ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය: නවතම තත්ත්වය කුමක්ද?
- Author, ස්වාති ජෝෂි
- Role, බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
චරිත් ධනංජය 2010 වසරේ දී සංචාර මෙහෙයවන්නෙකු ලෙස වෘත්තීය දිවිය ආරම්භ කළ විට, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ බොහෝ බලාපොරොත්තු ඔහු සතු විය. 2018 දී ඔහු සංචාරකයින් 500 - 800 අතර පිරිසකට සිය සේවාව ලබාදුන්න ද මෙවසරේ නොවැම්බර් වන තෙක්ම ඔහු වෙත පැමිණියේ සංචාරකයින් 50දෙනෙකු පමණි. ඉදිරි මාස කීපය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඔහු සතුවුව ද, ඉදිරියේ දී සිදුවණු ඇත්තේ කුමක්දැ යි ඔහුට අවිනිශ්චිත ය.
දැනට '360 ටුවර්ස් ලංකා' සමාගම සමග සේවයේ යෙදෙන ධනංජය, ශ්‍රී ලංකාවේ දේශපාලන කැළඹීම හේතුවෙන් පීඩාවට පත් බොහෝ සංචාර මෙහෙයවන්නන්ගෙන් අයෙකි. "2018 දෙසැම්බර්, ජනවාරි මාසවල දී අපට 80%ක සංචාරක ඉලක්කයක් තිබුණා. නමුත් දැන් තියෙන තත්ත්වෙත් එක්ක අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් 30%ක් විතර තමයි," ධනංජය පැවසීය.
නොකිලිටි වෙරළ තීරයන්, සශ්‍රීක තේ වතු සහ විචිත්‍රවත් සංස්කෘතික උරුමයක් සහිත ශ්‍රී ලංකාව, ලොව වටෙන් පැමිණෙන බොහෝ සංචාරකයින් සඳහා කදිම ගමනාන්තයක් වී තිබුණි. කෙසේ වෙතත්, මෙම දූපත් දේශය ද්විත්ව අර්බුදයකට ගොදුරුවිය - මුලින් කොවිඩ්-19 පැමිණි අතර, ඉන්පසු පැමිණි දේශපාලන හා ආර්ථික අර්බුදයන් මෙම අංශයේ පුනර්ජීවනයේ හරහට සිටියේ ය.
ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන
ශ්‍රී ලංකාව 2023 වසරේ ගෙවී ගිය ජනවාරි මාසයේදී සංචාරකයින් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් රට වෙත පිළිගෙන ඇති අතර එය 2021 ජනවාරියට පසු මෙරටට පැමිණි දෙවන වැඩිම සංචාරකයින් සංඛ්‍යාවයි.දේශපාලන කැළඹීම් ඇතිවීමෙන් පසු දිවයිනට පැමිණි ඉහළම වාර්තාගත සංචාරක සංඛ්‍යාව මෙය යි.
කෙසේ වෙතත්, සංචාරකයින් සංඛ්‍යාව තවමත් අඩුබව බිම් මට්ටමේ පුද්ගලයින්ට හැඟෙන්නේ, ඔවුන් ශ්‍රී ලංකාවේ ඉහළම සංචාරක වර්ෂය වන 2018 දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සමග සංසන්දනය කරන නිසාවෙනැ යි සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස සේවය කරන රංජිත් අල්විස් පැවසීය. දේශපාලන ව්‍යාකූලත්වය අතරතුර සංචාරක ව්‍යාපාරය ගැන කතා කළ අල්විස්, තමාට මැයි-ජූලි මාස සඳහා සැලසුම්කළ සංචාරයන් නොතිබි නමුත් අගෝස්තු මාසයේ දී තත්ත්වය යහපත් වූබවත්, ඉදිරි මාසවල දී තවත් සංචාරකයින් පැමිණෙනු ඇතැ යි අපේක්ෂා කරනබවත් කියා සිටියේ ය.
මාර්තු මාසයේ දී සංචාරකයින් ලක්ෂයකට වඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි. කෙසේ නමුත්, දේශපාලන අර්බුදය හේතුවෙන්, අප්‍රේල් මාසයේ දී 40%ක විශාල කඩා වැටීමක් සිදුවිය. අප්‍රේල් මාසයේ සිට, ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව කෙමෙන් පහත වැටුණු අතර අඩුම සංචාරකයින් සංඛ්‍යාව සැප්තැම්බරයේ දී වාර්තා විය.
සංචාරක ව්‍යාපාරයෙන් ලද ඉපැයීම්
පසුගිය වසරේදී, ජාත්‍යන්තර සංචාරක පැමිණීම්වලින් ලැබෙන තාවකාලික ඉපැයීම් ඊට පෙර වර්ෂයට වඩා ඇමෙරිකානු ඩොලර් මිලියන 113.6- 124.2 කින් ඉහළ ගිය අතර දෙසැම්බර් මාසයේදී පමණක් එය ඩොලර් මිලියන 127 ට ළඟා විය.
ඉහළම ආදායම වන ඇ. ඩොලර් මිලියන 191.5 මාර්තුවේ දී උපයා ඇත. අඩුම ආදායම වන ඇ. ඩොලර් මිලියන 54 ලැබී ඇත්තේ සැප්තැම්බාරයේ දී ය.
2019 වසරේ සංචාරක ඉපැයීම් ඇ. ඩොලර් මිලියන 3606.9ක්වූ අතර උපරිම ඉපැයීම වූ ඇ. ඩොලර් මිලියන 456 දෙසැම්බර් මාසයේ දී වාර්තාවිය. කෙසේ වෙතත්, වසංගතය හේතුවෙන් 2020 මාර්තු 18 සිට සියලුම මඟී ගුවන්යානා සහ නෞකා පැමිණීම අත්හිටුවීමත්, සංචාරක වීසා නිකුත් කිරීම අත්හිටුවීමත් හේතුවෙන් 2020 මාර්තු මාසයේ දී ඉපැයීම් ඩොලර් මිලියන 95.9 දක්වා පහත වැටුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2020 අප්‍රේල් සිට නොවැම්බර් දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් කිසිවක් උපයා නැත.
සංචාරක ව්‍යාපාරය හරහා ඇතිවන රැකියා
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලාංකිකයින්ට සෘජු හා වක්‍ර රැකියා අවස්ථාවන් ලබාදීමට දායකවෙයි. 2012 සිට කොවිඩ් වසංගතය පැමිණෙන තෙක්ම මෙම වෙළඳපොළ නොනැවතී වැඩෙමින් පැවතිණි. ඉහළම රැකියා ප්‍රමාණයක් ඇතිවූ 2019ට සාපේක්ෂව 2020 දී රැකියා නියුක්තිය 13%කින් කඩා වැටිණි.
සංචාරක කර්මාන්තය පිළිබඳ මහා බැංකුවේ 2021 වර්ෂයේ වාර්තාවට අනුව, සංචාරක ව්‍යාපාරය 2014 සහ 2019 අතර සමයේ දී විදේශ මුදල් ඉපැයීමේ තෙවන විශාලතම මූලාශ්‍රය ලෙස පැවති අතර මෙම කාලය තුළ මුළු විදේශ මුදල් ඉපැයීම්වලින් 14%කට පමණ දායකවී ඇතිවා සේම, සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 21ක් ඇතිකර තිබේ.
විවිධ රටවලින් පැමිණි සංචාරකයින්
පසුගිය මාස 13 තුළ ලොව පුරා සංචාරකයින් ලක්ෂ 8 කට වැඩි ප්‍රමාණයක් මෙරට සංචාරය කර තිබේ. ගෙවීගිය ජනවාරි මාසයේදී පමණක් ශ්‍රී ලංකාව ලොව පුරා සංචාරකයින් ලක්ෂයකට වඩා මෙරටට පැමිණ ඇත. ඒ අතරින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙන් වන අතර ඉන් පසුව ඉන්දියාව සහ එක්සත් රාජධානියෙනි.
පසුගිය වසරේ වැඩිම සංචාරක සංඛාවක් මෙරටට ගෙනා ප්‍රමුඛතම ප්‍රාථමික වෙළඳපොල ඉන්දියාව වූ අතර රුසියාව සහ එක්සත් රාජධානිය එහි ඉදිරිපෙළ සිටි අනෙක් රටවල්ය.
පසුගිය ඔක්තෝබරයේ නෝවීජියානු සුඛෝපභෝගී මඟී නෞකාවක් වන 'වයිකිං මාස්', සංචාරකයින් 700ක් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 450ක් සමග කොළඹ වරායට පැමිණියේ ය. මේ අතර, ජාත්‍යන්තර සංචාරකයින්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය සහ වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව විසින් දුරකථන ඇප් එකක් හඳුන්වා දෙනබව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ය. ඇප් එක 2023 දී නිකුත් කෙරෙනු ඇති අතර, ඒ හරහා ඔවුන්ගේ ස්ථානයන් පරීක්ෂා කිරීමට සහ ඔවුන් යම් අනතුරකට මුහුණදෙන්නේ නම් ආරක්ෂාව සහතික කිරීමට සංචාරකයින්ට උපකාරී වේ.
තව ද, ශ්‍රී ලංකාව 2022 දෙසැ. 7 වනදා සිට සංචාරකයින් සඳහා අනිවාර්යකර තිබූ කොවිඩ්-19 සීමාවන් ඉවත්කර ඇති අතර, මෙරටට පැමිණීමේ දී එන්නත් සහතිකය ඉදිරිපත් කිරීමෙන් සංචාරකයින් නිදහස්කර ඇත.
රූ සටහන් ලෝකෙෂ් ෂර්මා විසිනි.