නරේන්ද්‍ර මෝදි: ඉන්දීය අගමැතිගේ මතභේදාත්මක දේශපාලනය සහ බලයට පැමිණීම

Prime Minister Narendra Modi dominates India's political landscape - illustration of Modi doing various things, February 2024, New Delhi
ඡායාරූප ශීර්ෂ වැකිය, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ දේශපාලන භූමියේ ආධිපත්‍යය දරනු ලබයි

මෙම වසරේ රටවල් 60කට අධික ගණනක් මැතිවරණ පවත්වයි. මේ වන විටත් බංග්ලාදේශය, තායිවානය සහ පකිස්ථානය යන රටවල ඡන්ද විමසීම් පවත්වා ඇති අතර එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වසර අගදී ඡන්ද විමසීම් පැවැත්වීමට සූදානම් වෙමින් සිටී. එහෙත්, වසන්ත ඍතුවේ පැවැත්වෙන ඉන්දීය ජාතික මැතිවරණය ඒ සියල්ලෙන් විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්ත ලෙස කැපී පෙනෙන්නේ ඊට බිලියනයක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන බැවිනි.

වසර 10කට ආසන්න කාලයක් බලයේ සිටි ඇති අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ දේශපාලනයේ ආධිපත්‍යය දරයි. රජයේ වෙබ් අඩවිවල, ගුවන් විදුලියේ, රූපවාහිනියේ, දැන්වීම් පුවරු සහ දුම්රිය ස්ථානවල ඇති ඡායාරූප කුටිවල පවා අනෙකුත් දේශපාලකයන්ට කුඩා ඉඩක් පමණක් ඉතිරි කරමින් ඔහු සෑම තැනක ම පාහේ සිටී.

73 හැවිරිදි ඔහු පාලක භාරතීය ජනතා පක්ෂයේ තරුව වන අතර පක්ෂයේ බලවත් ම මැතිවරණ වත්කම ද වේ. ඔහු යූටියුබ්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ එක්ස්, මීට පෙර ට්විටර්හි වැඩි ම අනුගාමිකයින් පිරිසක් සිටින ලෝක නායකයින්ගෙන් කෙනෙකි. බිලියන 1.4ක ජනගහනයක් සිටින රටක සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට කළ හැකි බලපෑම සිය ප්‍රතිවාදීන්ගේ ඊර්ෂ්‍යාවට හේතු වී තිබේ.

ඉන්දියාවේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තිබුණ ද, මෝදිගේ පුද්ගලාරෝපිත ප්‍රචාරක විලාසයේ එක්සත් ජනපද ජනාධිපතිවරණ ව්‍යාපාරයන්හි ඇති ආකර්ෂණීය සහ උද්යෝගිමත් ස්වභාවය දක්නට ඇත. සිය හින්දු ජාතිකවාදය නිසා නිර්මාණය වුණු බෙදීම් තිබුණ ද 2014 සහ 2019 මැතිවරණවලදී භාරතීය ජනතා පක්ෂය විශාල ජයග්‍රහණ කරා ගෙන ගිය ඔහු තුන්වන වරටත් ජයග්‍රහණය කරනු ඇතැයි පුළුල් ලෙස අපේක්ෂා කෙරේ.

මෝදිගේ දේශපාලන ජීවිතය: "දක්ෂ සන්නිවේදකයෙක්"

A police officer rides an electric scooter past a poster of Indian Prime Minister Narendra Modi in Ahmedabad, January 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නරේන්ද්‍ර මෝදිගේ පෝස්ටර් ඉන්දියාවේ සුලභ දසුනකි

මෝදිගේ ආධාරකරුවන් ඔහුව දකින්නේ විශිෂ්ට සන්නිවේදකයෙකු ලෙස සහ ආකර්ෂණීය කථිකයෙකු ලෙස ය. සන්නිවේදනය සඳහා ප්‍රබල මෙවලමක් ලෙස කතා භාවිත කරමින් ජනතාව සමග සම්බන්ධ වීමට ඔහු සතුව බලගතු මෙවලමක් තිබේ.

ඔහුගේ දේශපාලන විරුද්ධවාදීහු පවා ඔහුගේ දක්ෂතාව පිළිගනිති. විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ නායක ශෂී තරූර් එහි සාමාජිකයින්ගේ උදහසට පාත්‍ර වූයේ, "අපි හැමෝට ම පේනවා, දක්ෂ සන්නිවේදකයෙක් තමයි වැඩේ ඉන්නේ කියලා. ඒක ගැන කිසි ම ප්‍රශ්නයක් නෑ" සහ "අග්‍රාමාත්‍යවරයා "ඵලදායී ලෙස කතා ඉදිරිපත් කිරීමේදී, සටන් පාඨ ගෙනහැර දැක්වීමේදී, කෙටි ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී, ඡායාරූප සඳහා පෙනී සිටීමේදී අසමසම" බව පිළිගත් අවස්ථාවේදී ය.

කෙසේ වෙතත්, සන්නාම ගොඩනැගීමේ විශේෂඥයෙකු වන සන්තෝෂ් දේසායි පවසන පරිදි, මෝදිගේ ප්‍රවීණත්වයේ සැලකිය යුතු කොටසක් වන්නේ, තමන් විශිෂ්ට යැයි විදහා පෑමට සහ ස්වයං ප්‍රවර්ධනය සඳහා භාවිත කළ යුතු වැදගත් අවස්ථා මොනවා ද යන්න දැන ගැනීමට ඔහුට ඇති දක්ෂතාව යි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දිල්ලි නුවර පැවති G20 සමුළුව ඔහු ගෙන හැර දක්වයි: "සාමාජික රටකට සමුළුවේ සත්කාරකත්වය ලැබෙන්නේ හුවමාරු ක්‍රමයක් යටතේ. එහි සත්කාරකත්වය ලැබීම කිසිසේත් ම ජයග්‍රහණයක් නෙවෙයි. ඉන්දියාවට පෙර ඉන්දුනීසියාව සත්කාරකත්වය දරුවා. ඊළඟට එන්නේ බ්‍රසීලයේ වාරය," ඔහු පවසයි.

Prime Minister Modi greeting US President Joe Biden at the G20 summit in Delhi 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ දිල්ලි නුවර පැවති G20 සමුළුවේදී අග්‍රාමාත්‍ය මෝදි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ට සුබ පතමින්

එහෙත්, රටේ නායකයා කවුරුන් වුව ත් එහි සත්කාරකත්වය ඉන්දියාවට හිමි වීම යන කරුණ නොතකා, මෝදි රජය G20 සමුළුවේ සත්කාරකත්වය දැරීමට ලැබීම අගමැතිවරයාගේ පෞද්ගලික සාර්ථකත්වයක් ලෙස හුවා දැක්වූ බව ඔහු පවසයි.

"මෝදි ඒක ඉතා විශාල උත්වසයක් බවට පත් කළා. අවස්ථාව කුමක් ද කියන එක සහ එය භාවිත කළ යුතු ආකාරය ගැන ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා."

මෝදිගේ සන්නිවේදන කුසලතා හුදු කථිකත්වයෙන් ඔබ්බට විහිදෙන බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති. හැඟීම් ප්‍රකාශ කිරීමට ඔහුට ඇති හැකියාවට ප්‍රසිද්ධියේ කඳුළු සැලීම ඇතුළුව පමණ ඉක්මවා ප්‍රදර්ශනය කරන පිරිමි ප්‍රතිරූපයට හානියක් නොවන පරිදි තමන් සිය ආධාරකරුවන්ගේ දෑස් තුළ මානුෂීකරණය කිරීම ද ඇතුළත් වේ.

තව ද, ඔහුගේ ඇඳුම් පැළඳුම් තේරීම අතින් ගත් කල ඒවා සුඛෝපභෝගී ආයිත්තම්වලින් සැරසූ නූතන ඇඳුම්වල සිට සාම්ප්‍රදායික ඉන්දියානු ඇඳුම් දක්වා විහිදේ. ඒවා අතරට සමාජයේ විවිධ කොටස්වලට ගැළපෙන දෘශ්‍ය ඉඟි ලෙස කටයුතු කරන ප්‍රාදේශීය ඇඳුම් සහ කුංකුම පැහැති ලෝගු අන්තර්ගත වේ.

Indian Prime Minister Narendra Modi addresses a BJP rally dressed in traditional Khasi tribe attire and Garo tribe headgear, Shillong, December 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නරේන්ද්‍ර මෝඩි 2017 දෙසැම්බරයේ ෂිලොං හි සම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසී BJP රැලියක් අමතන අයුරු

මේ කිසිවක් අහම්බයක් නොවන බව දීර්ඝ කාලයක් පුරා මෝදිගේ දේශපාලන ගමන පිළිබඳව වාර්තා කළ ගුජරාටයේ වාර්තාකරු දර්ශන් දේසායි පවසයි. ඔහු මෝදිගේ උපායමාර්ගික දුරදක්නා නුවණ සහ සූක්ෂම සැලසුම්කරණය පිළිබඳව අවධාරණය කරයි: "නරේන්ද්‍ර මෝදි ඉතා දුර බලල හිතන කෙනෙක්," ඔහු පවසයි. "රටේ අගමැති වීමේ ගමන බොහෝ කලකට පෙර ඔහු ලියන්න ඇති කියන එක මම දන්නවා."

නරේන්ද්‍ර මෝදි මතභේදාත්මක වන්නේ ඇයි?

මෙම සැලසුම් සහ සන්නිවේදන කුසලතා මතභේද කළමනාකරණය කර ගැනීමට මෝදිට උපකාර වූ අතර ඇතැම් විට ඒවා අන්‍යයන් අතරමග නතර කළා විය හැකි ය.

2002 වසරේදී ඔහු ගුජරාට්හි ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී එහි ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඒ අතරින් වැදගත් සිදුවීමකි.

ගෝද්‍රාහි හින්දු බැතිමතුන් පිරිසක් රැගත් දුම්රියක් ගිනි තැබීමෙන් අනතුරුව, ගුජරාට් ප්‍රාන්තය පුරා මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇවිලී ගිය අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, විශේෂයෙන් ම මුස්ලිම් ප්‍රජාව අතර පුළුල් ජීවිත හානියක් සිදු විය.

ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට මෝදිගේ ප්‍රාන්ත රජය අපොහොසත් වූ බවට විචාරකයෝ චෝදනා කළහ. කිසිදු ආකාරයක වැරදිසහගත සිදුවීමක් වූ බවට ප්‍රතික්ෂේප කරමින් තමන් එම තත්ත්වයේදී හැසිරුණු ආකාරය මෝදි ආරක්ෂා කරමින් සිටි අතරතුර මෙම සිද්ධිය ඔහුගේ කීර්ති නාමයට කැළලක් ඇති කරමින් දැඩි ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නිරීක්ෂණයකට ලක්වීමට තුඩු දුන්නේ ය.

Former Indian Prime Minister AB Vajpayee wanted to sack Narendra Modi's government following the Gujarat violence in 2002

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2002 ගුජරාට් ප්‍රචණ්ඩත්වයෙන් පසු නරේන්ද්‍ර මෝදි නෙරපා හැරීමට හිටපු ඉන්දීය අගමැති ඒබී වජ්පායිට අවශ්‍ය විය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෝදිගේ විවේචකයින් පවසන්නේ, බොහෝ විට බෙදීම් ඇති කරන ඔහුගේ ප්‍රතිපත්ති සහ ආකර්ෂණීය ලෙස වචන හැසිරවීම ඔස්සේ හින්දු හිතවාදී න්‍යාය පත්‍රයක් පිළිබිඹු කරන බව ත් එය ඉන්දියාවේ හින්දු බහුතරය ඉලක්ක කර හින්දු ජාතිකවාදී කණ්ඩායම්වල සහයෝගය තහවුරු කරන බව ත් ය.

ඔහුගේ බොහෝ අනුගාමිකයින් ඔහුව "හින්දු හ්රිදෙයි සම්රාට්" හෝ "හින්දු හදවත්වල අධිරාජ්‍යයා" ලෙස හඳුන්වන්නේ හින්දු සාරධර්ම කෙරෙහි ඔහු දක්වන කැපවීම වෙනුවෙන් ඔවුන්ගේ ගැඹුරු ආදරය සහ ප්‍රශංසාව පෙන්වීම සඳහා ය.

මෝදිගේ මුදල් අමාත්‍යවරිය සමග විවාහ වී සිටින කතුවරයෙකු වන පරකල ප්‍රභාකර් පවසන්නේ, මෝදි විසින් භාරතීය ජනතා පක්ෂය ලෞකික බවින් ඈත් කර ඇති බව ය. ඔහුගේ The Crooked Timber of New India කෘතියේ ඔහු මෙසේ ලියයි: "හින්දු බහුතරවාදය පිළිබඳ අදහස ඉන්දියාව බෙදීමෙන් පසුව ඇති වූවාට වඩා අද පිළිගැනීමට ලක්ව තිබීම ප්‍රහේලිකාවක්."

"වර්තමාන පාලනය තම දේශපාලන සුජාතකත්වය සහ බලය ලබා ගන්නේ සහ අලුත් කර ගන්නේ කාර්ය සාධනයෙන් නොව හින්දු නොවන අනන්‍යතා වෙන් කිරීමේ ක්‍රියාවලිය හරහා හින්දු අනන්‍යතාව ප්‍රවර්ධනය කරමිනි."

එහෙත් බිලියන 1.4ක් වන ඉන්දියානුවන්ගේ නායකයා තමන් බව ද මෝදි ජනතාවට සිහිපත් කර තිබේ.

2016 වසරේදී ආන්දෝලනාත්මක පියවරක් ලෙස, ඔහුගේ අගමැති ධූර කාලයේ පළමු වාරය තුළ, ඔහු එක වර ම ප්‍රකාශ කළේ, ඉහළ වටිනාකමක් ඇති මුදල් නෝට්ටු තවදුරටත් වලංගු නොවන බව ය. එහි අරමුණ වූයේ දූෂණය, කළු කඩ වෙළෙඳාම සහ ව්‍යාජ මුදල්වලට එරෙහිව සටන් කිරීම ය.

නමුත් මෙම පියවර බැංකුවල දිගු පෝලිම් ඇති වීමට සහ ව්‍යාපාරවලට මෙන් ම අවිධිමත් ආර්ථිකයට පහර එල්ල කළ මුදල් හිඟයත් සමඟ පුළුල් ව්‍යාකූලත්වයක් ඇති කිරීමට හේතු විය. විවේචකයින් තර්ක කළේ, ඔහු තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වූ බව ත් සාමාන්‍ය පුරවැසියන්ට, විශේෂයෙන් ග්‍රාමීය සහ මුදල් මත යැපෙන ප්‍රදේශවල අයට සැලකිය යුතු දුෂ්කරතා ඇති කළ බව ත් ය.

මෝදි ඉන්දියාවේ ප්‍රතිරූපය වෙනස් කර ඇත්තේ කෙසේ ද?

A Madame Tussauds artist puts the finishing touches on a wax figure of Narendra Modi as it joins figures of other world leaders in London, 2016.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2016 දී ලන්ඩනයේ Madame Tussauds හි ලෝක නායකයින්ගේ එකතුවට නරේන්ද්‍ර මෝදිගේ ඉටි රූපයක් එකතු කරන ලදී.

ගුජරාට් කෝලාහලයෙන් පසු මෝදිට එක්සත් ජනපදයට යාමට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කෙරුණු නමුත් ඉන් දශක දෙකකට පසුව, එනම් පසුගිය වසරේ ජූනි මාසයේදී, රාජ්‍ය සංචාරයක් අතරතුර ධවල මන්දිරයේදී ඔහුට උපහාර දැක්වීය.

කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසියකදී ඔහුගේ කතාව අතරතුර නැගුණු මහා ප්‍රීති ඝෝෂා ප්‍රතිරාවයන් සමගින් මෝදි ඕවල් කාර්යාලයේදී ලද වැළඳගැනීම් සහ ශුභාශිංශනවලින් පිනා ගියේ ය.

ඔහුගේ ආධාරකරුවන් එය දුටුවේ ගෝලීය කටයුතු කෙරෙහි බලපෑම් කළ හැකි ප්‍රමුඛ ගෝලීය නායකයෙකු ලෙස ඔහු මතුවීම පිළිබිඹු කිරීමක් ලෙස ය. ඉන්දීය මාධ්‍ය ඉන් ඉතා ක්‍රියාකාරී වෙමින් මෝදිගේ සෑම සිදුවීමක් ම පාහේ ආවරණය කළේ ය.

එක්සත් ජනපදයේදී ලද පිළිගැනීම ඔහුට පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස දැනෙන්නට ඇති අතර ඔහු එය භාවිත කළේ පිටස්තරයෙකු බවට පත්වීමට වඩා බටහිරින් ඔහු දැන් පුළුල් ලෙස ගෞරවයට පත් වී ඇති බව පණිවිඩය ලබා දීමට ය.

Narendra Modi waves before addressing a joint meeting of Congress at the US Capitol in Washington DC, on June 22, 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය ජුනි මාසයේදී එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී අගනුවර පැවති කොංග්‍රසයේ ඒකාබද්ධ රැස්වීමක් ඇමතීමට පෙර නරේන්ද්‍ර මෝදි

එහෙත් ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ ඉන්දීය අධ්‍යයන ආයතනයේ දකුණු ආසියානු අධ්‍යයන කටයුතු පිළිබඳ විද්වතෙකු සහ "Modi's India - Hindu Nationalism and the Rise of Ethnic Democracy" ග්‍රන්ථයේ කර්තෘ මහාචාර්ය ක්‍රිස්ටෝෆ් ජැෆ්‍රලෝ පවසන්නේ, එය එතරම් සරල දෙයක් නොවන බව ය.

"එය ජූලි මාසයේදී නරේන්ද්‍ර මෝදි ප්‍රංශයට පැමිණි අවස්ථාවේ ඔහුට සැමගේ එකතුවෙන් ලැබුණු සහයෝගය වගේ නොවේ," ඔහු පවසයි.

"ඒ අතර ම යුරෝපීය පාර්ලිමේන්තුව මනිපූර්හි [මාරාන්තික වාර්ගික ගැටුම් අත්විඳින ඉන්දීය ප්‍රාන්තයක්] ප්‍රචණ්ඩත්වය පිළිබඳ යෝජනාවක් සම්මත කළා. එය මනිපූර් සහ වෙනත් තැන්වල ඉන්දියාවේ සහ ඉන්දීය රජයේ ආකල්පය හෙළා දකිමින් ඉතා දැඩි වාග්මාලාවකින් යුක්ත යෝජනාවක්."

"ඔහුට ලැබෙන සහයෝගය පෞද්ගලික දෙයක් නෙවෙයි. බටහිර රටවල් දරුණු විදිහට ලෙස චීනයේ බලය තුලනය ක‍ර ගන්න රටක් සොයමින් ඉන්නේ," ඔහු තවදුරටත් පවසයි.

‘මෝදි’ නමැති සන්නාමය

Supporters of PM Modi during state assembly elections on 3 December, 2023
ඡායාරූප ශීර්ෂ වැකිය, මෑත ප්‍රාන්ත සභා මැතිවරණ අතරතුර අගමැති මෝදිගේ ආධාරකරුවන්

නමුත් ඉන්දියාවේදී ලැබෙන සහයෝගය පෞද්ගලික බව පෙනේ. බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෝදි ඉතා විශාල සන්නාමයක් වී ඇති අතර ඔහු තම පක්ෂයට වඩා විශාල බව ය.

"ඔබ මෝදිව ඉවත් කළහොත්, භාරතීය ජනතා පක්ෂය කියන්නේ නිකම් දෙයක් විතරයි," මාධ්‍යවේදී දර්ශන් දේසායි පවසයි. "බීජේපීයේ ප්‍රතිපත්තිය කියන්නේ ඔහුගේ ප්‍රතිපත්තිය. ඔහුට පක්ෂය අවශ්‍ය ප්‍රමාණයට වඩා පක්ෂයට ඔහුව අවශ්‍යයි."

සන්නාම පිළිබඳ විශේෂඥයෙකු වන සන්තෝෂ් දේසායි විශ්වාස කරන්නේ, මෝදි තමන්ව අන් සියල්ලන්ට වඩා ඉහළින් දැකිය හැකි ජීවිතයට වඩා විශාල චරිතයක් ලෙස ස්ථානගත කර ඇති බව ය.

"කැබිනට් රැස්වීම්වලට වාඩි වෙද්දි පවා ඔහු වාඩි වෙන්නේ වෙන ම. තමන් නායකයා කියලත් අනිත් අය අනුගාමිකයෝ කියලත් ඔහුට පැහැදිලියි," ඔහු පැහැදිලි කරයි.

"මම නායකයා, මම ඔබට වඩා වෙනස්, ඔබට වඩා මට තේරෙනවා" යනුවෙන් යම් ආකාරයක හැඟීමක් තියෙනවා.

මෙම ප්‍රතිරූපය ප්‍රදර්ශනය කිරීමට සහ ඔහුගේ අනුගාමිකයින් වෙත ඔහුගේ සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා මෝදි සමාජ මාධ්‍ය භාවිත කරන ආකාරය එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජොයෝජීත් පල් විසින් ගැඹුරින් අධ්‍යයනය කරනු ලැබ ඇත.

මහාචාර්ය පල් 2009 සහ 2015 අතර මෝදිගේ ට්විටර් පණිවිඩ 6,000ක් විශ්ලේෂණය කර ඇත.

"මෝදිගේ සන්නාම ගොඩනැගීමේ ව්‍යාපෘති ඔහු හැම දෙයක් ම කරන්න පුළුවන් කෙනෙක් විදිහට පෙන්නන්නේ. ඔහුට 'මන් කී බාත්' [මසකට වරට ගුවන් විදුලිය හරහා ජාතිය අමතා සිදු කරන වැඩසටහන] ගැන කතා කළ හැකි ය, ඔහුට යෝගා කිරීමට හැකි ය, ඔහුට දේශපාලනය ගැන කතා කළ හැකි ය, ඔහුට විභාගවලට මුහුණ දෙන සිසුන් සඳහා වන ගුරුවරයෙකු ලෙස කටයුතු කළ හැකි ය. සෑම දෙයක ම මහමොළකරු ඔහු ය. ඉතින් අද රට ඉදිරියට යනවා නම්, දියුණු වෙනවා නම් ඒකට දායක වෙලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, ඒ මෝදි විතරයි."

Narendra Modi, when he was Gujarat state chief minister, enlisted Bollywood star Amitabh Bachchan to promote himself and his state

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නරේන්ද්‍ර මෝදි ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයාව සිටියදී, තමා සහ ඔහුගේ ප්‍රාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහු බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් යොදා ගත්තේය.

මෝදි සහ මාධ්‍ය

ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ලෙස කටයුතු කළ කාලයේ සිට මෝදි නැවත නැවතත් මුහුණ දුන් එක් විවේචනයක් නම් ඔහු මාධ්‍යයට සලකන ආකාරය සහ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට කලාතුරකින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම ය.

"ගුජරාටයේ ප්‍රවෘත්ති සාකච්ඡා තියෙනවා අඩුයි, සමහර විට වසරකට වරක් හෝ දෙවතාවක්," වාර්තාකරු දර්ශන් දේසායි පැහැදිලි කරයි. “ඔහු මාධ්‍ය භාවිත කළා වගේ ම ඒවා අවභාවිත කළා. අවශ්‍ය නම් ඒවායින් අනවශ්‍ය ප්‍රයෝජන පවා ගත්තා."

"අදටත් ඔහු මාධ්‍ය කළමනාකරණය කරන්නේ දක්ෂ ලෙස යි. මම මේක කියන්නේ කිසි ම ඍණාත්මක අර්ථයකින් නෙවෙයි. මාධ්‍ය වැඩ කරන්නේ ඒවාට අනුකූලව. ඔවුන් කරන්න ඔහුට අවශ්‍ය දේ. මාධ්‍ය කොන් වෙමින් තියෙන්නේ. මේ අපට දැනෙන විදිහ."

විවේචකයින් තර්ක කරන්නේ, මෝදි බලයට පත්වීමත් සමග ඉන්දියාවේ මාධ්‍ය නිදහස බරපතළ තර්ජනයකට ලක්ව ඇති බවත්, මාධ්‍යවේදීන් ඉන්ටර්නෙට්හි වාග් ප්‍රහාරවලට ලක් වීම, හිරිහැර කිරීම සහ මාධ්‍යවේදීන් ලෙස තම කාර්යභාරය ඉටු කිරීම නිසා අත්අඩංගුවට ගැනීම් පවා සිදු කර ඇති බව ය.

ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ඉන්දියාවේ ශ්‍රේණිගත කිරීම් මෑත වසරවලදී අඛණ්ඩව පහත වැටී ඇත. Reporters Without Borders සිය 2023 වාර්තාවේ සඳහන් කළේ, ඉන්දියාව රට රටවල් 180කින් 161 දක්වා පහත වැටී ඇති බව ය. 2016 වසරේදී ඔවුන් සිටියේ 133 වන ස්ථානයේ ය.

මෑතකදී, මෝදි රජය විසින් සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමට සහ ව්‍යාජ ප්‍රවෘත්ති නැවැත්වීමට 'fact-checking' ඒකකයක් පිහිටු වීමට යෝජනා කරනු ලැබ ඇති නමුත් බොහෝ මාධ්‍යවේදීහු මෙය වාරණයේ විෂය පථය පුළුල් කරනු ඇතැයි බිය වෙති.

මාධ්‍යවලට හිරිහැර කිරීම් පිළිබඳ චෝදනා අලුත් දෙයක් නොවේ. අතීතයේ භාරතීය ජනතා පක්ෂය හැර වෙනත් දේශපාලන පක්ෂ විසින් පාලනය කරනු ලබන ප්‍රාන්තවල ද විශේෂයෙන්, හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි යටතේ පැවති කාලයේ මෙවැනි ම කාරණා සඳහා විවේචන එල්ල වී ඇත.

මෝදිට අභියෝග කළ හැක්කේ කාට ද?

Rahul Gandhi, a senior leader of the opposition Congress party, embarked on a 6,700km-long march across the country in January 2024

ඡායාරූප මූලාශ්‍රය, Indian National Congress

ඡායාරූප ශීර්ෂ වැකිය, විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන රාහුල් ගාන්ධි රට පුරා කිලෝමීටර් 6700ක පා ගමනක් ආරම්භ කර තිබේ.

මෝදිගේ විරුද්ධවාදීන් බොහෝ විට සමගිසම්පන්න නොවන අත‍ර විෂමාකාරී වේ. නමුත් පසුගිය ජූලි මාසයේදී, කොන්ග්‍රස් පක්ෂය සහ ප්‍රාදේශීය සංවිධාන සමූහයක් ඇතුළු විරුද්ධ පක්ෂ 26ක් "සාමූහික අභියෝගයක්" සඳහා සන්ධානයක් පිහිටුවා ගත්තේ ය.

"උග්‍ර ලෙස ජාතිකවාදය" මත යැපෙන පාලක භාරතීය ජනතා පක්ෂයේ විශ්වාසයට ප්‍රතිරෝධය දැක්වීමේ අදහසින් ඔවුහු තමන් 'Indian National Developmental Inclusive Alliance' සඳහා කෙටි යෙදුම වන 'INDIA' ලෙස හැඳින් වූහ. එහෙත් මේ වන විටත් එම කණ්ඩායම වෙනත් වෙනත් කණ්ඩායම් සාදා ගන්නා බවට පැහැදිලි ලකුණු පහළ වී තිබේ.

දේශපාලන මූලෝපායඥ ප්‍රශාන්ත් කිෂෝර් විශ්වාස කරන්නේ, මෝදි අපරාජිත නොවන නමුත් විරුද්ධ පක්ෂ අතර අසමගිය සහ උපායමාර්ග නොමැතිකම නිසා ඔහු ශක්තිමත් බව පෙනෙන බව ය.

කිෂෝර්ට අනුව මෝදි අපරාජිතභාවයට ආසන්න වීම සාධක හතරක් මත රඳා පවතී:

"හින්දුත්වය පදනම් කරගත් මතවාදයක් සහ හින්දු ආගමේ නාමයෙන් ඔහුට සහය දෙන විශාල හින්දු ඡන්ද ගණනක් හිමි වීම.

"නව-ජාතිකවාදය හෝ අධි-ජාතිකවාදය, ඔබට එය හැඳින් වීමට අවශ්‍ය පරිදි.

"ඍජු ප්‍රතිලාභීන්ට [රජයේ ශුභසාධනය මත යැපෙන දිළිඳු පුද්ගලයින්ට] උපකාර කිරීමේ ප්‍රතිපාදන. එය වැසිකිළි හෝ, ගොවීන්ට කරන උපකාර හෝ නිවාස යෝජනා ක්‍රම වේවා.

"ඔහුගේ මැතිවරණ සහ මූල්‍ය ශක්තිය."

ඔහු පවසන්නේ, "ඔබට මෝදි සහ භාරතීය ජනතා පක්ෂය පරාජය කිරීමට අවශ්‍ය නම් ඔබ මෙම ශක්තීන් දෙකකට හෝ තුනකට එරෙහිව කටයුතු කළ යුතු" බව ය.

මෝදිගේ පවුල් පසුබිම

Narendra Modi with his mother, Heerben, near Ahmedabad in 2014

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නරේන්ද්‍ර මෝදි 2014 දී ඔහුගේ මව හීර්බෙන් සමඟ

පවුල් සබඳතා බොහෝ විට දේශපාලනයේ සහ වෙනත් ක්ෂේත්‍රවල සාර්ථකත්වයට හේතු වී ඇති රටක, මෝදි ස්වයංව ගොඩනැගුණු චරිතයක් ලෙස ඡන්දදායකයින් අතර ඇත්තේ ඉතා ධනාත්මක ආකල්පයකි. ඔවුන්ට ඔහු සමග සම්බන්ධයක් ඇතැයි දැනෙන්නේ ඔහු නිහතමානී පසුබිමකින් පැමිණි නිසා සහ දිල්ලි ප්‍රභූ දේශපාලන කණ්ඩායම් සම්බන්ධයෙන් ගත් කල පිටස්තරයෙකු වන නිසා ය.

මෝදි සිය ළමා කාලයේදී වඩ්නගර් දුම්රිය ස්ථානයේ තේ විකිණීමට තම පියාට උදව් කිරීම ගැන නිතර කතා කර ඇත. ඔහු හැදී වැඩුණේ එතරම් ප්‍රසිද්ධ නොවන සහෝදර සහෝදරියන් හතර දෙනෙකු සමග වන අතර, ගුජරාටයේ වෙන ම ජීවත් වන ජශෝදාබෙන් මෝදි සමග ඔහුගේ විවාහය සූදානම් කරන විට ඔහුට වයස අවුරුදු 18ක් පමණ විය. ඔහු දේශපාලනයට පිවිසෙන විට මෙම තොරතුරු හෙළි කිරීමට අවශ්‍ය වූ බැවින්, ජීවිතයේ බොහෝ කලකට පසු ඔහු තම විවාහක තත්ත්වය ප්‍රසිද්ධියේ පිළිගත්තේ ය. ඔවුන්ට දරුවන් නැත.

කෙටියෙන් කිවහොත්, නරේන්ද්‍ර මෝදි විවිධ පුද්ගලයින්ට විවිධාකාර ය. ඇතමෙකුට ඔහු ඉන්දියාවේ බලවත් ම පුද්ගලයා වන අතර ඔහුගේ බොහෝ ආධාරකරුවන් විශ්වාස කරන්නේ, ඉන්දියාව ගෝලීය වේදිකාවට පැමිණ ඇත්තේ ඔහුගේ නායකත්වයට ස්තුති වන්නට බව ය.

ඔහුගේ විවේචකයෝ ඔහුව ඒකාධිපතියෙකු ලෙස දකින අතර විසම්මුතියේ හඬ යටපත් කිරීම සහ මාධ්‍ය නිදහස විශාල ලෙස සීමා කිරීම මගින් ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදය පසුබැසීමට ඔහු නායකත්වය දුන් බව කියා සිටිති. ඔහුගේ විරුද්ධවාදීන්ට ඔහු හින්දුත්ව දෘෂ්ටිවාදය සහ අධි-ජාතිකවාදය කෙරෙහි අවධාරණය කිරීම ඉන්දියාවේ බහුවිධතාවට සහ ලෞකික ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට පටහැනි ය.

මධ්‍යස්ථ පිරිස ඔහු තාක්‍ෂණ ශිල්පියෙකු ලෙස හැඩගස්වාගත් සහ ව්‍යාපාරික හා සංවර්ධනයට හිතකර පාලන විලාසයක් භාවිත කරන මිනිසෙකු ලෙස දකිති.