ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංචාරකයින්ගේ පැමිණීම වැඩි වුණත් 'ලැබෙන ආදායම පහත වැටී ඇත්තේ' ඇයි?
- Author, බීබීසී සිංහල
"මේ පාර සීසන් එක ලබන මාසේ ඉඳන් පටන් ගන්නවා. අපි කතා කරපු විලාවල කට්ටිය කිව්වේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකම් ම බුකිං තියෙනවා කියලා. අපි හිතනවා හොඳ ජෙනුයින් ගෙස්ට්ලා ටිකක් වැටේවි කියලා..."
මේ, හික්කඩුව ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත තරුණ ව්‍යාපාරිකයෙකු වන අයේෂ්ක ගුරුගේ ඉදිරියේදී එළඹෙන සංචාරක කාල පරිච්ඡේදය ගැන තම අපේක්ෂාව බීබීසී සිංහල වෙත පැවසූ ආකාරය යි.
නමුත් ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ එතරම් සතුටුදායක ආදායමක් කර්මාන්තයෙන් උපයා ගැනීමට නොහැකි වීමේ පිළිබඳ කණස්සල්ල ද ඔහු තුළ පවතී.
"ගිය අවුරුද්දේ සේල්ස් එක්ක බැලුවොත් 50%ක විතර ඩ්‍රොප් එකක් තියෙනවා," ඔහු සඳහන් කළේ ය.
සංචාරක කර්මාන්තයේ ඉදිරි අනාගතයට "අභියෝගයක්" වන එම ප්‍රකාශයේ යම් සත්‍යතාවක් පවතින බව හැඟී යන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වසරේ නිකුත් කරනු ලැබ ඇති විදෙස් අංශයේ ක්‍රියාකාරිත්වය ගැන සඳහන් දත්ත පිරික්සා බැලීමත් සමග ය.
එම දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ, 2025 වසරේ ජූලි සහ අගෝස්තු මාස දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 2024 වසරට සාපේක්ෂව වැඩි වී තිබුණ ද ඔවුන්ගෙන් ලැබුණු ආදායම ගෙවුණු වසරේ අදාළ මාස දෙකට සාපේක්ෂව මෙම වසරේ පහළ අගයක් ගන්නා බව ය.
සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගිය ද එය එම කර්මාන්තයේ උන්නතියට සැබවින් ම දායක වී තිබේ යන ගැටලුව ඒ අනුව ඉස්මතු වේ. මේ, ඒ ගැන කෙරෙන විමසා බැලීමකි.
දත්ත මගින් හෙළිවන්නේ මොනවා ද?
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ විසින් නිකුත් කරනු ලබන මාසික සංචාරක පැමිණීම් වාර්තා අනුව 2024 වසරේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ගණන 2,053,465කි.
නමුත් 2025 වර්ෂයේ ගත වූ අගෝස්තු මාසය දක්වා පමණක් පැමිණි සංචාරකයින් ගණන 1,566,523කි.
2024 වසරේ සහ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස සංසන්දනය කර බැලීමේදී පෙනී යන්නේ 2024 වසරට වඩා 2025 වසරේ අගෝස්තු දක්වා සෑම මසක ම සංචාරකයින්ගේ පැමිණීමේ වැඩි වීමක් සිදුව ඇති බව ය.
එනම්, 2025 ජනවාරි-අගෝස්තු මාසවල සංචාරකයින්ගේ පැමිණීම 2024 වසරේ එම කාලයට සාපේක්ෂව ආසන්න වශයෙන් 15.4%කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, මෙම වැඩිවීමට හේතුව කුමක් ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ, කොවිඩ් වසංගතය හේතුවෙන් රටවල් අතර සංචාරය කිරීමට මැළිකමක් දැක්වූ සංචාරකයින්ගේ පැමිණීම ඊට එක් හේතුවක් බව ය.
"මූලික වශයෙන් ම වැඩිවීම අපි දකින්නේ ලෝ-එන්ඩ් රටවල්වලින් ඒ කියන්නේ ඉන්දියාව සහ චීනය වගේ රටවල්වලින්. ඊට අමතරව ජර්මනිය, එක්සත් රාජධානිය වගේ රවටල්වලිනුත් අපි දකිනවා යම් වැඩි වීමක්," ඔහු පැවසීය.
බැලූ බැල්මට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබුණ ද ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන පරිදි "කණස්සල්ලට කරුණ නම්" සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාමට සාපේක්ෂව ලැබෙන ආදායමේ කැපී පෙනෙන වෙනසක් නොවීම ය.
2025 වසරේ මුල් භාගයේ පෙර වසරට සාපේක්ෂව සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායමේ තරමක වැඩි වීමක් නිරීක්ෂණය වුව ද මහ බැංකු දත්ත අනුව පෙනී යන්නේ, 2025 වසරේ ජූලි සහ අගෝස්තු මාසයේ එය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ය.
එනම්, 2024 වසරේ ජූලි මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 328.3ක් අදායමක් පෙන්නුම් කළ ද 2025 ජූලි මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 318.5ක් දක්වා පහත වැටී ඇත.
2024 අගෝස්තු මාසයේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 282.1 ලෙස සටහන් වී ඇති නමුත් 2025 අගෝස්තු මාසයේ ලබා ගැනීමට හැකි වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 258.9ක අදායමක් පමණි.
සමස්තයක් ලෙස ගත් කල 2024 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ලද ආදායමට (ඇමරිකානු ඩොලර් මිලියන 2,167) සාපේක්ෂව 2025 වසරේ එම කාලය තුළ ආදායමේ (ඇමරිකානු ඩොලර් මිලියන 2,299) කැපී පෙනන වැඩි වීමක් සිදුව නොමැති එම දත්ත දෙස බැලීමේදී පෙනී යයි. ප්‍රතිශතයක් ලෙස ගත් කල එය ආසන්න වශයෙන් 6.09%ක වැඩි වීමකි.
ඒ අනුව ගත් කල, නව රජය මෙම වසරේ ඩොලර් බිලියන 5ක ආදායමක් ඉලක්ක කර ගෙන ඇති පසුබිමක එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා වසරේ ඉදිරි කාලය තුළ මසකට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 675ක් පමණ උපයා ගත යුතු බව පැහැදිලි වේ.
නමුත් වත්මන් මාසික ආදායම් රටාව අනුව මෙම ඉලක්කය සපුරා ගැනීම කළ හැකි ද යන ගැටලුව මතු වේ.
ඉන්දියානුවන්ගේ පැමිණීමේ වැඩි වීමක්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ, 2024 එක් මාසයක් හැර සහ 2025 වසරේ අගෝස්තු මාසය දක්වා ම මෙරටට වැඩි ම සංචාරකයින් පිරිසක් පැමිණි රට ඉන්දියාව බව ය.
2025 වසරේ ජූලි සහ අගෝස්තු මාසවල මෙරට පැමිණ ඇති ඉන්දීය සංචාරකයින් ගණන 83,601කි.
මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දෙන පරිදි ඉන්දියාව සහ චීනය වැනි රටවල සිදුවී ඇති ආර්ථික ප්‍රගතිය ඔවුන් මෙරට සංචාරය කිරීමට හේතුවකි. "විශේෂයෙන් ම ඒ තුළින් ඔවුන් ඒ ආසන්නතම රටවල් සහ සාපේක්ෂව ගණන් අඩු රටවල් තෝරා ගන්නවා," ඔහු පැවසීය.
නමුත් සංචාරක කර්මාන්තය සිය රැකියාව කර ගත් අයේෂ්ක සිය අත්දැකීම් අනුව සඳහන් කරන්නේ, ඉන්දියානුවන්ගේ පැමිණීම තම ආර්ථිකයට එතරම් ශුභදායක නොවන බව ය.
කෙසේ වෙතත්, ඉන්දියානුවන් අතරින් මුදල් වියපැහැදම් කරන ඉන්දියානු සංචාරකයින් ද ඔහුට හමුවූ බව අයේෂ්ක පැවසීය.
"සීසන් එකේ ආවේ ඉන්දියන් අය. අපේ රෙස්ටුරන්ට් එකට ආවා සල්ලි වියදම් කරන ඉන්දියන් අය."
'එන සංචාරකයින්ට වඩා වැදගත් වෙන්නේ ලැබෙන ආදායම'
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තයේ ව්‍යුහාත්මක වෙනසක් සිදුව ඇති බව ආර්ථික විශේෂඥ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහගේ මතයයි.
"ඒ ව්‍යුහාත්මක වෙනස තුළ අපි දකින්නේ අපි හයි-එන්ඩ් ගමනාන්තයක් විදිහට ප්‍රමෝට් වෙනවා වෙනුවට ලෝ-එන්ඩ් ගමනාන්තයක් විදිහට ප්‍රමෝට් වීමක් තමයි අපිට පේන්නේ," ඔහු පැවසීය.
එම වෙනස පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ, බටහිර ස්වරූපයේ ගති ලක්ෂණ හෝටල්වලින් ක්‍රමානුකූලව ගිලිහෙමින් යන බව ය.
කොළඹ ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති තරු පන්තියේ හෝටල්වල බොහෝ අවස්ථාවලදී පිළිගන්වනු ලබන ආහාර දකුණු ආසියාතික හෝ ලාංකික ස්වරූපයක් ගන්නා බව ඔහු පැවසීය.
"ඒකෙන් අදහස් වෙන්නේ සංචාරක ගමනාන්තයක් විදිහට අපි විශේෂීකරණය වෙමින් යනවා බොහෝ ම අඩු වියදම්, ලෝ එන්ඩ් සංචාරකයින්ට කේටර් කරන්න," යැයි මහාචාර්යවරයා සඳහන් කළේ ඊට හේතු විය හැකි සාධක පිළිබඳව ද පැහැදිලි කරමිනි.
"ඒකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. එක පැත්තකින් මේ කර්මාන්තය පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් කඩා වැටුණා. කොරෝනා වසංගතයෙන් කඩා වැටුණා. මේත් එක්ක මේකේ හිටපු විශාල පිරිසක් එළියට ගියා. ඒක මම හිතනවා ඉතාමත් අහිතරකර විදිහට බලපෑවා කියලා මේ ක්ෂේත්‍රයේ සංවර්ධනයට," ඔහු පැවසීය.
"ඒකත් එක්ක අපේ සේවාවල ගුණාත්මක බව, කෑම සහ බීමවල තියෙන ගුණාත්මක බව, අනෙක් දේවල්වල ගුණාත්මක බව පහළට වැටීම හේතුකොට ගෙන අපිට ආකර්ෂණය වෙන්නේ හුඟක් වෙලාවට ලෝ-එන්ඩ් ටුවරිස්ට්ලා වගේ තමයි.
"ඒක මම හිතන්නේ ප්‍රථම වතාවට පහුගිය කාර්තුවේ දැක්කේ ටුවරිස්ට්ස්ලා ගණන වැඩි වෙනවා හැබැයි ආදායම් අඩුවෙනවා," ඔහු පෙන්වා දුන්නේ ය.
මහාචාර්යවරයා අවධාරණය කළේ, එය අප දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කාරණයක් බව ය. "එන සංචාරකයින්ට වඩා වැදගත් වන්නේ ලැබෙන ආදායම," ඔහු අවධාරණය කළේ ය.
'රජය ඇවිල්ලා මාස 10යි. මොනවා ද කරලා තියෙන්නේ?'
මහාචාර්යවරයා අනතුරු ඇඟවූයේ කර්මාන්තය තුළ ප්‍රතිපත්ති හරහා ඊට මැදිහත් වීම සිදු නොකළහොත් රට "ඉතාමත් ම නරක තැනකට" ගමන් කරනු ඇති බව ය.
"බරපතළ ම දේ තමයි සංචාරක ව්‍යාපාරය තුළ සංවර්ධනයට දැවැන්ත දායකත්වයක් ගන්න විශාල විභවතාවක් තියෙද්දී අන්න ඒ විභවතාව අපි ඇත්තට ම භාවිත නොකිරීම," ඔහු පෙන්වා දුන්නේ ය.
"ඒ කියන්නේ ලේසියෙන් පහසුවෙන් ගන්න පුළුවන් මේ ප්‍රගතිය අපි අවසානයේදී අත්කර ගන්න අසමත් වීම උඩ ඇති වෙලා තියෙන්නේ අපි තුළ කිසි ම සංවර්ධන සැලැස්මක් නැහැ කියන එක," මහාචාර්යවරයා අවධාරණය කළේ ය.
"රජය ඇවිල්ලා මාස 10යි. මොනවා ද කරලා තියෙන්නේ මාස 10ට? කිසි ම ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරලා නැහැ. ඉතින් ඒ හින්දා ප්‍රතිපත්තිමය වශයෙන් බරපතළ අසාර්ථකත්වයක් තියෙන්නේ. මේ විදිහට ආර්ථිකය අරගෙන යන්න බැහැ. රජය එදිනෙදා මාතෘකාවලින් පහළ මට්ටමේ ඉන්න නූගත් ජනතාව පිනෙව්වට මේ සැබෑ යථාර්ථය තුළ කිසි ම ප්‍රගතියකට යන ගමනක් සිද්ධ වෙමින් නැහැ," යැයි ඔහු ප්‍රකාශ කළේ කර්මාන්තය තුළ සිදු විය යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් ගැන පැහැදිලි කරමිනි.
මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීම සඳහා බීබීසී සිංහල විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.
ඒ අනුව, අප සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සම්බන්ධ කර ගැනීමට පියවර ගත් නමුත් කාර්යබහුල බැවින් ඉදිරියේදී ඔහු අප හා සම්බන්ධ වන බව ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා බීබීසී සිංහල වෙත පැවසීය.
'සුද්දෙකුට ලංකාවේ ඇතුළේ වියදම් කරන්න දෙයක් නැහැ'
අයේෂ්ක ගුරුගේ සඳහන් කළේ, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට රට තුළ නිරත වීමට ඇති ක්‍රියාකාරකම් ඉතා අඩු බව ය. ඔවුන් මෙහි වැඩි වශයෙන් පැමිණ සිදු කරන්නේ නිදහසේ කාලය ගත කිරීම හෝ මෙරට සංස්කෘතිකමය වටිනාකම් දැක බලා ගැනීම බව ඔහු පැවසීය.
"හික්කඩුව ගත්තොත් සුද්දෙකුට විනෝද වෙන්න එහෙම දෙයක් නැහැ. සුද්දෙකුට ඇවිල්ලා ලංකාවේ ඇතුළේ වියදම් කරන්න සංස්කෘතිකමය දේවල් ටිකක් ඇරෙන්න වෙන දේවල් ටිකක් නැහැ. ලංකාවට වැඩි හරියක් ගෙස්ට්ලා එන්නේ නිදහසේ ඉන්න. ඉතින් සුද්දෙකුට ඇවිල්ලා වියදම් කරන්න දෙයක් නැහැනේ," ඔහු පැවසීය.
වසංගත සමයෙන් පසු මෙරටට පැමිණි රුසියානු සංචාරකයින් රැකියාවල නිරත වීම හරහා කර්මාන්තයට සිදු වූ හානිය පිළිබඳව ද ඔහු සඳහන් කළේ ය.
"කොවිඩ්වලින් මිනිස්සු වැටුණට පස්සේ රෂියන්ස්ලා නේ මෙහෙට ආවේ මුලින් ම. එතකොට ඒ අය කළේ හොටෙල් වගේ ඒවා එක පාර සල්ලි දීලා අරගෙන ඒ අය බිස්නස් කරන එක. අපිට තේරෙන විදිහට දැන් ඒ මාකට් එක කැඩීගෙන යනවා. රෂියන් ගෙස්ට්ලාට කැමති නැහැ යුරෝපියන්ස්ලා. එහේ සල්ලි මෙහෙට එන්නේ නැහැ. එහෙටමයි යන්නේ."
හඳුනා ගැනීම් සිදු කර වෘත්තීමය වශයෙන් කර්මාන්තය සංවර්ධනය කිරීමට මෙම ගැටලුවට ඇති එක් විසඳුමක් බව මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ බීබීසී සිංහල සමග පැවසීය.
නමුත් කර්මාන්තය තුළ පවතින මානව සම්පත් හිඟය ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේ ය.
අයේෂ්ක මතු කළ අදහසට සමාන අදහසක් දක්වමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, විදේස් සංචාරකයින්ට නිරත වීමට විවිධ ක්‍රියාකාරකම් රට තුළ සංවර්ධන කළ යුතු බව ය.
"අනිවාර්යයෙන් ම සංචාරකයින්ට මෙහේ ඇවිල්ලා කරන්න දෙයක් තියෙන්න ඕනේ. ඒක ස්පිර්චුවල් ටුවරිසම් වෙන්න පුළුවන්, නේචර් වෙන්න පුළුවන්, රිලිජස් වෙන්න පුළුවන්. විවිධ පැතිවලට අදාළව ක්‍රියාකාරකම් හදන්න ඕනේ," ඔහු වැඩිදුරටත් පැවසීය.