ගෝඨාභය රාජපක්ෂ: ජනාධිපති යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රස්තාර 7 කින්

    • Author, ස්වාති ජෝෂි
    • Role, බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම

2019 නොවැම්බරයේ දී, හිටපු හමුදා නිලධරයෙකුවූ ගෝඨාභය රාජපක්ෂ සිය දේශපාලන දිවිය ආරම්භ කළේ ජනපතිධුරයට පත්වෙමිනි. ඔහු ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දෙමින් රාජපක්ෂ වංශය නැවතත් බලයට ගෙන ආවේ ය - ඒ, ඔහුගේ සහෝදර, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කරමිනි.

සිවිල් යුද සමයේ ආරක්ෂක ලේකම්වරයා වූ ජනපතිගේ දැක්ම වූයේ, "ප්‍රගතිශීලී ජාතික ආර්ථිකයක් සහ බහුත්වවාදී සමාජයක් ඇති කිරීම" ය. තරුණයින්ට සහ දේශීය ව්‍යවසායකයින්ට ඔවුන්ගේ කුසලතා, දක්ෂතා, සහ ව්‍යාපාරික ඥානය භාවිතා කරමින් ලෝක නායකයන්වීම සඳහා අපමණ අවස්ථා ඇති ජාතියක් බිහිකිරීම ඔහුගේ අපේක්ෂාව විය. "සෑම පුරවැසියෙකුටම නිශ්චිත ආර්ථික ස්ථාවරත්වයක්, දියුණුවීමේ සමාන අවස්ථා සහ ගෞරවාන්විත ජීවිතයක් ගතකිරීමේ අයිතිය ස්ථාවර කිරීම සඳහා අපගේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සංකල්පය මත අපි නිබඳවම පෙනී සිටින්නෙමු"යි ඔහු පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්කර තිබුණි.

ඔහු බලයට පත්වී වසර තුනකට පසු ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ගොදුරුවී ඇති අතර, එය දශක කිහිපයක් තුළ ඇතිවූ දරුණුතම අර්බුදය යි. සාමාන්‍ය පුරවැසියන් ඉන්ධන හිඟය සහ උද්ධමනය සමග ගැටෙමින් ජීවන අරගලයක යෙදෙයි.

BBCය විසින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය, උද්ධමනය, ප්‍රේෂණ, වෙළඳ හිඟය, සංචාරක ඉපැයීම් සහ අත්‍යවශ්‍ය වෙළඳ භාණ්ඩවල මිලගණන් යන ප්‍රධාන දර්ශක කිහිපයක් සමාලෝචනය කෙරුනේ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධුරකාලය තුළ ඔහුගේ ආර්ථික ක්‍රියාකාරිත්වය තීරණය කිරීම සඳහා ය.

ඉගිලෙන උද්ධමනය

ගෝඨාභයගේ පාලන සමය ආරම්භයේ ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 4.1%කි (ජාතික පාරිභෝගික මිල දර්ශකය).

2020 පෙබරවාරි වන විට උද්ධමනයේ ප්‍රතිශතයේ වාර්ෂික වෙනස්වීම 8.1% දක්වා පහත වැටුණි. ගෝඨාභයගේ පාලන කාලය තුළ වාර්තාවූ අඩුම උද්ධමන අනුපාතය (3.7%) 2021 ජනවාරි මාසයේ දී වාර්තා විය.

2021 සැප්තැම්බරයෙන් පසු උද්ධමනය වේගයෙන් ඉහළ නැගුණු අතර මේ වසරේ මැයි මාසයේ දී උද්ධමන අනුපාතය 45.3% දක්වා ඉහළ ගියේ ය.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ

2019 නොවැම්බර් මාසයේ දී ගෝඨාභය ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගන්නා විට විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 515.3ක් විය. 2019 නොවැම්බර් සහ 2022 අප්‍රේල් අතර කාලයේ දී ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ උපරිමයට ළඟාවූයේ 2020 දෙසැම්බරයේ දී හා 2021 දෙසැම්බරයේ දී ය.

එනමුත් මෙම වසරේ ප්‍රේෂණ වසර ආරම්භයේ සිටම පහළ මට්ටමක පැවති අතර පෙබරවාරි මාසයේ දී වාර්තාගත අවමය වූ ඇ. ඩො. මිලියන 204.9 දක්වා පහත වැටුණි. 2022 අප්‍රේල් මාසයේ දී ලැබුණු ප්‍රේෂණ වටිනාකම ඉන් පෙර වසරට වඩා 52%කින් අඩු ය. එම මුදල ඇ. ඩො. මිලියන 248.9කි.

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය

2019 නොවැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනපතිධුරය ලබාගන්නා විට ඇ.ඩො. 1ක් රුපියල් 179ක් පමණ විය. 2021 දෙසැම්බර් වන විට ඇ.ඩො. 1ක මිළ රු. 203 දක්වා ඉහළ ගියේ ය.

2022 මැයි මාසයේ දී, රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල තියුණු ලෙස පහත වැටුණි. මැයි 9 වෙනිදා ඩොලරය රුපියල් 365ට ඉහළගිය අතර, එය ගෝඨාභයගේ පාලන කාලය තුළ වාර්තාවූ ඉහළම අගය විය. දැනට ඇ.ඩො. 1ක අගය රු. 361කි.

සංචාරක කර්මාන්තයට අවාසනාවන්ත කාලයක්

2019 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 20ක් පමණ වන අතර, ඉන් 18.6%ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එවසරේ සංචාරක කර්මාන්තයෙන් ලද ඉපැයීම් ඩොලර් මිලියන 3606.9ක් විය. ගෝඨාභයගේ ධුරකාලය තුළ උපරිම සංචාරක ඉපැයීම වූ ඩොලර් මිලියන 456, 2019 දෙසැම්බර් මාසයේ දී වාර්තා විය.

කෙසේ නමුත්, කොවිඩ් වසංගතය නිසා 2020 මාර්තු 18 සිට සියලුම මඟී ගුවන්යානා සහ නැව් පැමිණීම් අත්හිටුවීම ද, සංචාරක වීසා ලබාදීම නවතා දැමීම ද සමඟ 2020 මාර්තු මාසයේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 95.9 දක්වා පහත වැටුණු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2020 අප්‍රේල් සිට නොවැම්බර් දක්වා සංචාරක ඉපැයීම් කිසිවක් නොමැත.

2021 අගෝස්තු වන විට ඉපැයීම් නැවතත් ඉහළයෑමට ඇරඹිණි. එය 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී එහි උපරිමය වන ඇ.‍ඩො. මිලියන 233.3ට පැමිණියේ ය. එහෙත් 2022 මාර්තු මස සිට සංචාරක ඉපැයීම් යළි පහත වැටෙමින් තිබූ අතර මැයි මස අග වන විට එය ඇ.‍ඩො. මිලියන 54.3ක් පමණක් විණි.

වෙළඳ හිඟය

ආනයන සහ අපනයන යන ද්විත්වයම පහත වැවෙමින් තිබීම නිසා 2019 නොවැම්බර් මාසයේ දී (වාර්ෂික) වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස සංකෝචනය විය. 2019 නොවැම්බර් මාසයේ වෙළඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 800කට ආසන්න ය.

2009 අගෝස්තු මාසයෙන් පසු අඩුම මාසික හිඟය වාර්තා කරමින් 2019 ජුනි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 316ක හිඟයට සාපේක්ෂව, 2020 ජුනි මාසයේ දී වෙළඳ හිඟය ඇ.ඩො. මිලියන 161ක් දක්වා පහත වැටුණි.

2021 අගභාගයේ දී වෙළඳ හිඟය නැවතත් පුළුල්වීමට පටන්ගත් අතර, ඩොලර් මිලියන 1085 දක්වා ඉහළ ගියේ ය.

රජයේ ආදායම

ආනයන අඩුකිරීම් හේතුවෙන් වක්‍ර බදුවලින් ලැබෙන ආදායම පහත වැටීම ද, විශේෂයෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිගින් දිගටම පැවති දුර්වල ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් ද 2019 වසරේ දී රජයේ ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණි. අලුතින් ක්‍රියාත්මක කරන ලද දේශීය ආදායම් පනත යටතේ ආදායම් බදු ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් ඇතිවුව ද, වක්‍ර බදු ආදායම පහත වැටීම එය ඉක්මවා ගියේ ය.

නව රජය පත්වීමත් සමග 2019 අග සිට ක්‍රියාත්මක කරන ලද බදු සංශෝධන, කොවිඩ්-19 වසංගතයේ බලපෑම හා, ව්‍යාපාර සහ පුද්ගලයින්ට ලබාදුන් බදු සහන යන හේතූන්හි එකතුවක් ලෙස 2020 වන විට රජයේ ආදායම 27.7%කින් පහත වැටුණි.

2021 දී රජයේ ආදායම මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ වාර්ෂික ප්‍රතිශතය 6.5%ක්, එනම්, රු. බිලියන 1 457.1ක්බවට පත්වෙමිනි.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිළ

දිනපතා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සමාලෝචනය කිරීම සඳහා අපි මූලික අයිතම කිහිපයක් තෝරාගතිමු. සීනි, ළූණු, පරිප්පු, මාළු, පාන්, පොල්, පොල්තෙල්, අමු මිරිස්, සහ අර්තාපල් ඊට ඇතුළත් ය. වත්මන් මිල ගණන් 2019 නොවැම්බර් මාසය හා සසඳන ලදී.

වැඩිම මිල ඉහළ යාමක් පෙන්නුම් කෙරුනේ පරිප්පු සහ සීනිවලිනි. පරිප්පු මිල 417%කින් ඉහළ ගිය අතර සීනි මිල 209%කින් ඉහළගොස් තිබේ.