ජනපති අනුර සහභාගි වන ඉන්දියාවේ පැවැත්වෙන AI Impact Summit 2026 යනු කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියාවේ නව දිල්ලියේදී පැවැත්වෙන කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුවට (AI Impact Summit 2026) සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අඟහරුවාදා (පෙබ: 17) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා මෙම සමුළුව සඳහා සහභාගි වන බව ය.
පෙබරවාරි 16 වන දා සිට 20 වන දා දක්වා AI බලපෑම් සමුළුව පැවැත්වීමට නියමිත අතර, එයට රාජ්‍ය නායකයින් මෙන් ම තාක්ෂණික ලෝකයේ ප්‍රමුඛයින් සහභාගි වීමට නියමිත ය.
ඉන්දියාව පවසන පරිදි ගෝලීය දකුණු කලාපයේ පැවැත්වෙන මෙම පළමු ජාත්‍යන්තර AI සමුළුවට රටවල් 100කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ, ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.
කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුව යනු කුමක් ද?
කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ගෝලීය නීති සහ තීරණ ගන්නා ආකාරය සම්බන්ධයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රබල හඬක් නැගීමේ අරමුණින් ඉන්දියාව මෙම කෘත්‍රිම බුද්ධි බලපෑම් සමුළුව සංවිධානය කරයි.
සඳුඳා ඇරඹි මෙම සමුළුවේ තේමාව මානව කේන්ද්‍රීය ප්‍රගතිය වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගැනීම සඳහා අපගේ සාමූහික කැපවීම පිළිබිඹු කරන, 'සර්වජන හිතාය, සර්වජන සුඛාය හෙවත් සැමට ශුභසාධනය, සැමට සතුට' යන්න බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි X පණිවිඩයක් තබමින් පැවසීය.
Alphabetහි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි, OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන්, Anthropic ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩෙයි, Reliance සභාපති මුකේෂ් අම්බානි සහ Google DeepMind ප්‍රධාන විධායක නිලධාරී ඩෙමිස් හසාබිස් බ්‍රහස්පතින්දා මෙම සමුළුව අමතනු ඇත.
කෙසේ වෙතත්, Microsoft නිර්මාතෘ බිල්ගේට්ස් සමුළුව ඇමතීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, එප්ස්ටීන් ලිපිගොනුවල නම සඳහන් වුණු හෙයින් ඔහු සමුළුව ඇමතීමට නොපැමිණෙනු ඇති බව ය.
සමුළුවේ ආරම්භයේදී ම දිගු පෝලිම් දක්නට ලැබුණු අතර සහභාගිවන්නන් චෝදනා කළේ, ඒ හේතුවෙන් පැය ගණනක් බලා සිටීමට පවා සිදුවූ බව ය.
මීට පෙර පැවති ගෝලීය කෘත්‍රිම බුද්ධි සමුළු බොහෝ දුරට අවධානය යොමු කළේ, කෘත්‍රිම බුද්ධි ආරක්ෂාව සහ නීති පිළිබඳ පොරොන්දු හා ප්‍රකාශ කෙරෙහි වන නමුත් විචාරකයින් තර්ක කළේ, ඒවා එතරම් සාර්ථක නොවූ බව ය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක වියදමකින් තැනූ 'භාරත් මණ්ඩපම්හි' මෙවර සමුළුව පැවැත්වෙන අතර 250,000කට අධික පිරිසක් ඒ සඳහා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දියාවට 'තාක්ෂණයට වඩා වැඩි යමක්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2026 ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි ආරක්ෂණ වාර්තාව සඳහන් කරන්නේ, "ඇතැම් රටවල ජනගහනයෙන් 50%කට වඩා කෘත්‍රිම බුද්ධිය භාවිත කරන අතර, අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල ඒ සඳහා අනුවර්තනය වීමේ අනුපාතය 10%කට වඩා අඩු මට්ටමක පවතින," බව ය.
ලොව විශාලතම එක්සත් ජනපද කෘත්‍රිම බුද්ධි චැට්බොට් ඉන්දියාවේ නිල භාෂා 22න් ම ක්‍රියා නොකරයි. ChatGPT සහ Claude දැනට ඒවායින් අඩකට පමණ සහය දක්වයි. Google Gemini නවයකට සහය දක්වයි.
"මෙම භාෂා තේරුම් ගන්නා සහ කතා කරන තාක්ෂණයක් නොමැතිව, මිලියන ගණනකට ඩිජිටල් විප්ලවය මගහැරේවි. විශේෂයෙන් අධ්‍යාපනය, පාලනය, සෞඛ්‍ය සේවා සහ බැංකුකරණය වගේ ක්ෂේත්‍රවල," IIT මුම්බායිහි මහාචාර්ය පුෂ්පක් භට්ටාචාර්ය පසුගිය ගිම්හානයේදී බීබීසීය වෙත පැවසීය.
මෙයට මුහුණ දීම සඳහා ඉන්දියාව තමන්ට ම අනන්‍ය වූ ස්වෛරී කෘත්‍රිම බුද්ධි වේදිකා ගොඩනගමින් සිටින අතර ඉන්දීය රජය මෙය කෘත්‍රිම බුද්ධි මෙහෙයුම ලෙස හඳුන්වයි. නමුත් ප්‍රගතිය සාපේක්ෂව මන්දගාමී ය.
ඇමෙරිකානු නිෂ්පාදන - මෙන් ම DeepSeek සහ ByteDance වැනි චීන නිෂ්පාදන නව නිකුතු සමග ඉදිරියට යන අතර, ඉන්දියාවේ බොහෝ නිෂ්පාදන තවමත් සංවර්ධනය වෙමින් පවතී.
දැවැන්ත ගෝලීය තාක්ෂණික සමාගම්වල මූල්‍ය සම්පත් හා සසඳන විට, මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය වෙන් කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මුදල ඉතා කුඩා ය.
"ඉන්දියාව සඳහා, මේක තාක්ෂණයට වඩා වැඩි යමක්, ඒක ආර්ථික පරිවර්තනය, ඩිජිටල් ස්වෛරීභාවය සහ පරිමාණයෙන් හැකියාව ගොඩනැගීමක්," ඉන්දියාවේ විශාලතම තාක්ෂණික ආයෝජකයෙකු වන Peak XVහි කළමනාකාර අධ්‍යක්ෂ රාජන් ආනන්දන් පැවසීය.
"මේ සමුළුවෙන් ගෝලීය දකුණු කලාපයට සැබෑ බලපෑමක් ඇති කිරීමට නම්, සැමට කෘත්‍රිම බුද්ධිය වෙත ප්‍රවේශය තිබිය යුතු අතර එය සාක්ෂාත් කර ගත හැක්කේ එය විවෘත කිරීමෙන් පමණ යි," OpenUK නම් තාක්ෂණික කර්මාන්ත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අමන්දා බ්‍රොක් තර්ක කරයි.
2023වසරේදී එක්සත් රාජධානියේ පැවති පළමු කෘත්‍රිම බුද්ධි ආරක්ෂණ සමුළුවෙන් (AI Safety Summit) පසුව, "ආරක්ෂාව" යන වචනය එහි නාමයෙන් නිහඬව ම හැලී ගියේ ය. එක් විශේෂඥයෙකු බීබීසී තාක්ෂණික පුවත් වාර්තාකාරිණී සොයී ක්ලයිමන් සමග පවසා තිබුණේ, එයින් ලැබෙන කිසිදු අර්ථවත් ප්‍රතිඵලයක් පිළිබඳව ඔවුන්ට එතරම් විශ්වාසයක් නොමැති බැවින් මේ සතියේ ඔවුන් දිල්ලියට නොයාමට තීරණය කර ඇති බව ය.
බ්‍රිතාන්‍ය පරිගණක විද්‍යාඥ මහාචාර්ය ඩේම් වෙන්ඩි හෝල් සමුළුවට සහභාගී වන නමුත් ඇය සොයී සමග පැවසුවේ, කෘත්‍රිම බුද්ධිය මගින් එල්ල වන අනතුරු අවම කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙම සමුළුවෙන් "සැලකිය යුතු කිසිවක්" සිදු නොවනු ඇති හෙයින් ඒ පිළිබඳව තමන් කනගාටු වන බව ය.
"අපි යන එක වැදගත්, නමුත් එයින් ප්‍රයෝජනවත් දෙයක් ලැබෙයි කියලා මට ලොකු බලාපොරොත්තුවක් නෑ," ඇය පැවසුවා ය.































