ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොදු ප්‍රවාහනය: 'එයාල අහන සින්දු අපිත් අහන්න ඕන කියලා හිතන් ඉන්නේ'
කාර්ය බහුල වේලාවන් තුළ දුරකථන ඇමතුම් ලබා නොගන්න ලෙස ජපානය වැනි රටවල මෙට්‍රෝ දුම්රියන් තුළ දැන්වීම් සටහන් කර තිබීම දැකිය හැකිය. ඒ එය අන්අයගේ නිදහසට හා පෞද්ගලික නිදහසට හානියක් විය හැකි බැවිනි.යුරෝපය ඇතුළු බොහෝ රටවලද තත්ත්වය එසේය.
එහෙත් ශ්‍රී ලංකාවේ බස් රථ හා දුම්රියන් තුළ යන ඇතැම් මගීන් ජංගම දුරකථන භාවිත කරනු ලබන්නේ අන් අයගේ නිදහසට බාධාවක් වනු ඇතැයි,යන්න ගැන වැඩි තැකීමක් නොකරමිනි. ඇතමුන් ‘අමුක ඩුමුක’ ගීතයේ සිට ටෙලිනාට්‍ය, දෙමළ සහ හින්දි හිංදි චිත්‍රපටද, ක්‍රියාදාම ඉංග්‍රීසි චිත්‍රපටද (හෙඩ් ෆොන්ස් හෝ හෑන්ඩ්ස් ෆ්‍රී) නොමැතිව බස් රථවල හා දුම්රියවල යන අතරතුර නරඹනු ලබන්නේ එය සෙසු මගීන්ට කරදරයක් දැයි යන්න ගැන අවබෝධයකින් තොරවය.
ලංකාවේ මිනිස්සු ශබ්ද කරන්න ආස ඇයි?
පසුගිය දිනක ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල පරිශීලකයෙක් ඔහුගේ ගිණුමේ අපුරු සටහනක් තබා තිබුණි.
එහි සඳහන්ව තිබුණේ, අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ දී ඔහුට මුහුණදීමට සිදුවූ අත්දැකීමකි.
ඔහු තම සටහන ආරම්භ කර තිබුණේ 'ලංකාවේ මිනිස්සු ශබ්ද කරන්න ආස ඇයි?' යනුවෙන් ය.
'අපිත් ඒවම අහන්න ඕන කියලා ඒ අය හිතන්නේ'
අද වන විට පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේ දී මඟී ජනතාව අපහසුතාවට පත්වන බවට නොයෙක් සිදුවීම් අසන්න දකින්නට ලැබේ.
බොහෝදෙනා පොදු ප්‍රවාහනවල ගමන් කිරීමේ දී තමන්ගේ ජංගම දුරකථන ඔස්සේ වීඩියෝ නැරඹීම සහ ගීත ඇසීමට පුරුදුවී සිටින්නේ එය අන් අයට අපහසුතාවයක් වන බව හොඳාකාරයෙන් දැනගෙන බව, පෞද්ගලික ආයතනයක සේවය කරන නිලධාරිනියක් බීබීසී සිංහල සේවයට පැවසුවා ය.
"මම හැමදාම උදේ පාන්දර 4.00ට නැගිටලා උයලා ලෑස්ති වෙනවා 6.30 වෙද්දී බස් එකට යන්න. බබාව ඉස්කෝලේ එක්කන් යන්නේ මහත්තයා නිසා, ඒ දෙන්නගේ කෑම ඇඳුම් ඔක්කොම ලැස්ති කරලයි මම වැඩට යන්නේ."
"මිනුවන්ගොඩ ඉදලා කොළඹට යන බස්වල ගොඩක් වෙලාවට කිහිප දෙනෙක් ඉන්නවා හෙඩ් ෆෝන් එකක්වත් යූස් කරන්නේ නැතිව යූටියුබ් හරි ෆේස්බුක් වීඩියෝ බලනවා. එයාලා හිතං ඉන්නවා ඇත්තේ බස් එකේ යන අපිත් ඒවා අහලා හිනාවෙන්න ඕන කියල ද දන්නේ නැහැ. අඩුම තරමින් සද්දේ ටිකක් අඩු කරගෙන ඒවා අහන්න හරි නරඹන්න පුරුදු වුණා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ," ඇය පැවසුවා ය.
මේ අතර කොළඹ සිට තංගල්ල බලා සතිපතා ගමන් කරන 'අමිල පැතුම්' නම් පොදු ප්‍රවාහනය භාවිත කරන අයෙකු බීබීසී සිංහල සේවයට ඔහුගේ අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ, ඇතැම් බස් රථ වල වාදනය කෙරෙන ගීතවල හඬ නිසා ඔහුට හිසරද ඇතිවූ අවස්ථා ඕනෑ තරම් ඇති බව යි.
"සමහර බස් තියෙනවා ෂේප් එකේ සින්දුවක් දාලා තියෙනවා. සමහර බස් තියෙනවා බස් එකේ දාන සින්දුවල සද්දේ නිසා බැස්ස ගමන් පෙනඩෝල් බොන්න වෙනවා හැදෙන ඔලුව කැක්කුමට."
"මම කොහොමත් මාසෙට 4-5 වතාවක් කොළඹ යනවා වැඩවලට. ඒ ගියාම බස්වල අපිට මුණ දෙන්න වෙන අත්දැකීම් එක එක විදිහේ ඒවා," ඔහු කියා සිටියේ ය.
බස් රථ සේවකයින්ට ලබාදී ඇති උපදෙස
මඟී බස් රථවලට එල්ලවන මෙම චෝදනාව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසුවේ මෙවැන්නකි:
"අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ මඟීන්ට සුදුසු විදිහට බස් රථ සේවාව පවත්වාගෙන යන්න යි. සමහර මඟීන් ඉන්නවා බස් එකේ යද්දී සින්දු අහන් යන්න. සමහරු අකමැති සින්දු අහන් යන්න. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා තමන්ගේ ෆෝන් එකෙන් සින්දු අහන් යන්න කැමති අය. සමහර අයට බස් එකේ යද්දී කෝල් එකක් එහෙම ආවම සද්දෙත් එක්ක කෝල් එකට පිළිතුරු දෙන්න අපහසු වෙනවා."
"ඉතිං මේ වගේ හැමෝගෙම අදහස් වල ඝට්ටනයක් ඇති නොවෙන විදිහට මිනිස්සුන්ගේ හිත් දිනාගෙන අපේ සේවාව පවත්වගෙන යන්න ක්‍රමයන් හොයන්න ඕන," ඔහු පැවසුවේ ය.
බස් රථ සේවාවේ යෙදී සිටින රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන් සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් ලබා දෙන පුහුණුවේ දී මඟීන්ගේ ඉල්ලීම් ඉටුවන අයුරින් බස් සේවාව පවත්වාගෙන යෑමේ උපදෙස් ලබාදී තිබෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළේ ය.
"NTC එකෙන් අපේ බස් රථවල සේවකයින්ට ලබාදෙන පුහුණුවේදී දැනුවත් කරනවා අධික ශබ්දයෙන් කැසට් හෝ ටීවී දාන්න එපා කියලා. ඒ වගේම බස් රථයේ ඉන්න මඟීන් ඉල්ලීම් කළොත් සද්දේ අඩු කරන්න හරි, එහෙමත් නැත්නම් ඒවා ඔෆ් කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා," බස් රථ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය.
එමෙන්ම අධික ශබ්දයෙන් ගීත ඇසීම ගැන මඟීන් සිදුකළ පැමිණිලි නිසා ඇතැම් අවස්ථාවල දී බස් රථ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දඩ මුදල් පැනවීමේ අවස්ථා ද වාර්තා වූ බව ඔහු පවසයි.
බස් සංගීතය වෙනුවෙන් රජය ගෙනා වැඩපිළිවෙළ
බස් රථවල වාදනය වන ඝෝෂාකාරී සංගීතය නවතාලීම සඳහා රජය , 2019 වසරේ දී පියවර ගන්නා ලදී.
ඒ අනුව 2020 වසරේ ජනවාරි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් රථවල වාදනය කිරීමට සුදුසු ගීත ලැයිස්තුවක් ලබාදීමට රජය තීරණය කරන ලදී.
බීබීසී සිංහල සේවය කළ විමසීමක දී අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය නිසා එම වැඩපිළිවෙල අඛණ්ඩව කරගෙන යෑමට නොහැකිවූ බව යි.
"අපි අවස්ථා දෙකක දී යම් ප්‍රමිතියක් සහිත ගීත ඇතුළත් CD පට ලබාදුන්නා. නමුත් කොවිඩ් එකත් එක්ක ඒ අය හරියට මේක ක්‍රියාත්මක කළේ නැහැ. ඊට පස්සේ ඇතැම් අය ඝෝෂාකාරී සංගීතයම බස් රථ වල වාදනය කරනවා. අපිට ඒ ගැන වෙනත් විශේෂ ක්‍රියාමාර්ග ගන්න බැරි වුණා."
"අනිත් එක එතන දී ප්‍රායෝගීක ප්‍රශ්නත් තියෙනවා. තෙල් ගණන් වැඩි වෙද්දී අපි මේ වගේ යම් යම් නීති ගෙන්න හදනකොට එතන වෙන ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතන දී ක්‍රමානුකූලව තමයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ."
"ඒ වුනත් අපි බස් රථ සේවකයින්ට ලබා දෙන පුහුණුවේ දී ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කර තියෙනවා, කොහොමද මඟීන් ගේ සුවපහසුව වෙනුවෙන් කටයුතු කරන්න ඕන කියලා," ඔහු කියා සිටියේ ය.
එමෙන්ම මඟී ප්‍රවාහන බස් රථවල දී ඝෝෂාකාරී සංගීතය නිසා පීඩාවට පත්වන මඟීන්ට 1955 දුරකථන අංකය ඔස්සේ තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව මෙහිදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.
හැසිරවීම සීමා කිරීමේ වගකීම කවුරුන් හෝ භාරගත යුතු යි
පොදු මඟී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ තුළ යම්කිසි හැසිරවීම යහපත් තත්ත්වයේ පවත්වාගෙන යෑමේ වගකීම කවුරුන් හෝ භාරගත යුතු බව මොරටුව විශ්වවිද්‍යාලයයේ ප්‍රවාහන සහ කාර්යය සාධන අධ්‍යයන අංශයේ විශ්‍රාමලත් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අමල් එස්. කුමාරගේ බීබීසී සිංහල සේවයට පැවසීය.
"මඟී ප්‍රවාහන බස් රථ තුළ දී ඒ හැසිරවීම හරි විදිහට තියාගෙන යන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙන්න ඕන."
"ඕනෑම රටක ප්‍රවාහන සේවාවන් සම්බන්ධව නියාමනය කරන්න එක් එක් ආයතන පත්කර තිබෙනවා. දැන් ලංකාවේ අන්තර් පළාත් බස් රථ වෙනුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වගේම පළාත් තුළ බස් ධාවනය වෙනුවෙන් ප්‍රවාහන අධිකාරිය වග කියන්න ඕන."
"ඉතිං මේ බස් රථ තුළ දී යම් මඟියෙක්ගේ පෞද්ගලික අවකාශයට යම් හිරිහැරයක් වෙනත් මඟියෙක් ගෙන් හෝ බස් රථයේ කාර්ය මණ්ඩලයේ කෙනෙක්ගෙන් වෙනවනම් ඒ ගැන පැමිණිලි කරන්න අයිතිය තියෙන්න ඕන."
"මේ වගෙයි මහජන සේවාවක් රටක තියෙන්න ඕන. නමුත් බොහෝ විට මඟියෙක්ට විශ්වාසයක් නැහැ ඒ කරන පැමිණිල්ල ගැන සුදුසු පියවරක් ගනියි කියලා. ඒකට හේතුව තමයි ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් තිබෙන ආයතන දුර්වල වෙලා තියෙන්නේ."
"ඒ නිසා විදේශ රටවල මඟී ප්‍රවාහනය වෙනුවෙන් පනවා තියෙන නීති හා රෙගුලාසි අධ්‍යයනය කරලා අපිත් ඒ තත්ත්වයට වර්ධනය වෙන්න විද්වතුන් හා සේවකයින් පිරිසක් අවශ්‍යයි ඒ ඒ ආයතන වෙනුවෙන්."
"මඟීන් පවා තේරුම් අරන් තියෙනවා දැන් පොදු ප්‍රවාහනය භාවිත කරන එකෙන් තේරුමක් නැහැ කියලා, විකල්ප ක්‍රමවලට යනවා."
"මේ නිසා වාහන ගේන්න, ඉන්ධන ගේන්න, පාරවල් සංවර්ධනය කරන්න ලොකු මුදලක් වියදම් කරන්න වෙලා තියෙනවා. ඒකට හේතුව නිසි ප්‍රමිතියක් නැති මඟී සේවාවක් රටේ තියෙන නිසා. මේක රටේ ආර්ථිකයට හා සමාජීය වශයෙන් ලොකු බලපෑමක් එල්ල වෙනවා."
"මේ ගැන හිතලා ඉක්මන් ක්‍රමවේදයක් ඇතිකරන්න හා ඒවාට සුදුසු පුද්ගලයින් පත්කරන්න ක්‍රියාකරන්න අවශ්‍ය යි," ඔහු කියා සිටියේ ය.