BBC නම් කළ 2025 වසරේ හොඳ ම සංචාරක ස්ථාන 10 සහ ශ්‍රී ලංකාව ඊට ඇතුළත් කිරීමට බලපෑ හේතු

    • Author, BBC Travel

ඔස්ට්‍රේලියාවේ පිහිටි බබල්ගම් වර්ණ විල්වල සිට බොට්ස්වානාහි සූර්ය බලයෙන් බලශක්තිය සැපයෙන වන සෆාරි කඳවුරක් දක්වා, 2025 වසරේ බීබීසී මාධ්‍යවේදීන් වඩාත් ම ආකර්ෂණීය ගමනාන්ත ලෙස නම් කළ පළමු ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.

අපගේ ජීවිත වඩාත් යහපත් කිරීමේ සහ ආත්මය පුබුදුවාලීමේ අපූරු හැකියාවක් සංචාරයකට තිබේ. නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි කඩා වැටෙන දිය ඇල්ලක් දෙස බැලීම හෝ ඉතාලියේ ඩොලමයිට්හි කන්දක් තරණය කිරීම මගින් ලෝකය කෙතරම් විශ්මයජනක ද යන්න ඔබට මතක් කර දෙනු ඇත. කෙසේ වෙතත්, සංචාරය කිරීම ඔබ තුළ ධනාත්මක වෙනසක් ඇති කළත් එය ඇතැම් විට සංචාරක ස්ථානවලට හානි කළ හැකි බව ද පෙනී ගොස් තිබේ. එ නිසා ම බොහෝ සංචාරක ගමනාන්ත දැන් අධික සංචාරක ව්‍යාපාරවල අහිතකර බලපෑම් කළමනාකරණය කිරීම සඳහා නව සීමා පනවා ඇත.

මෙම වසරේ සංචාරය කිරීමට හොඳ ම ස්ථාන සඳහා බීබීසී මාර්ගෝපදේශයේදී, අප අධික වශයෙන් සංචාරයේ යෙදීම නිසා මෙම ගැටලු ඇති වූ ස්ථාන වෙනුවට වෙනත් ස්ථාන කෙරෙහි අවධානය යොමු කළෙමු. මෙවර අපේ අවධානය දිනාගත් ස්ථාන සංචාරකයන්ව සාදරයෙන් පිළිගන්නා, ඇදහිය නොහැකි සංචාරක අත්දැකීම් ලබා දෙන ස්ථාන වන අතර, ඔවුන් දේශීය ප්‍රජාවන්ට සහය වීමට, පරිසරය ආරක්ෂා කිරීමට හෝ සිය අද්විතීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට සංචාරක ව්‍යාපාරය භාවිත කරති. මේ ලැයිස්තුව සම්පාදනය කිරීම සඳහා බීබීසී සංචාරක මාධ්‍යවේදීන්, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, තිරසර සංචාරක ජාත්‍යන්තර සංවිධානය, බ්ලැක් සංචාරක සන්ධානය සහ ලෝක සංචාරක හා සංචාරක කවුන්සිලය වැනි ප්‍රමුඛ පෙළේ තිරසර සංචාරක බලධාරීන්ගේ නිර්දේශ යොදාගෙන තිබේ.

බොහෝ ස්ථානවල සංචාරක ව්‍යාපාරය කොවිඩ් වසංගතයට පෙර තිබූ ප්‍රමාණය ද ඉක්මවා ගොස් තිබේ. එමෙන් ම කාලගුණ තත්ත්වයන් සහ දේශගුණික විපර්යාස බොහෝ ජනප්‍රිය ගමනාන්තවලට අහිතකර ලෙස බලපාන බැවින්, කල්පනාකාරී ලෙස සංචාරයේ යෙදීම යනු ඔබට මෙන් ම වැඩි පිරිසකට යහපත සැලසෙන ආකාරයෙන් සංචාරයේ යෙදීමකි.

බොලිවියාවේ ඇති චන්ද්‍රයා මතුපිට වැනි භූ දර්ශනවල සිට ලෝකයේ විශාලතම දූපත වන ග්‍රීන්ලන්ඩ්හි ආක්ටික් පොළොවේ එළිමහන් කඳවුරු බැඳීම් දක්වා, ඔබේ ඊළඟ සංචාරක වික්‍රමය තෝරාගන්න.

1. ඩොමිනිකා

ඔබට කවදා හෝ ස්පර්ම් තල්මසුන් සමග පිහිනීමට කැමත්තක් තිබුණා ද? එය අත්විඳීමේ අවස්ථාව දැන් ඩොමිනිකා රාජ්‍යය සමුද්‍ර සංරක්ෂණය සහ පුනර්ජනනීය සංචාරක ව්‍යාපාරය සඳහා වන කැරිබියානු දූපත් යන ව්‍යාපාරය විසින් සිදු කරනු ලබන කර්තව්‍යයේ කොටසක් ලෙස ලබා දී තිබේ. ඔවුන් මෑතකදී ලොව පළමු ස්පර්ම් තල්මසුන් රක්ෂිතය පිහිටුවන ලද අතර එය එහි වෙසෙන යෝධ මත්සයන් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත මුහුදු ප්‍රදේශයකි. තල්මසුන් සමග පිහිනීම සඳහා ලබාදෙන සීමිත අවසර පත්‍ර, ඔවුන්ට සමීප වීමේ අවස්ථාව සහ පර්යේෂණ සඳහා පහසුකම් සපයන ලබා දෙන අතරේ ම දේශීය වැසියන් සඳහා තිරසර සංචාරක අවස්ථා නිර්මාණය කරයි. එමගින් මෙම කැටේෂියන් ජීවින් සමග ජලය බෙදා ගැනීමට නරඹන්නන්ට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අත්දැකීමක් ලබා දෙයි.

2025 දී, පහසුවෙන් පැමිණීම සඳහා ඩිජිටල් සංක්‍රමණ අවසර පත්‍ර, රෝසෝ නිම්නයේ සිට ලොව විශාලතම උණු ජල උල්පත්වලින් එකක් වන බොයිලිං ලේක් දක්වා නව කේබල්-කාර් පද්ධතියක් සමග වැඩිදියුණු කළ යටිතල පහසුකම් නිසා සංචාරය කිරීම වඩාත් පහසු වනු ඇත. එමෙන් ම දූපතට පැමිණීම ද වඩාත් පහසු වී තිබේ. ඇමෙරිකානු ගුවන් සේවයේ දැනට ක්‍රියාත්මක මියාමි සිට පැමිණෙන ගුවන් යානා මෙන් ම, පෙබරවාරි 15 වන දින සිට යුනයිටඩ් එයාර්ලයින්ස් නෙවාර්ක් සිට නව සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සැලිස්බරිහි තරු හයේ හිල්ටන් ට්‍රැන්කියුලිටි බීච් රිසෝට් සහ ස්පා ඇතුළු නව හෝටල් කිහිපයක් විවෘත වන අතර, කාමර 500 කට ආසන්න ප්‍රමාණයක් අලුතින් එකතු වන්නේ, මුළු ධාරිතාව 25%කින් වැඩි කරමිනි. එමෙන් ම, තවත් විකල්පයක් ලෙස නරඹන්නන්ට එහි තිරසරභාවය සඳහා ප්‍රකට සුඛෝපභෝගී පරිසර නවාතැනක් වන සීක්‍රට් බේ වැනි ස්ථානවල ද නවාතැන් ගත හැක.

නැෂනල් ජියෝග්‍රෆික් ගවේෂක ඩේවිඩ් ගෘබර්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන තල්මසුන්ගේ භාෂාව හඳුනා ගැනීමේ ජාත්‍යන්තර මුලපිරීමක් වන CETI ව්‍යාපෘතිය සඳහා ද ඩොමිනිකා සත්කාරකත්වය දරයි. එමෙන් ම, සංචාරකයන්ට සැඟවුණු විල් සහ උස් දිය ඇලි නැරඹිය හැකි අතර ලැකෝ වැනි අද්විතීය දේශීය කෑම වර්ග ගොවිපළේ සිට මේසය දක්වා පැමිණෙන අකාරය දකිමින් ඒවා රස විඳිය හැකි ය. ඩොමිනිකා යනු හුදෙක් ගමනාන්තයකට වඩා වැඩි යමකි.

"එය ජෛව විවිධත්ව සංරක්ෂණය ආර්ථික වර්ධනය සමග සමතුලිත කරන පරිසර සංචාරක ව්‍යාපාර වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක කොටසකි. ඔබේ සංචාරක වික්‍රමාන්විතය නිසා ස්වභාවික පරිසරය සුරැකෙනවා සේ ම, අනාගත පරපුර වෙනුවෙන් ඒවා සුරක්ෂිත වීම ද සිදු වේ." - බීබීසී සංචාරක ලේඛිකා පියර් නිරන්දරා

2. නඕෂිමා, ජපානය

යයෝයි කුසාමාගේ සුප්‍රසිද්ධ කළු තිත් සහිත කහ වට්ටක්කා මූර්තියේ නිවහන වන නඕෂිමා, සමකාලීන කලා හා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව තිබේ. වරක් එය ප්‍රසිද්ධව තිබුණේ පරිසර දූෂණයට තුඩු දෙන තඹ උණු කිරීමේ කර්මාන්තය සඳහා ය. මෙම දිවයින මෙලෙස වෙනස් වීමට හේතු වූයේ, ජපානයේ හොන්ෂු සහ ෂිකෝකු යන ප්‍රධාන දූපත් අතර පිහිටි සංචාරකයන් බහුලව පැමිණෙන දර්ශනීය සෙටෝ අභ්‍යන්තර මුහුදේ කෞතුකාගාර සහ විශේෂිත කලා කෘති ස්ථාපනය කර ඇති බෙනීස් කලා අඩවිය වන නඕෂිමා සංචාරකයන් අතර ජනප්‍රිය වීම ය.

2025 වසරේ වසන්තයේදී, මෙම දූපතේ තවත් සුප්‍රකට ගොඩනැගිලි නමයක් නිර්මාණය කළ, සම්මානලාභී සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී ටාඩාඕ ඇන්ඩෝ විසින් නිර්මාණය කරන ලද නඕෂිමා නව කලා කෞතුකාගාරය විවෘත කෙරෙනු ඇත. මෙම නව කලාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන, ආසියානු කලාකරුවන්ගේ කෘති සහ දූපත් 17ක් සහ වෙරළ තීර රාශියක සිදුකෙරෙන කලා උළෙලවල් සෙටූචිට් රයිනාල්හි ප්‍රධාන ආකර්ෂණයක් වනු ඇත. වසන්ත, ගිම්හාන සහ සරත් ඍතුවේ දින 100ක් පුරා විහිදෙන මෙම අංග අතරේ සංචාරකයන්ට මෙම කලාපයේ වෙනස් වන සෘතු අත්විඳීමට ඉඩ සලසයි. මෙම උත්සවය, බෙනීස් කලා අඩවිය වන නඕෂිමාහි කලාවට සම්බන්ධ ක්‍රියාකාරකම් ද සමග, නාඕෂිමා සහ ඒ අසල පිහිටි ටෙෂිමා සහ ඉනුජිමා දූපත් පුනර්ජීවනය කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

"කලාව, ගෘහ නිර්මාණ ශිල්පය සහ සොබාදහම අද්විතීය ලෙස මිශ්‍ර කරමින්, රෙයි නෛටෝ සහ රියු නිෂිසාවා විසින් නිර්මාණය කරන ලද ටෙෂිමා කලා කෞතුකාගාරය නැරඹීමට සැලසුම් කරන්න. ඉනුජිමාහිදී ඔබට ඓතිහාසික තඹ පිරිපහදුවක නටබුන්, මහා පරිමාණ කලා ස්ථාපනයක් බවට පරිවර්තනය කර ඇති ආකාරය දකින්නට හැකි වනුඇත. කැපී පෙනෙන නවාතැන්වපොළවල් අතරට නඕෂිමාහි නවීන පෙනුම ඇති රොකා සහ ටෙෂිමා හි සරල පෙනුම ඇති එස්පොයිර් ඉන් ඇතුළත් වේ." – බීබීසී සංචාරක ලේඛක සයිමන් රිච්මන්ඩ්

3. ඩොලමයිට් කඳුවැටිය, ඉතාලිය

ඉතාලිය සෑම විට ම ජනප්‍රිය ගමනාන්තයකි. විශේෂයෙන් ජුබිලි සැමරුම හේතුවෙන් 2025 දී රෝමය වැඩිපුර ජනාකීර්ණ වනු ඇත. නමුත් ඔබ මේ වසරේ ඉතාලියේ සංචාරය කිරීමට සැලසුම් කරන්නේ නම්, එහි උතුරට වන්නට පිහිටි ඩොලමයිට් කඳුකරයට යාම ගැන සිතන්න.

ඉතාලි ජාතිකයින්ට ඩොලමයිට් කඳුවැටිය යනු පවුලේ විනෝදය සහ සුඛෝපභෝගී නිවාඩු සම්පාදනය කරන ස්ථානයකි. මෙම කැපී පෙනෙන හුණුගල් ප්‍රපාත වෙනෙටෝ, ට්‍රෙන්ටිනෝ-ඇල්ටෝ ඇඩිජ් හෙවත් සුඩ්ටිරෝල් සහ ෆ්රියුලි-වෙනෙසියා ජියුලියා හරහා විහිද යයි. මෙම ආකර්ෂණීය ගම්මාන, හිම මත ලිස්සා යාමේ ක්‍රීඩා, වික්‍රමාන්විත කඳු නැගීම් සහ හෘදයාංග ම ඇල්පයින් ආහාර සඳහා සෑම වසරක ම බොහෝ ඉතාලි ජාතිකයන්ව ආකර්ෂණය කර ගනී. මෙම ජනප්‍රිය ඉතාලි ගමනාන්තය බොහෝ විට ජාත්‍යන්තර සංචාරකයින්ට මගහැරුණු නමුත් දැන් එය වෙනස් වීමට ආසන්න ය.

"ඩොලමයිට් රැජිණ" ලෙස හැඳින්වෙන කෝර්ටිනා ඩි'ඇම්පෙසෝ 2026 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සම සත්කාරකත්වය දැරීමට නියමිතය. 2025 පුරා මේ වෙනුවෙන් ප්‍රධාන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කෙරෙනු ඇත. ඩොලමයිට් හි ස්කී සඳහා ජනප්‍රිය ප්‍රදේශ වන ඇල්ටා බඩියා සහ වැල් ගාර්ඩනා වැනි නගර, නවීකරණය කරන ලද සෝපාන පද්ධති සහ වඩා හොඳ පොදු ප්‍රවාහන තත්වයන් සමඟ සංචාරයට වඩාත් පහසු වනු ඇත. නව හා වැඩිදියුණු කරන ලද කේබල් කාර් සහ ලිෆ්ට් ද කලාපයේ නගර පුරා එකතු කරනු ලැබේ.

"ඩොලමයිට් අවුරුද්ද පුරා ම ආකර්ෂණීය ස්ථානයකි. වසන්ත, ගිම්හාන සහ සරත් සෘතුවේදී, ඔබට නව කැම්මිනෝ රෙටිකෝ (රයිටියන් මාර්ගය) වැනි විශාල මංපෙත් ගවේෂණය කළ හැකි ය. එය වෙනිටෝ සහ ට්‍රෙන්ටිනෝ කලාපවල දූරස්ථ ගම්මාන සම්බන්ධ කරන කිලෝමීටර් 170ක් දිග, දින හතක කාලයක් ගත වන ගමනකි. විවේක සුවය සඳහා ම, එහි සුඛෝපභෝගී අමාන් රෝසා ඇල්පිනා හෝටලය 2025 දී නැවත විවෘත වන අතර, එයට ආගන්තුකයින් සඳහා වන කාමර සහ පෞද්ගලික නවාතැන් 51ක්, සම්භාවනීය අමුත්තන් සඳහා නවාතැන් දෙකක් සහ පෞද්ගලික නවාතැනක් වන චැලට් සෙනෝ ද ඇතුළත් ය. මෙය සෙනඟින් පිරී යාමට පෙර දැන් ම සංචාරය කරන්න" – ඊවා සැන්ඩෝවල්

4. ග්‍රීන්ලන්තය

ග්‍රීන්ලන්තය සැබවින් ම අද්විතීය ස්ථානයකි. එය ලෝකයේ විශාලතම දූපත වන අතර එය වර්ග කිලෝමීටර මිලියන දෙකකට වඩා විශාලය. නමුත් එහි ජීවත් වන්නේ, 57,000කටත් වඩා අඩු පිරිසකි. එහි විශාල අයිස් තට්ටුව, විස්මයජනක කඳු, මිනිසුන් විසින් කිළිටි නොකළ හුදෙකලාව සහ අතිශය අලංකාර පටු මුහුදු තීරය ආදිය නිසා එය වටිනා භූ විෂමතා සහිත ස්ථානයක් පමණක් නොව අමතක නොවන වික්‍රමාන්විත සඳහා ද විශිෂ්ට සංචාරක තෝතැන්නක් බවට පත්ව තිබේ.

ග්‍රීන්ලන්තය, ගිම්හානයේදී විස්මිත කඳු නැගීම් සහ තල්මසුන් නැරඹීම මෙන් ම සාම්ප්‍රදායික සුනඛ තරග සහ ශීත කාලයේ මෝහනය වනසුලු අරුණැල්ලෙන් යුක්තව එය නැරඹීමට අත්‍යවශ්‍ය ම ගමනාන්තයක් බවට පත් කරයි. කෙසේ වෙතත්, මෑතක් වන තුරු ම එහි යාම දුෂ්කර, මිල අධික සහ කාලය ගත වන දෙයක් වී තිබිණි.

ග්‍රීන්ලන්තයේ අගනුවර වන නූක් හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් විවෘත කිරීම සහ 2026 දී තවත් ගුවන් තොටුපළවල් දෙකක් විවෘත කිරීම, ග්‍රීන්ලන්තයට යාම වෙන කවරදාටත් වඩා පහසු කර තිබේ. රට එහි විස්මිත ස්වභාවික සුන්දරත්වයට සහ එහි මුල් බැසගත් සංස්කෘතියට ගරු කරන, ගවේෂණය කිරීමේ කුතුහලයෙන් යුතු වික්‍රමාන්විත සංචාරකයන්ව සාදරයෙන් පිළිගනියි. ග්‍රීන්ලන්තය "වඩා හොඳ සංචාරක ව්‍යාපාරයක්" සඳහා කැපවී සිටින අතර, දේශීය ප්‍රජාවන් නගා සිටුවීම සඳහා සංචාරක අරමුදල් මෙහෙයවන නව නීතියක් ද දැන් එහි තිබේ.

නූක් යනු ඓතිහාසික ජල තලයක්, කෞතුකාගාර සහ කලා ප්‍රදර්ශනාගාර සහිත නවීන නගරයකි. එය කඳු නැගීම, මසුන් ඇල්ලීම සහ සුඛෝපභෝගී කඳවුරු බැඳීම් (glamping) සඳහා විශිෂ්ට ස්ථානයක් වන අතර, ආක්ටික් ගවේෂණය කිරීමේ දොරටුවකි. ඉලුලිසාට්හි තවත් උතුරින්, නරඹන්නන්ට ඩිස්කො බොක්ක සහ යුනෙස්කෝව විසින් පිළිගත් අයිස්ෆ්ජෝර්ඩ්හි විස්මිත අයිස් කඳු දැක ගත හැකි ය. දකුණේ, වරක් වයිකින්ස්වරුන්ට නිවහන වූ ප්‍රදේශයක බැටළු ගොවිපළවල් සහිත ලස්සන පටු මුහුදු තීරයක් සහ හරිත වර්ණ කඳු ඔබට හමුවනු ඇත.

5. වේල්ස්

වේල්ස්, එංගලන්තයට වඩා හයෙන් එකක් තරමේ කුඩා ප්‍රදේශයක් වුවත්, එය අනෙකුත් එක්සත් රාජධානි ගමනාන්තවලට වඩා අඩු ජනාකීර්ණ මෙන් ම දර්ශනීය ජාතික වනෝද්‍යාන, මධ්‍යකාලීන මාලිගා සහ සුන්දරත්වයෙන් පිරී ඇත. වේල්ස් 2025 ක්‍රෝසෝ වසර හෙවත් "සාදරයෙන් පිළිගනිමු" ලෙස නම් කරමින් සමරන්නේ එහි සංස්කෘතිය, භාෂාව සහ ආකර්ෂණීය ස්ථාන ගවේෂණය කිරීමට සංචාරකයින්ට ආරාධනා කරමිනි. ඔවුන් සංචාරකයන්ට "හ්වයිල් අත්විඳින්න"යි අරාධනා කරයි. ඒ, මේ මොහොතේ සම්පූර්ණයෙන් ම සතුට විඳීම විස්තර කරන වේල්ස්හි භාවිත වන වචනයකි.

වේල්සය මෑතකදී සංස්කෘතිය මත පදනම් වූ තිරසර සංචාරක ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කර තිබේ. එහි සංචාරක කර්මාන්තය වෙල්ෂ් භාෂාවේ පුනර්ජීවනයට සහය වී ඇති අතර සංචාරක ආකර්ෂණ වඩාත් පරිසර හිතකාමී කිරීම සඳහා පවුම් බිලියන 5ක වැඩසටහනක් ද ක්‍රියාත්මක ය. ක්‍රෝසෝ වසරේ කොටසක් ලෙස, වේල්ස් එහි ස්වාභාවික සුන්දරත්වය ගවේෂණය කිරීමට නරඹන්නන්ට උපකාර කිරීම සඳහා පාපැදි සඳහා ද ආයෝජනය කරයි. මීට අමතරව, වේල්ස්හි වෙරළ මාර්ගය, මුළු රටේ ම වෙරළ තීරය පුරා විහිදෙන ලෝකයේ එක ම කඳු නැගීමේ මාර්ගය වේ.

6. වෙස්ටර්න් නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ලැබ්‍රඩෝ, කැනඩාව

නැගෙනහිර කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ලැබ්‍රඩෝහි ප්‍රධාන භූමි ප්‍රදේශය වන ලැබ්‍රඩෝ වෙරළබඩ ගම්මාන, අයිස් කඳු, උපආක්ටික් වනාන්තර සහ දිය ඇලි සඳහා ප්‍රසිද්ධ විශාල ප්‍රදේශයකි. මෙම කලාපයට වසර 9,000කට වැඩි මානව ඉතිහාසයක් ද ඇත. ඉදිකිරීමට වසර 25කට ආසන්න කාලයක් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් ගත වූ කිලෝමීටර් 1,200ක් දිග ට්‍රාන්ස්-ලැබ්‍රඩෝ අධිවේගී මාර්ගයේ අවසාන කොටස 2025 දී, නිම කෙරෙන අතර එය මෙම දූරස්ථ ප්‍රදේශ සංචාරකයන්ට සමීප කරවනු ඇත.

ගවේෂණ මාර්ග 51 ලෙස හැඳින්වෙන නව වක්‍රාකාර මාර්ගය, ලැබ්‍රඩෝ කැනේඩියානු පළාත් පහක් එකිනෙකට සම්බන්ධ කරන අතර එක්සත් ජනපදයට සහ ප්‍රංශයට විහිදෙයි (ශාන්ත පියරේ සහ මිකෙලොන් හරහා). සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ කලින් හුදකලා වී තිබුණු උතුරු ප්‍රදේශයේ සංස්කෘතිය සැමරීම සඳහා කැනේඩියානු රජය වෙස්ටර්න් නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ලැබ්‍රඩෝහි ඇමෙරිකානු ඩොලර් මිලියන 180ක් ආයෝජනය කර තිබේ. 2025 දී, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් සහ තල්මසුන් ඇල්ලීමේ ස්ථානයක් ලෙස පැවති රෙඩ් බේ ජාතික පුරාවිද්‍යා භුමිය, නව අන්තර් ක්‍රියාකාරී නරඹන්නන්ගේ මධ්‍යස්ථානයක් හඳුන්වා දෙනු ඇත. උතුරු ඇමරිකාවේ පළමු නෝර්ස් ජනාවාස භූමිය වන L'Anse aux තණබිම්වල පාරිසරික ආරක්ෂාව වැඩි දියුණු කරන අතර නරඹන්නන්ගේ පහසුකම් ද වැඩි දියුණු කරනු ඇත. ග්‍රොස් මෝර්නි ජාතික වනෝද්‍යානයේ අද්විතීය භූදර්ශන, වනජීවීන් සහ වෘක්ෂලතා ප්‍රදර්ශනය කිරීමේ නව ක්‍රම ද අනුගමනය කෙරෙනු ඇත - ඩියෙන් සෙල්කර්ක්

7. ටක්සන්, ඇරිසෝනා, ඇමෙරිකා එක්සත් ජනපදය

ටක්සන්හි 2025 වසරේදී සැමරීමට බොහෝ දේ තිබේ. ටක්සන් යුනෙස්කෝහි ගැස්ට්‍රොනොමි කිරුළ දිනාගත් එක්සත් ජනපදයේ පළමු නගරය බවට පත්වීමේ 10 වන සංවත්සරය මෙන් ම, නගරය පිහිටුවීමේ 250 වන සංවත්සරය ද මේ වසරේදී සමරයි. මුලින් මෙක්සිකෝවේ කොටසක් වූ ටක්සන් එහි අද්විතීය ඉතිහාසය සහ ශක්තිමත් ස්වදේශික ඇමෙරිකානු සංස්කෘතීන් විදහාපාන, සියල්ලන්ට නොමිලේ සහභාගි විය හැකි උත්සවයකින් අගෝස්තු 23 වන දා ප්‍රෙසිඩියෝ සැන් ඇගුස්ටින් ඩෙල් ටක්සන්හිදී සමරනු ඇත. සාම්ප්‍රදායික මෙක්සිකානු සංගීතය සහ නර්තනය මෙම අවස්ථාවට ඇතුළත් වේ. සංචාරකයන්ට ටක්සන්හි කාන්තාර කඳු නැගීමේ මංපෙත් සහ වසර 250ක් පැරණි "කාන්තාරයේ සුදු පරෙවියා" ලෙස හැඳින්වෙන සැන් සේවියර් ඩෙල් බැක් වැනි ඓතිහාසික ගොඩනැගිලි ගවේෂණය කළ හැකි ය. මෙම සංරක්ෂණ ප්‍රයත්නයන්, ටස්කන් නගරයට මෙම වසරේ ගෝලීය ගමනාන්ත තිරසර ව්‍යාපාරය (GDS) වෙතින් තිරසර දර්ශක සම්මානයක් ලැබෙනු ඇත්තේ මන්දැයි පැහැදිලි කර දෙනු ඇත.

ගොඩනැගිල්ලේ ඉතිහාසය සිත් ඇදගන්නාසුලු වුව ද, අසල ඇති උද්‍යානයේ කතාව ඊටත් වඩා ඉතිහාසය අතින් පොහොසත් ය. මෙය එක්සත් ජනපදයේ පැරණිතම අඛණ්ඩව වගා කරන ලද පස හිමි භූමිය යි. මීට වසර හාර දහසකට පෙර, ටොහොනෝ ඕ'ඕඩම් ජනයාගේ මුතුන් මිත්තන් මෙම භූමියේ ස්කොෂ්, බෝංචි සහ බඩ ඉරිඟු වගා කර තිබේ. සියවස් ගණනාවක් පුරා මෙම බෝග මෙක්සිකානු සහ අනෙකුත් ස්වදේශික ආහාරවලට එකතු වූ අතර මෙම පුරාණ ඔසු පැළෑටි සහ ශාක බොහොමයක් අදටත් එහි මුළුතැන්ගෙවල්වල භාවිත වේ. නරඹන්නන්ට නගරයේ යුනෙස්කෝ විසින් සහතික කරන ලද අවන්හල්වලින් එකකදී චිල්ටෙපින් මිරිස්, නෝපල්ස් (ආහාරයට ගත හැකි පතොක්) සහ කටු පෙයාර්ස් වැනි දේශීය අමුද්‍රව්‍ය සහිත ආහාර රස බැලිය හැක. නැත්නම් සාම්ප්‍රදායික ගොවි වෙළෙඳපොළවල් නැරඹීමෙන් අද්විතීය ආහාර ගවේෂණය කළ හැකිය. – ලින් බ්‍රවුන්

8. බටහිර ඔස්ට්‍රේලියාව

බටහිර ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රේලියාවට පිවිසීමේ පහසු මාර්ගයක් පමණක් නොවේ. නවීන පර්ත් සහ ආකර්ෂණීය හංස නිම්නයේ වයින් කලාපය හැරුණු විට, බටහිර ඔස්ට්‍රේලියාවේ වර්ග කිලෝමීටර මිලියන 2.5කට වඩා ආවරණය වන පරිදි විශාල භූ දර්ශන තිබේ. මෙයට කිලෝමීටර් 12,500ක සුන්දර වෙරළ තීරයක්, රෝස විල්, දිය ඇලි, උස් ගස් සහිත වනාන්තර, කැලෑ මල්, වයින් නිෂ්පාදනාගාර සහ තල්මසුන් මෝරුන් සහ ක්වොක්කා වැනි අද්විතීය වනජීවීන් ("ලෝකයේ ප්‍රීතිමත්ම සතුන්") ඇතුළත් වේ. ඔබ තිරසර සංචාරයක යෙදී සිටී නම්, ඔබට කිලෝ මීටර් 6,600ක ලොව දිග ම විදුලි වාහන අධිවේගී මාර්ගයේදී මේ සියල්ල ගවේෂණය කළ හැකි වනු ඇත.

බටහිර ඔස්ට්‍රේලියාව, ස්වදේශික ව්‍යාපාර සංවර්ධනය සඳහා සහය වන ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක ජිනා ආදිවාසී සංචාරක ක්‍රියාකාරී සැලැස්ම හරහා සිය පොහොසත් සංස්කෘතික උරුමය විදහාපායි. රොකිංහැම්හි ඇවිදීමේ චාරිකාවක යෙදෙමින් හෝ ෆෝ වීල් රථ චාරිකාවක නියැලෙමින් බ්රූම්හි බුෂ් බාබකියු රස විඳිමින් වෙරළ තීරයේ කෙරෙන සංචාරයකදී පෘථිවියේ පැරණිතම ජීවමාන සංස්කෘතීන් ගැන ඉගෙන ගත හැක.

බටහිර ඔස්ට්‍රේලියාවේ මේ වසරේ බොහෝ දේ සිදුවනු ඇත. එයට 2025 දී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්විය හැකි මුරුජුගා ජාතික වනෝද්යානයේ පුරාණ පර්වත චිත්‍ර ද ඇතුළත් වේ. හවුට්මන් ඇබ්රොලොස් දූපත්වල දැන් ආබාධ සහිත පුද්ගලයින් සඳහා ද ප්‍රවේශ පහසුකම් සපයා දී තිබේ. ෆ්‍රෙමැන්ටල්හි කුඩා ප්‍රමාණයේ හෝටල් සහ දකුණු කොටසේ අද්විතීය නවාතැන් ද ඇත. බටහිර ඔස්ට්‍රේලියාව මෙම වසරේ එහි පැමිණෙන සංචාරය කරන්නන්ට හොඳ අත්දැකීම් ලබා දීමට සූදානම් ය. - එලී කොබ්

9. ශ්‍රී ලංකාව

මීදුම ගැවසෙන කඳු මුදුන් සහිත තේ වතුවලත්, වනයේ සැරිසරන වන අලින්ගේ සිට එහි පුරාණ දේවාල සහ රෝලිං මෙන් ම සර්ෆ් ක්‍රීඩා කිරීම් දක්වා ශ්‍රී ලංකාව බොහෝ සංචාරකයන්ගේ සිහින සැබෑ කරන ගමනාන්තයකි. 2022 අප්‍රේල් මාසයේදී හිටපු අගමැතිවරයා ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ නමුත් නව ජනාධිපතිවරයාගේ අරමුණ වන්නේ, වසංගතයකින් සහ සිවිල් නොසන්සුන්තාවකින් පීඩාවට පත්වී සිටි රටේ තත්ත්වය වඩාත් යහපත් අතට හැරවීමයි.

ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය හරහා යථාතත්ත්වයට පත් වීමට දැඩි වෙහෙසක් දරමින් සිටී. මහනුවරදී පළමු තරු හතේ හෝටලය වන අවියානා පුද්ගලික හෝටලය විවෘත කිරීමට නියමිත අතර අරුන්යා නේචර් රිසෝට්හි රාත්‍රී කාලයේ තරු නැරඹීම සඳහා විශේෂ පීඨිකාවක් සහිත නව පවුල් නවාතැනක් ද තිබේ. කොළඹ, ඩොලර් බිලියනයක මෙගා රිසෝර්ට් එකක් විවෘත කිරීමට ද නියමිතය. ශ්‍රී ලංකන් සමාගම විසින් එයාර් සීලෝ නමින් හඳුන්වා දෙන නව ගුවන් සේවය යුරෝපය සහ ඔස්ට්‍රේලියාව වෙත පියාසර කරනු ඇත. එමෙන් ම, තිරසරභාවය පුහුණු කරන දේශීය ව්‍යාපාර අගැයීම සඳහා ගුඩ් ට්‍රැවල් සීල් ව්‍යාපෘතියට මුල පිරීම ද ආරම්භ කර තිබේ.

සිසිලසෙන් පිරුණු නිවාඩුවක් සොයන සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ කඳුකරයට එහි ප්‍රකට දුම්රිය ගමනක් යාමට හෝ නැත්නම් කොළඹ සහ ගාල්ලට සංචාරය කළ හැකි ය. එහිදී 5 වන සියවසේ ඔවුන්ගේ බීම වර්ගයක් වන අරක්කු, ඔවුන්ගේ ම මිශ්‍රණයන්ගේ රසවලින් පානය කිරීමට ද ලැබෙනු ඇත. මධ්‍යම කඳුකරයේ තේ වතු සහ ග්‍රාමීය ගම්මාන හරහා කඳු නගින්නන් මෙහෙයවන කිලෝමීටර් 300ක පිකෝ ට්‍රේල් ගමනක් ද හඳුන්වා දී තිබේ. වැඩි දුර ගවේෂණය කිරීමට කැමති අය සඳහා, නවෝත්පාදන ආරම්භයක් ලෙස සංචාරකයින්ට දිවයින පුරා ත්‍රිරෝද රථ සංචාරයන්ට ඉඩ සලසා ඇති අතර එහි ඉපයීම් කෙලින් ම ත්‍රිරෝද රථ හිමිකරුවන් වෙත යයි. - ක්ලෙයාර් ටරල්

10. පැනමා

දශක ගණනාවක් තිස්සේ පැනමා ඇළ එක්සත් ජනපදය විසින් පාලනය කිරීමෙන් පසු, 1999 අවසානයේදී අභාවප්‍රාප්ත එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර් විසින් අත්සන් කරන ලද ගිවිසුමක් හරහා පැනමා ඇළේ පාලනය පැනමාවට ලබා දෙන ලදී. මෙම වසරේ පැනමා ඇළ පැනමාවට හිමි වීමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන අතර, එය නැවත ලබා ගැනීම සඳහා මිලිටරි බලය භාවිත කරන බවට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කිරීමත් සමග, පැනමා පාලනය දක්වා ඇළේ ඉතිහාසය ප්‍රදර්ශනය කෙරෙන මියුසියෝ ඩෙල් විශේෂයෙන් නැරඹිය යුතු යයි හැඟේ.

පැනමා ඇළෙන් ඔබ්බට එහි විශාල වනාන්තර, දර්ශනීය දූපත් සහ කඳුකර වනාන්තර ඇතුළු තවත් බොහෝ දේ තිබේ. 2024 දී පැනමාවේ අර්ථවත් සංචාරක සිතියම, ලාභ නොලබන සංචාරක සත්කාරක ව්‍යාපාරයක් සමග එක්ව දියත් කරන ලද අතර එමගින් නරඹන්නන්ට රට පුරා දේශීය සංචාරක අත්දැකීම් ලැබීම පහසු කරවයි. පැනමා නගරයේ කැස්කෝ ඇන්ටිගුඕ සහ එල් චොරිලෝ ප්‍රදේශ හරහා ඇවිද යාමේ චාරිකාවකට පසු, නිරිත දෙසට ගමන් කර, ලා පින්ටාඩා දිස්ත්රික්කයට යාමේ හැකියාව තිබේ. එහිදී දේශීය කලාකරුවන් සාම්ප්‍රදායික පැනමා තොප්පි සාදති. සොම්බ්රෙරෝ පින්ටාඕ ලෙස හැඳින්වෙන එය යුනෙස්කෝව පිළිගත් කුසලතාවකි. 2024 දී එක්සත් ජාතීන්ගේ සංචාරක ව්‍යාපාරය විසින් හොඳ ම ප්‍රජා සංචාරක ගම්මානවලින් එකක් ලෙස නම් කරන ලද එල් වැලේ ඩි ඇන්ටන්හි, සෙරෝ ගයිටල් වලාකුළු වනාන්තරය ඔස්සේ කඳු මුදුන දක්වා ඇවිද යා හැක. පැහැදිලි දිනයක නම්, එහි මුදුනේ සිට ඔබට එක් පසෙකින් පැසිෆික් සාගරය සහ අනෙක් පසින් කැරිබියානු මුහුද යන දෙක ම දැක ගත හැකි වනු ඇත. මේ නව මාවත පැනමාවේ ඇදහිය නොහැකි ජෛව විවිධත්වය ප්‍රදර්ශනය කරන අතර ම ග්‍රාමීය ප්‍රජාවන් තුළ තිරසර සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගත් පැනමාවේ කිලෝමීටර් 1,000ක මංපෙත් ව්‍යාපෘතියේ කොටසකි. – කැත්ලීන් රෙලිහාන්