'පරමාණු බෝම්බයේ පියා' ඕපන්හයිමර්ට භගවත් ගීතාව බලපෑ ආකාරය

පසුගිය වසරේ තිරගත වූ 'ඕපන්හයිමර්', එනම්, ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ "පරමාණු බෝම්බයේ පියා" පිළිබඳ ත්‍රාසජනක චරිතාපදාන චිත්‍රපටය ලොව පුරා මහත් පිළිගැනීමකට ලක්විය.

එය ඉන්දියාවේ ද ජනප්‍රිය වූ නමුදු , ඔහු ලිංගිකව එක්වීමෙන් පසු හින්දු ආගමේ ශුද්ධ ග්‍රන්ථයක් වන භගවත් ගීතාව කියවීමේ දර්ශනයක් වෙත ඇතැමෙකු විරෝධය පළකර තිබුණි. ඕපන්හයිමර් පුරාණ සංස්කෘත භාෂාව හැදෑරූ අතර භගවත් ගීතාව ඔහුගේ ප්‍රියතම ග්‍රන්ථ අතරින් එකක් බවට පත්විය.

1945 වසරේ ජූලි මාසයේ දී, නිව් මෙක්සිකෝ කාන්තාරයේ දී ප්‍රථම පරමාණු බෝම්බය පුපුරවා හැරීමට දින දෙකකට පෙර, රොබට් ඕපන්හයිමර් භගවත් ගීතාවේ නොඑසේ නම්, දෙවියන්ගේ ගීතයේ අඩංගු ශ්ලෝකයක් කියවීය.

සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වන ඕපන්හයිමර් ඉන්දියානු පුරාණ භාෂාවක් වන සංස්කෘත සහ පසුව ගීතාව හඳුනා ගත්තේ, වසර ගණනාවකට පෙර බර්ක්ලිහි ගුරුවරයෙකු ලෙස සේවය කරන අවධියේ ය. වසර 2,000කට වඩා පැරණි භගවත් ගීතාව, හින්දු ආගමේ ශ්‍රේෂ්ඨ වීර කාව්‍යයන්ගෙන් එකක් වන මහා භාරතයේ කොටසකි. එය ශ්ලෝක 700කින් සමන්විත වන අතර ලොව දිග ම කාව්‍යය ද වේ.

ඉතිහාසය වෙනස් කරන සිදුවීමකට පැය කිහිපයකට පෙර, "පරමාණු බෝම්බයේ පියා" ඔහු සංස්කෘත භාෂාවෙන් පරිවර්තනය කළ ශ්ලෝකයක් කියමින් ඔහුගේ ආතතිය දුරු කර ගත්තේ ය.

යුද්ධයේදී ත්, ඝන වනන්තරයේදී ත්, කඳු බෑවුම් අද්දරදී ත්

අන්ධකාරයෙන් පිරුණු මහ මුහුදේදී ත්, දුනු ඊතල මධ්‍යයේදී ත්,

නින්දේදී ත්, ව්‍යාකූල තත්ත්වයන්හිදී ත්, අනෙක විධ නින්දා හමුවේදී ත්,

මිනිසෙකු පෙර කළ යහපත් ක්‍රියා ඔහු ආරක්ෂා කරයි

පුළුල් පර්යේෂණයකින් අනතුරුව කයි බර්ඩ් සහ මාර්ටින් ජේ ෂර්වින් විසින් ඔවුන් 2005 වසරේ ප්‍රකාශයට පත් කරන ලද American Prometheus: The Triumph and Tragedy of J Robert Oppenheimer චරිතාපදානයේ ලියන පරිදි, තරුණ ඕපන්හයිමර්ට සංස්කෘත භාෂාව හඳුන්වා දෙනු ලැබ ඇත්තේ, බර්ක්ලිහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ සංස්කෘත පිළිබඳ මහාචාර්යවරයෙකු වන ආතර් ඩබ්ලිව් රයිඩර් විසිනි. මෙම කලින් පැසුණු භෞතික විද්‍යාඥයා එහි පැමිණ ඇත්තේ, 25 හැවිරිදි සහකාර මහාචාර්යවරයකු වශයෙනි. ඊළඟ දශක කිහිපය තුළ ඔහු එක්සත් ජනපදයේ "සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ ශ්‍රේෂ්ඨතම පාසල්වලින්" එකක් ගොඩනැගීමට උර දැරීය.

ඕපන්හයිමර්, රිපබ්ලිකානුවෙකු මෙන් ම ඍජුව කතා කරන, සාම්ප්‍රදායික විශ්වාසවලට අභියෝග කරන අයෙකු වූ රයිඩර්ගේ සිත් ගත් අයෙකු විය. එමෙන් ම, ඕපන්හයිමර් රයිඩර් සැලකුවේ "අතිවිශිෂ්ඨ බුද්ධිමතෙකු" ලෙස ත්, ඔහුගේ "හැඟීම්, සිතුවිලි සහ කථනය තුළ ස්ටොයික්වාදය ප්‍රදර්ශනය කළ විද්වතෙකු" ලෙස ත් ය. මෙම තරුණ විද්‍යාඥයාගේ රෙදිපිළි ආනයනකරුවෙකු වූ පියා ඒ හා එකඟ වූයේ, රයිඩර් යනු, "අතිශයින් මෘදු ආත්මයක් තුළින් එබිකම් කරන කර්කශභාවයේ කැපී පෙනෙන සංකලනයක්" බව පවසමිනි.

එපමණක් නොව, චිත්‍රපටයේ කිලියන් මර්ෆි විසින් නිරූපණය කරනු ලබන ඕපන්හයිමර් ද, රයිඩර් "ජීවිතය පිළිබඳ ඛේදජනක හැඟීමක් තිබුණු, පුද්ගලයෙකු ගැලවීම හෝ විනාශය අත්විඳින්නේ ද යන්න තීරණය කිරීමේ දී මිනිස් ක්‍රියාවන් තීරණාත්මක වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව විශ්වාස කළ දුර්ලභ පුද්ගලයෙකු" ලෙස සලකනු ලැබීය.

වැඩිකල් යන්නට මත්තෙන්, රයිඩර් බ්‍රහස්පතින්දා සවස් වරුවේ ඕපන්හයිමර්ට සංස්කෘත භාෂාව පිළිබඳව පෞද්ගලිකව පාඩම් ලබා දුන්නේ ය. "මම සංස්කෘත ඉගෙන ගන්නවා," මෙම විද්‍යාඥයා තම සහෝදරයා වන ෆ්‍රෑන්ක් වෙත ලිවීය, "හරි ම ආසාවෙන් ඒක රස විඳිනවා, උගන්වන එක පවා නිතර ම රස විඳිනවා."

ඕපන්හයිමර්ගේ චරිතාපදානය ලියූ රචකයින් සඳහන් කළේ, ඔහුගේ මිතුරන් බොහෝදෙනෙකු ඉන්දියානු භාෂාවක් කෙරෙහි ඔහු තුළ ගොඩනැගී ඇති නව උමතුව අමුතු දෙයක් ලෙස සැලකූ බව ය. මෙම විද්‍යාඥයාට රයිඩර්ව හඳුන්වා දුන් ඔවුන්ගෙන් එක් අයෙකු වූ හැරල්ඩ් එෆ් චර්නිස් සිතුවේ, එය "සම්පූර්ණයෙන් ම සාධාරණ" බව ය. මන්ද යත් ඕපන්හයිමර්ට "ගුප්ත සහ වියවුල්කාරී දේවල් පිළිබඳ රසයක්" තිබූ බැවිණි.

එබැවින් ඕපන්හයිමර්ගේ සංස්කෘත සහ ගීතාව පිළිබඳ දැනුම ඔහුගේ කතාව පැවසීමට පැහැදිලිව ම ගැලපේ. නමුත් ඇතැම් දැඩි මතධාරී හින්දු භක්තිකයන්, විශේෂයෙන් ම, ෆ්ලෝරන්ස් පියූ විසින් නිරූපණය කරනු ලබන ඔහුගේ පෙම්වතිය වන ජීන් ටැට්ලොක් සමග ලිංගිකව හැසිරෙන දර්ශනය ඔවුන්ගේ ආගමට පහර දීමක් ලෙස චෝදනා කර, එම දර්ශනය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියි.

නමුත් ඉන්දියාවේ චිත්‍රපට වාරණ සිදුකරන්නන් එහි ගැටලුවක් නොදුටු අතර, බාර්බි සහ මෙම චිත්‍රපටය නිකුත් වූ දා සිට බොක්ස් ඔෆිස් වාර්තා අනුව, එය බාර්බි චිත්‍රපටයට වඩා ආදායම් ලබමින් මෙම වසරේ ඉන්දියාව තුළ තිරගත වුණු සාර්ථකම හොලිවුඩ් චිත්‍රපටය බවට පත්ව තිබේ.

ඕපන්හයිමර් පුළුල් කියැවීමක් ඇති මිනිසෙකු බවට කිසිදු සැකයක් නොමැත. ඔහු දර්ශනය, ප්‍රංශ සාහිත්‍යය, ඉංග්‍රීසි, ඉතිහාසය පිළිබඳ පාඨමාලා හැදෑරූ අතර කෙටි කලකට ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීමට සලකා බැලූ අතර සම්භාව්‍යවාදියෙකු, කවියෙකු හෝ චිත්‍ර ශිල්පියෙකු ද විය. ඔහු "දුක සහ හුදෙකලාව තේමාකර ගත්" කවි ලිවූ අතර, ටී.එස්. එලියට්ගේ The Waste Land කවිය තුළ ගැබ්ව පැවති පැවතුම්වාදයේ එක් අංශයක් හඳුනා ගත්තේ ය.

"ඔහු දුෂ්කර දේවල් ගැන කැමැත්තක් දැක්වූවා. ඔහුට සෑම දෙයක් ම පාහේ පහසු දෙයක් වුණු බැවින්, සැබවින් ම ඔහුගේ අවධානය යොමු වුණේ, අත්‍යවශ්‍යයෙන් ම දුෂ්කර දේවල් වෙත යි," චර්නිස් පැවසීය.

භාෂා ඉගෙනීමට ඔහුට තිබුණු හැකියාවත් සමග ඕපන්හයිමර් ග්‍රීක, ලතින්, ප්‍රංශ සහ ජර්මානු භාෂා ඉගෙනගත් අතර, ලන්දේසි බස සති හයකින් ඉගෙන ගත්තේ ය. භගවත් ගීතාව කියැවීම ඔහු ආරම්භ කර තිබුණේ ඉන් වැඩි කලක් නොගොසිනි. ඔහු එය "ඉතා පහසු සහ විශ්මයජනක" බවට අවබෝධ කර ගත් අතර, මිතුරන්ට පැවසුවේ, එය "භාවිතයේ ඇති ඕනෑ ම භාෂාවකින් ලියවුණු රසවත් ම දාර්ශනික ගීතය එය" බව ය. ඔහුගේ පොත් රාක්කයේ රයිඩර් ඔහුට තෑගි කළ එහි රෝස පැහැති පිටකවරයක් සහිත පිටපතක් විය. ඕපන්හයිමර් ඔහුගේ මිතුරන්ට එහි පිටපත් තෑගි කරනු ලැබී ය.

මෙම විද්‍යාඥයා "සංස්කෘත භාෂාව අධ්‍යයනයෙන් කෙතරම් ප්‍රමෝදයට පත් වී ද යත්" 1933 වසරේ දී ඔහුගේ පියා ඔහුට ක්‍රයිස්ලර් රථයක් ගෙන ආ අවස්ථාවේ, හින්දු පුරාණෝක්තිවල එන යෝධ පක්ෂි දෙවියන්ගේ නාමයෙන් ඔහු එයට 'ගරුඩා' යන නම තැබූ බව චරිතාපදානයේ රචකයින් ලියා තිබේ.

එම වසරේ වසන්තයේ දී, ඕපන්හයිමර් ඔහුගේ සහෝදරයාට විනය සහ වැඩ කිරීම සැමවිට ම ඔහුගේ මාර්ගෝපදේශක මූලධර්ම වූයේ මන්දැ යි පැහැදිලි කරමින් තරමක් විශිෂ්ඨ ශෛලියකින් ලිපියක් ලියුවේ ය. ඔහු පෙරදිග දර්ශනයට වශී වී සිටි බව එයින් පිළිඹිබු විය.

ඔහු මෙසේ ලිවීය: "විනය තුළින්, නමුත් විනය තුළින් පමණක් නොවෙයි, අපට මානසික සහනය ළඟාකර ගන්න පුළුවන්. ඒ වගේ ම ජීවිතයේ සිදුවන අහඹු සහ අනපේක්ෂිත සිදුවීම්වලින් නිදහස ගැන කුඩා නමුත් වටිනා මිනුමක් ලබා ගන්න පුළුවන්... අන්න ඒ නොබැඳි බව ලෝකයට ම හිතකර බලපෑමක් ඇති කරනවා." ඔහු පැවසුවේ, විනය තුළින් පුද්ගලයින්ට තම අවධානය ආත්ම කේන්ද්‍රීය ආශාවන්ගෙන් බැහැරව යොමු කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීමට උපකාරී වන අතර, එමඟින් ලෝකය පිළිබඳ වඩා ත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සලසන බව ත්, එමඟින් ජීවිතයේ මූලික අවශ්‍යතා හෝ සැප පහසුකම් නොමැති අත්දැකීම සහ එමඟින් ඇති වන මිනිස් පැවැත්මේ දුක්ඛිත හා බියජනක ස්වභාවය පිළිබඳව පහසුවෙන් අවබෝධ කර ගත හැකි බව ය.

"විසි ගණන්වල අගභාගයේ දී, ඕපන්හයිමර් ලෞකික ලෝකයෙන් වෙන්වීමක් සොයමින් සිටින බවක් පෙනෙන්නට තිබිණි; ඔහු කැමති වූයේ, වෙනත් වචනවලින් කිවහොත් භෞතික ලෝකය තුළ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කිරීමත්, නමුත් එයින් වෙන් වීමට ත් ය," ඔහුගේ චරිතාපදානයේ රචකයින් ලිය යි.

"ඔහු උත්සහ කළේ තනිකර ම අධ්‍යාත්මික මානයකට පැන යාමට නොවේ. ඔහු ආගමක් සොයා ගියේ නැත. ඔහු සොයා ගියේ මානසික සහනය යි. මානව සබඳතා පිළිබඳ සංවේදී සහ ඉන්ද්‍රියයන් පිනවීමට දැඩි ලෙස අනුගත වූ බුද්ධිමතෙකුට ගීතාව නිශ්චිතව ම නිවැරදි දර්ශනය සපයන බව පෙනෙන්නට තිබිණි."

ඔහුගේ ප්‍රියතම සංස්කෘත ග්‍රන්ථවලින් එකක් වූයේ, එම බස හැසිරවූ ශ්‍රේෂ්ඨතම කවියෙකු වූ කාලිදාස විසින් රචනා කරන ලද මේඝදූත කාව්‍යය යි. "මම රයිඩර් සමග මේඝදූතය කියෙව්වේ මහත් ආහ්ලාදයකින්, ඒ වගේ ම යම් පහසුවකින් සහ ඒකට වශී වෙලා," ඔහු තම සහෝදරයා වන ෆ්‍රෑන්ක් වෙත ලිවීය.

ඕපන්හයිමර් ගීතාවට සහ එහි සංකල්ප වන කර්මය, ඉරණම සහ භෞතික ලෝකයේ වගකීම් සහ බැඳීම් වෙත මෙතරම් දැඩි ලෙස යොමු වූයේ ඇයි? ඔහුගේ චරිතාපදානයේ රචකයින් උපකල්පනය කළේ, "සමහර විට රොබට්ට ගීතාවේ සඳහන් මාරාන්තිකත්වය පිළිබඳ අදහස් කෙරෙහි ඇති වූ ආකර්ෂණය අවම වශයෙන් තරුණ වියේ දී ඔහු උගත් විශ්වාසයන් සහ ඉගැන්වීම්වලට අභියෝග කිරීමට තිබුණු ආශාවෙන් උත්තේජනය වන්නට ඇත." ඇතැම් විට එය ඔහු තරුණ අවධියේදී, "එක්සත් ජනපදයේ ආරම්භ වූ දාර්ශනික ව්‍යාපාරයක් වන යුදෙව් ආගමට සම්බන්ධයක් ඇති තාර්කිකත්වය සහ ලෞකික මානවවාදයේ ප්‍රගතිශීලී ස්වරූපය ප්‍රවර්ධනය කළ 'එතිකල් කල්චර් සොසයටි' සමග පැවති ගනුදෙනුවේ ප්‍රතිඵලයක් විය හැකි ය."

නිසැකව ම, හින්දු ග්‍රන්ථ අගය කිරීමේ දී ඕපන්හයිමර් තනි වූයේ නැත. තමන් කෙතරම් එය වැළඳගෙන තිබුණේ ද යන්න පිළිබඳව ලියන හෙන්රි ඩේවිඩ් තොරෝ සඳහන් කළේ, "භගවත් ගීතාවේ සඳහන් අතිවිශිෂ්ට හා විශ්වීය දර්ශනය හා සැසඳීමේ දී අපගේ නූතන ලෝකය සහ එහි සාහිත්‍යය ඉතා කුඩා සහ නොවැදගත්" යැයි හැඟෙන බව ය. හයින්රික් හිම්ලර් ද එය ඇගයූ තවත් අයෙකු විය. මහත්මා ගාන්ධි ද දැඩි අනුගාමිකයෙකු විය. ඕපන්හයිමර් අගය කළ කවියන් දෙදෙනෙකු වන ඩබ්ලිව්බී යීට්ස් සහ ටීඑස් එලියට් ද මහා භාරතය කියවා ඇත.

පළමු පරමාණු බෝම්බ අත්හදා බැලීමෙන් පසු යෝධ තැඹිලි පැහැති බිම්මලක හැඩය ගත් වලාකුළක් අහසේ නැගී ආ දර්ශනය ඕපන්හයිමර් නැවත ත් ගීතාව වෙත යොමු වීමට හේතු විය. දෙවන ලෝක යුද්ධ සමයේ දී හිරෝෂිමා සහ නාගසාකි වෙත අවසානයේ දී හෙළන ලද බෝම්බ දස දහස් ගණනකට මරු කැඳවීය.

"අපි දැනගෙන හිටියා ලෝකය ආපහු තිබුණා වගේ වෙන්නේ නෑ කියලා. කිහිප දෙනෙක් හිනා වුණා, කිහිප දෙනෙක් ඇඬුවා. බොහෝ අය කිසි ම ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ," ඔහු එන්බීසීයට පැවසුවේ, 1965 වසරේ වාර්තා චිත්‍රපටියක දී ය.

"මට භගවත් ගීතාවේ එක් පේළියක් මතක් වුණා; කුමාරයා තම යුතුකම ඉටු කළ යුතු බව ඒත්තු ගැන්වීමට විෂ්ණු උත්සහ කරන අතර, ඔහු සිය බහු-අත් ඇති වෙස් ගෙන පවසන්නේ, "දැන් මම මරණය වෙමි, ලෝක විනාශ කරන්නා වෙමි' කියලා. මම හිතන්නේ අපි හැමෝම එහෙම හිතුවා, එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්."

මෙම විද්‍යාඥයාගේ මිතුරෙකු පැවසුවේ, අදාළ උපුටා දැක්වීම ඕපන්හයිමර්ගේ "ආගමික නායකයෙකු මෙන් සිදු කළ" ප්‍රකාශයක් ලෙස හැඟුණු බව ය.

නමුත්, ප්‍රහේලිකාවක් බඳු වූ මෙම විද්‍යාඥයා එහි ප්‍රබල බලපෑමට ලක් විය.

The Christian Century සඟරාවේ කතුවරුන් විද්‍යාඥයාගෙන් වරක් ඔහුගේ දාර්ශනික දෘෂ්ටියට බෙහෙවින් බලපෑ ග්‍රන්ථ නම් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දී බෝඩලෙයාර්ගේ Les Fleurs du Mal ග්‍රන්ථය ඒවා අතරින් ප්‍රමුඛ ස්ථානය ගත්තේ ය. භගවත් ගීතාව දෙවන ස්ථානයට පැමිණියේ ය.