අද සිට ඔන්ලයින් මගින් දුම්රිය ආසන වෙන්කර ගන්නේ කොහොමද ?

අද (මාර්තු මස 14 වැනිදා) සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (මාර්තු මස 14) රාත්‍රී 7.00 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම කළ හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මගීන් ගේ පහසුව වෙනුවෙන් දුම්රිය ආසන කලින් වෙන්කිරීම සම්පුර්ණයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට පියවර ගත් බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මසකට පෙර තම දුම්රිය ගමන සඳහා කලින් ආසනයක් වෙන්කරවා ගැනීමට මගීන්ට අවකාශ ලැබෙනු ඇත.

දුම්රිය ආසන වෙන් කිරීමේ නව ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද ?

අද ( මාර්තු 14 වෙනිදා) සිට ක්‍රියාත්මක නව ක්‍රමවේදයට අනුව දුම්රිය ආසන වෙන් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් https://seatreservation.railway.gov.lk/mtktwebslr/ වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ බීබීසී සිංහල වෙත පැවසුවේය.

“මීට කලින් 100%ක්ම ඔන්ලයින් බුකින් කරන්න හැකියාව තිබුණේ නැහැ."

"දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේදී කොටසක් දුම්රිය ස්ථාන වලට ගිහිල්ලා බුක් කර ගන්න විදිහටත් අනිත් ප්‍රමාණය ඔන්ලයින් ක්‍රමවේදයට වෙන් කර ගන්න විදිහටයි අවස්ථාව ලබා දී තිබුණේ."

"නමුත් දැන් 100%ක්ම ඔන්ලයින් ක්‍රමවේදය විදිහට වගේම දුම්රිය ස්ථානවලට වුනත් ගිහිල්ලා ආසන වෙන් කර ගන්න හැකියාව ලබා දීලා තියෙනවා."

"ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තිබෙන ආසන වෙන් කරවා ගැනීම කියන එකෙන් වගේම ජංගම දුරකථන ඇප් එක ඔස්සේ ආසන වෙන් කරවා ගැනීම කරන්න පුළුවන්."ඔහු පැවසීය.

ජංගම දුරකථනය මගින් ආසන වෙන් කර ගැනීමට අවස්ථාව

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මොබිටෙල්, හච් සහ එයාර්ටෙල් ජංගම දුරකථන සේවා ඔස්සේ අංක 365 ඇමතීමෙන් සහ ඩයලොග් දුරකථන සේවා ඔස්සේ අංක 444 ඇමතීමෙන් ද, ටෙලිකොම් දුරකථන ඔස්සේ නම් අංක 1265ට ඇමතිමෙන් මගීන්ට දැන් ආසන වෙන් කරවා ගැනීමේ හැකියාව පවතින බව ය.

"ඉස්සර වගේ මගීන්ට දුම්රිය ස්ථානයට ඇවිල්ලා ටිකට් එකක් අර ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔවුන්ට මුදල් ගෙවීමෙන් පස්සේ ලැබෙන ටිකට් එකේ ෆොටෝ එකක් ලඟ තබා ගත්තානම් ඇති." දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ පැවසුවේය.

රාජ්‍ය සේවකයින්ටත් අවස්ථාවක්

රාජ්‍ය සේවකයින්ට හිමිවන නිදහස් බලපත්‍රය වෙන් කිරීමේ අවස්ථාව ද මාර්ගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ පැවසුවේය.

ඔන්ලයින් ආසන වෙන් කරවා ගැනීම නිසා සාමාන්‍ය මගීන්ට යම් අගතියක් සිදු වෙයිද?

දුම්රිය ආසන මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කරවා ගැනීමට ඉඩ ලබාදීම නිසා එක් පාර්ශවයකට අදාළ දුම්රිය ආසන සියල්ල එකවර වෙන්කරවා ගැනීමට හැකියාවක් තිබේද ? ඒ හරහා සාමාන්‍ය මගීන්ට යම් අගතියකට මුහුණ දීමට සිදුවේදැයි බීබීසී සිංහල විසින් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසන ලදී.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ පැවසුවේ එකවර දුම්රිය ආසන විශාල සංඛ්‍යාවක් වෙන්කරවා ගැනීමට කිසියම් අයෙකුට අවශ්‍ය නම් ඊට වෙනත් ක්‍රමවේදයක් පවතින බව ය.

" දැනට ඔන්ලයින් හරහා එක් අයෙකුට වෙන් කරවා ගන්න පුළුවන් උපරිම ආසන සංඛ්‍යාව 05ක් විතරයි. එතකොට එක් පුද්ගලයෙකුට එකවර සියලුම ආසන වෙන් කරවා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ."

"යම් සංචාරක නියෝජිත ආයතනයකට හෝ පුද්ගලයෙකුට දුම්රිය ආසන විශාල සංඛ්‍යාවක් වෙන් කරවා ගන්න අවශ්‍ය නම් ඔවුන්ට හැකියාව තියෙනවා ඉදිරි මාස 03ක කාලයේදී ඒ ආසන වෙන් කරවා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙලා." ඔහු පැවසුවේය.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ දෛනිකව ආසන වෙන් කරවා ගැනීමේ හැකියාව සහිත දුම්රිය ගමන් වාර 20ක් පමණ ක්‍රියාත්මක වන බවයි.