'සියවසේ දික්කසාදයේ' ඩොලර් බිලියනයක වන්දිය නොගෙවීමට දකුණු කොරියානු ප්‍රකෝටිපතියාට අවස්ථාවක්

Close-up photo of Chey Tae-won speaking on a microphone wearing a suit and tie against a blurred blue and white background

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියානු මාධ්‍ය මෙම නඩුව "සියවසේ දික්කසාදය" ලෙස නම් කර ඇත
    • Author, ජොයෙල් ගින්ටෝ, යුනා කු - බීබීසී කොරියානු සේවය

දකුණු කොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය, ප්‍රකෝටිපති චේ ටේ-වොන් ඔහුගේ හිටපු බිරිඳට වොන් ට්‍රලියන 1.38ක (ඩොලර් බිලියන 1; පවුම් මිලියන 788) වන්දියක් ගෙවිය යුතු බවට පහළ අධිකරණයක් දුන් නියෝගය අවලංගු කර තිබේ. එරට මාධ්‍ය විසින් මෙය "සියවසේ දික්කසාදය" ලෙස හඳුන්වනු ලැබේ.

වැරදි ගණනය කිරීමක් හේතුවෙන් යුවළගේ වත්කම්වල වටිනාකම වැඩි වූ බව සඳහන් කරමින්, නඩුව නැවත සලකා බැලීමට අධිකරණය නියෝග කර තිබේ.

චේ බලගතු SK සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා වන අතර ඔහුගේ හිටපු බිරිඳ රෝ සෝ-යොං හිටපු ජනාධිපතිවරයෙකුගේ දියණියක වීම නිසා මෙම නඩුව කෙරෙහි දකුණු කොරියාවේ අවධානය යොමු වී ඇත.

2015 දී චේ සිය පෙම්වතියගෙන් දරුවෙකු බිහි කළ බවට පිළිගැනීමෙන් පසු මොවුන් දෙදෙනාගේ විවාහය දෙදරා ගියේ ය.

වොන් ට්‍රිලියන 1.38ක වන්දි ගෙවීම 2024 දී සෝල් අගනුවර අධිකරණයක් විසින් තීරණය කරන ලදී. එය එකල දකුණු කොරියානු ඉතිහාසයේ වැඩි ම වන්දියක් නියම වූ දික්කසාද බේරුම්කරණය ලෙස සැලකිණි.

රෝගේ පියා වන හිටපු ජනාධිපති රෝ තේ-වූ විසින් සපයන ලද වොන් බිලියන 30ක අරමුදල SK සමූහයේ වර්ධනයට දායක වූ බවත්, එය යුවළගේ ඒකාබද්ධ වත්කම් සඳහා ඇයගේ දායකත්වය ලෙස සැලකිය හැකි බවත් අධිකරණය පැවසීය.

පසුව චේ එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේ ය.

බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, මෙම අරමුදල හිටපු ජනාධිපතිවරයා විසින් "නීති විරෝධී ලෙස ලබා ගත් අල්ලස්වලින් ආරම්භ වූවක් ලෙස පෙනෙන" බවත්, එබැවින් එම අරමුදල් යුවළගේ වත්කම්වල කොටසක් ලෙස සැලකිය නොහැකි බවත් ය.

"එය යුවළගේ ඒකාබද්ධ දේපළට දායකත්වයක් ලෙස පිළිගැනීම වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කිරීම ඉතා වැදගත් යැයි මං හිතනවා," චේගේ නීතිඥ ලී ජේ-ගුන් පැවසීය.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු බිරිඳ වන රෝට වොන් බිලියන 2ක නඩත්තු ගෙවීම තහවුරු කළේ ය.

බ්‍රහස්පතින්දා තීන්දුවෙන් පසු SK සමාගමේ කොටස් 5.4%කින් පහත වැටුණේ, චේගේ සහ ඔහුගේ හිටපු බිරිඳ අතර නීතිමය සටන දුරදිග යනු ඇති බවක් පෙනෙන්නට තිබූ බැවිනි.

නමුත් විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, කෙටිකාලීනව SK සමූහයේ වෙනසක් සිදුවීමට ඇති ඉඩකඩ අඩු බව ය. මන්ද චේට ඔහුගේ දික්කසාද බේරුම්කරණය සඳහා වහා ම අරමුදල් රැස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බැවිනි.

SK Telecom, SK Square සහ SK Innovation වැනි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුබද්ධිත සමාගම් ඔහු පාලනය කරයි.

SK සමූහයේ ව්‍යාපාර විදුලි සංදේශ, බලශක්ති, ඖෂධ සහ අර්ධ සන්නායක වැනි අංශ දක්වා විහිදේ.