IPL ළාබාලතම ක්‍රීඩකයා ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් ආසියානු කුසලාන සිහිනය බොඳ කරයි

India U-19

ඡායාරූප මූලාශ්‍රය, Asia Cricket Council

අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන දෙවන අවසන් පූර්ව වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාව කඩුලු 07ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

IPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා වන වෛභව් සුර්යවංශි අද (දෙසැම්බර් 06) තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට මොක ද වුණේ?

අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේදී අපරාජිතව පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දැක්වූයේ දුර්වල ක්‍රීඩා විලාසයකි.

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 03 දැවී ගියේ ඉතා අඩු ලකුණු මට්ටමකට ය. ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව පන්දු වාර 3යි පන්දු 04 කදී දිස්වූයේ ලකුණු 08 කට කඩුලු 03ක් ලෙස ය.

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ගෙන දුන් ලක්වින් අබේසිංහ සහ ශාරුජන් ෂන්මුගනාදන් සිව් වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.

පන්දු 78ක් තුළ ලකුණු 42ක් රැස් කර සිටියදී ශරුජන් ෂන්මුගනාදන් දැවී ගිය අතර ඉන් පසුව පැමිණි කිසිදු පිතිකරුවෙකුට ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සාර්ථක සබඳතාවක් ගොඩනැගීමට නොහැකි විය.

අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩි ම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ලක්වින් අබේසිංහ පන්දු 110 කදී ලකුණු 69ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 02 කදී සියලු දෙනා දැවී ලකුණු 173ක් රැස් කිරීමට සමත් විය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ඉන්දීය පිතිකරුවන්ගේ ලකුණු හඹා යාම

ලකුණු 174ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ප්‍රවේගකාරී ලෙස ලකුණු රැස් කිරීමට සමත් වූහ.

ආරම්භක පිතිකරුවෝ පළමු පන්දු වාර 8යි පන්දු 03 කදී ලකුණු 91ක් රැස් කිරීමට සමත් වූහ.

ඉන්දීය කණ්ඩායමේ වෛභව් සුර්යවංශි පන්දු 36 කදී වේගවත් ලකුණු 67ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් විය.

13 හැවිරිදි වෛභව් සුර්යවංශි, මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉතිහාසයේ අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්විය. ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.10කට මිල දී ගනු ලැබුවේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම යි.

ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 21යි පන්දු 04කදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 175ක් රැස් කිරීමට සමත් විය.