ඊශ්‍රායල් - ගාසා යුද්ධයේදී මාධ්‍යවේදීන් කොපමණ මිය ගොස් තිබේ ද? ඔවුන් කවුද?

Palestinian children and a journalist check the destroyed Al Jazeera tent near Al-Shifa Hospital in Gaza City on August 11, 2025

ඡායාරූප මූලාශ්‍රය, Bashar Taleb/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල ඉරිදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් මිය ගියහ
    • Author, ලයිලා බෂාර් අල්-ක්ලෝබ්
    • Role, බීබීසී අරාබි සේවය

2023 ඔක්තෝබර් 7 වන දින ආරම්භ වූ ඊශ්‍රායල-ගාසා යුද්ධයෙන් මාධ්‍යවේදීන් 192 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව Committee to Protect Journalists (CPJ) පවසයි.

ඝාතනය කරන ලද මාධ්‍යවේදීන්ගෙන් අවම වශයෙන් 178 දෙනෙකු ඊශ්‍රායලය විසින් මරා දමනු ලැබූ පලස්තීන ජාතිකයන් බව CPJ ඇස්තමේන්තු කරයි.

අගෝස්තු 10 වන ඉරිදා ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිත අහිමි වූ නවතම මාධ්‍ය සාමාජිකයින් අතර ප්‍රමුඛ වාර්තාකරුවෙකු වන අනස් අල්-ෂරීෆ් ඇතුළු අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් වූහ.

ප්‍රහාරය එල්ල වන විට ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නූෆල් සහ මෝමන් අලිවා රෝහලේ ප්‍රධාන ගේට්ටුවේ මාධ්‍යවේදීන් සඳහා වූ කූඩාරමක සිටි බව පුවත් ඒජන්සිය පැවසීය.

පසුගිය වසර දෙක තුළදී ගැටුම්වලින් මිය ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ නම් සහ තොරතුරු අපි මෙහිදී බෙදා ගන්නෙමු.

අනාස් අල්-ෂරීෆ් – 2025 අගෝස්තු 10 වන දින ඝාතනය කරන ලදී

Al Jazeera journalist Anas Al Sharif speaks on the phone in Gaza City on 13 August 2024

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය ඉරිදා මිය ගිය අය අතර 28 හැවිරිදි වාර්තාකරුවෙකු වූ අනාස් අල්-ෂරීෆ් ද විය.

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අල් ජසීරා වාර්තාකරු අනාස් අල්-ෂරීෆ් සහ එම ජාලයේ තවත් මාධ්‍යවේදීන් සිව්දෙනෙක් මිය ගියහ. එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් ද මිය ගියහ.

28 හැවිරිදි අනාස් අල්-ෂරීෆ් බොහෝ විට බෝම්බ ප්‍රහාර හෝ සටන් සිදුවන ප්‍රදේශ අසල සිට සජීවීව වාර්තා කළේ ය.

උතුරු ගාසා තීරයේ ජනාකීර්ණ ජබාලියා ප්‍රදේශයේ උපත ලැබූ ඔහු අල් ජසීරා රූපවාහිනියේ වසර දෙකක් පමණ සේවය කර තිබූ බව එම පුවත් සේවය පවසයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ෂරීෆ් විවාහකයෙකු වූ අතර ඔහුට ෂාම් නම් සිව් හැවිරිදි දියණියක් සහ සලාහ් නම් අවුරුද්දක් වයසැති පුතෙක් සිටිති. යුද්ධය අතරතුර, ඔහු ඊශ්‍රායලයේ ඉවත් වීමේ නියෝග නොසලකා හරිමින් වාර්තාකරණය කිරීමට උතුරු ගාසාහි රැඳී සිටීමට සිදුවීම නිසා ඔහු දිගු කාලයක් තම දරුවන්ගෙන් වෙන්ව සිටියේ ය.

2023 දෙසැම්බර් මාසයේදී, පවුලේ නිවස ඉලක්ක කර ගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහුට ඔහුගේ පියා වන ජමාල් අල්-ෂරීෆ් අහිමි විය.

ඔහුගේ මරණයෙන් පසු කලින් ලියන ලද සටහනක් ඔහුගේ මිතුරෙකු විසින් X සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කර තිබිණි.

"ඔබ මෙය කියවන්නේ නම්, එයින් අදහස් වන්නේ ඊශ්‍රායලය මාව මරා මගේ හඬ නිහඬ කර තිබෙනවා කියල යි," එහි එලෙස සඳහන් විය.

"මට වේදනාව ගැඹුරින් දැනුණා, බොහෝ අහිමිවීම්වලට මුහුණ දුන්නා. එහෙම තියෙද්දිත් විකෘති කිරීමකින් තොරව සත්‍යය ඇති ආකාරයට ම ප්‍රකාශ කිරීමට මම කිසි විටෙකත් පසුබට වුණේ නැහැ...''

ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ෂරීෆ් හමාස් නායකයෙකු බව පවසමින් ඔහු ඉලක්ක කරගත් බව ය. නමුත් එය ඔප්පු කිරීමට අවශ්‍ය සුළු සාක්ෂි කිහිපයක් පෙන්වා දී තිබිණි.

ෂරීෆ් මීට පෙර එය ප්‍රතික්ෂේප කළ අතර අල් ජසීරා සහ මාධ්‍ය අයිතිවාසිකම් කණ්ඩායම් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

වත්මන් ගැටුමට පෙර ෂරීෆ් ගාසා තීරයේ හමාස් මාධ්‍ය කණ්ඩායමක සේවය කර ඇති බව බීබීසීය විශ්වාස කරයි.

කෙසේ වෙතත්, මරණයට පෙර ඔහුගේ ඇතැම් සමාජ මාධ්‍ය සටහන්වලින් හමාස් සංවිධානය විවේචනය කරන ආකාරය ද දක්නට ලැබිණි.

මොහොමඩ් ක්‍රෙයිකේ – 2025 අගෝස්තු 10 මරණයට පත්විය

Al Jazeera correspondent Mohammed Qreiqeh reports in Gaza City. He is wearing a blue press jacket and helmet, while holding a microphone and speaking into a camera in the foreground.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා යුද්ධයේදී මොහොමඩ් ක්‍රෙයිකේගේ මව සහ සහෝදරයා ද මිය ගියහ.

අල් ජසීරා වාර්තාකරු මොහොමඩ් ක්‍රෙයිකේ ඝාතනයට ලක්වූයේ ඔහුගේ සහයකයා වූ අනාස් අල්-ෂරීෆ් ඝාතනය වූ අවස්ථාවේදී ම ය.

ක්‍රෙයිකේ 1992 දී ගාසා තීරයේ ෂුජායියා ප්‍රදේශයේදී උපත ලැබී ය.

ඔහු 2015 දී ගාසා ඉස්ලාමීය විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය උපාධියක් ලබා ගත්තේ ය.

2024 අප්‍රේල් මාසයේදී, ඊශ්‍රායල හමුදාව එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමෙන් පසු, ක්‍රෙයිකේ තම මවගේ මළ සිරුර අල්-ෂිෆා රෝහලෙන් සොයා ගත්තේ ය.

ඔහුගේ සහෝදරයා ෂුජායියා ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තුවාල ලබා සිටි අතර මෙම වසරේ මාර්තු මාසයේදී ඔහු රෝහලේදී මිය ගියේ ය.

ක්‍රෙයිකේ ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ පස් හැවිරිදි දියණිය වන සෙයිනා හැර ගියේ ය.

ෆාතිමා හසූනා - 2025 අප්‍රේල් 16 මරණයට පත් විය

ඡායාරූප මාධ්‍යවේදී ෆාතිමා හසූනාගේ ජීවිතය සහ පලස්තීනුවන්ගේ දෛනික අරගල පිළිබඳව වාර්තා චිත්‍රපටයක් 2025 කාන් චිත්‍රපට උළෙල සඳහා තෝරාගෙන ඇති බව නිවේදනය කිරීමෙන් දිනකට පසු ඇය ඝාතනයට ලක් විය.

ගාසා නගරයේ ඔවුන්ගේ නිවසට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වීමෙන් හසූනා සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු මිය ගොස් තිබිණි.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ, එම ප්‍රහාරය ඊශ්‍රායල සොල්දාදුවන්ට සහ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළ හමාස් සාමාජිකයෙකු ඉලක්ක කරගත් බව ය.

2025 කාන් චිත්‍රපට උළෙලේ ජූරි සභාවේ සභාපතිනිය වූ ප්‍රංශ නිළි ජුලියට් බිනෝචේ ඇයට උපහාර දැක්වීය.

''ෆාතිමා අද රෑ අපිත් එක්ක ඉන්න තිබුණා. කලාව ජීවත් වෙනවා - ඒක අපේ ජීවිත සහ සිහින පිළිබඳ ප්‍රබල මතක් කිරීමක්,'' ඇය පැවසුවා ය.

අහමඩ් මන්සූර් - 2025 අප්‍රේල් 7 මරණයට පත්විය

Palestine Today ප්‍රාදේශීය ප්‍රවෘත්ති ඒජන්සියේ මාධ්‍යවේදියෙකු වන අහමඩ් මන්සූර්, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකට ලක්ව මාධ්‍ය සේවකයින් සඳහා වූ කූඩාරමක් තුළ මිය ගියේ ය.

කූඩාරමට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් මාධ්‍යවේදියෙකු වන හෙල්මි අල්-ෆකාවි සහ තුන්වන පුද්ගලයා වන යූසෙෆ් අල්-කසින්දාර් මිය ගිය අතර තවත් මාධ්‍යවේදීන් නව දෙනෙක් තුවාල ලැබූහ.

The Palestinian Journalists Syndicate ආයතනය මෙම ප්‍රහාරය හැඳින්වූයේ, මාධ්‍යවේදීන්ට එල්ල කරන ලද "බිහිසුණු සහ භයංකර සංහාරයක් ලෙස" ය.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ප්‍රහාරය 2023 ඔක්තෝබර් 7 ප්‍රහාරයේදී හමාස් සමග කටයුතු කළ බවට චෝදනා එල්ල කරනු ලැබූ නිදහස් ඡායාරූප ශිල්පියෙකු වන හසන් අස්ලිහ් ඉලක්ක කර ගත් බව ය.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ, අස්ලිහ් ඔක්තෝබර් 7 ප්‍රහාරයට සහභාගී වූ 'ත්‍රස්තවාදියෙකු' බව ය, නමුත් ඔවුන් ඒ සඳහා ප්‍රමාණවත් තරම් සාක්ෂි සපයා නොමැත.

හමාස් රජයේ මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ ඉස්මයිල් අල්-තවාබ්ටා පැවසුවේ, අස්ලිහ් පිළිබඳ ඊශ්‍රායලයේ ප්‍රකාශය අසත්‍ය බවත් ඔහුට කිසිදු දේශපාලන සම්බන්ධතාවක් නොමැති බවත් ය.

ෆයිසාල් අබු අල්-කුම්සාන්, අයිමන් අල්-ජාඩි, ඉබ්‍රාහිම් අල්-ෂෙයික් කලීල්, ෆාඩි හසූනා සහ මුහම්මද් අල්-ලඩා - 2024 දෙසැම්බර් 26 මරණයට පත්විය

මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාත් සරණාගත කඳවුරේදී නාලිකාවේ බාහිර විකාශන වාහනය ඉලක්ක කර ගත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන Al-Quds Al-Youm රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් තිබිණි.

ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසුවේ, ඊශ්‍රායල මිසයිලයක් අල්-අව්ඩා රෝහල ඉදිරිපිට නවතා තිබූ වාහනයට ඍජුව එල්ල වී ඇතුළත සිටි අය මිය ගොස් වාහනය විනාශ වූ බව ය.

පලස්තීන මාධ්‍ය සහ ප්‍රාදේශීය වාර්තාකරුවන්ට අනුව, එම වාහනය මාධ්‍ය වාහනයක් බවට ඇඟවීමේ පුවරුවක් සවිකර තිබූ අතර රෝහල තුළ සහ නුසෙයිරාට් සරණාගත කඳවුර තුළ සිට සිදුවීම් ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් විසින් එය භාවිත කරන ලදී.

ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් ඇතුළත සිටින බව විශ්වාස කළ බැවින් තම ගුවන් හමුදාව එම වාහනයට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව පැවසීය.

ඊබ්‍රාහිම් මුහාරෙබ් - 2024 අගෝස්තු 18

නිදහස් මාධ්‍යවේදී ඊබ්‍රහිම් මුහාරෙබ්, දේශීය අල්-හදාත් පුවත්පත ඇතුළු ප්‍රවෘත්ති ආයතන ගණනාවක සේවය කළ බව CPJ වාර්තා කරයි.

ඛාන් යුනිස් ප්‍රදේශයට උතුරින් ඊශ්‍රායල හමුදාව විසින් කරන ලද වෙඩි තැබීමකින් ඔහු තුවාල ලැබුවේ ය.

26 හැවිරිදි ඔහු සමග වූ සම්බන්ධතා බිඳ වැටුණු අතර, ඔහුගේ සිරුර පසුදා උදෑසන සොයා ගන්නා ලදී.

අගෝස්තු 28 දිනැති ලිපියකින්, ඊශ්‍රායලය මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව වෙත පැවසුවේ, "ප්‍රශ්නගත සිද්ධිය පිළිබඳව තමන් නොදන්නා" බව ය.

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ, මුහාරෙබ්ගේ ඝාතනය හෙළා දුටු අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් "පූර්ණ හා විනිවිද භාවයෙන් යුක්ත පරීක්ෂණයක්" ඉල්ලා සිටියා ය.

"යුද කලාපවල මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් සිවිල් වැසියන් ලෙස ආරක්ෂා කරන එක්සත් ජාතීන්ගේ නීති රීති අනුගමනය කරන ලෙස මම මගේ ඉල්ලීම නැවත නැවතත් අවධාරණය කර සිටිනවා," ඇය පැවසුවා ය.

ඉස්මයිල් අල්-ගුල් සහ රමි අල්-රිෆි - 2024 ජූලි 31

සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝවක ගාසා නගරයේදී සිය මෝටර් රථය තුළ ඝාතනය කරන ලද අල් ජසීරා වාර්තාකරු ඉස්මයිල් අල්-ගූල්ගේ මළ සිරුර දැකිය හැකි විය.

ඔහුගේ කැමරාකරු රාමි අල්-රිෆි සහ පාපැදියක ගමන් කළ දරුවෙකු වූ කලීඩ් අල්-ෂාවා ද මිය ගොස් තිබිණි.

ඊශ්‍රායල හමුදාව ඉස්මයිල් අල්-ගුල්ව "හමාස් සටන්කරුවෙකු" ලෙස හැඳින්වූ අතර ඔහු නුඛ්බා ප්‍රභූ ඒකකයේ සාමාජිකයෙකු බව පවසා තිබිණි.

එම ප්‍රකාශයේ රාමි අල්-රිෆි සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නොතිබිණි.

හම්සා අල්-ඩහ්ඩූ - 2024 ජනවාරි 07 මරණයට පත්විය

Hamza and his father Wael Al-Dahdouh

ඡායාරූප මූලාශ්‍රය, @hamzadah1996 on X

ඡායාරූප ශීර්ෂ වැකිය, හම්සා අල්-ඩහ්ඩූ (දකුණ) ඔහුගේ පියා වන වේල් අල්-ඩහ්ඩූ සමග

අල් ජසීරා මාධ්‍යවේදියෙකු සහ කැමරා ශිල්පියෙකු වූ හම්සා අල්-ඩහ්ඩූ, අනෙකුත් මාධ්‍යවේදීන් සමග ඛාන් යුනිස් සිට රෆා දක්වා ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකට ඉලක්ක විය.

එම ප්‍රහාරයෙන් නිදහස් මාධ්‍යවේදී මුස්තාෆා තුරයා ද මිය ගියේ ය.

ඊශ්‍රායල හමුදාව පසුව පැවසුවේ, ඔවුන් ගාසා තීරය පදනම් කරගත් "ත්‍රස්ත කණ්ඩායම්වල සාමාජිකයින්" බව ය.

හම්සා යනු ගාසා තීරයේ අල් ජසීරා කාර්යාංශ ප්‍රධානියා වූ වේල් අල්-ඩහ්ඩූගේ වැඩිමහල් පුත්‍රයා ය.

2024 ඔක්තෝබර් අගදී, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තම බිරිඳ, දියණිය, පුතා සහ මුණුපුරා මිය ගිය බව දැන ගන්නා විට වේල් අල්-ඩහ්ඩහ් සජීවීව වාර්තා කරමින් සිටියේ ය.

දෙසැම්බර් මාසයේදී, තවත් අල් ජසීරා කැමරාකරුවෙකු වූ සමීර් අබු ඩකා ඝාතනයට ලක්වූ ප්‍රහාරයේ දී වේල් අල්-ඩහ්ඩූ තුවාල ලැබී ය.

සමෙර් අබු ඩක්කා - 2013 දෙසැම්බර් 15

Samer Abu Daqqa sitting with his arms resting on a table

ඡායාරූප මූලාශ්‍රය, Al Jazeera

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ ඔහු වෛද්‍යවරුන්ට ළඟා වීමට නොහැකි වූ හෙයින් කැමරාකරුවෙකු වූ සමෙර් අබු ඩකා අධික ලෙස ලේ වහනය වී මිය ගිය බව අල් ජසීරා වාර්තා කළේ ය.

බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ සිය කැමරාකරු සමර් අබු ඩක්කා වෛද්‍ය ප්‍රථමාධාර නොලැබීම නිසා මියගිය බව අල් ජසීරා පුවත්පත වාර්තා කර තිබිණි.

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස්හි පාසලකට ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් වාර්තා කරමින් සිටියදී, අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ කැමරා ශිල්පියෙකු වූ සමර් අබු ඩක්කා ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් තුවාල ලබා මිය ගියේ ය.

ඊශ්‍රායල් හමුදාව CNN වෙත පැවසුවේ, අබු ඩක්කාට උපකාර කිරීම සඳහා ගිලන් රථයක් යවා ඇති නමුත් මාර්ගයට හානි සිදුවී ඇති බැවින් ඔහු වෙත ළඟා වීමට නොහැකි වූ බව ය.

"ඔහු ඊයේ මට සමුදෙන්න ආවා. ඔහු කුසගින්නේ ම මිය ගියා." ඔහුගේ මරණයෙන් පසු, අබු ඩක්කාගේ මව වාර්තාකරුවන්ට මෙලෙස පැවසුවා ය.

"තාත්තේ, දෙවියන් වහන්සේ ඔබට අනුකම්පා කරන සේක්වා. ඔබ සැමට කරුණාවන්ත වුණා. ඔබ ඔබේ දරුවන්ට මිතුරන් මෙන් සැලකුවා. හැමෝම ඔබට ආදරය කළා. ඔබේ අහිමිවීම අපගේ හදවත් බිඳ දැමුවා" ඔහුගේ පුත් සයින් සටහන් කර තිබිණි.

රෝයි ඉඩාන් - 2023 ඔක්තෝබර් 7 මරණයට පත්විය

Roy Idan looking at the camera

ඡායාරූප මූලාශ්‍රය, October 7 Memorial

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයේ හමාස් ප්‍රහාරයෙන් රෝයි ඉඩාන්, ඔහුගේ බිරිඳ සහ දියණිය මිය ගියහ.

ඔක්තෝබර් 7 වන දින කිබුට්ස් කෆාර් අසා වෙත එල්ල කෙරුණ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල පුවත්පතක් වන Ynet හි ඡායාරූප ශිල්පියෙකු වූ රෝයි ඉඩාන් අතුරුදහන් වී ඇති බව වාර්තා විය.

2023 ඔක්තෝබර් 20 වන දින ඔහුගේ සිරුර සොයා ගැනීමෙන් පසු ඔහු මිය ගිය බව ප්‍රකාශයට පත් කරන ලදී.

ඔහුගේ දියණියක වන අවිගේල් ඉඩාන් හමාස් සංවිධානය විසින් පැහැරගෙන යනු ලැබූ නමුත් 2023 නොවැම්බර් මාසයේදී නිදහස් කෙරිණි.

ඔහුගේ පවුල ඉලක්ක කර ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී ඉඩාන් රාජකාරියේ යෙදී සිටි බව CPJ පැවසීය.

ඉඩාන්ගේ මරණය යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ විසින් හෙළා දකින ලදී.

"ඡායාරූප මාධ්‍යවේදීන් අර්බුද සහ ගැටුම් පෙන්වීමෙන් සමාජයට උදව් කරනවා. මෙය ප්‍රචණ්ඩත්වය සහ මානව හිමිකම් උල්ලංඝනයන් ඇති කරන අය එම ක්‍රියාවන්ට වගකිව යුත්තන් බවට පත් කරන්න උපකාරී වෙනවා," ඇය පැවසුවා ය.

"සම්පූර්ණ විමර්ශනයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් කරන ලෙස මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා."

යානිව් සොහාර් - 2023 ඔක්තෝබර් 7 මරණයට පත්විය

දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් නහාල් ඕස් වෙත එල්ල වූ හමාස් ප්‍රහාරයක් අතරතුර, හීබෲ පුවත්පතක් වන Hayom හි ඡායාරූප ශිල්පියෙකු වන යානිව් සොහාර්, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ඔක්තෝබර් 7 වන දා මිය ගියහ.

Hayomහි ප්‍රධාන කර්තෘ ඕමර් ලැච්මනොවිච් CPJ වෙත පැවසුවේ, සොහාර් ප්‍රහාරය ආවරණය කිරීම සඳහා තම නිවසින් පිටව යාමට සූදානම් වූ විට ඔහු මරණයට පත්වූ බව ය.

Hayom හි සේවය කිරීමට පෙර, සොහාර් 2005 සිට 2020 දක්වා ඊශ්‍රායලයේ ඇසෝසියේටඩ් ප්‍රෙස්හි වසර 15ක් සේවය කළේ ය. 2005 දී ඊශ්‍රායලය ගාසාවෙන් පිටවීම සහ 2006 දී සොල්දාදුවෙකු වූ ගිලාඩ් ෂාලිට් පැහැර ගැනීම වැනි සිදුවීම් ඔහු ආවරණය කළේ ය.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර දීමෙන් පසුව ඊශ්‍රායලය සිය ප්‍රහාරය ආරම්භ කළ අතර එහිදී පුද්ගලයින් 1,200ක් පමණ මිය ගොස් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබිණි. එතැන් සිට ගාසා තීරයේ 61,000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.