මතභේදයට තුඩු දී ඇති නව පනතෙන් මහ බැංකුව පූර්ණ ස්වාධීන වෙයිද?

ශ්‍රී ලංකාවේ නව මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්වන යෝජනා සැලකිල්ලට ගනිමින්, එහි විධිවිධාන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සංශෝධනය කළ හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

අංශ කිහිපයකින්ම මතභේදයට තුඩු දී තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳව (මාර්තු 16 වැනිදා) මහ බැංකු පරිශ්‍රයේ පැවැති දේශනයකදී ආචාර්ය වීරසිංහ මේ බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ ස්වාධීනත්වය, වගවීම සහ මිල ස්ථායිතාව වැඩිදියුණු කිරීමේ අභිප්‍රාය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ නව නීති සම්පාදනය කරන බවද ඔහු සඳහන් කළේය.

නව මහබැංකු පනතක් අවශ්‍ය ඇයි?

2002 වසරේදී සිදුකළ සංශෝධනය හැර, පසුගිය වසර 70 පුරා මහ බැංකු පනත හෙවත් ශ්‍රී ලංකාවේ මුදල් නීති පනත පුළුල් ලෙස සංශෝධනය කර නොමැති බව පෙන්වාදුන් මහ බැංකු අධිපතිවරයා, පනත වෙනස් කිරීමට හේතු වූ සාධක කිහිපයක් පෙන්වාදුන්නේය.

  • ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා මුදල් නීති පනත යාවත්කාලීන කිරීමට අවශ්‍ය වීම.
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර පදනමින් මිල ස්ථායීතාව සහතික කිරීම සඳහා.
  • මූල්‍ය අංශයේ අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා.
  • මහ බැංකුවේ පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා.
  • අන්තර්ජාතිකව පිළිගත් යහපත් ක්‍රමවේදයන්ට මහ බැංකු කාර්යයන් අනුකූල වීම සඳහා.

ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ මහ බැංකුවද?

රට තුළ පවතින ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකා මහ බැංකුව වගකිවයුතු බවට රටේ ඇතැම් පාර්ශව අතර මතයක් පැවැතියද, ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය වන්නේ නිශ්චිත ප්‍රධාන අරමුණු දෙකක් සාක්ෂාත් කරගැනීම පමණක් බවද අචාර්ය වීරසිංහ පෙන්වාදුන්නේය. එම අරමුණු වන්නේ;

  • ආර්ථික සහ මිල ස්ථායීතාව පවත්වාගෙන යෑම
  • මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යෑම

මෙම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් වර්තමානයේ, මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, සාමාජිකයන් 05දෙනකුගෙන් සමන්විත මුදල් මණ්ඩලයක් පවතින බව පෙන්වාදුන් අචාර්ය වීරසිංහ, නව පනත යටතේ මෙම පාලන ව්‍යුහය, මණ්ඩල දෙකක් යටතට පත්කෙරෙන බවද සඳහන් කළේය.

  • සාමාජිකයන් 07 දෙනකුගෙන් සමන්විත 'පාලක මණ්ඩලයක්' සහ
  • සාමාජිකයන් 11 දෙනකුගෙන් සමන්විත 'මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයක්'

නව පනත යටතේ අරමුණු කර ඇති, මිල ස්ථායීතාව සහ උද්ධමනය පාලනය කිරීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා මෙලෙස වෙනම ම 'මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයක්' පිහිටුවීමට යෝජිත බවද ඔහු සඳහන් කළේය.

මාර්තු 20 වැනිදා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ඩොලර් බිලියන 2.9 ක ණය වැඩසටහන අනුමත කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටියි.

නව පනතක් හඳුන්වාදීම හරහා, පූර්ණ ස්වාධීන මහ බැංකුවක් පිහිටුවීම IMF ආධාර පැකේජය ලබා ගැනීමේ ප්‍රධාන නිර්ණායකයක් වේ.

IMF ණය පහසුකම සඳහා පවතින බාධාවන් ඉවත් කිරීමෙන් පසු, ආර්ථිකය යළි පණගැන්වීම සඳහා අවශ්‍ය වෙනස්කම්වලට නිර්භීතව මුහුණදිය යුතු බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

රට බංකොලොත් වුනේ ඇයි?

පොළී අනුපාත සහ විනිමය අනුපාත එකම අගයක තබා ගැනීමට 2020 දී මහ බැංකුව ගත් වැරදි තීරණය රට බංකොලොත් වීමට බලපෑ ප්‍රධාන කරුණු දෙක බවද අචාර්ය වීරසිංහ පෙන්වාදුන්නේය.

පොළී අනුපාතය 5%ක අගයක සිරකර තැබීම නිසා ණය ලබාගත් පාර්ශව අද වනවිට අසීරුතාවට පත්ව ඇති බවද, විනිමය අනුපාතිකය රුපියල් 203ක අගයක ස්ථාවරව පවත්වාගෙන යෑම නිසා, විදේශ සංචිත 'බිංදුවට බැස' රටේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කිරීමට සිදුවූ බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

2020 දී මහ බැංකුවේ මතය වෙනස්වීම නිසා දේශීය සහ විදේශීය ඉල්ලුම පාලනය කිරීමට මහ බැංකුවට පැවැති එම ප්‍රධාන උපකරණ දෙක නැතිවූ බවත්, එය මහ බැංකුවේ දෑත් ගැටගසා දැමීමක් බවත් ඔහු සඳහන් කළේය.