ඊශ්‍රායලය ගාසා වෙත එල්ල කළ ප්‍රහාරයකින් අල් - ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් ජීවිතක්ෂයට

Anas al-Sharif is wearing a blue flak jacket with 'PRESS' written across the front, and he's standing in front of burning debris. 'PRESS' යනුවෙන් සලකුණු කරන ලද නිල් පැහැති ජැකට්ටුවක් ඇඳ සිටින අනාස් අල්-ෂරීෆ්, දැවෙන සුන්බුන් ඉදිරිපිට සිටගෙන සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Al Jazeera

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු ගාසාහි සිට අනාස් අල්-ෂරීෆ් තොරතුරු රැසක් වාර්තා කළ බව අල් ජසීරා පැවසීය
    • Author, ඇමී වෝකර් සහ ටිෆනි වර්තයිමර්
    • Role, බීබීසී

ගාසාහි අල්-ෂිෆා රෝහල ආසන්නයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් තම මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගිය බව අල් ජසීරා පුවත් සේවය පවසයි.

ප්‍රහාරය එල්ල වන විට අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නූෆාල් සහ මෝමෙන් අලිවා යන අය රෝහලේ ප්‍රධාන දොරටුව අසල පිහිටි මාධ්‍යවේදීන් සඳහා වෙන් වූ කූඩාරමක සිටි බව අල් ජසීරා වාර්තා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා නාලිකාව මෙම ප්‍රහාරය "ඉලක්කගත ඝාතනයක්" ලෙස හැඳින්වූ අතර එය මාධ්‍ය නිදහසට එල්ල කරන ලද තවත් පැහැදිලි සහ සැලසුම්සහගත ප්‍රහාරයක් බව පැවසීය.

ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු, සිය ප්‍රහාරයේ ඉලක්කය වූයේ අනාස් අල්-ෂරීෆ් බව ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ඔහු හමාස් ත්‍රස්තවාදී අංශයක නායකයෙකු බවට ටෙලිග්‍රෑම්හි සටහනක් පළ කරමිනි.

මිය ගිය අනෙකුත් මාධ්‍යවේදීන් ගැන ඊශ්‍රායල් හමුදාව සඳහනක් කර තිබුණේ නැත.

ප්‍රහාරයෙන් හත් දෙනෙකු මිය ගිය බව අල් ජසීරා වාර්තා කරයි. පළමුව, සිය කාර්ය මණ්ඩලයේ හතර දෙනෙකු මිය ගිය බව ඔවුන් පැවසූ නමුත් පසුව එම සංඛ්‍යාව පහ දක්වා යාවත්කාලීන කරන ලදී.

අල්-ෂරීෆ් පිළිගත් මාධ්‍යවේදියෙකු බවත්, ගාසා තීරයේ සිදුවන දේ ලොවට ගෙන ගිය "එක ම හඬ" ඔහු බවත් අල් ජසීරාහි කළමනාකරණ සංස්කාරක මොහොමඩ් මොවාඩ් බීබීසීයට පැවසීය.

යුද්ධය අතරතුර, ඊශ්‍රායලය ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට නිදහසේ ගාසා තීරයට ඇතුළුවීම අවහිර කර ඇත. එබැවින්, බොහෝ මාධ්‍ය ආයතන වාර්තාකරණය සඳහා ගාසාහි වාර්තාකරුවන් යොදා ගනී.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඔවුන් ඉලක්ක කර ගත්තේ ඔවුන්ගේ කූඩාරම තුළ ඉද්දි, ඔවුන් ඉදිරි ආරක්ෂක පෙරමුණේ ඉඳලා වාර්තාකරණය කරමින් හිටියේ නැහැ," මෝවාඩ් පැවසීය.

"ඊශ්‍රායල් රජයට ඕන වෙලා තියෙන්නෙ ගාසා තීරය තුළ සිට වාර්තා කරන සියලු ප්‍රවෘත්ති නවත්වා දැමීමට යි" ඔහු The Newsroom වැඩසටහනට පැවසීය.

"මේක නූතන ඉතිහාසයේ මම මීට පෙර දැකලා නැති දෙයක්."

28 හැවිරිදි අල්-ෂරීෆ්, මිය යාමට සුළු මොහොතකට පෙර සිය X ගිණුමේ සටහනක් පළ කරමින් ගාසා නගරයට, ඊශ්‍රායලය දරුණු බෝම්බ හෙළීමක් සිදුකිරීම පිළිබඳ අනතුරු ඇඟවීමක් කර සිටියේ ය. ඔහු මිය ගිය බව වාර්තා වීමෙන් පසු පළ කරන ලද සටහනක් මිතුරෙකු විසින් කලින් ලියා ප්‍රකාශයට පත් කර ඇති බව පෙනේ.

BBC Verify මගින් තහවුරු කර ඇති ප්‍රහාරයෙන් පසු සිදුවීම් දැක්වෙන සංවේදී දර්ශන ඇතුළත් වීඩියෝ දෙකක, මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු පිරිමින් රැගෙන යන ආකාරය දැකිය හැකි ය.

සමහරු ක්‍රෙයිකේගේ නම කියා කෑ ගසන අතර, මාධ්‍යවේදීන්ගේ කබායක් ඇඳ සිටින්නෙකු පවසන්නේ, එක් සිරුරක් අල්-ෂරීෆ්ගේ බව ය.

අල්-ෂරීෆ් මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට සහ සොල්දාදුවන්ට එරෙහිව රොකට් ප්‍රහාර සැලසුම් කිරීමට උදව් කළ බව ඊශ්‍රායල් හමුදාව නිකුත් කර තිබෙන ප්‍රකාශයෙන් චෝදනා කර ඇත.

"ත්‍රස්තවාදී පුහුණු පාඨමාලා ලැයිස්තු" ඇතුළුව අල්-ෂරීෆ්ගේ හමුදා සබඳතා දැක්වෙන බුද්ධි තොරතුරු මීට පෙර හෙළිකරන ලද බව ඊශ්‍රායල් හමුදාව පැවසීය.

පසුගිය මාසයේ අල් ජසීරා, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) අල්-ෂරීෆ්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා නිවේදන නිකුත් කර තිබිණි.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ ප්‍රධානී ජෝඩි ගින්ස්බර්ග් බීබීසීයට පැවසුවේ, ඊශ්‍රායලය තමන් විසින් ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් ත්‍රස්තවාදීන් බවට සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව ය.

"මෙය ඊශ්‍රායලයෙන් අප දැක්ක රටාවක්. වත්මන් යුද්ධයේදී පමණක් නොව, ඊට පෙර දශක කිහිපය තුළ සාමාන්‍යයෙන් මාධ්‍යවේදියෙකු ඊශ්‍රායල හමුදා විසින් මරා දමනු ලැබුවා ම, ඊශ්‍රායලය ඔහු ත්‍රස්තවාදියෙකු බව පවසනවා, නමුත් එම ප්‍රකාශ ඇත්ත බව පෙන්වන්නේ පිළිගත නොහැකි සුළු සාක්ෂි," ඇය පැවසුවා ය.

හමාස් සංවිධානයට සම්බන්ධ බව පවසමින් ගාසා තීරයේ අල් ජසීරා මාධ්‍යවේදීන් ඉලක්ක කර ඝාතනය කළ පළමු අවස්ථාව මෙය නොවේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී, ඉස්මයිල් අල්-ගූල් ඔහුගේ මෝටර් රථයේ සිටියදී ගුවන් ප්‍රහාරයකින් මිය ගියේ ය. කැමරාකරුවෙකු වූ රාමි අල්-රිෆි සහ එම ස්ථානය අසලින් බයිසිකලයක ගමන් කරමින් සිටි තරුණයෙක් එම ප්‍රහාරයෙන් මිය ගියහ.

2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල කරන ලද හමාස් ප්‍රහාරවලට අල්-ගූල් සම්බන්ධ බව ඊශ්‍රායල් හමුදාව පැවසූ නමුත් අල් ජසීරා එය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

2023 ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා ක්‍රියාමාර්ග ආරම්භ වූ දා සිට මාධ්‍යවේදීන් 186 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇතැයි මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව පවසයි.

අනස් අල්-ෂරීෆ් යනු කවුද?

අනාස් අල්-ෂරීෆ් 1996 දී උතුරු ගාසා තීරයේ ජබාලියා කඳවුරේ උපත ලබා තිබේ. 2023 ඔක්තෝම්බර් මාසයේදී යුද්ධය ආරම්භ වූ පසු ඔහු අල් ජසීරා හි ප්‍රමුඛතම භූමියේ වාර්තාකරුවෙකු බවට පත්විය.

අල්-ෂරීෆ් බොහෝ අවස්ථාවලදී බෝම්බ ප්‍රහාර එල්ල කෙරුණ භුමියේ සිට සජීවී වාර්තාකරණයේ යෙදුනු අයෙකු වේ.

2023 දෙසැම්බර් මාසයේදී, අල්-ෂරීෆ්ගේ පියා වන 65 හැවිරිදි ජමාල් අල්-ෂරීෆ්, ඔවුන්ගේ නිවසට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මිය ගියේය. ඉන් පසුව අල්-ෂරීෆ් සිය මාධ්‍ය වාර්තාකරණය අඛණ්ඩව සිදු කළේය.

2024 දී ෂාටි සරණාගත කඳවුරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මියගිය ඔහුගේ සගයන් වන ඉස්මයිල් අල්-ගූල් සහ රාමි අල්-රිෆිගේ මරණ පිළිබඳව අල්-ෂරීෆ් වාර්තා කළේය.

අල්-ෂරීෆ් විවාහකයෙකු වන අතර ඔහුට පුතෙකු සහ දියණියක සිටියි. පසුගිය ජනවාරි මාසයේදී ඔහුගේ බිරිඳ ඔහුගේ දරුවන් දෙදෙනා සමඟ සිටින ඡායාරූපයක් ඔහුගේ සත්‍යාපිත ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර තිබිණි.