ලොව ‘බැටරි ලෝහය’ සොයා ඉන්දියාව මුහුද යට තරගයක

ගැඹුරු මුහුද ගවේෂණ කිරීම සඳහා ඉන්දියාව මේ වන විට සංවර්ධනය කරමින් පවතින යානය, මත්ස්‍ය 6000 (Matsya 6000)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැඹුරු මුහුද ගවේෂණ කිරීම සඳහා ඉන්දියාව මේ වන විට සංවර්ධනය කරමින් පවතින යානය, මත්ස්‍ය 6000 (Matsya 6000)
    • Author, නවීන් සිං ඛඩ්කා
    • Role, පරිසර වාර්තාකරු, බීබීසී ලෝක සේවය

පිරිසිදු අනාගතයක් සඳහා මග කියන සාගර පතුලේ සැඟවී ඇති වටිනා ඛනිජ සොයා යාමේ ගවේෂණයක් සඳහා ඉන්දියාව තවත් පියවරක් තබමින් සිටියි.

දැනටමත් ඉන්දියන් සාගරයේ මුහුදු පතුල ගවේෂණය කිරීම සඳහා බලපත්‍ර දෙකක් ඇති ඔවුන්, තීරණාත්මක ඛනිජ වර්ග අත්පත් කර ගැනීමට ප්‍රධාන ගෝලීය බලවතුන් අතර ඉහළ යමින් පවතින තරගය මධ්‍යයේ තවත් බලපත්‍ර දෙකක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇත.

සාගර පෘෂ්ඨයේ සිට මීටර් දහස් ගණනක් පහළින් හමුවන කොබෝල්ට්, නිකල්, තඹ, මැංගනීස් වැනි විශාල ඛනිජ සම්පත් නිධි වෙත ළඟා වීමට චීනය, රුසියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් තරග කරමින් සිටියි. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සූර්ය හා සුළං බලය, විද්‍යුත් වාහන සහ බැටරි තාක්ෂණය වැනි පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමට මේවා යොදා ගැනේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය (International Seabed Authority - ISA) විසින් මේ වන විට ගවේෂණ බලපත්‍ර 31ක් නිකුත් කරනු ලැබ ඇති අතර ඉන් 30ක් සක්‍රීයව පවතියි.

ISA විසින් ඉන්දියාවේ නව අයැදුම්පත් සඳහා අනුමැතිය ලබා දෙනු ලබන්නේ නම්, එරට සතු බලපත්‍ර ගණන රුසියාවට සමාන වන අතර චීනයට වඩා එකක් අඩු වනු ඇත.

ඉන්දියාව ඉල්ලුම් කර ඇති එක් බලපත්‍රයක් හරහා අපේක්ෂා කරන්නේ, මධ්‍යම ඉන්දියන් සාගරයේ කාල්ස්බර්ග් වැටියේ ඇති තඹ, සින්ක්, රන් සහ රිදී අඩංගු ජලතාප විවරයන් අසල ඇති බහු ලෝහමය සල්ෆයිඩ එනම්, චිමිනි වැනි පස් කඳු ගවේෂණය කිරීමට ය.

ISAහි නීති හා තාක්ෂණික කොමිසම මේ පිළිබඳව අදහස් සහ ප්‍රශ්න විමසා ඉන්දීය රජය වෙත ලැයිස්තුවක් යවා ඇති බව බීබීසීය විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති ලේඛනයක දැක්වේ.

මධ්‍යම ඉන්දියන් සාගරයේ අෆනාසි-නිකිටින් නමැති මුහුද යට පිහිටා ඇති කන්දේ කොබෝල්ට් බහුල ෆෙරොමැන්ගනීස් කබොල ගවේෂණය කිරීම සඳහා ඉල්ලුම් කර ඇති අනෙක් අයැදුම් පත්‍රයට ප්‍රතිචාර වශයෙන් කොමිසම සඳහන් කර ඇත්තේ, තවත් නම් නොකළ රටක් එම ප්‍රදේශය තම රටේ පුළුල් මහද්වීපික තටාකයට අයත් බව ප්‍රකාශ කර ඇති බව ත් ඒ සඳහා ඉන්දියාවේ පිළිතුර කුමක් ද යන්නත් ය.

බලපත්‍ර ඉල්ලා යොමු කළ එම අයැදුම් පත්‍රවල අවසන් ප්‍රතිඵලය කුමක් වූ ත් එක් දෙයක් පැහැදිලි ය. සාගර පතුලේ ඇති තීරණාත්මක ඛනිජ සම්පත අත්පත් කර ගැනීමේ තරගයෙන් පසුබැසීමට ඉන්දියාවට අවශ්‍ය නොවන බව ය.

"ඉන්දියන් සාගරය කියලා කියන්නේ, වටිනා සම්පත් තියෙන්න පුළුවන් තැනක්. ඒවා පුළුල් වපසරියක විහිදිලා තියෙන නිසා තමයි සාගර පතුල පිළිබඳව සිදු කරන විද්‍යාත්මක ගවේෂණ වැඩි කරන්න ඉන්දියානු රජය පෙළඹුණේ," එක්සත් ජනපදය පදනම් කරගත් භූ දේශපාලනික සහ සැපයුම් දාම පිළිබඳ බුද්ධි තොරතුරු සපයන Horizon Advisoryහි සම-නිර්මාතෘ නේතන් පිකාර්සික් පවසයි.

2022 වසරේදී ඉන්දියාව අත්හදා බැලීමක කොටසක් ලෙස ඉන්දියන් සාගරයෙන් බහු ලෝහමය ගැටිති කිහිපයක් එකතු කළේ ය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022 වසරේදී ඉන්දියාව අත්හදා බැලීමක කොටසක් ලෙස ඉන්දියන් සාගරයෙන් බහු ලෝහමය කැට කිහිපයක් එකතු කළේ ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2022 වසරේදී ඉන්දියාව අත්හදා බැලීමක කොටසක් ලෙස ඉන්දියන් සාගරයෙන් බහු ලෝහමය කැට කිහිපයක් එකතු කළේ ය.

ඉන්දියාව, චීනය, ජර්මනිය සහ දකුණු කොරියාවට දැනටමත් ඉන්දියානු සාගර කඳු වැටි ප්‍රදේශයේ බහු ලෝහමය සල්ෆයිඩ ගවේෂණය සඳහා බලපත්‍ර ඇත.

2022 වසරේදී, ඉන්දියාවේ ජාතික සාගර තාක්‍ෂණ ආයතනය මධ්‍යම ඉන්දියානු සාගර ද්‍රෝණියේ මීටර් 5,270ක් ගැඹුරින් සිය කැණීම් යන්ත්‍රය යොදවා අත්හදා බැලීමක් කළ අතර බහු ලෝහමය ගැටිති එකතු කරන ලදී (ඒවා මුහුදු පතුලේ ඇති අර්තාපල් හැඩැති මැංගනීස්, කොබෝල්ට්, නිකල් සහ තඹවලින් පොහොසත් ගල් වේ).

ඉන්දියාවේ පෘථිවි විද්‍යා අමාත්‍යංශය ඔවුන්ගේ ගැඹුරු මුහුදේ කැණීමේ සැලසුම් පිළිබඳ බීබීසීය යොමු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වූයේ නැත.

"ඉන්දියාව අවසානයේ උත්සහ කරන්නේ තමන්ගේ ම කලාපයේ තමන් අභිබවා යන්න බැරි, තමන්ගේ ම ශක්තියෙන් බලවත් රටක් කියලා පෙන්නන්න වෙන්න පුළුවන්. ඒ වගේ ම, ගැඹුරු මුහුද සම්බන්ධයෙන් ගත්තා ම, තමන් චීන ජාතිකයින්ට වඩා පසුගාමී නොවන බවට හැඟීමක් ඇති කරන්න," ජර්මනියේ පොට්ස්ඩෑම්හි තිරසරත්වය සඳහා වූ පර්යේෂණ ආයතනයේ සාගර පාලනය පිළිබඳව කටයුතු කරන ප්‍රදීප් සිං පවසයි.

ISA නිර්මාණය කිරීමට තුඩු දුන් ගිවිසුම වන සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සඳහා අත්සන් කර නොමැති බැවින් එක්සත් ජනපදය ජාත්‍යන්තර මුහුදුවල සිදු කෙරෙන කැණීම් තරගයේ කොටස්කරුවෙකු නොවෙයි. ඒ වෙනුවට, ඔවුන්ගේ අරමුණ වන්නේ, තම රටට අයත් මුහුදු පතුලෙන් ඛනිජ ලබා ගැනීම සහ ජාත්‍යන්තර මුහුදෙන් තම මිත්‍ර රාජ්‍යයන් විසින් කැණීම් කර ලබා ගන්නා ඒවා භාවිත කිරීමයි.

ගැඹුරු මුහුදු පතුලේ සිදු කෙරෙන ගවේෂණ වෙනුවෙන් හඬ නගන පිරිස් පවසන්නේ, ගොඩබිමේ සිදු කෙරෙන කැණීම් උපරිම ස්ථානයකට ළඟා වී ඇති බව ත් එහි ප්‍රතිඵලයක් ලෙස අඩු ගුණාත්මක නිෂ්පාදනයක් සිදු වන බව ත් ය. එමෙන් ම, ඛනිජ ප්‍රභව ඇති ප්‍රදේශ බොහොමයක් ගැටුම් හෝ පාරිසරික ගැටලුවලින් පීඩා විඳින බව ත් ය.

එක්සත් රාජධානිය, ජර්මනිය, බ්‍රසීලය සහ කැනඩාව ඇතුළු රටවල් 24ක් පමණ ගැඹුරු මුහුදේ සිදු කෙරෙන කැණීම් නවත්වන ලෙස හෝ තාවකාලිකව නතර කරන ලෙසට ඉල්ලා සිටියි. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ගැඹුරේ මුහුදේ ඇති සමුද්‍ර පරිසර පද්ධති පිළිබඳ තොරතුරු මදකම ය.

2022 වසරේදී ඉන්දියාව අත්හදා බැලීමක කොටසක් ලෙස ඉන්දියන් සාගරයෙන් බහු ලෝහමය කැට කිහිපයක් එකතු කළේ ය

පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සඳහා ඇති ඉල්ලුම සපුරාලීම සඳහා 2050 වන විට තීරණාත්මක ඛනිජ නිස්සාරණය පස් ගුණයකින් වැඩි කළ යුතු බව ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.

ඉන්දියාවට 2070 වන විට කාබන් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීමේ දිගු කාලීන ඉලක්කය සමගින්, 2030 වන විට තම පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ගිගාවොට් 500ක් දක්වා වැඩි කර ගැනීමේ කෙටි කාලීන ඉලක්කයක් සහ ඒ වන විට තම බලශක්ති අවශ්‍යතාවෙන් 50%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාලීමේ ඉලක්කය තිබේ.

විශේෂඥයින් පවසන්නේ, මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා, ගැඹුරු මුහුදු පත්ල ඇතුළු හැකි සෑම මූලාශ්‍රයකින් ම ඉන්දියාවට තීරණාත්මක ඛනිජ ලබා ගැනීමට අවශ්‍ය වනු ඇති බව ය.

වර්තමානයේ, රටවල් කිහිපයක් ගොඩබිම තුළ තීරණාත්මක ඛනිජ නිෂ්පාදනයේ ආධිපත්‍යය දරයි. ඔස්ට්‍රේලියාව ලිතියම් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන වන අතර චිලී රාජ්‍යය යනු, තඹ සපයන ප්‍රමුඛ රට වේ. චීනය ප්‍රධාන වශයෙන් ග්‍රැෆයිට් සහ විරල පාංශු ලෝහ (ස්මාර්ට්ෆෝන් සහ පරිගණකවල භාවිත කරන) නිෂ්පාදනය කරයි.

එහෙත් මෙම ඛනිජ ද්‍රව්‍ය සැපයුම් දාමයට ඇතුළු වීමට පෙර සැකසීමේදී චීනයේ ආධිපත්‍යය දැරීම ගැන භූ දේශපාලනික කනස්සල්ලක් පවතී.

ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති ඒජන්සියට අනුව, දශක ගණනාවක් පුරා සැකසුම් තාක්ෂණයන් සහ ප්‍රවීණත්වය ඔප් නංවාගෙන ඇති චීනය දැනට පිරිපහදු කළ ස්වභාවික මිනිරන් සහ ඩිස්ප්‍රෝසියම් සැපයුමෙන් 100%ක්, කොබෝල්ට් 70%ක් සහ සියලු ම සැකසූ ලිතියම් සහ මැංගනීස්වලින් 60%ක් පමණ පාලනය කරයි.

එපමණක් නොව, චීනය තම සැකසුම් තාක්ෂණයන් සමහරක් වෙනත් රටවලට ලබා දීම තහනම් කර ඇත.

පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සඳහා ඇති ඉල්ලුම සපුරාලීම සඳහා 2050 වන විට තීරණාත්මක ඛනිජ නිස්සාරණය පස් ගුණයකින් වැඩි කළ යුතු බව ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.

"දේශපාලන වාසි සඳහා වෙළෙඳපොළ බලය ආයුධයක් විධියට පාවිච්චි කරන්න කැමති අධිපත්‍යය දරන සැපයුම්කරුවෙකුට එරෙහිව අපි නැගී සිටිනවා," එක්සත් ජනපද බලශක්ති ලේකම් ජෙනිෆර් ග්‍රැන්හෝම් 2023 අගෝස්තු මාසයේ පැවති තීරණාත්මක ඛනිජ සහ පිරිසිදු බලශක්ති සමුළුවකදී පැවසීය.

2022 වසරේදී "වගකිවයුතු තීරණාත්මක ඛනිජ සැපයුම් දාමවල ආයෝජනය" උත්ප්‍රේරණය කිරීම සඳහා එක්සත් ජනපදය සහ බටහිර රටවල් කිහිපයක් ඛනිජ ආරක්ෂණ හවුල්කාරිත්වය (Minerals Security Partnership) දියත් කළේ චීනයට එරෙහි වීමට ය. ඉන්දියාව දැන් එහි සාමාජිකයෙකි.

ගැඹුරු මුහුදේ පතල් කැණීම් තාක්ෂණය දියුණු කිරීම සඳහා ඉන්දියාව රුසියාව සමග ගිවිසුමකට ද එළඹ ඇත.

"වර්ධනය වන භූ දේශපාලනික ආතතීන් සහ බලශක්ති සංක්‍රාන්තිය එකට එක හමු වෙනවා කියන්නේ, තීරණාත්මක ඛනිජ නිස්සාරණය කිරීම, සැකසීම සහ භාවිත කිරීම සඳහා තියෙන පොරය වේගවත් වෙන එක," පිකාර්සික් පවසයි.