ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගාසාහි අල්-ශිෆා රෝහලෙන් නොමේරූ ළදරුවන් ඉවත් කෙරෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් "මරණයේ කලාපයක්" ලෙස නම්කර ඇති ගාසා නගරයේ අල්-ශිෆා රෝහලෙන් නොමේරූ පලස්තීන ළදරුවන් තිස් එක්දෙනෙකු ඉවත්කර තිබේ.
මේ ළදරුවන්, ඊජිප්තු දේශසීමාවට සමීපව පිහිටා ඇති දකුණුදිග රෆා නගරයේ එමිරාටි රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
සෙනසුරාදා (නොවැ 18) රෝගීහු ද ඇතුළු සිය ගණනක් ජනයා අල්-ශිෆා රෝහල හැර ගියහ.
ගාසාවේ විශාලතම හා නවීනතම රෝහල වන එය දැන් ඊශ්‍රායල බලකායන්ගේ පාලනය යටතේ පවතියි.
ඔවුහු, එම රෝහල හමාස් සංවිධානයේ මූලස්ථානය ලෙස යොදා ගැනුණුබවට සාක්ෂි සොයමින් සිටිති.
සෙනසුරාදා (නොවැ 18) ඇතැම් රෝගීන් ද ඇතුළු සිය ගණනක් ජනයා රෝහල හැර ගියත්, අසාධ්‍ය ලෙස රෝගාතුර පුද්ගලයින් 300ක් හා නොමේරූ ළදරුවන් 33 දෙනෙකු රෝහලේ ඉතිරිවිය. ඒ ළදරුවන්ගෙන් අයෙකු සිකුරාදා සැන්දෑවේදීත්, තවත් ළදරුවෙකු සෙනසුරාදා උදෑසනත් මියගියබව රතු අඩසඳ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශිකාවක බීබීසීයට පැවසුවා ය.
ඉරිදා (නොවැ 19), එක්සත් ජාතීන්ගේ සහාය ද ලබාගෙන රතු අඩසඳ විසින් ඉතිරි ළදරුවන් 31 දෙනා ඉන් ඉවත්කරගෙන යනු ලැබුණි.
ඇතැම් නොමේරූ ළදරුවන්ගේ දෙමාපියන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගොස් ඇතැ යි ද රතු අඩසඳ ප්‍රකාශිකා නෙබාල් ෆර්සාක් බීබීසීයට පැවසුවා ය. නමුත් මෙය ස්වාධීනව සත්‍යාපනයකර ගැනීමට බීබීසීයට නොහැකිවිය.
දරුවන් අල්-ශිෆා රෝහලෙන් ඉවත් කිරීමට පෙර, දිවි ගලවාගත් දෙමාපියන්ට එම රෝහල පිහිටි ගාසා නගරයෙන් පිටව යන්නැ යි නියෝගකර තිබූ අතර, ඔවුන් මේ වන විට සිටින්නේ කොහිදැ යි නොදන්නාබව ද ඇය පැවසුවා ය.
රෆාහි රෝහලේ දී ඔවුන්ගේ දරුවන් සමග යළි එක්වන්නැ යි, ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය එහි ෆේස්බුක් පිටුව හරහා ළදරුවන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලා තිබුණි.
ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් තවමත් අදහස් ප්‍රකාශකර නැත. නමුත් මුල දී එය "වඩාත් ආරක්‍ෂිත රෝහලකට" දරුවන් ඉවත්කර ගෙන යෑම සඳහා උපකාර වනබව පවසා තිබුණි.
මේ දරුවන් "දැඩි අයහපත් සෞඛ්‍යයෙන්" පසුවනබව ද, "තීව්‍ර හා අවදානම් බහුල ආරක්ෂක තත්ත්වයන්" යටතේ මාරුකර යවා ඇතිබව ද, දැන් ඔවුන් රෆාහි දී "නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ දී හදිසි ප්‍රතිකාර ලබනබව" ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අදනොම් ගේබ්‍රියේසස් ප්‍රකාශ කළේ ය.
ළදරුවන් සමග සෞඛ්‍ය වෘත්තිකයින් හයදෙනෙකු ද, කාර්යය මණ්ඩල සාමාජික පවුල්වල දසදෙනෙකු ද ගොස් ඇතැ යි ඔහු පැවසීය.
ඉන්ධන මඳකම නිසා, ඉන්කියුබේටර යන්ත්‍ර වෙත විදුලි සැපයුම අඩාලවීමෙන් අලුත උපන් දරුවන් මියගියබව අල්-ශිෆා රෝහලේ වෛද්‍යවරු මෙන් පෙර පවසා තිබුණහ.
ආරක්ෂිතව ගමන් කළ හැකිබවට සහතිකයක් ලැබීමෙන් පසු ඉතිරි රෝගීන් සහ කාර්යය මණ්ඩලය අල්-ශිෆා රෝහලෙන් පිටතට ගෙනයෑම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුර මෙහෙයුම් සැලසුම් කරමින් සිටිනබව ද ඔහු සඳහන් කළේ ය.
වෛද්‍ය කණ්ඩායම්වලට සහ රෝගීන්ට "මේ දුක්ඛිත ස්ථානයෙන් පිටව යාමට” උපකාර කරන්නැ යි, අල්-ශිෆා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මුහම්මද් අබු සලීමා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත.
රෝහලේ කාර්යය මණ්ඩලයෙන් 25 දෙනෙකු පමණ තවමත් එහි ඉතිරිව සිටිතැ යි ඔහු බීබීසී අරාබි සේවයට ප්‍රකාශ කළේ ය. නමුත්, ජලය හෝ විදුලිය නොමැතිව, ඉතිරිව සිටින සිය ගණනක් රෝගීන්ට නිසි ලෙස ප්‍රතිකාර සැපයීමට ඔවුහු අපොහොසත්ව සිටිති.
"ඉස්පිරිතාලෙ දැන් වචනාර්ථයෙන්ම ගත්තොත් හොල්මන් මන්දිරයක්," ඔහු පැවසීය.
"හදිසි අංශයේ මළ සිරුරු ගාණ වැඩිවෙනවා, රෝගීන් කෑමොර දෙනවා, මෙඩිකල් ස්ටාෆ් එක අසරණ වෙලා ඉන්නවා, ඒ ඔක්කොම අතරෙ හමුදාවෙ අය නිදහසේ ඉස්පිරිතාලෙ ඇවිදිනවා," ඔහු පැවසීය.
අල්-ශිෆා රෝහලට යටින් හමාස් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානයක් ඇතැ යි ඊශ්‍රායල පවසා ඇතත්, ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු සාක්ෂි ඉදිරිපත්කර නැත. හමාස් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේපකොට තිබේ.
මේ වෛද්‍ය සංකීර්ණය මුළුමනින්ම පරීක්ෂා කිරීමට සති කීපයක් ගතවිය හැකිබව, ගිය සතිය මුල දී, ඊශ්‍රායල හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්නල් යොනතන් කොන්රිකස් ප්‍රකාශ කළේ ය.
බොහෝ බටහිර රටවලින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස වර්ගීකරණයකර ඇති හමාස් ඔක්තෝබර් හත්වන දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් මියගොස්, 240කට වැඩි පිරිසක් හමාස් ප්‍රාණ ඇපයට පත්විය.
ඊශ්‍රායලය, හමාස් මුලිනුපුටා දැමීමේ අරමුණින් ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර මෙන්ම ගොඩබිම් හමුදා ද සම්බන්ධකර ගනිමින් දැවැන්ත ප්‍රතිප්‍රහාර මෙහෙයුමක් දියත්කර ඇත.
එතැන් පටන් ගාසා තීරය තුළ දී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12,300 දක්වා ඉහළගොස් ඇතිබව, හමාස් පාලනය යටතේ පවතින ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. තවත් 2,000කට වැඩි පිරිසක් සුන්බුන් යට වැළලීගොස් ඇතැ යි විශ්වාස කෙරෙයි.