රාජකීය පදවි අත්හැර දැමූ ඇන්ඩෲ කුමරු යනු කවු ද?

Prince Andrew, is a middle-aged man with grey hair. He is wearing a dark grey coat and red and blue patterned tie with a white shirt. He is looking off camera to his left

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

III චාල්ස් රජු සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔහුගේ සහෝදරයා වන ඇන්ඩෲ කුමරු තවදුරටත් යෝර්ක්හි ආදිපාද පදවිය ඇතුළු ඔහුගේ රාජකීය පදවි නාම භාවිත නොකරනු ඇත.

2022දී කුමරු තමාට ලැබී තිබූ හමුදා පදවි නාම සහ රාජකීය අනුග්‍රහයන් ආපසු ලබා දී තිබූ අතර, එක්සත් ජනපදයේ සිවිල් නඩුවකදී ලිංගික අපයෝජන චෝදනාවට ලක්වීමෙන් පසු නිල වශයෙන් ඔහුගේ රාජකීය නාමය භාවිත කිරීම අත්හැර දැමී ය.

ජෙෆ්රි එප්ස්ටයින්ගේ ලිංගික ජාවාරමේ ගොදුරක් වූ වර්ජිනියා ගුෆ්රේ විසින් ඔහුට එරෙහිව ගොනු කරන ලද නඩුව පසුව සමථයකට පත් වූ අතර, වයස අවුරුදු 18ට අඩු වයසේදී ඇයට ලිංගික අතවර කළ බවට ඇය චෝදනා කළ ද ඔහු සැමවිට ම එය ප්‍රතික්ෂේප කළේ ය.

2025 අප්‍රේල් මාසයේදී ඇය සියදිවි නසාගෙන මාස හයකට පමණ පසු, ගුෆ්රේගේ මරණින් පසු මතක සටහන් ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර කුමරු සිය නිවේදනය නිකුත් කළේ ය.

ඇන්ඩෲ කුමරු යනු කවු ද?

65 හැවිරිදි ඇන්ඩෲ කුමරු අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ තුන් වන දරුවා වන අතර ඔහු සිංහාසනයට උරුමකම් කියන 8 වන තැනැත්තා වේ.

ඔහුගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් වන්නේ, චාල්ස් රජු සහ ඈන් කුමරිය යි.

ඔහු රාජකීය තත්ත්වය අත්හැරීමත් සමග යෝර්ක්හි ආදිපාදවරිය යන පදවිය සාරා ෆර්ගියුසන්ට අහිමි වූ අතර, ඔවුන්ට බියට්‍රිස් කුමරිය සහ ඉයුජිනී කුමරිය යන දියණියන් දෙදෙනෙක් සිටිති.

Prince Andrew, a middle aged man with short white hair, is dressed in a navy suit with a white shirt and yellow and green tie.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇන්ඩෲ කුමරුට එල්ල වූ චෝදනාව කුමක් ද?

එක්සත් ජනපදයේ සිවිල් නඩුවකදී යෝර්ක්හි ආදිපාදවරයාට ලිංගික අපයෝජන චෝදනා එල්ල විය.

උසාවියේ නඩු විභාගයකදී, වර්ජිනියා ගුෆ්රේ ප්‍රකාශ කළේ ජෙෆ්රි එප්ස්ටයින් වයස අවුරුදු 16 සිට ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ජාවාරම් කළ බව ය.

අපයෝජනයෙන් කොටසක් ලෙස ඇන්ඩෲ කුමරු ඇතුළු අනෙකුත් බලවත් පිරිමින්ට ඇයව ලබා දීම ගැන ඇය චෝදනා කළා ය.

ගුෆ්රේ පැවසුවේ, ඇය වයස අවුරුදු 18ට අඩු වයසක සිටියදී කුමරු ඇයට තුන් වතාවක් ලිංගික අතවර කළ බව ය.

ඇන්ඩෲ කුමරු තමාට එරෙහි සියලු චෝදනා දිගින් දිගට ම ප්‍රතික්ෂේප කර ඇත. 2019 දී බීබීසී නිව්ස්නයිට් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ, ගුෆ්රේ මුණගැසුණු බවට තමාට කිසිදු මතකයක් නොමැති බව ය.

2022 පෙබරවාරි 15 ​​වන දින එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කරන ලද ලිපියක සඳහන් වූයේ ආදිපාදවරයා සහ ගුෆ්රේ අධිකරණයෙන් පිටත සමථයකට පැමිණ ඇති බව ය.

එහි සඳහන් වූයේ, වරද පිළි නොගත් ආදිපාදවරයා ගුෆ්රේහට හෙළි නොකළ මුදලක් ගෙවනු ඇති බව ය.

ඇන්ඩෲ කුමරුට මුදල් ලැබෙන්නේ කොහෙන් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2019 දී ඔහු රාජකීය තනතුරෙන් ඉවත් වන තෙක්, නිල රාජකාරි ආවරණය කරන නිල රාජකීය අරමුදලින් ඇන්ඩෲ කුමරුට වාර්ෂිකව මුදලක් ලැබුණු බව සැලකෙයි.

කෙසේ වෙතත්, එම මුදල ප්‍රසිද්ධියට පත් නොකළ අතර පසුව ඔහු තම නැසීගිය මව වන දෙවන එලිසබෙත් රැජිණගෙන්, නැතහොත් පසුව ඔහුගේ සහෝදරයා වන චාල්ස් රජුගේ පෞද්ගලික අරමුදල්වලින් මුදල් ලබා ගත්තේ ද යන්න නොදනී.

රාජකීය ආරංචි මාර්ග පවසන්නේ, චාල්ස් රජු පසුගිය වසරේදී ඇන්ඩෲගේ අරමුදල් කපා හැරිය බව ය.

2007 දී, කුමාරයා තම සනින්හිල් උද්‍යාන නිවස පවුම් මිලියන 15කට කසක්ස්තානයේ ජනාධිපතිවරයාගේ බෑණා වන ටිමෝර් කුලිබයෙව්ට විකුණූ අතර, එය සඳහන් කළ මිලට වඩා පවුම් මිලියන 3ක් වැඩි විය. වින්ඩ්සර් මාලිගය අසල පිහිටි නිදන කාමර 12කින් යුත් එම නිවස එලිසබෙත් රැජිණ මංගල තෑග්ගක් ලෙස කුමරුට පරිත්‍යාග කර තිබිණි.

ඔහු ජීවත් වන්නේ, II ශ්‍රේණියේ ලැයිස්තුගත දේපළක් වන වින්ඩ්සර්ස් රෝයල් ලොජ්හි වන නමුත් එය ක්‍රවුන් වතුයායෙන් බද්දට දී ඇති එකක් බැවින් එය විකිණිය නොහැක.

කාමර 30කින් යුත් මන්දිරයෙන් ඇන්ඩෲ කුමරුට ඉවත් වන ලෙස බොහෝ දෙනෙකු ඉල්ලා සිටිය ද, ඔහුට 2078 දක්වා ක්‍රියාත්මක වන ක්‍රවුන් වතුයාය සමග වන ස්වාධීන බදු ගිවිසුමක් තිබේ. 2003 දී ඉන් වැඩි ප්‍රමාණයක් කලින් ගෙවා තිබූ නිසා දැන් දේපළ හැර යාමට ඔහුට එතරම් දිරිගැන්වීමක් නැත.

ප්‍රසිද්ධ ජීවිතයෙන් ඉවත් වීමෙන් පසු, ඇන්ඩෲ කුමරු චීනය, ගල්ෆ් රාජ්‍යයන් සමග ඇති කර ගත් ව්‍යාපාරික සබඳතා සහ නව ලන්දේසි සමාගමක් සමග ආරම්භ කර මෑතකදී නතර කරන ලද ව්‍යාපෘතියක් ඇතුළු මාර්ගවලින් ස්වාධීන ආදායම් මාර්ග වර්ධනය කරගෙන ඇති බව පෙනේ. ඔහුගේ ම ආරක්ෂාව සඳහා ඇති විය හැකි ඉහළ පිරිවැය නොතකා මූල්‍යමය ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරයි.

ඇන්ඩෲ කුමරු අතහැර දැමූ තනතුරු මොනවා ද?

ඇන්ඩෲ කුමරුට උපතින් උරුම වූ කුමාර පදවිය ඔහු සතුව පවතිනු ඇති අතර, ඔහුට අහිමි වූ අනෙකුත් පදවි නාම ජීවිතයේ පසුකාලීනව ඔහුට හිමි වූ ඒවා ය.

ඔහු තවදුරටත් යෝර්ක්හි ආදිපාදවරයා ලෙස හඳුන්වනු නොලබන අතර, 1986 විවාහයෙන් ඔහුට ලැබුණු එම පදවිය සමග Order of the Garter ගෞරව නාමයෙන් ද ඉල්ලා අස්වී ඇත.

ඊට අමතරව, ඇන්ඩෲ කුමරු ඉන්වර්නස්හි අර්ල්වරයා සහ කිලිලීග්හි සාමිවරයා යන පදවි නාම ද අත්හරියි.

2022 දී, ඔහු තවදුරටත් ඔහුගේ රාජකීය (HRH) යන ගෞරව නාමය නිල වශයෙන් භාවිත නොකරන බව නිවේදනය කරන ලදී. නමුත් හැරී සහ මේගන් මෙන් ඔහුට තවමත් එය පෞද්ගලිකව භාවිත කළ හැකි ය.

ආදිපාදවරයා රාජකීය නාවික හමුදාවේ වසර 22ක් සේවය කළේ ය. එම කාලය තුළ ඔහු 1982 ෆෝක්ලන්ඩ් යුද්ධයේදී හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස සේවය කළ අතර බිම්බෝම්බ මර්දන නෞකාවක් වන HMS කොටෙස්මෝර් නෞකාවට අණ දුන්නේ ය.

Prince Andrew in the regalia of the Order of the Garter. He is wearing a black jacket and hat with gold chains, white ribbons and a white feather from his cap. The King, wearing the same regalia, can be seen to his left

ඡායාරූප මූලාශ්‍රය, Michael Dunlea/PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්ඩෲ කුමරු Order of the Garter සාමාජිකත්වය ද අත්හැරියේ ය

2019 දී පොදු රාජකාරිවලින් ඉවත් වීමෙන් පසු ඔහුගේ හමුදා පත්වීම් අත්හිටුවන ලදී.

ඔහුට ග්‍රෙනේඩියර් ගාඩ්ස්හි කර්නල්, RAF ලොසීමවුත්හි ගෞරවණීය ගුවන් කොමදෝරු සහ රාජකීය අයර්ලන්ත රෙජිමේන්තුවේ ප්‍රධාන කර්නල් ඇතුළු එක්සත් රාජධානියේ හමුදා තනතුරු කිහිපයක් ද අහිමි විය.

ආපසු ලබා දුන් අනුශාසකත්වයන් මොනවා ද?

රාජකීය අනුශාසකයෙකුගේ කාර්ය භාරය වන්නේ, අරමුණක් හෝ සංවිධානයක් සඳහා ප්‍රවර්ධනය සහ ප්‍රචාරය වැඩි කිරීම ය.

කුමරු පුණ්‍යායතන සහ සංවිධාන 200කට පමණ අනුශාසකයෙකු විය.

නමුත් 2019 දී මතභේදාත්මක බීබීසී සම්මුඛ සාකච්ඡාවෙන් පසුව, ඔහු ගුෆ්රේ සමග ලිංගිකව හැසිරුණු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, බොහෝ දෙනෙක් ඔහු සමග සබඳතා කපා හැරීමට තීරණය කළහ. එලෙස සබඳතා කපා දැමූ ආයතන අතර, Outward Bound Trust, English National Ballet, Royal Philharmonic Orchestra සහ London Metropolitan University යන ආයතන විය.

ඇන්ඩෲ කුමරු තවමත් කීර්තිමත් ගොල්ෆ් සමාජ, පාසල් සහ සංස්කෘතික භාරයන් ඇතුළු තවත් අනුශාසකත්වයන් විශාල ගණනක රැඳී සිටී.

නමුත් මේවා පසුව ඔහුගේ මව වන දෙවන එලිසබෙත් රැජිණ වෙත ආපසු ලබා දෙන ලද අතර, රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් අතර නැවත බෙදා දීමට නියමිතව තිබිණි.

Prince Andrew with his brother King Charles. They are both wearing black suits and ties

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇන්ඩෲ කුමරු සතු වූ වෙනත් කාර්ය භාරයන් මොනවා ද?

නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, ඇන්ඩෲ කුමරු වසර 10ක් එක්සත් රාජධානියේ වෙළෙඳ හා ආයෝජන සඳහා විශේෂ නියෝජිතයා ලෙස සේවය කළේ ය.

නමුත් 2008 දී බාලවයස්කාර දරුවෙකු ගණිකා වෘත්තිය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් මාස 18ක සිර දඬුවමක් නියම වූ ජෙෆ්රි එප්ස්ටයින් සමග තිබූ මිත්‍රත්වය පිළිබඳ විවේචනවලට මුහුණ දීමෙන් පසු ඔහු එම තනතුර අත්හැරියේ ය.

ඔහුගේ විදේශ සංචාරවලදී ව්‍යාපාර කටයුතු විනෝද කටයුතු සමග මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් ද විවේචනයට ලක්වූ අතර, ඇතැම් පුවත්පත් "එයාර්මයිල්ස් ඇන්ඩි" යන අන්වර්ථ නාමය ඔහුට පට බැන්දේ ය.

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් ගඩාෆි හමුවීම සහ ටියුනීසියාවේ බලයෙන් පහ කරන ලද ජනාධිපති සයින් එල් අබිදීන් බෙන් අලිගේ බෑණාට බකිංහැම් මාලිගයේදී සත්කාරකත්වය සැපයීම සම්බන්ධයෙන් කුමරුගේ ස්ථාවරයන් ද ප්‍රශ්න කරන ලදී.

2010 නොවැම්බර් මාසයේදී, විකිලීක්ස්හි ප්‍රකාශයට පත් කරන ලද රහස් කේබල් පණිවුඩයකින් හෙළි වූයේ, එක්සත් ජනපද තානාපතිවරයෙකුට නිල කටයුත්තක් අතරතුර "අවිනීත ලෙස" කතා කළ බවත්, "ශිෂ්ටත්වයට පටහැනි" සාකච්ඡාවක් මෙහෙයවූ බවත් සඳහන්ව ඇති බව ය.

ඇන්ඩෲ කුමරු 2011 සිට 2019 දක්වා ක්‍රියාකාරී රාජකීයයෙකු ලෙස සේවය කළේ ය.

ආයෝජන සොයන ව්‍යවසායකයින්ට සහය වීම සඳහා ඔහු ආරම්භ කළ වැඩසටහනක් වන Pitch@Palace ඔහුගේ එක් මුලපිරීමකි.

2020 දී එය ඇන්ඩෲ කුමරුගේ නම එහි වෙබ් අඩවියෙන් ඉවත් කළේ ය. එප්ස්ටයින් සමග ඔහුගේ මිත්‍රත්වය පිළිබඳ හෙළිදරව් කිරීම් මධ්‍යයේ ප්‍රමුඛ ආධාරකරුවන් ඔහුගෙන් දුරස් වීමෙන් පසුව එය සිදු විය.

ඔහුගේ "සමීප විශ්වාසවන්තයෙකු" චීන ඔත්තුකරුවෙකු බවට එල්ල වූ චෝදනාවලින් පසුව, ඔහුගේ තීරණ පිළිබඳ ප්‍රශ්න මතු විය.

රජයේ උපදෙස් අනුව ව්‍යාපාරිකයා සමග පැවති "සියලු සම්බන්ධතා නතර කළ" බව කුමරු පැවසී ය.