ඇල්ල ඔඩිසි දුම්රිය 'ටිකට් ජාවාරම': සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

ඇල්ල ඔඩිසි දුම්රියේ සිදුවන ඊ ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඉන් එක් සැකකරුවෙකු ඊයේ (ජන. 22) වන දා ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ඊ ටිකට්පත් 92ක් ද සමගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.

අදාළ සැකකරු දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවයේ නියුතු තාක්ෂණ නිලධාරියෙකි.

එම ටිකට්පත් විදෙස් හා අනෙක් සංචාරයකයන්ට වැඩි මිලට විකිණීමට ළඟ තබාගෙන සිටි බවට සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

එමෙන් ම, මෙම සිදුවීමට සම්බන්ධ බවට සැක පිට තවත් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව මහනුවර කොට්ඨාස අපරාධ කාර්යංශය ද ලද තොරතුරකට අනුව ඊ ටිකට්පත් 29ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

ඔහු සතුව ති⁣බී රුපියල් එක්ලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් ද පොලිසිය සොයා ගෙන තිබේ.

එම සැකකරු ද විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර ඔවුන්ට ඊ ටිකට්පත් ලබා දුන් පාර්ශවයන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව පොලිසිය පැවසීය.

පොලිස් මාධ්‍යකොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සැකකරුවන් අද (ජන. 23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ය.

'ඒකේ විමර්ශන යනවා, IP එඩ්‍රස් ටික බලනවා, ලොගින්ස් ටික බලනවා'

දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් ඉන්ටර්නෙට් ඔස්සේ නිකුත් කරනු ලබන දුම්රිය ප්‍රවේශ පත්‍ර වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පසුගිය දා පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් ජනවාරි 20 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ගෙන තිබිණි.

"ඒකේ විමර්ශන යනවා, ඒකෙ IP එඩ්‍රස් ටික බලනවා, ලොගින්ස් ටික බලනවා," යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විමර්ශනයේ තත්ත්වය පැහැදිලි කරමින් මීට පෙර බීබීසී සිංහල වෙත පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළි කළ ජාවාරම

විදේශ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රියේ ඊ ටිකට්පත් ඉන්ටර්නෙට් ඔස්සේ නිකුත් කිරීම ආරම්භ කර තත්පර 42ක් තුළ සියලු ටිකට්පත් විකිණී අවසන් වීම පසුපස මහා පරිමාණ ජාවාරමක් සිදුවන බව මුල් වරට මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරනු ලැබුවේ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විසිනි.

ජනවාරි 16 වන දා පැවති මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්විමේදී මේ බව හෙළි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කර ඇති බව ද පැවසීය.

මෙලෙස ටිකට්පත් සියල්ල මිල දී ගන්නා කණ්ඩායම් එම ටිකට්පත් විදේශිකයන්ට රුපියල් 16,000කට අලෙවි කළ අවස්ථා ද වාර්තා වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබිණි.

කොළඹ කොටුව, මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන මූලික කර ගනිමින් මෙම ජාවාරම සිදුවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඒ සඳහා එම දුම්රිය ස්ථාන ආශ්‍රිතව සිය සේවා ක්‍රියාත්මක කරන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහය ද හිමි වන බව ය.

"රේල්වේ එකේ ටිකට් එකක් ඔන් වෙන්නේ මාසයකට කලින්. මාසෙකට කලින් ඔන් වුණා ම ඊයේ තප්පර 42 ඇතුළත ටිකට් ටික ඔක්කොම ඉවර යි. ඒක අපි දැන් CID එකට භාර දීලා තියෙන්නේ. CID පරීක්ෂණ යනවා. නමුත් මම පෞද්ගලිකව මේ ගැන තෘප්තිමත්භාවයක් නැහැ යන විදිය ගැන. දිගින් දිගට ම මම කතා කරනවා නමුත් තෘප්තිමත්භාවයක් නැහැ බොහොම මන්දගාමීව යන්නේ," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

උඩරට දුම්රියට විතරක් ඇති ගැටලුව

මෙම ගැටලුව විසඳීමට මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව බීබීසි සිංහල සේවය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගෙන් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, උඩරට මාර්ගයේ දුම්රිය සඳහා ඇති ඉල්ලුම කළමනාකරණය කිරීමට සිකුරාදා දිනවල සවස කොළඹ කොටුවෙන් මහනුවර බලා ධාවනය කෙරෙන දුම්රිය පසු දා උදෑසන මහනුවර සිට නානුඔය හරහා ඇල්ල දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇති බව ය.

ඒ ආකාරයෙන් නානුඔය සහ දෙමෝදර අතර ඉරිදා දක්වා එම දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

ඒ හරහා ප්‍රවේශ පත්‍ර වැඩි මිලට විකිණීමේ ජාවාරමට විසඳුමක් ලැබෙන්නේ දැයි බීබීසී සිංහල සේවය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසුවේ ය.

"දැන් ඔය ප්‍රශ්නේ අපි ඇනලයිස් කරපුවා ම අනිත් ගමනාන්තවලට ඔය ප්‍රශ්නේ නෑනේ. ඔය ප්‍රශ්නේ කන්සන්තුරේට නෑනේ. එහෙට අද බුක් කරන්න ගත්තත් තියෙනවා. මේක ඉල්ලුම වැඩි වීම නිසා තමයි බ්ලැක් මාර්කට් එකක් ඇති වෙන්නේ. අපි කරන්න හදන්නේ උඩින් අල්ලන ගමන් මේ වැඩේ යටින් සැපයුම වැඩි කරන්න."

දුම්රිය සේවකයෙකුගේ වැඩ තහනම්

ඊ ප්‍රවේශ පත්‍ර වැඩි මිලට විකිණීමේ ජාවාරමට හවුල් වූ බවට සැක කෙරෙන මාකුඹුර දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථාන සහයකයෙකුගේ සේවය තාවකාලිකව තහනමට ලක් කර ඔහු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බව දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර බීබීසි සිංහල සේවය වෙත පැවසීය.

එමෙන් ම මෙම ගැටලුවට විසඳුමක් සෙවීමට ඊ ටිකට් සේවාව ලබා දෙන අදාළ ජංගම දුරකතන සේවා සමාගම සමග සාකච්ඡා කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා අතර ම උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කරනු ලබන දුම්රිය වාර ගණන හැකි ඉක්මනින් වැඩි කිරීමට ක⁣ටයුතු කරන බව ද දුම්රිය සමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

ඔන්ලයින් ටිකට් 100ක් මිලට ගැනීමට ඇති තදබදය

මෙලෙස වැඩි ඉල්ලුමක් ඇත්තේ, බදුල්ල බලා ධාවනය කෙරෙන දුම්රියට බව ද දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසීය.

එක් දුම්රිය ගමන් වාරයක් සඳහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර 100ක් පමණ ලබා ගැනීමේ හැකියාව පවතින අතර දින 30කට පෙර ප්‍රවේශ පත්‍ර වෙන් කර ගත යුතු බව ද දුම්රිය සමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය.

"සීට් 100ක් තියෙන හින්දා, ටුවරිසම් එක නිසා ගොඩක් කට්ටිය ඉක්මනට එනවා මේකට."

එමෙන් ම, ප්‍රවේශපත්‍ර වෙන් කර ගත හැකි දුම්රිය ස්ථාන 50ක් පමණ ඇති අතර ඒවා හරහා ද ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගත හැකි බව සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පැවසීය.

"ඔන්ලයින් එන්නේ 100ක් විතර අනිත් එකට යනවා ඇත්තේ හතලිස් ගාණක් විතර. ලොකු කොන්ටිටි එකක් නැහැ. එතකොට 20 දෙනෙක් එන්ටර් වෙලා ඒ අය ටිකට් ගන්න ගියා ම ඒක බ්ලොක් වෙනවා. පොඩි ටිකට් ගාණක් ඉක්මනට ගැනීම තමා මෙතන තියෙන්නේ."

මෙම ගැටලුව පැන නැගී ඇත්තේ, උදෑසන ගමන් කරනු ලබන පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ යන දුම්රියවල බව ද දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර වැඩිදුරටත් පැවසීය.