වැසි තත්ත්වය සමග ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා යළි හිස ඔසවන ලකුණු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පවතින වැසි තත්ත්වය සමග ඉදිරි දිනවල දී පැතිර යා හැකි ලෙඩ රෝග සම්බන්ධයෙන් මහජනතාව අවධානයෙන් පසුවිය යුතුබව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ඉදිරියේ දී වැසි තත්ත්වය වර්ධනය වීමත් සමග, බෝවෙන රෝග සහ වසංගත රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඩෙංගු රෝගයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකියි
පවතින වැසි තත්ත්වය සමග ඉදිරියේ දී ඩෙංගු වසංගත තත්ත්වයේ වර්ධනයවීමක් සිදුවිය හැකි බැවින්, ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුබව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි බීබීසි සිංහල වෙත පැවසුවා ය.
නිවෙස් අවට ඩෙංගු කීටයින් බෝවීමට වැඩි හැකියාවක් පවතින ස්ථාන සොයා, ඒවා පිරිසිදු කිරීමේ කටයුතු නිවැසියන් විසින්ම සිදුකිරීමට උනන්දුවීම වඩාත් වැදගත්බව ඇය පවසයි.
නිවෙස් තුළ ඇති මල් පෝච්චි, ශීතකරණවල ජලය රැදෙන ස්ථාන, විසිතුරු මසුන් ඇති කරන ටැංකි, ජල ටැංකි හා ඒවා වසා ඇති පියන් මෙන්ම වහලයේ වැහි පීලි ද ඩෙංගු කීටයින් වැඩි වශයෙන් බෝවීමේ ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බැවින්, සතියකට වරක් එම ස්ථාන පිරිසිදු කිරීම හා තමාගේ ගෙවත්ත පිරිසිදු කිරීම ඉතා වැදගත් බව ඇය මෙහිදී පෙන්වා දුන්නා ය.
ඩෙංගු මදුරුවන් දෂ්ඨ කිරීම සිදුවන්නේ බොහෝ විට උදෑසන සහ සවස් කාලයේ බැවින් කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ඉන් ආරක්ෂාකර ගැනීමට හැකි ක්‍රියාමාර්ග ගැනීම වැදගත්බව ද ප්‍රජා වෛද්‍ය විශේෂඥ පන්නිලහෙට්ටි ප්‍රකාශ කරයි.
මේ අතර යම් අයෙකුට උණ, මස් පිඬු වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු බව ද ඇය සඳහන් කළා ය.
2022 වසරේ දී මෙරටින් ඩෙංගු ආසාදිත මරණ 72ක් හා රෝගීන් 76,689ක් වාර්තා වී ඇති බව පැවසූ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය, මෙවසරේ මේ දක්වා (සැප් 03) ඩෙංගු මරණ 38ක් සහ රෝගීන් 62,183ක් වාර්තා වූබව පැවසුවා ය.
"මේ වසර අවසන් වීමට තව මාස හතරක කාලයක් තිබෙනවා. දැනටම රෝගීන් 62,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා. ඉදිරියේ දී ඊසානදිග මෝසම් වැසි තත්ත්වය සමග ඩෙංගු තත්ත්වය වර්ධනයක් වෙන්න හැකියාව තිබෙනවා. මේ නිසා ජනතාව තුළ ස්වයං විනය වගේම තම අවට පරිසරය පිළිබඳව ඇති අවධානය වැඩි වශයෙන් පවත්වාගෙන යාම ඉතා වැදගත්," ඇය ප්‍රකාශ කරයි.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය ගැන දැනුම්දීමක්
මේ අතර, පවතින වැසි තත්ත්වය සමග ඉන්ෆ්ලුවෙන්සා වෛරස උණ රෝග තත්ත්වය ද නැවත වරක් සමාජය තුළ ව්‍යාප්තවීමේ හැකියාවක් පවතිනබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.
"විශේෂයෙන් අප දකින දෙයක් තමයි වැසි තත්ත්වය සමග ඉන්ෆ්ලුවෙන්සා උණ රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ හැකියාව වැඩියි. මේ නිසා ජනතාව අධික ලෙස ගැවසෙන ස්ථානවලට යාමේ දී ඉන් ආරක්ෂාවෙන්න ජනතාව මතක තබාගන්න අවශ්‍ය යි. පාසල් යන තම දරුවන්ට උණ, සෙම්ප්‍රතිශ්‍යාව තිබේ නම් ඔවුන්ව පාසැල්වලට නොයවා සිටින්න දෙමව්පියන් වගබලා ගන්න අවශ්‍ය යි.
"එමෙන්ම වැසි තත්ත්වය සමග වැසිකිළි වලවල් උතුරා යෑම හෝ හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් තමන් පානීය ජල අවශ්‍යතාව සපුරාගන්නා ළිංවල ජලය උණුකර නිවා පානය කිරීමට කටයුතු කිරීම වැදගත්," නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ ය.
රටේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වය ගැන දැනුම්දීමක්
මේ වන විට දිවයිනේ නිරිතදිග කොටසට බලපානු ලබන වැසි තත්ත්වයේ වෙනසක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩි බීබීසි සිංහල සේවයට පැවසුවා ය.
පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් ඉදිරි දිනවල දී පෙන්නුම් කළ ද සැප්තැම්බර් 10 වැනිදාට පසු වැසි තත්ත්වය වර්ධනය විය හැකිබව ඇය ප්‍රකාශ කරයි.
විශේෂයෙන්ම කොළඹ, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මෙම වැසි තත්ත්වය බලපානු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.












