ජනාධිපති පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයේ වැදගත් කරුණු 12ක්

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණු ඩොලර් බිලියන 3 විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (මාර්තු 22 වැනිදා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළේය.

ඒ අදාළ ප්‍රකාශයට පෙර IMF එකඟතාවයට අදාළ ලියවිල්ල පාර්ලිමේන්තුවේ දී සභාගත කරමින්ය.

IMF මූල්‍ය පහසුකම ගැන අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 330ක මුදලක් ලැබී ඇති බවය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී මෙසේ ද සඳහන් කළේය

ජනාධිපති පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයේ වැදගත් කරුණු 12ක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණු ඩොලර් බිලියන 3 විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ (මාර්තු 22 වැනිදා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළේය.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගන්න අපට පුළුවන් වූ බව මේ ගරු සභාවට නිල වශයෙන් දන්වා සිටින්න මම කැමැතියි. රාජ්‍ය මුදල් පිළිබඳ සියලු බලතල ව්‍යවස්ථාව මගින් පවරා තියෙන්නෙ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා අද අයිඑම්එෆ් එකඟතා ලියවිල්ල සභාගත කරමින්, අපට ලැබුණු විස්තීරණ ණය පහසුකම පිළිබඳ පළමු නිල ප්‍රකාශය මේ පාර්ලිමේන්තුව හමුවේ කරන්නටයි මම දැන් සැරසෙන්නේ."

"මම පසුගිය ජූලි 09 වැනිදා බාරගත්තේ ගිනි ගත්තු රටක්. අවුලෙන් අවුලට පත් වෙලා තිබුණු රටක්. හෙට දවසක් ගැන අබමල් රේණුවක බලාපොරොත්තුවක් තිබුණෙ නැති රටක්. නිල වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශ කරපු රටක්. උද්ධමනය සියයට 73 ක් දක්වා ඉහළ ගිය රටක්. ඉන්ධන, ගෑස් පෝලිම්වල මිනිස්සු දවස් ගණන් දුක් විඳින රටක්. පාසල් වැහිච්ච රටක්. දවසකට පැය දහයක් දොළහක් විදුලිය කප්පාදු කරන රටක්".

"ගොවීන්ට වගා කරන්න පොහොර නොතිබුණු රටක්. නීතිය හා සාමය වල් වැදිච්ච රටක්. ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන ඒවායේ පිටස්තරයන් පදිංචිවෙලා හිටපු රටක්. මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කළ රටක්. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනිතියන රටක්. මහදවල් මහමඟ මිනිස්සු මරා දාපු රටක්."

"මෙහෙම පසුබිමක වගකීම් බාරගන්න කිසිවෙක් කැමති වුණේ නෑ. සමහරු පස්ස ගැහුවා. සමහරු කේන්දරේ බලන්න කල් ඉල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා . මගෙන් මේ ඉල්ලීම කළේ, ඒ කවුරුත් වගකීම භාර ගන්න ඉදිරිපත් වුණේ නැති අවස්ථාවකයි."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"මම කිසිම කොන්දේසියකින් තොරව අභියෝගය බාර ගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නෑ. මට මගේ කියා මන්ත්‍රීවරු හිටියේ නෑ. හැබැයි මේ කිසිවක් නැතත්, මට තිබුණෙ එකම එක ශක්තියයි. ඒ, මම ඉපදුණ, මම හැදුන වැඩුණ, මම අධ්‍යාපනය ලබපු මගේ ආදරණීය රට යළි ගොඩ ගන්න මට පුළුවන් කියන විශ්වාසය විතරයි. ඒ විශ්වාසය තහවුරු කරන්න අතීත අත්දැකීම් ගණනාවකුත් මට තිබුණා."

"වසර 2001 වෙද්දී රටේ ආර්ථික ඍණ වර්ධනයකට කඩා වැටුණා . නමුත් පාලනය බාර අරන් වසර 2 කට අඩු කාලයක් තුළ රටේ ආර්ථිකය හරි මඟට ගන්න මට පුළුවන් වුණා. ඒ විතරක් නොවෙයි, ටෝකියෝ ආධාර සමුළුව මගින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආධාර දිනා ගැනීමට මට පුළුවන් වුණා."

"අවාසනාවකට ඊට පස්සේ පාලනය භාර ගත්ත අය ඒ මුදල නිසි ආකාරයෙන් පාවිච්චියට ගත්තෙ නෑ. 2015 දී මම ආර්ථිකය භාර ගනිද්දි තිබුණෙ දුර්වල තත්ත්වයක. නමුත් 2018 වන විට අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් ලබා ගන්නට අපට හැකි වුණා. විවිධ සහන දෙන ගමන් වැටුප් 106% කින් පමණ වැඩි කරන්නටත් අප ක්‍රියා කළා."

"මේ බරපතළ අභියෝගය බාර ගනිද්දී මා සතුව තිබුණේ ඒ අතීත අත්දැකීම් ඔස්සේ ඇතිකරගත් විශ්වාසය පමණයි. මම වැටුණත්, රට වට්ටන්නෙ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය බාරගත්තා."

TOPSHOT-SRI LANKA-ECONOMIC-IMF

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, IMF ණය පහසුකම ලැබීම ඇතැම් ප්‍රදේශවල ජනතාව සැමරූ ආකාරය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ, "අයිඑම්එෆ් එකඟතාව ලැබීමත් සමඟ තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩ නංවන්නට අපට මාවතක් විවෘත වී තියෙනවා. අපේ මාතෘ භූමිය යළිත් ඔසවා තබන්නට අවකාශ උදා වී තියෙනවා."

"මේ ණය පහසුකම යටතේ වසර 4ක කාලයක් තුළ අපට අමරිකානු ඩොලර් බිලියන තුනක පමණ ආධාරයක් හිමිවෙනවා. අමරිකානු ඩොලර් මිලියන 330 ක ප්‍රමාණයක් එහි පළමු වාරිකය වශයෙන් දැන් අපට ලැබී තියෙනවා. ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාර අප බලාපොරොත්තු වෙනවා."

"අයිඑම්එෆ් විස්තීරණ ණය පහසුකම කියන්නේ ගිනි පොලියට ගන්නා තවත් ණයක් විතරයි කියලා අර්ථ දක්වන අයත් ඉන්නවා. මේ ලැබෙන මුදලින් මුළු රටේ ණය බර ගෙවා ඉවර කරන්න බෑ කියමින් ඝෝෂා කරන අයත් ඉන්නවා.එවැනි ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ එක්කෝ ඒ අයගේ නොදැනුවත්කම. නැත්නම් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා බොරුවෙන් මේ රටේ අහිංසක ජනතාව රැවටීමට ගන්නා උත්සාහයයි."

"අයිඑම්එෆ් විස්තීරණ ණය කියන්නෙ වැටුණු රටක් යළි යථා තත්ත්වයට පත් කර ගැනීම සදහා දෙන පහසුකමක්. ඒ සඳහා සකස් කර දෙන වේදිකාවක්. මේ පහසුකම ලබා දීමත් සමඟ අපට ජාත්‍යන්තරයේ යළිත් පිළිගැනීමක් ලැබෙනවා. ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවන බවට සහතිකයක් ලැබෙනවා. අපේ දේශීය බැංකු යළිත් ලෝකය පිළිගන්නා මට්ටමට පත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ණයවර ලිපි වලට ගරු කරනවා. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉතා අඩු පොලියට ණය ආධාර ලබා ගැනීමට පසුබිමක් සැකසෙනවා. විදේශ ආයෝජකයන් යළිත් ලංකාව ගැන විශ්වාසය තබනවා. ජාත්‍යන්තරයේ පුළුල් අවස්ථා ගණනාවකට අපට දොරගුළු හැරෙනවා. ශක්තිමත් නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ පදනම සකස් වෙනවා".

"ඒ විතරක් නෙවෙයි, මේ එකඟත්වය නිසා අපේ රටේ මූල්‍ය විනය නීති ගත වෙනවා. දූෂණ වංචා වැළැක්වීමේ දැඩි නීති රීති අලුතෙන් හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ මෙතෙක් නොතිබූ නව මූල්‍ය සංස්කෘතියක් හා දූෂණයෙන් තොර පරිසරයක් මෙමගින් නිර්මාණය වෙනවා."

"අයිඑම්එෆ් සංවිධානය අපේ රට පිළිබඳව තීන්දුව ගැනීමට පෙර රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්නට සමහරු උත්සාහ ගත්තා. නොනවතින වර්ජන රැල්ලක් ඇති කරන්න, ආර්ථිකය කඩා බිඳ දමන්න, රට අරාජික කරන්න සැලසුම් කළා. ඔවුන් බලාපොරොත්තු වුණේ කඩාකප්පල්කාරී ක්‍රියා මගින් අයිඑම්එෆ් සහයෝගය ලබාගැනීම වළක්වන්නයි. සමහර දේශපාලන කණ්ඩායම්, සමහර වෘත්තීය සමිති, සමහර ජනමාධ්‍ය මේ වැඩේට සෑහෙන්න මහන්සි වුණා. රට අස්ථාවර නිසා අයිඑම්එෆ් සහයෝගය ලැබෙන්නේ නෑ කිව්වා."

"පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැති නිසා අයිඑම්එෆ් සහයෝගය ලැබෙන්නෙ නෑ කිව්වා. මෙවැනි නොයෙකුත් බොරු ප්‍රචාර කරමින් රටේ ජනතාව පාරට බස්සන්න දඟ දැම්මා."

"නමුත් රටේ බහුතර ජනතාව මේ කඩාකප්පල්කාරී වැඩවලට සහාය දැක්වූයේ නෑ. රටේ ඉදිරිගමන එක් එක් දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් කඩාකප්පල් කරන්න බහුතර ජනතාව කැමැති වුණේ නෑ. ඔවුන් රට වෙනුවෙන් වගකීමක් ඇතිව ක්‍රියා කළා."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

“මේ මල්වටියට අපි හැමෝම අතගසමු”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ රට ගොඩනැගීමේ තම වැඩ පිළිවෙලට සහය දෙන ලෙස විපක්ෂයෙන් අවස්ථා කිහිපයකදීම සහය ඉල්ලා සිටියත් සහයෝගයක් නොලැබුණු බවය. එහිදී විපක්ෂය විවිධ චෝදනා එල්ල කළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

"මම මුලින්ම අගමැතිවරයා ලෙස පත් වූ අවස්ථාවේ රටේ ආර්ථිකය යළි ගොඩ නැංවීමේ ව්‍යායාමයට විපක්‍ෂයේ සහාය ඉල්ලා සිටියා. නමුත් මට ඒ සහාය ලැබුණේ නෑ. ඉන් පසුව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහාය ඉල්ලා සිටියා. නමුත් දුන්නේ නෑ. අයවැය විවාදය අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහාය ඉල්ලා සිටියා. සහාය ලබා දුන්නේ නෑ. වර්තමාන පාර්ලිමේන්තුසැසිවාරය විවෘත කරන අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහාය ඉල්ලා සිටියා. ඒත් මට කිසිදු සහයෝගයක් ලබා දුන්නේ නෑ."

"ඒ ඒ අවස්ථාවල විවිධ හේතු කියමින් ඔවුන් සහාය ලබා දීම ප්‍රතික්‍ෂේප කළා. මගේ පත්වීම ව්‍යවස්ථාවට විරුද්ධයි කිව්වා. ජාතික ලැයිස්තුවෙන් අගමැතිවරු පත් කරන්න බෑ කිව්වා."

"මගේ අරමුණ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම නෙවෙයි, රාජපක්‍ෂලා බේරා ගැනීම කියලා කිව්වා. අසීරු වැල් පාලමෙන් මම එගොඩ කරන්නේ ශ්‍රී ලංකා මාතාව නෙවෙයි, නාමල් රාප්පක්‍ෂ කියලා කිව්වා".

"නමුත් ශ්‍රී ලංකා මාතාව අර්ථික වැල් පාලමෙන් එගොඩ කරන්නට මම ක්‍රියා කළ බව දැන් ජාත්‍යන්තරයම පිළිගෙන තියෙනවා. විපක්ෂයේ චෝදනා සත්‍ය නොවන බව දැන් සනාථ වෙලා තියෙනවා."

"විපක්ෂයේ චෝදනා වලට මම උත්තර දෙන්න යන්නේ නෑ අතීතය විවේචනය කිරීම මගේ කාර්යය නෙවෙයි. මගේ කාර්යය අනාගතය ගොඩ නැංවීමයි. අතීත වැරදි යළි සිදු නොවන අන්දමට නීති රීති සහ පසුබිම සකසමින් අනාගතය ගොඩ නැංවීමට මම වෙහෙසෙනවා. කැපවෙනවා. ක්‍රියා කරනවා."

"අදත් මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් මේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට එක් වෙන්න කියායි. මම ඔබතුමන්ලා සමඟ වාද කරන්න ගියේ නැහැ.මම ගැන කි දේවල් ගැන පිළිතුරු දෙන්න ගියෙත් නැහැ. ඒ මට විපක්ෂයේ සහයෝගය වුවමනා නිසා. ඔබේ දේශපාලන මති මතාන්තර පැත්තකින් තියන්න. තමන්ගේ බලය ගැන හිතන්න කලින් රට බලවත් කිරීම ගැන හිතන්න. අනෙක් දේශපාලන මතිමතාන්තර වලදී සාම්ප්‍රදායික ලෙස කටයුතු කරන්න. ඒත් රටේ ආර්ථිකය නංවාලීමේ ව්‍යායාමයේදී සම්මත දේශපාලන රාමුවෙන් එළියට එන්න. ආර්ථිකය නංවාලීමේ මේ වෑයමට සහය වෙන්න. අනිත් හැම කරුණකදීම අපට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් මේ කාරණයේ දී අපි සියලුදෙනා එකතුවෙලා වැඩ කළයුතුයි."

"මම නැවතත් ඒ ඉල්ලීම කරනවා. රටේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා අයිඑම්එෆ් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට කරුණාකර ඔබේ සහය දැන්වත් ලබා දෙන්න. මේ මල්වට්ටියට අපි හැමෝම අතගසමු."