේ වරදක් ලෙස අර්ථකථනය කර තිබෙන්නේ."යනුවෙන් සඳහන් කර සිටියේය.
අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර
"ස්වාමීනි... මෙම පනත් කෙටුම්පත යටතේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඉවහල් වන පියවර කිහිපයක් ගෙන තිබෙනවා. මෙම පනත් කෙටුම්පත යටතේ යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් විට එම අත් අඩංගුවට ගැනීම සිදු කරනු ලබන නිලධාරීන් විසින් ඒ බව ළඟම පිහිටි පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කළ යුතුයි. එසේම කාන්තාවක් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී කාන්තා නිලධාරිනියන් විසින් එය සිදු කළ යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා. එසේම යම් අත් අඩංගුවට ගැනීමක් කළ විට එය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කළයුතු බව දැක්වෙන ප්‍රතිපාදනයක්ද මේ කෙටුම්පතට ඇතුළත්. එම නිසා ආරක්ෂක අංශ සාමාජිකයින්ට අත්තනෝමතික ලෙස සිය බලය පරිහරණය කිරීමට හැකියාවක් නෑ." යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙවැනි පියවර හරහා අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු යොදා ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
'අධිකරණය සතු බලය කප්පාදු කර නෑ'
"යෝජිත පනත් කෙටුම්පත තුළින් අධිකරණය වෙත පැවරී තිබෙන බලතල කප්පාදු කිරීමක් කර ඇති බව පෙත්සම්කරුවෝ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
"පනත් කෙටුම්පත යටතේ රැදවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා යනු විෂය භාර අමාත්‍යවරයාගේ සුපරීක්ෂණය යටතේ කටයුතු කරන නිලධාරියෙක්. ඔහුට අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඔහු විසින් නිකුත් කරනු ලබන රැඳවුම් නියෝග අධිකරණයේ අධීක්ෂණයට ලක් වෙනවා. එසේම යෝජිත පනත් කෙටුම්පත තුළ රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවන් සුපරීක්ෂනය කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයා වෙත පැවරී තිබෙනවා. සැකකරුවන් රඳවා සිටින ස්ථාන නිරීක්ෂණය කිරීමේ බලයත් මහේස්ත්‍රාත්වරයාට හිමිව තිබෙනවා. එම නිරීක්ෂණ වලදී යම් සැකකරුවකු වධ හිංසා වලට භාජනය වී ඇති බව මහේස්ත්‍රාත්වරයාට හැගී ගියහොත් ඔහු සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත් වරයාට බලය හිමි වෙනවා."යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.
'වන්දි ගෙවීමේ ප්‍රතිපාදන ඇතුළත් කළ යුතුයි'
පෙත්සම් විභාගය අතරතුර අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඇමතු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු විජිත් මළල්ගොඩ "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් වසර ගනනාවක් අත් අඩංගුවේ පසුවෙනවා. වසර කීපයක් රඳවා තබා අවසානයේ දී සාක්ෂි නැතැයි කියමින් නිදහස් කරනු ලබනවා. මෙවැනි සිදුවීම් ඕනෑතරම් අප දැක තිබෙනවා. මෙවැනි අත් අඩංගුවට ගැනීම්වලට පාත්‍ර වන පුද්ගලයින්ට යුක්තිය ඉටුවන්නේ කෙසේද? යුක්තිය ඉටු කරන්නේ කවුද? ඒ නිසා මෙවැනි පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඉවහල් වන කුමණ හෝ ප්‍රතිපාදනයක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් විය යුතුයි. අවම වශයෙන් එවැනි පුද්ගලයින්ට වන්දියක් ලබාදිය හැකි ප්‍රතිපාදනයක් හෝ මෙම කෙටුම්පතට ඇතුළත් කළ යුතුයි " යනුවෙන් විනිසුරු විජිත් මළල්ගොඩ යෝජනා කර සිටියේය.
මෙම කරුණ පිළිබඳව අවධානයට යොමු කරන බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සඳහන් කළේය.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව අධිකරණය හමුවේ අවධාරණය කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා කාරක සභා අවස්ථාවේදී රජය විසින් සිදු කිරීමට යෝජිත සංශෝධන ඇතුළත් ලේඛනයක් අධිකරණයට භාර දෙනු ලැබීය.
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කොට ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාග කිරීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ (ජනවාරි 26වැනිදා) ආරම්භ විය.
විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස අගවිනිසුරුවරයා කටයුතු කරනු ලැබීය.
විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජික විනිසුරුවරු වශයෙන් විජිත් මළල්ගොඩ, ඒ. එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරු කටයුතු කළහ.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමාජවාදී තරුණ සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.
පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබුණි..
යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත අතිශය භයානක සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හේතුවන බවට වන කරුණු කිහිපයක් පෙත්සම් තුළින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දක්වා තිබුණි.
මානව හිමිකම්වලට සීමා පනවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට පෙත්සම්කරුවන් පවසන මෙම කෙටුම්පතේ අඩංගු කරුණු මොනවාදැයි මෙම ලිපියෙන් විමසා බලමු.
පෙත්සම්වලින් දක්වා තිබුණේ කුමක් ද?

“ත්‍රස්තවාදය” යනු කුමක්දැයි පැහැදිලිව අර්ථකථනය කර නැහැ
පෙත්සම්වල සඳහන් වන පරිදි යෝජිත පනත් කෙටුම්පත තුළින් "ත්‍රස්තවාදය" යන්න කුමක්දැයි පැහැදිලිව අර්ථකථනය කර නොමැත.එසේම "ත්‍රස්තවාදී ක්‍රියා" යන්නට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට අදාළ නොවන චෝදනා ගණනාවක්ම ඇතුළත් කර ඇති බවත් එය අතිශය භයානක තත්ත්වයක් බවත් පෙත්සම් වල සඳහන්ය . මේ හරහා ඕනෑම අපරාධ ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථකථනය කිරීමට බලධාරීන්ට අවස්ථාව සැලසෙන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන පුද්ගල නිදහස සීමා වන බවත් එම පෙත්සම් වලින් චෝදනා කර තිබේ.
වෙරළ ආරක්ෂක බලකායටත් අත් අඩංගුවට ගැනීමේ බලතල
පනත් කෙටුම්පතේ 19 වන වගන්තිය තුළින් රජයේ ආරක්ෂක හමුදාවලට සහ වෙරල ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට ඕනෑම පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය පවරාදී තිබෙන බවත් පෙත්සම් වලින් එල්ල කර තිබෙන තවත් ප්‍රබල චෝදනාවකි. එසේම පනත් කෙටුම්පතේ 22 වන වගන්තිය තුළින් රජයේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට සහ වෙරළ ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට ඕනෑම පුද්ගලයකු නැවැත්වීමටත් ඕනෑම පරිශ්‍රයකට ඇතුළුවීමටත් බලය ලබා දී තිබෙන බවත් පෙත්සම්වල දැක්වෙයි.
එසේම පනතේ 53 වන වගන්තියට අනුව රජයේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට හා වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයින්ට වාහන හෝ නැව් නැවැත්වීමට බලය ලබාදී තිබෙන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.
රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට හා වෙරළ ආරක්ෂක බලකායේ සමාජිකයින්ට ලබා දී තිබෙන මෙම බලතල අතිශය අත්තනෝමතික වන බවත් එය නීතියේ ආධිපත්‍යයේ පැවැත්මටත් තර්ජනයක් බවත් ඔවූහූ පෙන්වා දෙති. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන ජනතා පරිමාධිපත්‍යය, පුද්ගලික නිදහස හා මූලික අයිතිවාසිකම් සීමා කිරීම මේ හරහා සිදුවන බවත් පෙත්සම්වල සඳහන්ය.
පුද්ගලයින් රඳවා ගැනීම සම්බන්ධ බලතල
යෝජිත පනත් කෙටුම්පතේ 30(1) වගන්තිය තුළින් මෙම පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු අපරාධ නඩු පැවරීමකින් තොරව වසරක් නොඉක්මවන කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ගත හැකි බව සඳහන් කර ඇතැයි පෙත්සම් වලින් කරුණු දක්වා තිබේ. එසේම එම වගන්තිය තුළින් වසරක කාලයක් ඉක්ම ගිය පසුව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ කරනු ලබන ඉල්ලීමකට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරන කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමට ද අවකාශ සලසා දී තිබෙන බවත් පෙත්සම්වල දැක්විණි.
ඊට අමතරව පනත් කෙටුම්පතේ 31 වන වගන්තිය තුළින් ආරක්ෂක ලේකම්වරයාට පුද්ගලයෙකු රඳවා ගැනීම සඳහා මාස තුනක කාලයක් බලපැවැත්වෙන පරිදි රැඳවුම් නියෝග නිකුත් කිරීමටද බලය ලබාදී ඇති බවත් මෙය අනතුරුදායක තත්ත්වයක් බවත් පෙත්සම්කරුවන් දක්වා ඇත. මෙය අධිකරණය සතු බලය කප්පාදු කිරීමක් වන අතර අධිකරණය සතු බලය මේ ආකාරයෙන් රජයේ නිලධාරීන් සතු කිරීම අනතුරුදායක බවත් පෙත්සම් වලින් පෙන්වා දී ඇත.
පනත් කෙටුම්පතේ 22 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත්වරයා එම රැඳවුම් නියෝගවලට අවනත වෙමින් කටයුතු කළ යුතු පරිසරයක් නිර්මාණය කර තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයාට සිය බලය ක්‍රියාවේ යෙදවිය හැකි වපසරිය සීමා කර තිබෙන බවත් පෙත්සම්කරුවන් දක්වන තවත් කාරණයකි. පුද්ගල නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ අධිකරණයට පමණක් බවත් ඒ සඳහා මැදිහත්වීමට අධිකරණයට තිබෙන බලතල ද කප්පාදු කර ඇති බවත් අධිකරණය සතු බලතල විධායකය විසින් අත්පත් කර ගැනීම අතිශය භයානක බවත් අදාළ පෙත්සම් වලින් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.
ජනාධිපතිවරයාට පැවරී තිබෙන අත්තනෝමතික බලතල...
යෝජිත පනත් කෙටුම්පතේ 37(7) වගන්තිය තුළින් රැඳවුම් නියෝගවලට අදාළ කොන්දේසි පැනවීමේ බලය ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් වලින් එල්ල කර තිබෙන තවත් චෝදනාවකි. එසේ පනවනු ලබන කොන්දේසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවෙයි. පාර්ලිමේන්තුවේ සුපරික්ෂණයකින් තොරව ජනාධිපතිවරයාට මෙම බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා දීම නීතියට පටහැනි බවත් එය රාජ්‍ය බල තුලන මූලධර්මයටත් පටහැනි ක්‍රියාවක් වන අතර ඒ හරහා ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවත් අදාළ පෙත්සම් වලින් පෙන්වා දී තිබේ.
මූලික අයිතිවාසිකම් කඩවන ආකාරය...
අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඉහත ප්‍රතිපාදන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්‍යය, නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය, අනීතික ලෙස රඳවා ගැනීමට එරෙහි මූලික අයිතිය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය, සිතීමේ නිදහස පිළිබද මූලික අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්වල සඳහන් කර තිබේ.
ඒ අනුව අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත මෙම ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එය අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලබන සංශෝධන ක්‍රියාත්මක නොකළොත්..?
මේ වනවිට පාර්ලිමේන්තුව මගින් සම්මත කරගෙන තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ සංශෝධන පාර්ලිමේන්තුව විසින් ඒ ආකාරයෙන් සම්මත කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබේ.
එවැනි තත්ත්වයක් ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් ද මතුවුවහොත් ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්දැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය. ජයම්පති වික්‍රමරත්නගෙන් බීබීසී සිංහල විමසුවේය.
"ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් ඇතිවේ යැයි අපට දැන්ම කියන්න බෑ. එසේ කීවොත් ඉන් අසාධාරණයක් සිදුවෙනවා. නමුත් ඔන් ලයින් පනත සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා ගැන මට කියන්න පුළුවන්. එම පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන සම්මත වී නොමැති බවට චෝදනාවක් එල්ලවී තිබෙනවා. එය සත්‍යයක් නම් හරිම කණගාටුදායක තත්ත්වයක්. පනත් කෙටුම් පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකරනු ලබන නිර්දේශ ක්‍රියාවේ යෙදවීමට රජය කටයුතු කළ යුතුයි. එසේ නොකළහොත් අදාළ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් යෙදීමෙන් පසුව ඒ පිළිබඳව අධිකරණයේ හමුවේ අභියෝග කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි අවස්ථාවක පුරවැසියන්ට අධිකරණයට ගොස් නඩු පැවරීමට අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. මේක තමයි තිබෙන අවාසනාවන්ත තත්ත්වය. ඒ නිසා කතානායකවරයා එම පනතට අත්සන් යෙදීමට පෙර පනතේ ප්‍රතිපාදන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකළ සංශෝධන වලට අනුකූලව සිදුවී තිබේදැයි සොයාබැලිය යුතුයි." යනුවෙන් ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න සඳහන් කර සිටියේය.
එක්සත් ජාතීන්ගේ කනස්සල්ල
දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත්කොට ඒ වෙනුවට රජය විසින් සම්මත කිරීමට සූදානම් වන යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිය කනස්සල්ල පළ කර තබේ.
යෝජිත පනත් කෙටුම්පත තුළින් නිකුත් කරනු ලබන රැඳවුම් නියෝග සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට තිබෙන ඉඩකඩ සීමා සහිත වීම, මානව හිමිකම් කොමිසමට මෙම පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් රඳවා සිටින ස්ථාන නිරීක්ෂණය කිරීමට තිබෙන ඉඩකඩ සීමා වීම ඇතුළු පුද්ගල හා මානව නිදහස සීමා කරන ප්‍රතිපාදන යෝජිත පනතට ඇතුළත්ව තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්ය.
රජය විසින් දැනට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත වුවහොත් පුද්ගල නිදහස් සහ මානව අයිතිවාසිකම් සීමා කිරීමට විධායකයට ලැබෙන ඉඩකඩ වඩා පුළුල් වනු ඇති බවත් එම නිවේදනය තුළින් අනතුරු අඟවා තිබේ. එම බලතල අනිසි ලෙස භාවිතා වීම වැළැක්වීමට යාන්ත්‍රණයක් නොමැති බවත් එහි සඳහන්ය.
ඒ අනුව ශ්‍රී ලංකාව විසින් ඇතිකරගෙන තිබෙන මානව හිමිකම් පිළිබඳ බැඳීම් හා එම අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයට යෝජිත පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.













