බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජුට ඍජුව අභියෝග කළ ලිඩියා තෝර්ප් ගැන දැනගත යුතු කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Reuters
“ඔබ අපේ රජු නෙවෙයි.”
“අපෙන් සොරකම් කළ දේ අපට ආපහු දෙන්න.”
“ඔබ අපේ භූමිය විනාශ කළා.”
“මේක ඔබේ භූමිය නෙවෙයි.”
මේ විරෝධය පළ කෙරුණේ, බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජු වෙත ය. ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ලිඩියා තෝර්ප් මෙලෙස විරෝධය පළ කළේ, චාර්ල්ස් රජුගේ ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුර ඔහු සහභාගි වූ උත්සවයකදී ය.
ලිඩියා තෝර්ප් කැන්බරා අගනුවර පැවති උත්සවයක් අතරතුර කෑගසමින් බාධා කළ අතර ආරක්ෂකයින් විසින් ඇයව එම ස්ථානයෙන් රැගෙන යන ලදී.
සිද්ධිය පිළිබඳ කිසිදු සඳහනක් නොමැතිව උත්සවය අවසන් වූ අතර රාජකීය යුවළ ඔවුන්ට ආචාර කිරීමට එළිමහනේ රැඳී සිටි සිය ගණනක් මිනිසුන් හමුවීමට ගියහ.
බීබීසී පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ, චාර්ල්ස් එංගලන්තයේ මිස ඔස්ට්‍රේලියාවේ රජු නොවන බව අවධාරණය කිරීම සඳහා තමන් විරෝධය පළ කළ බව ය.
මෙම සිද්ධියෙන් පසු ලිඩියා තෝර්ප් පිළිබඳව ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.
ඇතැම් විචාරකයින් ඇගේ ‘නිර්භීතකමට’ ප්‍රශංසා කර තිබූ අතර ඇතැමෙක් එය විවේචනය කර තිබිණි.
මීට පෙර රජු සහ රැජිණ පිළිගනු ලැබූ ඔස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ජ්‍යෙෂ්ඨ කාන්තාවක වන වයලට් ෂෙරිඩන් එම විරෝධය පළ කිරීම විවේචනය කර තිබිණි.
ලිඩියා තෝර්ප්ගේ විරෝධතාව "අගෞරවණීය" බව ඇය පැවසූ අතර, "ඇය මා ඇතුළු ආදිවාසීන් වෙනුවෙන් කතා කිරීමක් නොවන," බව පැවසීය.
ලිඩියා තෝර්ප් යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බ්‍රිතාන්‍යයේ රජුට අභියෝග කරමින් විරෝධය පළ කළ ලිඩියා තෝර්ප් ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජන කොටස නියෝජනය කරන්නියකි.
1973 වසරේ උපත ලබා ඇති ඇය, 2020 වසරේ සිට වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් එරට පාර්ලිමේන්තුවට තේරීපත්වූ පළමු ආදිවාසී කාන්තාව ඇය යි.
ඇය ඔස්ට්‍රේලියානු හරිත පක්ෂයේ සම නිර්මාතෘවරියක ද වන අතර පසුගිය වසර දක්වා එම පක්ෂය නියෝජනය කළා ය.
එහෙත්, මේ වන විට ඇය ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරයි.
ඇය ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වීමට පෙර වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව නියෝජනය කළා ය.
ලිඩියා තෝර්ප්, වික්ටෝරියා නාගරික සංගමයේ ආදිවාසී වෘත්තීය උපදේශක ලෙස සේවය කර ඇති අතර වසර තුනක් ලේක්ස් පැසිපන්දු සංගමයේ සභාපතිවරිය ලෙස කටයුතු කළා ය.
සුදුසුකම් සහ රැකියා
ඇය ඔස්ට්‍රේලියානු ආදිවාසී නායකත්ව මධ්‍යස්ථානයේ, ආදිවාසී නායකත්වය සහතික ලාභිනියක වන අතර, තාක්ෂණය පිළිබඳ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් ප්‍රජා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨාමාලාව නිම කර තිබේ.
ඊට අමතරව ඇය, ඔස්ට්‍රේලියාවේ සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සහ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයේ උපාධි ධාරිනියකි.
වන සංරක්ෂණය සම්බන්ධයෙන් සේවය කර ඇති ඇය, ඔස්ට්‍රේලියානු වන සංරක්ෂණ පදනමේ සහ මධ්‍යම කඳුකර වනාන්තර ව්‍යාපෘතියේ උපදේශිකාවක ලෙස සේවය කර තිබේ.














