බීබීසීය සුඩානය සඳහා හදිසි කෙටි-තරංග ගුවන්විදුලි සේවාවක් අරඹයි.

සුඩානය තුළ රූපවාහිනී හා ඩිජිටල් නාලිකා හරහා ප්‍රවෘත්ති සඳහා ප්‍රවේශය නොමැති වැසියන් වෙනුවෙන්, බීබීසීය මැයි 2 දා එරට තුළ හදිසි කෙටි-තරංග ගුවන් විදුලි සේවාවක් අරඹයි. තෙමසක් දක්වා, දිනපතා මිනිත්තු තිහ බැගින් දෙවරක් විකාශය වනු ඇති වැඩසටහන් හරහා ප්‍රවෘත්ති, තොරතුරු සහ සම්මුඛ සාකච්ඡාවලට මුල්තැන ලබාදෙයි.

වැඩසටහන එරට වේලාවෙන් පැය 09:00ට (ලංකා වේලාවෙන් ප.ව. 12:30) 21,510 kHz සංඛ්‍යාතයෙන් ද, එරට වේලාවෙන් පැය 17:00ට (ලංකා වේලාවෙන් ප.ව. 08:30) 15,310kHz සංඛ්‍යාතයෙන් ද විකාශය වනු ඇති. මෙහි පළමු වැඩසටහන අඟහරුවාදා (මැයි 2) දා විකාශය වනු ඇත.

ස්වාධීන පුවත්

අර්බුදයන්ගේ සිට රාජ්‍ය මාධ්‍ය රෙගුලාසි දක්වා විවිධාකාර හේතු නිසාවෙන්, අනෙකුත් සමාජමාධ්‍ය වේදිකා හරහා ස්වාධීන පුවත් සඳහා ප්‍රවේශය ලබාගැනීමට අපහසු ප්‍රේක්ෂක ජනයා වෙනුවෙන් අන්තර්ගතයන් බෙදාහැරීම සඳහා බීබීසීය දැනටමත් කලාපයන් කීපයකම කෙටි-තරංග ගුවන්විදුලිය භාවිතා කරයි.

උදාහරණයක් ලෙස, රුසියානු ආක්‍රමණයෙන් පසු බීබීසීය යුක්රේනය සහ රුසියාවේ කොටසක් සඳහා පසුගිය වසරේ මාර්තුවේ සිට මෙවැනි ආකාරයේ සම්ප්‍රේෂණ ක්‍රමයක් භාවිතා කරමින් සිටියි. නමුත් ආසියාවේ, අප්‍රිකාවේ සහ මැද පෙරදිග කලාපයන් කීපයක් සඳහා බීබීසීය දෛනික කෙටි-තරංග විකාශයන් සිදුකරයි.

කෙටි-තරංග ගුවන්විදුලිය යනු අඩු වියදම් ඇති නමුත් ඉතා ඵලදායී තාක්ෂණයකි. මෙමඟින්, අයනගෝලයේ කැළඹිලි සහිත වායූන් වෙතින් පරාවර්තනයකර ගන්නා ශ්‍රව්‍ය සංඥා ඉතා විශාල දුරකට සම්ප්‍රේෂණය කළ හැකි ය (අයනගෝලය යනු, පෘථිවියෙන් කිලෝමීටර සිය ගණනක් ඉහළින් පිහිටි විද්‍යුතනය වූ වායු ස්ථරයන් වේ).

මෙම වැඩසටහන්වලට සවන්දීම සඳහා මිල අඩු ජංගම රිසීවරයන් හෝ ජංගම දුරකථන ඇප් භාවිතා කිරීමට ශ්‍රාවකයින්ට හැකි ය.

හමුදා කණ්ඩායම්හි ගැටුම්

සුඩාන අගනුවර වන කාර්තූම්හි දී රජයේ හමුදාව සහ RSF නම් පැරාමිලිටරි බලකාය අතර ඇතිව තිබෙන ගැටුම් හේතුවෙන්, අප්‍රේල් 15 දා ගැටුම් ආරම්භයේ දී සිට 500ක් පමණ වැසියන් මියගොස් 4000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. නමුත් මරණ සංඛ්‍යාව මීට වඩා බොහෝ ඉහළ අගයක් විය හැකි ය.

මෙම ගැටුම් නිසාවෙන් කාර්තූම්හි ජල හා විදුලි සැපයුම ද ඇතුළු යටිතල පහසුකම් බිඳ වැටී තිබේ. අප්‍රේල් 28 දා, එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) පැවසුවේ අඩුම තරමින් සුඩාන සිවිල්වැසියන් 50 000ක් පමණ දෙනා ඊජිප්තුව, දකුණු සුඩානය සහ චැඩ් වෙත පැනගොස් ඇතිබව යි.

එක්සත් ජාතීන්ගේ නව ඇස්තමේන්තුවලට අනුව, සුඩානයේ ජනගහණය මිලියන 48.1කි.